සියලු පුර­වැ­සි­යන්ට කොවිඩ් එන්නත | සිළුමිණ

සියලු පුර­වැ­සි­යන්ට කොවිඩ් එන්නත

ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙම සති අන්තය වන විට දස කෝටිය ඉක්මවා තිබූ අතර මරණ සංඛ්‍යාව ලක්ෂ 24ට ආසන්නව ඇත. ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව කෝටි 8කට අධිකය.

මේ දිනවල මෙරටද කොවිඩ් වයිසරසේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දැකිය හැකිය. ඉකුත් සතිය ආරම්භ වූයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හුදෙකලා කර තිබූ ‍බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ 4 ක්, පූගොඩ පොලිස් වසමේ එක් ප්‍රදේශයක්, මිනුවන්ගොඩ පොලිස් වසමේ ප්‍රදේශ 4 ක් සහ අම්බලන්තොට ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයේ එක් ප්‍ර‍දේශයක් හුදෙකලා බවින් නිදහස් කරමිනි.

රටම ශීඝ්‍රයෙන් කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් තිබෙන පසුබිමක රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ එය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියද ඇතැම් විට තවමත් ඒ සඳහා මහජනතාවගෙන් ලැබෙන සහයෝගය සතුටුදායක නොවන පුවත්ද අසන්නට ලැබේ.

 

සති අන්තය වන විට එන්නත් ලැබූ සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයි

 

ඉකුත් 8 වැනිදා මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ පිරිසක් ජෛව පටල පරික්ෂාවකට රැගෙන යෑමට පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බැණ වැදී සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජනය කිරිමෙන් පසුව උඩප්පුව පොලිසිය මැදිහත්ව එම පිරිස පරික්ෂණවලට යොමුකිරීමේ පුවතක එවැන්නකි. එසේ කලහකාරී ලෙස හැසිරී තිබුණේ උඩප්පුව පොලිස් වසමේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබූ ඇති නිවාස තුනක පදිංචිකරුවන්ය.

කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ නිවෙසක එකම පවුලේ මව, පියා, දරුවන් ඇතුළු 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

කෑගල්ල මහ රෝහල සඳහා රුපියල් මිලියන 284ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් ප්‍රදානය කිරීම සහ අංග සම්පුර්ණ රසායනාගාරයක් විවෘත කිරීම පසුගියදා සිදුවූයේ ජනපති සහ අගමැති උපදෙස් අනුව රාජ්‍ය ඇමති කනක හේරත්ගේ ඉල්ලීමක් අනුවය. කෑගල්ල මහ රෝහලට පී. සී.ආර් යන්ත්‍රයක් හා රසායනාගාරයක් නොමැතිකමෙන් මේ දක්වාම දිස්ත්‍රික්කයේ පී. සී. ආර්. සාම්පල පිට පළාත්වල රෝහල්වලට යැවීමට සිදුවූ අතර එම පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලය විවිධ අපහසුතාවට මුහුණ පා සිටියහ.

 

රුසියානු එන්නත ගැනත් බලාපොරොත්තු දල්වයි

 

අඹන්පොල ප්‍රදේශයේ පසුගිය ජනවාරි 21 දින පැවති මංගල සාදයකින් පසු මනාලයා හා මනාලිය ඇතුළු 136කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු ක‍ළේය.

එම මංගල උත්සවයේ දෙවැනි දිනය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වා ඇති බවත් මෙම මංගල උත්සව අවස්ථා දෙකටම 260 කට ආසන්න පිරිසක් එක්වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයන් අතරින් 40 දෙනකු අඹන්පොල, බොරවැව , දිගන සහ කොහල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ආසාදිතයන් 96 දෙනකු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

73 වැනි නිදහස් සමරුම් උත්සවයට සහභාගි වී සිටි වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරේ භටයන් 8 දෙනකුද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත.

ඌව පළාතේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක පුද්ගලයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල නියදි 800ක් පමණ බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ගොඩගැසී ඇතැයි බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර පැවසීය.

ඒවා පරීක්ෂා කිරීමට දින තුනක් පමණ ප්‍රමාද වන නිසා බදුල්ල මහ රෝහලට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් අත්‍යවශ්‍ය බව හෙතෙම අවධාරණය කළේය.

ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් එම වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමුණේ සතිය ආරම්භයේදීය. ගම්පහ වෙළෙඳ ප්‍රජාව මූලික කරගනිමින් පී.සී.ආර් පරීක්ෂණ 1200ක්ද පසුගිය බ්‍රහස්පතින්දා සිදුකෙරුණේ තවදුරටත් ආසාදිතයන් හඳුනා ගැනීමේ අපේක්ෂාවෙනි.

ලොව දෙවැනි වයස්ගතම තැනැත්තිය මෙන්ම යුරෝපයේ වයස්ගතම තැනැත්තිය ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රේ නම් කන්‍යා සොයුරිය ඇගේ 117 වැනි උපන්දිනයට දින කිහිපයකට පෙර කොරෝනා රෝගයෙන් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉකුත් ජනවාරි 16 දින ඇයට කොරෝනා වැලඳී ඇතැයි තහවුරු වූ අතර පසුගිය 11 වැනිදා ඇය සිය 117 වැනි උපන්දිනය සමරන විට රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටි බව වාර්තා විය.

පළමු පාසල් වාරය ආරම්භයේ සිට පසුගිය සතියේ මැද දක්වා ගතවු කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනකුට හා ගුරුවරු තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි පැවසීය.

එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනෙකු හා ගුරුවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියලු දෙනා නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද හෙතෙම පැවසීය.

වයිරසය ආසාදනය වු පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21ක දරු දැරියන් 33 දෙනකුටම වයිරසය ආසාදනය වී ඇත්තේ ඉකුත් සති දෙක තුළදී බවද ආනාවරණය වී ඇත. කෙසේවෙතත් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල කොරෝනා පොකුරක් නිර්මාණය වීමට ඉඩ නොදි එය ඉතා සාර්ථක ලෙස පාලනය කොට ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වූයේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 379 දකවා ඉහළ නංවමිනි. සතිය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඉකුත් සතිය තුළ මරණ 40ක් වාර්තා වී ඇති බවයි.

ගතවූ සතිය තුළ මෙරටින් දෛනිකව වාර්තා වූ ආසාදිතයන් අතර වැඩිම සංඛ්‍යාව වූ 976 ක් වාර්තා වූයේ ඉකුත් 9 වැනිදාය. 11 වැනිදා වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 942ක් වූ අතර 10 වැනිදා ආසාදිතයන් 955ක් වාර්තා විය.

මේ දිනවල මෙරට ආසාදිතයන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළද ඊට සමාන්තරව සුවය ලබන්නන්ගේ සංඛ්‍යාවේද වැඩිවීමක් දක්නට ඇත. මෙරට සුවය ලැබූ වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ ඉකුත් 6 වැනිදාය.

එදින 1133 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබිණ. ඒ අනුව මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයන් සුවවීමේ ප්‍රතිශතය සියයට 90.56කි. මරණ ප්‍රතිශතය පවතින්නේ තවමත් සියයට 0.52 අගයකි. මේ වන විට කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාවේ ප්‍රතිශතය සියයට 8.9කි.

මේ අතර මාර්තු 1 වැනිදා සිට අවුරුදු 30 සිට 60 දක්වා වයස්වල සිටින සියලු පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

11 වැනි සිකුරාදා වන විට කොරෝනා මර්දන එන්නත 1,78,087කට ලබාදී ඇති බවත් ඔවුන්ගෙන් කිසිවකුට මේ දක්වා ප්‍රබල අතුරු ආබාධ හටගෙන නොමැති බවත් වාර්තා වේ.

කොවිඩ් එන්නත ලබා දීමේදී තරුණ හෝ ආර්ථික වශයෙන් වැදගත් පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට කිසිසේත් සිදු නොකරන බවත් මෙතෙක් හඳුනාගෙන ඇති සියලු කණ්ඩායම් වෙත සමාන්තරව එන්නත ලබා දෙන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් නොයෙක් මත මාධ්‍ය හරහා සහ සමාජයේ ප්‍රචාරය වන බවත් ඒවායේ සත්‍යතාවක් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

ආදරවන්තයන්ගේ දිනයේදී සාද, සම්භාෂණවලට වැට

 

මේ අතර ජනමාධ්‍ය වේදීන් සඳහා එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවත් ඊළඟ එන්නත් තොගය ලැබීමෙන් පසු ජනමාධ්‍ය වේදීන් සඳහා එන්නත් ලබාදීමේ සූදානමක් ඇති බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව පැවසීය.

කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නිරෝධායන නීති කඩකළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉකුත් සිකුරාදා වන විට 3,095 දක්වා ඉහළ ගොස් තිබිණි. එමෙන්ම සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 1400කට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සති අන්තයට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනයේදී කණ්ඩායම් ඒකරාශී වන සාද, ප්‍රියසම්භාෂණවලට සහභාගිවීමෙන් වැළකී සිටින ලෙසද පොලිසිය තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර ශීඝ්‍රයෙන් පැතිර යෑමේ හැකියාවක් ඇති බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රහේදයේ ආසාදිතයන් කොළඹ, අවිස්සාවේල්ල, බියගම හා වව්නියා යන ප්‍රදේශවලින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේය. අහඹු නියදිවලින් එම අසාදිතයන් හඳුනාගෙන ඇත. මේ අතර බ්‍රිතාන්‍ය පුරා ඉක්මනින් පැතිර යන නව වයිරස් ප්‍ර භේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්වියාව යන ප්‍ර දේශවලින් ලබාගත් සාම්පල් වලින් සොයාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, වෛද්‍ය චන්දිම ජීවන්දර පවයයි.

Comments