
ආර්ය සිංහල ඇඳුමෙන් හා ඔසරියෙන් සැරසී කොළඹ විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ගිය ශ්‍රී ලාංකික ප්‍රභූ පිරිසකට ඊට ඇතුළුවීමට අවසර නොදීම හේතුවෙන් සිංහල සංස්කෘතිය පෝෂණය කිරීම උදෙසා ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම මතු වූයේ ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස ලබා තිබුණ වකවානුවකය. එනම් 50 දශකයේ මුල් භාගයේදීය. ඒ වන විට සිංහල සංස්කෘතික අංගවලින් සමන්විත කලා උලෙළකට කොළඹ කාන්තා විද්‍යාලයේ ශාලාව වෙන් කර තිබියදී එය පැවැත්වීමට ඉඩ නොදීමේ සිදුවීමකට මුහුණ දී සිටි මෙම පිරිසට එය ද ප්‍රබල ලෙස බලපා තිබිණි. මෙම ප්‍රභූ පිරිස විසින් “සිංහල සංස්කෘතික ආයතනය” 1954 වසරේදී පිහිටුවනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ජේන් ඇම්. ද ෆොන්සේකාගේ සභාපතිත්වයෙන් ද ලොරානි සේනාරත්නගේ ලේකම් ධුරයෙන් ද සිරිමාවෝ බණ්ඩාරනායකගේ භාණ්ඩාගාරික ධුරයෙන් ද 1954 දී ඇරඹුණු සිංහල සංස්කෘතික ආයතනය එකල පවත්වාගෙන ගියේ වර්තමානයේ ගාමිණි මාතා වැඩිහිටි නිවාසය පිහිටි ස්ථානයේ කුලියට ගත් ගොඩනැඟිල්ලකය.
ව්‍යවස්ථාවක් යටතේ කටයුතු සිදු කෙරුණු මෙම සිංහල සංස්කෘතික ආයතනයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ සිංහල සංස්කෘතියේ උන්නතිය සහ පෝෂණය වෙනුවෙන් කටයුතු කිරීමය. ඒ සඳහා සාහිත්‍යය, කලාව සහ නිර්මාණ ශිල්පය, නැටුම්, නාට්‍ය, සංගීතය, ජන සම්මත සාහිත්‍යය, හස්ත කර්මාන්ත, චිත්‍රපට, මැහුම් යන අංශ වෙනුවෙන් අනු මණ්ඩල පත් කෙරිණි. මෙම අංශවලින් පන්ති, වැඩමුළු, දේශන පවත්වා දැනුම බෙදා දෙනු ලැබිණි. සුනේත්‍රා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ යන අය ද මෙම සිංහල සංස්කෘතික ආයතනයෙන් නැටුම් හැදෑරූ අය වෙති.
මේ අතරවාරයේදී කොළඹ මෙට්ලන්ඩ් පෙදෙස, කින්සි පාර, විජේරාම ආශ්‍රිත අක්කර 18ක භූමි භාගයක් 1963 දී ප්‍රභූ දානපතියකු විසින් රජයට පරිත්‍යාග කර තිබිණි. එවකට අගමැතිනිය වී සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අක්කරයකුත් පර්චස් 29ක වපසරියකින් යුතු භූමියක් සිංහල සංස්කෘතික ආයතනයට භාර දුන්නේ 1963 නොවැම්බර් 07 වැනිදාය. එහි තිබූ ගොඩනැඟිල්ලකට රැගෙන ආ සිංහල සංස්කෘතික ආයතනය පසුව “සුදර්ශිය” ලෙස හැඳින්වූවේ එම ගොඩනැඟිල්ලේ නාමය සුදර්ශිය වූ නිසාය.
ඇල්.ජේ.ඇස්. සෙනෙවිරත්න, ආර්.ජී. සේනානායක, එච්.ආර්. ප්‍රේමරත්න, ජස්ටින් සමරසේකර, ඩී.ඒ. අබේසේකර මුදලිඳු, ඔස්ටින් ද සිල්වා, මැටිල්ඩා ද සිල්වා, ඇම්.ඩබ්ලිව්.ඇෆ්. අබේකෝන් වැනි අය සභාපතිත්වය දරන සමයේ ලොරානි සේනාරත්න, එරින් සේනානායක, නාලනී වික්‍රමසිංහ, සුජාතා ජයවර්ධන, ජානකී විජේවර්ධන යන අය ලේකම් තනතුර හෙබවූහ.
1969 දී ලේකම් තනතුරට පත්වූ දයානන්ද ගුණවර්ධන 1981 වන තුරු වසර 11ක් මුළුල්ලේ ලේකම් ධුරයට නිතරගයෙන් පත්වූයේ සිංහල සංස්කෘතික ආයතනයට ඔහුගෙන් සිදු වූ අතිමහත් මෙහෙවර නිසාමය. එම වකවානුවේදී සභාපතිත්වය දැරුවේ නාලනී වික්‍රමසිංහය. දයානන්ද ගුණවර්ධන විසින් ‘ගජමන් පුවත’ පොතේ පිළිගැන්වීමේ “ගජමන් පුවත් බිහි වුණේ සුදර්ශියෙනි. සුදර්ශිය ගොඩනැඟීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ නාලිනි වික්‍රමසිංහ මැතිනියට මෙම පොත ගෞරවෙයන් පිරිනැමේ” යනුවෙන් සඳහන් කර තිබෙන්නේ ඇයගෙන් ද අනගි සේවයක් සුදර්ශියට ඉටු වූ නිසාය.
“මම සුදර්ශියට යන්න එන්න පටන් ගත්තේ 1975 ඉඳලා. මම ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් ආවාට පුහුණුවීම් කළේ සුදර්ශියේ. ඒ කාලේ චන්ද්‍රා කළුආරච්චි, මියුරි සමරසිංහ, සොමී රත්නායක වගේ අය නිතරම එතැනට ආවා ගියා. මම නවකයෙක්නේ. මම ඒ අය දිහෑ හරි ආසාවෙන් බලාගෙන හිටියා. නාට්‍ය ශිල්පීන්ට ඉතා අඩු මුදලකට පුහුණුවීම් කරන්න තිබෙන එකම තැන සුදර්ශිය. ලංකාවේ සතරදිග්භාගයේ ඉඳලා කොළඹට එන කලාකරුවන්ට වගේම නවකයන්ටත් නවාතැන්පොළ වුණේ සුදර්ශිය. හමුවීම සුදර්ශියේ අඹ ගහයට කියලා තමයි කතිකා කර ගත්තේ” යනුවෙන් පැවසුවේ ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා ය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ උත්සවයට යැවූ ඇරයුම් පතෙහි “සුදර්ශිය ඉදිරිපිට” යනුවෙන් සඳහන් කර තිබුණේ 1973 වන විට සුදර්ශිය ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වූ බැවිනි.
වසර 11ක් මුළුල්ලේ අගනා සේවයක් කළ දයානන්ද ගුණවර්ධනට “මට සමාවෙන්න” යනුවෙන් පවසා සිය බෑගයත් රැගෙන සුදර්ශියෙන් නික්ම යෑමට සිදු වූයේ බලය අල්ලා ගැනීමේ අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු නොකඩවා ලේකම් තනතුර හෙබවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය. එදා සුදර්ශියෙන් ගිය දයානන්ද ගුණවර්ධන මිය යන තුරුම නැවතත් සුදර්ශියට පැමිණියේ නැත.
“මම දයානන්ද ගුණවර්ධන මුණගැහෙන්න 1973 දී ආවේ සුදර්ශියට. ඒ කාලේ මම රජයේ ලලිතකලා විද්‍යාලයේ ඉගෙනගන්නවා. පාසල් කාලේදීත් ගීත නාටකවල රඟපාලා තියෙන නිසා මම ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නකොට දවසක් සරසවිය පත්තරේ පළ කරලා තිබුණ නරිබෑණා නාට්‍යයේ නරියාගේ චරිතයට කෙනෙකු අවශ්‍යයි කියලා. මම ඒකට අයදුම් කළා. මට සම්මුඛ පරීක්ෂණයට සුදර්ශියට එන්න කියලා පෝස්ට්කාඩ් එකක් එව්වා. මමත් සුදර්ශියට ගියා. නරි වෙන්න කැමති 20ක් 30ක් ඇවිත් හිටියා. නටන්න, රඟපාන්න, සිංදු කියන්න කියපු හැමදේම මම කළා. අන්තිමට දයානන්ද ගුණවර්ධන මගෙන් ඇහුවා පිනුම් ගහන්න පුළුවන්ද කියලා. මට පිනුම් ගහන්න බැහැ කිව්වාම එහෙම නම් නරියෙක් වෙන්න බැහැ කියලා මාව ගායක කණ්ඩායමට බඳවා ගත්තා. 1975දි නරිබෑනා නාට්‍යයේ කපුරාල චරිතයට මාව ගත්තා. එදා ඉඳලා අද දක්වාම කපුරාල මමයි. ඊටපස්සේ පත්මාවති නාට්‍යයේ පොතේගුරු වුණේ මමයි. මේ සේරම නාට්‍යවල පුහුණුවීම් කළේ සුදර්ශියේ. සුදර්ශිය මා ඇතුළු බොහෝ කලාකරුවන්ට හොඳ තෝතැන්නක් වුණා. අපිට හොඳ ආලෝකයක් ලැබුණා.” යනුවෙන් ප්‍රවීණ කලාකරුවකු වන බන්දුල විජේවීර විස්තර කළේය.
“මාමයි - බෑණයි” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර දෙපළට කලා ලොවේ දිගු ගමනක් යෑමට මඟ පෑදුණේ ද සුදර්ශිය නිසා බව තවදුරටත් සඳහන් කළේ බන්දුල විජේවීරය. ඒ, දයානන්ද ගුණවර්ධනගේ ජසයා හා ලෙන්චිනා නාට්‍යය සංගීතවත් කිරීමට සුදර්ශියට පැමිණි රෝහණ බැද්දගේ දැන හඳුනාගෙන මිතුරුවීමට සුදර්ශිය මුල්වූ බැවිනි.
“මම කලාකරුවකු වෙන්න අතපොත් තැබුවේ සුදර්ශිය මාතාවගේ හෙවණේ.” යනුවෙන් පවසමින් සංවාදයට මුල පිරුවේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ය. ඔහු ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“70 දශකයේ අග භාගයේ ළමා හා යොවුන් නාට්‍ය රංග පීඨයත්, ජර්මන් සංස්කෘතික ආයතනයත් ඒකාබද්ධ වෙලා නාට්‍ය වැඩමුළුවක් පැවැත්වුවා. නෝබට් ජේ. මයර් මහාචාර්යවරයාගේ මූලිකත්වයෙන් තමයි එය පැවැත්වුවේ. ඒකෙ සම්මුඛ පරීක්ෂණයට මම ගියේ සුදර්ශියට. මට තවම මතකයි දිග පෝලිමක හිටගෙන ඉඳලා මම සුදර්ශියේ අඹ ගහ ළඟට කිට්ටු කරපු හැටි. ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, මම ඇතුළුව 25 දෙනෙක් එදා තේරුණා. අපි හැමදාම සුදර්ශියට ඇවිත් පුහුණුවීම් කළා. සුදර්ශියේ අඹ ගහ, නුගගහ අපේ කලා ජීවිතයේ වැදගත් ස්ථාන.
කලාකරුවන්ගේ පුහුණුවීම් සඳහා ඉතා අඩු මුදලකට ලබා දෙන සුදර්ශිය, ආයතනයේ නඩත්තුව සඳහා මුදල් උපයාගත්තේ පන්ති පැවැත්වීමෙනි. ශාලා කුලියට දීමෙන් ලැබෙන මුදලිනි.
එහෙත් 1980 වර්ෂයේදී සුදර්ශිය නඩත්තු කිරීමට ප්‍රමාණවත් මුදල් නොමැති බැවින් එවකට අගමැති ආර්. ප්‍රේමදාස මහතාට සුදර්ශියේ යතුර බාර දුන් පුවතක් ද වාර්තා වෙයි. නමුදු රජයකට කලාව කිරීමට නොහැකි බව පැවසූ ආර්. ප්‍රේමදාස මහතා යතුර ආපසු එවා හිඟ මුදල් පියවූවා පමණක් නොව 1980 අංක 42 දරන පනතින් සිංහල සංස්කෘතික ආයතනය සංස්ථාපිත ආයතනයක් බවට පත් කළේය. එඩ්වින් ආරියදාස, ලීල් ගුණසේකර, ලක්ෂ්මන් ජයකොඩි, නිමල් ලක්ෂපතිආරච්චි, ජීවන් කුමාරතුංග වැනි අය මෑත භාගයේ සභාපතිත්වයට පත් වුවද සුදර්ශියට පෙර තිබූ ගෞරවය අඩු වූයේ බල අරගලයට තරග වැදුණු කණ්ඩායම් නිසාය. සභාපති නිලවරණෙය්දී ඡන්ද පෙට්ටි ඔසවාගෙන යෑම වැනි පහත් පෙළේ අප්‍රසන්න සිදුවීම් පවා සුදර්ශියනේ වාර්තා වූ අයුරු අපට අමතක නැත. කෙසේ වුවද නිහාල් සිල්වාගේ මූලිකත්වයෙන් එළිමහන් රංග පීඨය ඉදිවීම, ගාමිණී ෆොන්සේකා ශාලාව - සුගතපාල ද සිල්වා ශාලාව ඉදිකිරීම, නාට්‍ය පාඨමාලා වැනි පාඨමාලා පවත්වාගෙන යෑම අගය කළ යුතුය.
“මම නළුවෙක් වුණේ මහේන්ද්‍ර පෙරේරාගේ නාට්‍යකරණ පාඨමාලාව හදාරලා. ඒ පාඨමාලාව පැවැත්වුණේ සුදර්ශියේ. ඒ නිසා 2007, 2008, 2009, 2010 අවුරුදු 4ම ගත කළේ සුදර්ශියේ. නුග ගහ යට හඬ පුහුණුවීම් කරපු හැටි, රටනෙල්ලි කකා ඒ ගහයට සංවාද පුහුණු වුණ හැටි මට තවමත් මතකයි. සුදර්ශිය කියන්නේ මගේ රංග කලාවේ තිඹිරිගෙය.” යනුවෙන් පැවසුවේ මෑත පරම්පරාවට අයත් ජනප්‍රිය රංගන ශිල්පි විශ්ව කොඩිකාරය.
පරම්පරා ගණනාවක කලාකරුවන් බිහි කළ සුදර්ශිය පිහිටි කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ අංක 375 දරන ස්ථානයට අයත් පර්චස් 189 ක භූමිය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට යන පුවතක් ද අසන්නට ලැබේ.
මිට පෙර 2009 දීත් 2016 දීත් මෙම ස්ථානය ජපන් සංවිධානයකට දීමට දැරූ උත්සාහයක් අපේ මතකයේ ඇත. ඒ සෑම අවස්ථාවකම කලාකරුවෝ වීදි බැස ඊට එරෙහි වූහ. ඒ නිසාම එම උත්සාහයන් හකුළා ගැනීමට සිදු විය. “දේශපාලනික වශයෙන් ජාතීන් වශයෙන් කලාකරුවන් වෙනස් වෙන්න පුළුවන්. ඒත් සුදර්ශියේ හෙවණට එන කලාකරුවන් සියලුදෙනාම එකයි. එතැනදි අපි අතර මොනම ප්‍රශ්නයක්වත් භේදයක්වත් නැහැ. කලාව වෙනුවෙන් අපි සුදර්ශිය රැක ගත යුතුයි.” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසුවේය. ප්‍රවීණ රංගන ශිල්පී දීපානි සිල්වා විමසුවේ කොළඹ හත කලාකරුවන්ට අකැපද යනුවෙනි. අධ්‍යක්ෂ මණ්ඩල තුළ කුමන ගැටලු තිබුණ ද කලාකරුවන්ට සුදර්ශිය තිබිය යුතුය යන්න ඇගේ අදහස ය.
“සුදර්ශිය කලාකරුවන් වෙනුවෙන් හැමදාමත් තියේවි කියලා මම විශ්වාස කරනවා.” යන්න විශ්ව කොඩිකාරගේ අදහස විය.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සිංහල සංස්කෘතික ආයතනයේ වත්මන් සභාපති ඩබ්ලිව්. ජයසිරි කලාකරුවා සම්බන්ධ කර ගත් විට ඔහු පැවසුවේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සමඟ සාකච්ඡාවක් පවත්වා ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වන බවය.