
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ලංකාව පුරා පිහිටි විද්‍යා පීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට තීන්දු කිරීම ජාතික කර්තව්‍යක් වුවද,මේ වන විට එම ක්‍රියාදාමය අවුල් කිරීමට යම් පිරිස් උත්සාහ ගනිමින් පවතින බව ඊට නැඟෙන ප්‍රධාන චෝදනාවකි. ලංකාවේ විද්‍යා පීඨ ආරම්භ වන්නේ විද්‍යායතන පනතින් 1985 වසරේදීය.
මහවැලි, පස්දුන් රට, සියනෑ, යාපනය, මඩකලපුව,හාපිටිගම, වයඹ, නිල්වලා, රුහුණු හා සාරිපුත්ත ඇතුළු විද්‍යාපීඨ 19 මේ වන විට පාලනය හා යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ කොමසාරිස් යටතේ ඇති විද්‍යා පීඨ ශාඛාවෙනි. විද්‍යා පීඨ ආරම්භ කර මේ වන විට වසර 36 ක් ගෙවී ඇතිද එහි විෂය මාලා සංවර්ධනය හා සහතික පත්‍ර ප්‍රදානයට තවමත් බලය ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයටය. වසර දෙකක එම පාඨමාලාවෙන් අනතුරුව අධ්‍යාපනවේදි උපාධිය හිමිවන මෙම පිරිස ගුරු වෘත්තියේ නියැළෙති. මේ වන විට විද්‍යාපීඨවලට වසරකට සිසුන් 4000 ක් බඳවා ගන්නේ වසරකට විශ්‍රාම ගන්වන ගුරු පිරිසට සමගාමීවය. අධ්‍යාපන ඇමැතිවරයා යටතේ ඇති විද්‍යා පිඨ සම්බන්ධ ඕනෑම වෙනස් කිරීමකට හෝ සංවර්ධනය කිරීමකට විෂය භාර ඇමැතිවරයාට හැකි වන්නේය.
ලංකාවේ විද්‍යා පීඨයන්ට සමගාමීව තායිලන්තයේ ආරම්භ වූ පූර්ව සේවා ගුරු පුහුණු ආයතනය වසර 5 ක් යාමට ප්‍රථම විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් වුවද ලංකාවේ අනාගතය බාර ගැනීමට සිටින දරු පිරිසකගේ නැණ නුවන පැදිමේ ජාතික කර්තව්‍යයට මඟ පෙන්වන
අපේ ගුරු පරපුරට තවමත් එවැනි අවස්ථාවක් මතුව නැත. එසේම විද්‍යාපීඨ සම්බන්ධයෙන් මේ වන විට ගැටලු බොහෝමයක් තිබුණද මේ වන විටත් ඊට නිසි විසඳුම් ලැබී නැත්තේ ඊට කකුලෙන් අඳින පිරිස්ද ඇති බව මීට සම්බන්ධ පිරිසකගේ අදහසය.
“ මුල් අවුරුදු 10 අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ ශාඛාවේ හා ජාතික අධ්‍යාපන ආයතනයේ සිටියේ මේ විෂය සම්බන්ධ දැනුම ඇති පිරිස්. ඉන්පසු විද්‍යා පීඨ සම්බන්ධ දැනුමක් නැති පිරිස් පත්වුණා. ජාතික අධ්‍යාපන ආයතනය විද්‍යා පීඨ ගැන අවධානයක් යොමු කළේ නැහැ. වසර 11 කට පෙර හඳුන්වා දුන් විෂය මාලාවමයි අදටත් භාවිත කරන්නේ. ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන වුණේ නැහැ. ඒ වගේම මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටින්නේ තුන් දෙනයි. එයින් දෙදෙනෙකු පාසලක ගුරු පත්වීමක් හෝ ලබපු අය නෙමෙයි. අනිත් කෙනාට ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධ අත්දැකීම් නැහැ.
මේ විද්‍යාපීඨ සම්බන්ධ සියලු කටයුතු සිදුවන්නේ මේ තිදෙනා අතිනුයි. විද්‍යා පීඨ තුළ පි.එච්.ඩී උපාධි ලබාගත් 22 ක් ඉන්නවා. ඒ අයටත් උපදෙස් ගන්න වෙලා තියෙන්නේ මේ අයගෙන්. මේ අයගේ තීන්දු තීරණ මීට කොතරම් අදාළ වේද? එක් අවස්ථාවක මහරගම විද්‍යාපීඨයේ ව්‍යවසායකත්ව හා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කළා. අවුරුදු 3 ක පාඨමාලාවක් වුවත් මේ පිරිස් එය වසරකින් අවසන් කළා. විද්‍යා පීඨ ආචාර්ය මහාචාර්යවරු සිය පරීක්ෂණවලින් පෙන්වා දුන්නේ මේවා දියුණු වෙන්න නම් ඉහත ගැටලු විසඳා විශ්වවිද්‍යාල මට්ටමට උසස් විය යුතු බව. 2004 ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදි හිටපු විද්‍යා පීඨ ප්‍රධාන කොමසාරිස් නිහාල් හේරත් පවා මේ ගැන කිව්වා. එසේම මහාචාර්ය ප්‍රසාද් සේතුංග සිය පර්යේෂණයකදි පෙන්වා දුන්නේ විද්‍යා පීඨ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ යන ගමන කිසිදු ප්‍රගතියක් නැති බව. මේ සියල්ල නිසා අධ්‍යාපන ඇමැතිවරයා විසින් එකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ගත්තා, විද්‍යා පීඨ සියල්ල එක් විශ්වවිද්‍යාලයක් යටතට එක් කිරීමට. මෙම යෝජනාවට මේ වන විට නිතී කෙටුම්පත් කිරීමට ලක් වෙලා. ඒත් මේ කැබිනට් පත්‍රිකාව හකුළන්නට යම් පිරිසක් උත්සාහයක් දරමින් පවතිනවා. ඔහු වෑයම් කරන්නේ මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙන් නොගලවා එහිම තව දුරටත් පවත්වා ගෙන යාමටයි. “
ඒ සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එම්.කේ.එස් ධම්මික මිරිහානයි.
ගුරු අධ්‍යාපනය සම්බන්ධ මෙවැනි භාරදූර වගකිමක් මෙසේ ලඝු කොට තකන්නේ ඇයිද යන්න ඔවුන්ගේ තර්කය වී ඇත්තේය. මේ වන විට වසර 3කින් ඔවුන් ලබන්නේ අධ්‍යාපනවේදි උපාධිය පමණි. එයින් ගුරු වෘත්තිය හැරුණු කොට ඔවුන්ට වෙනත් වෘත්තියකට පිවිසීමට නොහැකිය. නමුත් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමේදී එම සහතිකය අධ්‍යාපනවේදී ගෞරව උපාධියක් දක්වා උසස් වෙයි. එවිට ජාත්‍යන්තරය දක්වා වූ රැකියාවන්හි නියැලීමට ඔවුන්ට හැකිවෙයි. මේ වන විට විද්‍යාපීඨවල ඉගෙනුම් ලබන සිසුන්ගෙන් 90% ක්ම කාන්තාවන්ය. පිරිමි සිසුන් ඉන්නේ 10% ක් පමණි. එසේ වීමට මේ සහතිකයට ලැබෙන පිළිගැනීම එකම හේතුව වී ඇත්තේය. එසේම විද්‍යා පීඨවලින් ඩිප්ලොමාව ලබා ගන්නා සිසුවෙක් 3-1 ශ්‍රේණියට පත්වීමක් ලැබෙද්දී විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනවේදී ගෞරව උපාධියක් ලබන්නෙකුට 2-11 පත්වීමක් ලැබන්නේය. කෙසේ වෙතත් මෙම සංගමයේ ප්‍රධාන චෝදනාව වී ඇත්තේ එම කැබිනට් අනුමැතිය ක්‍රියාත්මක කිරීම බලතල ඇත්තේ අධ්‍යාපන ලේකම්වරයාට බවය.
“ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ යමකුගේ පෞද්ගලික වුවමනාකම් මත නෙමෙයි. මීට අදාළ විද්වතුන් සියලු දෙනා එකම තැනකට එකතු වී පුළුල් සංවාදයක් හරහා මේ වෙනස සිදු කළ යුතුයි. මේ රටේ පිළිගත් අධ්‍යාපන යාන්ත්‍රණයක් තියෙනවා.එහෙත් බලධාරින් තමන්ගේ ගමනක් පමණයි යන්නේ. ජාතික අධ්‍යාපනය ආයතනය තමන්ගේ වගකිම් පවා හරිහැටි වටහා ගෙන නැහැ. ඒ නිසා මේ සියල්ල වළ පල්ලට වැටෙනවා. අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කළ යුතුයි. ඒ සඳහා මෙහි භෞතික, මානව සම්පත් හා විෂයමාලා සංවර්ධනය කළ යුතුයි. ඊට සුදුසු විද්වත් මණ්ඩලයක් පත් කළ යුතුයි. ...“
ඒ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යාපන අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායකය.
විද්‍යා පීඨ සිසුන්ද බලාපොරොත්තුවෙන් පසුවන්නේ මේවා අදාළ ප්‍රතිසංස්කරණයන්ට ලක් වීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ කාර්ය කෙරෙන තුරුය. ඒ සඳහා විද්‍යා පීඨයන්හි දැනට පවත්නා ගුණාත්මක බව තවත් ප්‍රවර්ධනය විය යුතු බව ඔවුන්ගේ අදහසය.
“ විද්‍යා පීඨයකින් බිහි වන්නේ පන්ති කාමරයට පමණක් සිමා වූ ගුරු පිරිසක් නෙමෙයි. ඔවුන් සියලු ප්‍රායෝගික දැනුමින් සන්නද්ධයි. එහෙත් මේ ගුරුවරුන්ට සාධාරණයක් ඉටු වී නැහැ. අපි ඉල්ලන්නේ විෂය මාලාව සංවර්ධනය කර අවුරුදු හතරකින් අපිව එළියට දාන්න. උසස් පෙළ කර විද්‍යා පීඨයකට බඳවා ගන්න වසර 2-3 ක් යනවා. මේ නිසා සිසුන්ගේ කාලය පවා නිරපරාදේ ගෙවී යනවා. මේ සියල්ල අවසානයේදී අපිට ලැබෙන්නේ ඩිප්ලෝමාවක් පමණයි. නැවතත් අධ්‍යාපනවේදී උපාධිය ගන්න තව කාලයක් වෙහෙසෙන්න සිදු වෙනවා.....“ ඒ සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුවෙකු වන කොරතොට ධම්මසිද්ධි හිමිය. කෙසේ වෙතත් විද්‍යා පීඨ සම්බන්ධව මතුවෙමින් පවතින මෙම චෝදනා සම්බන්ධයෙන් අදළ බලධාරීන් පවසන්නේ මෙවැනි අදහසකි. මේ වන විට විද්‍යා පීඨ භාර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන කොමසාරිස් ඊ.එම්.එස් ඒකනායක ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
“ විද්‍යා පීඨයන්හි විෂය මාලා නිර්දේශ හා ඇගයීම් කටයුතු කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන්. පසුගිය කාලයේ විෂයමාලා සම්බන්ධව සුළු වෙනස්කම් කිහිපයක් සිදු කළා. නමුත් පුළුල් වෙනසක් සිදුවූයේ නැහැ. නමුත් අධ්‍යාපනවේදි උපාධිය දක්වා ප්‍රවර්ධනය කිරීමේ කාර්ය මේ වන විට ආචාර්ය උපාලි සේදර රාජ්‍ය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් වූ කමිටුවක් හරහා සිදු කරනවා. 2022 සිට බඳවා ගන්නා සිසුන් අධ්‍යාපනවේදි උපාධිය වසර 4 දක්වා දිගු කරනවා. ඒ සමඟම විෂයමාලා සකස් කිරීම්ද සිදුකෙරෙනවා. විෂයමාලා සංශෝධනයේ ගැටලු තිබිය හැකියි. ජාතික අධ්‍යාපන ආයතනයේ යම් යම් අඩුපාඩු තිබිය හැකියි. එහි සම්පත්දායකයන් අඩුවිය හැකියි. එසේම විද්‍යා පීඨ ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න නියාමනය කිරීම සඳහා මේ සියලු අංශ එකතු වී විශේෂ ආයතනයක් පිහිටවිය යුතු බව මගේ අදහසයි.“ ඒ ප්‍රධාන කොමසාරිස් ඊ.එම්.එස් ඒකනායකයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ත අධ්‍යාපන රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මේ පිළිබඳ සිළුමිණ කළ විමසීමකදී පිළිතුරු දුන්නේ මේ අයුරිනි.
“ ජාතික අධ්‍යාපන ආයතනයේ යම් යම් අඩුපාඩු තියෙනවා. එම නිසා එහි තත්ත්වය අපි උසස් කළ යුතුයි. එය පාලනයට සුදුසු යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. ජාතික අධ්‍යාපන ආයතනය තුළ අධ්‍යාපන පීඨ පාලනය සඳහා පාලක සභාවක් ඇති කළ යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාලවල තිබෙන අවුල් සහගත බව විද්‍යා පීඨවලට ගෙන ඒම සුදුසු නැහැ. නමුත් විද්‍යා පීඨ ආචාර්යවරුන්ගේ වැටුප් අපි විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් තලයට සම කරනවා වගේම ඒ පහසුකම්ද ලබා දෙනවා. මෙහිදි අපි රජයේ වත්මන් ආදායම ගැනත් සැලකිලිමත්විය යුතුයි. සියලු දේ කළ යුත්තේ තිබෙන පහසුකම් අනුවයි. ඒ වගේම විශ්වවිද්‍යාලවලට වඩා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන විශේඥයන් විශාල පිරිසක්, එනම් 197 දෙනෙක් ඉන්නවා. ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ අධ්‍යාපනයේ හදවත. මේ ආයතනයට පිටුපා යාමේ අවශ්‍යතාවයක් නැහැ. දැනට පාසල්වලට වර්ග 14 ක ගුරුවරු අවශ්‍යයි. අපි මේ සිසු පිරිස බිහිකළ යුතුවා සේම මේ සියලු සිසුන්ගේ විෂයමාලා සංවර්ධනය කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමක් දක්වා යාමට අවශ්‍ය සුදුසුකම්වලින් ඔවුන් පරිපූර්ණ කළ යුතුයි...“ ඒ රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදරය.
කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් වසංගතය හේතුවෙන් විද්‍යා පීඨ සියල්ල වසා ඇති අතර විද්‍යා පීඨ සියල්ලේම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන පවත්වා ඇති බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එම්.කේ.එස් ධම්මික මිරිහාන පැවැසීය. ඔවුන් පවසන්නේ අධ්‍යාපන ආයතන වශයෙන් එවන් සත්කාරක සේවාවන්ට ලබා දුන් එකම අධ්‍යාපන ආයතනද මෙය වන බවයි. එවන් කැප කිරීමක් කළ මෙම ආයතනවලට ඔවුන් පැවැසූ කුඩම්මාගේ සැලකිලි හිමි වන්නේ ඇයිද යන්න ඔවුන්ගේ තර්කය වී ඇත්තේය.