සියලු සර්ප විෂ මඬින එකම එන්නත ලංකා­වෙන් | Page 2 | සිළුමිණ

සියලු සර්ප විෂ මඬින එකම එන්නත ලංකා­වෙන්

රුක්මණි දේවිය රඟපෑ චිත්‍රපටයක නයකු දෂ්ට කිරීමෙන් ඈ මිය ගොස් භූමදානය කළ පසුව, ඇගේ ස්වර්ණාභරණ ගැනීමට පුතුන් වළ හාරන විට ඈ නැඟිට එන ආකාරය තවමත් මසිතෙහි නිදන්ගත වී තිබෙන්නේ එදා කුඩා දැරියකව සිටි මා තුළ හට ගත් භීතිය හා විස්මය නිසාය. රුක්අත්තන ලීයෙන් තැනූ පෙට්ටියක මෘතදේහය තැන්පත් කළ විට සර්ප විෂ ඊට උරා ගැනීම නිසා ඇය ප්‍රකෘති තත්ත්වයට පත් වූ බව එදා මට කියා දුන්නේ මගේ පියා ය. සැලෝලයිඩ් පටවල සර්ප දෂ්ටනයෙන් මිය ගිය අය පියවි සිහිය ලැබුවද සැබෑ ලෝකයේ නම් එවැනි සිදුවීම් දක්නට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට අසන්නට ලැබෙන්නේ සර්ප දෂ්ටනයෙන් මිය යන අවස්ථා ය.

ලංකාවේ සර්ප දෂ්ටනයෙන් වසරකට මිය යන සංඛ්‍යාව 100ක් පමණ වේ. ලංකාවේ සර්ප විශේෂ 105ක් පමණ සිටියද සෑම සර්පයකුම දෂ්ට කළ පමණින් මිය යන්නේ නැත. මෙම සර්ප විශේෂ උග්‍ර විෂ, සුළු විෂ සහ නිර්විෂ යනුවෙන් හඳුනා ගෙන ඇත. නාගයා, තිත් පොළඟා, පොළොන් තෙළිස්සා, තෙල් කරවලා, මාපිලා, මූදු කරවලා උග්‍ර විෂ සහිත සර්ප විශේෂ ලෙස සැලකේ.

“ඇත්තටම සර්ප විෂ කියන්නේ එන්සයිම මිශ්‍රණයක්. ගොදුරු ගිලපු අවස්ථාව, කෝපයෙන් ඉන්න අවස්ථාව ආදි වශයෙන් සර්පයා සිටින අවස්ථාව අනුව විෂ වෙනස් වෙන්න පුළුවන්. ඉස්සර නම් ලංකාවේ සර්ප දෂ්ටනය වාර්තා වුණේ කුඹුරු ආශ්‍රිතව. ඒත් දැන් කුඹුරුවල ගොයම් කපන්නත් යන්ත්‍රසූත්‍ර පාවිච්චි කරන නිසා සර්ප දෂ්ටන අවස්ථා වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. අද සර්ප දෂ්ටනය සිද්ධ වෙන්නේ මනුෂ්‍යයා සහ පරිසරය අතර ඇති ගැටුම නිසා.“ යනුවෙන් පැවසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න ය. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන කොමිසමේ සම සභාපතිවරයා වෙයි.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව සර්ප දෂ්ටනයකදී සිදු කෙරෙන ප්‍රතිකාරය වන්නේ සර්ප විෂ ලබා ගෙන සකස් කර ගත් ප්‍රතිවිෂ එන්නත් කිරීමය. මෙම එන්නත් දැනට ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙනි.

“ප්‍රතිවිෂ එන්නත් පිටරටින් ගෙන්වන විට අපට සංකීර්ණ ගැටලු මතු වෙනවා. මොකද ඉන්දියාව එන්නත් නිෂ්පාදනය කරන්නේ ඒ රටේ සර්පයන්ගේ විෂ අරං. ඒවා ලංකාවේදී වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලංකාවේ මූදු කරවලා හිටියාට ඉන්දියාවේ නැහැ. ඒ වගේ අවස්ථාවලදි අපි සතා හඳුනාගෙන ඒ සතාගේ ප්‍රමාණයට අනුමාන කරන විෂ අනුව එන්නත් ලබා දෙනවා. ඒත් ගැටලු මතු වෙනවා. ඒ නිසා තමයි ලංකාවට ගැළපෙන එන්නත් නිෂ්පාදනයක් ගැන අපි හිතුවේ.“ යනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ පැහැදිලි කළේය.

මීට අවුරුදු තුනකට පමණ පෙර මේ සම්බන්ධයෙන් විදේශ රටවල්වල පැවැත්වූ වැඩමුළු, සාකච්ඡාවලට සහභාගි වීමෙන් ලබා ගත් දැනුම ද ඔහුට මෙහිදී ප්‍රයෝජනවත් විය. මහාචාර්ය ජයන්ත රාජපක්ෂගේ ප්‍රතිවිෂ එන්නත් නිෂ්පාදනය කිරීමේ පර්යේෂණයට මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න සහ ජ්‍යෙෂ්ඨ සර්ප විශේෂඥ ඇන්සලම් ද සිල්වා යන අය ද දායක වූහ.

සර්පයන් සමඟ කටයුතු කිරීමේදී වනජීවි දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය බැවින් ප්‍රථමයෙන් එය ලබා ගැනිණි. ඉන්පසුව විවිධ ප්‍රදේශවලින් අල්ලා ගත් සර්පයන්ගේ විෂ විධිමත් ක්‍රමවේදයකට ලබා ගනු ලැබීය. ඒවායේ අන්තර්ගත විෂ ප්‍රමාණයන් මැනීමෙන් අනතුරුව අධි ශීතකරණයක විෂ තැන්පත් කර පවුඩර් බවට පත් කර ගෙන තිබේ. මේ සඳහා ඉන්දියාවේ රසායනාගාරයක සහයෝගය ලැබුණු බව ද සඳහන් කළ යුතුය.

“සර්ප විෂ හොඳින් දරා ගත හැකි සත්වයකු තමයි අශ්වයා. ඒ නිසා අපි අපේ පර්යේෂණයට අශ්වයන්ව තෝරා ගත්තා. මෙහිදී මාස 9ක් විතර මයික්‍රෝ ග්‍රෑම් ප්‍රමාණයේ සර්ප විෂ නිශ්චිත ක්‍රමවේදයකට අශ්වයන්ට එන්නත් කළා. අශ්වයන් තුළ ප්‍රතිදේහ නිෂ්පාදනය වූ පසුව පර්යේෂණ කරමින් නියමිත කාල වකවානුවේදී අශ්වයන්ගේ රුධිරය ලබාගෙන එහි ප්ලාස්මාව (ප්‍රෝටින්) විතරක් වෙන් කරගෙන අශ්වයාගෙන් ලබා ගත් රුධිරය පිරිසිදු කර නැවතත් අශ්වයන්ට දුන්නා. සර්ප විෂට එරෙහිව අශ්වයාගේ ශරීරයේ නිපදවා තිබුණු ප්‍රතිදේහ රුධිර ප්ලාස්මාවෙන් වෙන් කර ගත්තා. ඊටපස්සේ සාවුන් මීයන් යොදාගෙන අශ්වයන්ගෙන් ගත්ත ප්‍රතිදේහ එන්නත් කර නැවත ලබා දී සාර්ථකත්වය නිරීක්ෂණය කළා. මේ විදිහට අපි දිගින් දිගටම පර්යේෂණ කරලා තමයි සර්ප ප්‍රති විෂ එන්නත් නිෂ්පාදනය සාර්ථක කර ගත්තේ.“ යනුවෙන් විස්තර කළේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ ය.

මෙම ප්‍රතිවිෂ එන්නතේ ඇති විශේෂත්වය වන්නේ සර්පයා කවරකු වුවද මෙය ලබා දීමට හැකි වීමයි. මෙතෙක් ප්‍රතිවිෂ එන්නත් ලබා දීමේදී සර්පයා අනුමාන වශයෙන් හෝ හඳුනාගැනීම වැදගත් විය. එහෙත් මෙම එන්නත නිෂ්පාදනය කර තිබෙන්නේ ලංකාවට ආවේණික සර්ප විෂ එකතුවකිනි. එබැවින් මෙයින් ඇති විය හැකි සංකූලතා ඉතා අල්ප බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂගේ අදහස ය.

අද වන විට සාර්ථකත්වයට ළඟා වී ඇති මෙම ප්‍රතිවිෂ එන්නත් නිෂ්පාදනය තවත් මාස කීපයකින් ජනතාව වෙත ලබා දිය හැකි බව සඳහන් කළ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ, ලංකාවට වාර්ෂිකව අවශ්‍ය වන ප්‍රතිවිෂ එන්නත් 80,000ක් පමණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට හැකි වීම ඔවුන් ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බව පැවසීය. ඔහු එසේ පැවසීමට හේතු වූයේ එන්නත් ආනයනය වෙනුවෙන් වැය වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වන බැවිනි. එහෙත් මෙම ප්‍රතිවිෂ එන්නත් කර්මාන්තයක් ලෙස ලංකාවේ නිෂ්පාදනය කිරීමට පහසුකම් නොමැති වීමත් නිෂ්පාදනය කළ ද ඊට විශාල මුදලක් වැය කිරීමට සිදු වීමත් නිසා ප්‍රතිවිෂ ඉන්දියාවට යවා එහි නිෂ්පාදනය කිරීම වඩාත් ලාභදායි බව ඔහු සඳහන් කළේය.

මෙම එන්නත දියර සහ පවුඩර් වශයෙන් නිෂ්පාදනය කිරීමේ බලාපොරොත්තුවක් මහාචාර්ය ජයන්ත රාජපක්ෂ සතු ය. දියර වශයෙන් තිබෙන එන්නත් අධි ශීතකරණයක ගබඩා කළ යුතු අතර දීර්ඝ කාලයක් තබා ගත නොහැකි නිසා පවුඩර් මගින් ප්‍රතිවිෂ සකස් කිරීමට සැලසුම් කර තිබෙන්නේ ලංකාවේ අධි ශීතකරණ නොමැති ග්‍රාමීය රෝහල්වලට පවා මෙම එන්නත් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

“ඇත්ත වශයෙන් ම ලංකාවේ සර්ප දෂ්ටනයෙන් මිය යෑමට බලපාන කරුණු අතර ප්‍රතිවිෂ ඖෂධ නැතිකම ප්‍රධාන වශයෙන් බලපානවා. දුෂ්කර, ග්‍රාමීය රෝහල්වලට රැගෙන එන රෝගින්ට ප්‍රතිවිෂ එන්නත් දීමට හැකියාවක් නැහැ. රෝගියාව වෙනත් රෝහලකට රැගෙ යන විට අසාධ්‍ය වෙනවා. ඊට අමතරව ඉන්දියාවෙන් ගෙන්වන ප්‍රතිවිෂ ඖෂධය අසාත්මික වූ අවස්ථා තිබෙනවා. මොකද ඒ ඖෂධය දෙන්න සර්පයාව නිවැරදිව හඳුනා ගැනීමත් වැදගත්. සර්පයා හරිහැටි හඳුනා නොගැනීම නිසා ඖෂධය අසාත්මික වෙන්න පුළුවන්. ප්‍රමාද වී රෝහලට පැමිණීම සහ සර්ප විෂ අධික ප්‍රමාණයක් ශරීරගත වී තිබීම යන කාරණා නිසාත් රෝගින් මරණයට පත් වෙනවා. සර්ප දෂ්ටනයෙන් මිය යන ප්‍රමාණය බින්දුව කර ගැනීමට තමයි අපි උත්සාහ කරන්නේ. ප්‍රතිවිෂ එන්නත ලංකාවේ නිෂ්පාදනය කෙරෙනවා නම් අපිට ගොඩාක් ප්‍රශ්න අඩු කර ගෙන මිය යන ගණන අඩු කර ගැනීමට හැකිවේවි කියලා විශ්වාස කරනවා.“ යනුවෙන් මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න සඳහන් කළේය.

මෙහිදී ඔහු තවත් වැදගත් කරුණක් පැවසීමට අමතක කළේ නැත. ඒ, කුණකටුවන් දෂ්ට කළ විට ඉන්දියාවෙන් රැගෙන එන ප්‍රතිවිෂ ඖෂධය ඊට ප්‍රතිකාර සඳහා නොගැළපෙන බවයි.

“සාමාන්‍යයෙන් කුණකටුවාව සලකන්නේ මඳ විෂ සහිත සර්ප ගණයට. කුණකටුවෙක් දෂ්ට කළාම මැරෙන්නේ නැහැ. ඒත් වකුගඩු අකර්මණ‍ය වීම වගේ අතුරු ආබාධ ඇති වෙනවා. ඒනිසා කුණකටුවන්ටත් උග්‍ර විෂ සහිත සර්ප කොට්ඨාසයට උසස්වීමක් දෙන්න වේවි“ යනුවෙන් මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න පැවසුවේ සිනාසෙමිනි.

“විෂඝෝර සර්පයා - අත නෑර මෝඩයා“ යන ජනවහරට අනුගත වෙමින් සර්පයන් මරා දමන අයගේ ඊළඟ ප්‍රහාරය කුණකටුවන්ට ද එල්ල විය හැකිය. එහෙත් පරිසරයේ සමතුලිතතාව රැක ගැනීම සඳහා සර්පයන්ගෙන් ඉමහත් සේවාවක් සැලසෙන බව ද අප අමතක නොකළ යුතුය.

 

Comments