සුපිරි වාහන කෑලිවලට විකුණන හොරු කල්ලියක් | සිළුමිණ

සුපිරි වාහන කෑලිවලට විකුණන හොරු කල්ලියක්

මත්තෙ­ගො­ඩින් සොර­කම් කරන ලද විසෙල් රථය පැහැර ගැනී­මට පැමිණි සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගත් මත්තෙ­ගොඩ පොලිස් ස්ථානා­ධි­පති සුමේධ විමල ගුණ­රත්න ප්‍රමුඛ නිල­ධාරි කණ්ඩා­යම
මත්තෙ­ගො­ඩින් සොර­කම් කරන ලද විසෙල් රථය පැහැර ගැනී­මට පැමිණි සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගත් මත්තෙ­ගොඩ පොලිස් ස්ථානා­ධි­පති සුමේධ විමල ගුණ­රත්න ප්‍රමුඛ නිල­ධාරි කණ්ඩා­යම

කොරෝනා වසංගතයත් සමඟ මෙරටට ආනයනය කරන ඇතැම් භාණ්ඩ සඳහා ආනයන සීමා පැනවීමටත් නැතිනම් ආනයනය තාවකාලිකව තහනම් කිරීමටත් පසුගිය කාලයේ රජය තීන්දු තීරණ ගැනිණි. ඒ කොරෝනා වසංගතය නිසාවෙන් රට තුළ උද්ගතව ඇති ආර්ථික අවපාතය යම් පමණකට හෝ අවම කරගනිමින් රටේ ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමේ අටියෙනි.

ඒ අනුව යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු රථවාහන ආනයනයද තාවකාලිකව නතරකොට අමතර කොටස් ආනයනයටද සීමා පැනවීමට රජය තීන්දු කළේය. එහෙයින් මේ වන විට රට තුළ පවත්නා රථවාහනවල මිල ගණන්ද යම් පමණක ඉහළ යෑමක් දක්නට ලැබෙන අතරේ රථවාහන අමතර කොටස්හි හිඟයක්ද වෙළෙඳපොළේ දක්නට වේ. එලෙස රථවාහන සහ අමතර කොටස් ආනයන සීමා නිසාවෙන් රට තුළ රථවාහන වංචා පිළිබඳවද බොහෝ ප්‍රදේශවලින් පසුගිය දිනවල වාර්තාවීම් සිදුවිණි.

එවන් රථවාහන වංචනිකයන් ඉහළ යාමට බන්ධනාගාර තුළ කොරෝනා ව්‍යාප්තියත් සමඟ සුළු වැරැදි නිසාවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි දසදහසකට අධික රැඳවියන් පිරිසක් ඇප මත මුදා හැරීමත් හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලදී සැල වේ.

ඇතැම් වංචනිකයන් විසින් අමතර කොටස් ලබාගැනීමට රථවාහන සොරකම් කරද්දී තවත් වංචනික පිරිස් විසින් රථවාහන ලියකියවිලිද වංචනික ආකාරයෙන් සකසා මහා පරිමාණයෙන් වංචා සිදුකර ඇත. ඒ අනුව පසුගිය හත්වැනිදා දහවල් කාලයේදී කඩුවෙල ප්‍රදේශයේදී වයස අවුරුදු 26ක පුද්ගලයෙක් මිරිහාන බස්නාහිර‍ දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය මාස කීපයක සිට මහා පරිමාණ රථවාහන වංචා සිදුකිරීම නිසාවෙනි.

එකී සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, නොයෙක් වර්ගයේ මෝටර් රථ සඳහා භාවිත කළ ලිපි ගොනු 40කට ආසන්න ප්‍රමාණයක් සහ වාහනවල අංක තහඩු ලබාගැනීමට ඉදිරිපත් කළ ව්‍යාජ පැමිණිලි පිටපත් රැසක්ම සොයා ගැනිණි. ඊට අමතරව වාහන ලියාපදිංචි කිරීම සඳහා උපයෝගී කරගන්නා ව්‍යාජ ලිපිලේඛන ගොනු කිහිපයක්ද හමු විණි.

සැකකරු පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී හෙළි වී තිබුණේ රථවාහන අංක තහඩු සහ ලිපිලේඛන පිළිබඳව ඔහු කලෙක සිටම විවිධාකාරයේ වංචා සිදුකර ඇති බවයි. විශේෂයෙන්ම සැකකරු විසින් යම් රථයක් හිමිකරුවකු විසින් කුලී රථ ආයතනයකට ලබාදුන් පසු එවැනි රථයක් ඔහු විසින් හෝ තෙවැනි පාර්ශ්වයක් විසින් ලබාගෙන ඇත. පසුව එම රථයේ තිබෙන සැබෑ අංකය ඉවත්කොට එවැනිම වර්ගයේ වෙනත් රථයක අංකයක් භාවිත කොට එම රථය හොර රහසේ විකුණමින් සැකකරු මහා පරිමාණ රථවාහන ජාවාරමක් සිදුකර තිබූ බවයි.

එසේම එම සැකකරු සන්තකයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බාරයේ තිබිය යුතු රථවාහනයක මුල් පිටපත් ගොනුවක්ද සොයා ගැනීමට බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකක නිලධාරින්ට හැකිවිණි. ඒ පිළිබඳවද පුළුල් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද කීවේය.

මේ අතරේ පසුගිය දෙවැනිදා තවත් 'අමුතු' තාලයේ වාහන සොර මගඩියක් වාර්තා වූයේ මත්තෙගොඩ පොලිස් වසමෙනි. පසුගිය දිනෙක මත්තෙගොඩ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 52ක් පමණ වටිනාකමින් යුත් සුඛෝපභෝගී වෙසෙල් වර්ගයේ මෝටර් රථයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ ජනප්‍රිය වෙබ් අඩවියක දැන්වීමක් පළ කෙරිණි. ඒ දුරකථන අංක කීපයක්ද සඳහන් කරමිනි. එම දුරකථන අංකවලට ඇමැතුම් රැසක්ම ලැබිණි. අනතුරුව දෙවැනිදා සවස හතට පමණ වෑන් රථයකින් අදාළ වෙසෙල් රථය පරීක්ෂාවට පුද්ගලයන් හතර දෙනෙක් පැමිණි බවකි.

ඒ මොහොතේ පැමිණි පුද්ගලයින් තිදෙනෙක් රථයේ හිමිකරු සමඟ රථය පරීක්ෂාවට (Test Run) යැයි පවසමින් හෝමාගම, නියඳගල ප්‍රදේශයට වෙසෙල් රථයෙන් ගමන් කෙරිණි. එලෙස ගමන් කරමින් සිටියදී එක්වරම රථයේ ගිය අයෙක් රථයේ හිමිකරුට පිහියක් පෙන්වා බියගන්වා රථයෙන් ඇද දමා රථය පැහැරගෙන ගිය බව මත්තෙගොඩ පොලිසියට පැමිණිල්ලක් කෙරිණි.

ඒ අනුව මත්තෙගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න ප්‍රමුඛ නිලධාරි කණ්ඩායම රථයේ හිමිකරුගේ ජංගම දුරකථනයට ලැබී තිබූ දුරකථන ඇමැතුමක අංකයක් ඔස්සෙ සිදුකළ සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පැය කීපයක් තුළ රතු පැහැති රථය වෙන්නප්පුව, කඩවත පාරේ නිවෙසක පිහිටි ගරාජයක තිබියදී සැකකරුවන් සයදෙනෙකු සමඟ පොලිස් බාරයට ගැනිණි.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් අනාවරණය වී තිබුණේ ලක්ෂ 52ක් පමණ වටිනාකමින් යුත් පැහැරගත් රථය ඉතාලියේ වසර විස්සකට අධික කාලයක් සිට මෙරටට පැමිණි පුද්ගලයකුට රුපියල් ලක්ෂ 13කට විකුණු බවයි. ප්‍රසංග වාස් නමැති ඉතාලියේ සිට පැමිණි පුද්ගලයා මෙරට ප්‍රසිද්ධ ෆිනෑන්ස් ආයතනයකින් අනතුරකට පත්ව තිබූ පැහැරගත් වර්ගයේම රථයක් මිලට ගෙන තිබුණේ රුපියල් ලක්ෂ විස්සකටයි. ප්‍රසංග මත්තෙගොඩින් පැහැරගත් රථය ලක්ෂ 13කට මිලට ගෙන එහි කොටස් ගලවා ෆිනෑන්ස් ආයතනයෙන් මිලට ගත් රථය අලුත්වැඩියා කිරීමට සැලැසුම් කර තිබිණි. දංකොටුව, වෙන්නප්පුව සහ කොස්වත්ත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 40ත් අතර පසුවන එකී වංචාකරුවන් පිරිස රථය පැහැර ගැනීමට පැමිණ තිබුණේ කුලියට ගත් සුදු පැහැති වෑන් රථයකිනි. රථය පැහැරගත් ප්‍රධාන සැකකරු කෙවින් නමැත්තාද ගරාජ් හිමියෙකි. ඔහු සිය ගරාජයේ වූ අලුත්වැඩියාවකට ගෙනැවිත් තිබූ රථයක අංක තහඩුවක් ගලවා ගෙනවිත් පැහැරගත් රථයට සවිකොට එම රථය වෙන්නප්පුවට රැගෙන ගොස් තිබුණේය.

මෙවැනිම තවත් මහා පරිමාණ රථවාහන ජාවාරමක් ඉකුත් ජනවාරි මාසයේදීද අනාවරණය කරගැනීමට මුල්ලේරියාව පොලිසිය සමත් විය. වාහන කුලී පදනමට ලබා දෙන ආයතනවලින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත්කොට වාහන ලබාගෙන ඊට ව්‍යාජ ලිපි ලේඛන සකසා වෙනත් පාර්ශ්වයන්ට විකුණන පුද්ගල කණ්ඩායමක් පිළිබඳව එහිදී අනාවරණය වූහ.

එම කණ්ඩායම රථවාහන කුලී ආයතනවලට ගොස් ව්‍යාජ රියැදුරු බලපත්‍ර, ව්‍යාජ හැඳුනුම්පත් හෝ ව්‍යාජ විදුලි බිල්පත්ද ඉදිරිපත්කොට එකී පිරිස කුලී ආයතනයට ආසන්නව වෙසෙන බවට අඟවමින් මෙකී ජාවාරම සිදුකර ඇත.

ඔවුහු එලෙස ලබාගත් වාහන පසුව කොටස්කර විකුණමින් නැතිනම් චැසි අංක සහ එන්ජින් අංක වෙනස්කොට වෙනත් පාර්ශ්වයන්ට විකුණා තිබිණි.

අදාළ රථවාහන කුලියට දුන් ආයතන ලියකියවිලිවල අදාළ ලිපිනයන්ට ගොස් පරීක්ෂාවේදී එවැනි ලිපිනයක් හෝ පුද්ගලයෙක් හෝ නැති බව හෙළි වීමත් සමඟ සිදුව ඇත්තෙ මහා පරිමාණ රථවාහන වංචාවක් බවට සැලවීමත් සමඟ පොලිසියට පැමිණිලි කෙරිණි. ඒ අනුව සිදුකළ විමර්ශන ඔස්සෙ මුල්ලේරියාව පොලිසිය මඟින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිණි. ඒ, යක්කල සහ මීරිගම පදිංචි දෙදෙනෙකි. සැකකරුවන්ගේ අනාවරණයන් අනුව ව්‍යාජ ආකාරයෙන් ලියකියවිලි සකසා විකුණන ලද රථවාහන 17ක්ද මුල්ලේරියාව පොලිසිය විසින් සොයා ගැනිණි. එසේම එකී සැකකරුවන් දෙදෙනාට ව්‍යාජ ලිපිනයන්, ලියවිලි සකසා දුන් ගම්පහ, මගලේගොඩ පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුහ.

Comments