ගමට රටට අභි­මා­න­යක් වූ ගාල්ලේ කඩ­ව­ත්ස­තර ප්‍රා:ලේ ඉනෝකා හිමාලි රත්නා­යක | Page 3 | සිළුමිණ

ගමට රටට අභි­මා­න­යක් වූ ගාල්ලේ කඩ­ව­ත්ස­තර ප්‍රා:ලේ ඉනෝකා හිමාලි රත්නා­යක

 හිමාලි රත්න­වීර තමාට හොඳම රාජ්‍ය සේව­ක­යාට හිමි සම්මා­නය; සීමා නිර්ණය කොමි­ෂන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය අතින් ලබා­ගත් මොහොත

 මගේ ජීවිතයට අරමුණක් ගෙනාවේ “මහ දිසාපති සහ පොඩි  දොස්තර” කියන  කෙටිකතාව

 

 

මම ‍අහිංසක තැන්පත් ගෑනු ළමයෙක් නම් නෙවෙයි. පොඩි කාලේ ඉඳලම හොඳට දඟ කළා. ක්‍රීඩා කළා. නිතරම බැණුම් ඇහුවා. මේ නිසාම මට පිරිමි අයත් එක්ක හරි හරියට වැඩ කරන්න ශක්තිය ලැබුණා. දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදර යද්දී පාරේ වැටිල තිබුණු පොල් ගෙඩියක් අහුලගෙන ගිහින් තාත්තාගෙන් හොඳටම බැණුම් ඇහුවා. ඒක නැවත තිබුණු තැනම ගෙනිහින් තියන්න කිව්වා. කාගෙවත් ඉඳිකට්ටක් තරම් දෙයක්වත් ගන්න එපා කිව්වා. මට එදා තාත්තා දුන් අවවාදය අදටත් මතක් වෙනවා. ඒ අවවාදයම තමයි මට මේ වගේ සම්මානයක් ලැබෙන්න හේතු වුණේ.” යැයි ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර පවසයි.

ඇය 2020 වර්ෂයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පැවැත්වූ සුපිළිපන් රාජ්‍ය නිලධාරියා තේරීමේ දී හොඳම රාජ්‍ය නිලධාරීන් 05 දෙනා අතරින් වැඩිම මහජන ප්‍රසාදයක් දිනාගත් සුපිළිපන් රාජ්‍ය නිලධාරී සම්මානය දිනාගත්තාය.

ඇය ඒ තත්ත්වයට ගෙන ආවේ ඇයගේ සේවය ලබාගත්, ඇගේ කාර්යක්ෂම සුපිළිපන් සේවය හොඳින් දන්නා ජනතාවයි.

1975 දී බදුල්ලේ පදිංචිව සිටි සෝමපාල රත්නවීර හා කරුණා ද සිල්වා යුවළගේ වැඩිමහල් දරුවා ලෙස මෙළොව එළිය දුටු ඉනෝකා හිමාලි සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් තිදෙනකුගේ ලොකු අක්කා වූවාය. ඇය හල්දුම්මුල්ල කනිෂ්ඨ විද්‍යාලය, හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලය, ශාන්ත මේරි විද්‍යාලය සහ තංගල්ල බාලිකා විද්‍යාලය යන පාසල්වල අධ්‍යාපනය හදාරා, 1994 වර්ෂයේ උසස් පෙළ සමත්වී ලිපිකරු විභාගය ලියා 1996 දී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපිකාරිනියක ලෙස සේවය ආරම්භ කළාය. ඒ ඇගේ පළමු රැකියාවයි.

“තාත්තා නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ මම රස්සාවට යනවට. කිව්වේම නැවත ඒලෙවල් කරන්න කියලා. නමුත් මට ආසාවක් තිබුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන්න. මේ හිතුවක්කාරකම නිසාම තමයි අද මම මෙතැනට ඇවිත් ඉන්නේ.”

තමන්ට රාජ්‍ය සේවයට පැමිණීමට මඟ පෑදුවේ “මහ දිසාපති සහ පොඩි දොස්තර” නමැති කෙටිකතාවක් බව ඇය පවසයි. දොස්තර මහත්මයකු තම පන්ති සඟයෙක් මහ දිසාපතිවී ගමට පැමිණෙන උත්සවයක් දැක ලියූ සටහනක් ලෙස රචනා කර තිබූ ඒ කෙටිකතාව කියවූ තමන්ට රාජ්‍ය සේවයට පැමිණීමේ ආශාවක් ඇති බූ බව හිමාලි කියයි.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපිකාරිනියක ලෙස කටයුතු කරමින් සිටින අතරම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරගැනීමට ඇය සමත්වූවාය. යහළු යෙහෙළියන්ගේ උදව් මැද අධ්‍යාපනය සම්පූර්ණ කරගත් ඇය ක්‍රීඩාව සඳහා තිබූ උනන්දුව අතහැරියේ නැත.

පාසල් කාලයේ සිට ම වොලිබෝල්, නෙට් බෝල් හා එල්ලේ ක්‍රීඩාවට දස්කම් දක්වන ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ක්‍රීඩා නායිකාව වූවා පමණක් නොව ක්‍රීඩාවෙන් දැක්වූ දස්කම් හේතුවෙන් ම විශ්වවිද්‍යාල වර්ණලාභී ශිෂ්‍යාවක ද වූවාය.

විශ්වවිද්‍යාලයේ දී ඇයගේ සිත දිනාගත් බන්දුල කනංකේ ලියනගේ ඇගේ ජීවන සහකරුය. බන්දුල ගේ හා හිමාලිගේ කැදැල්ල එළිය කරන්නේ දුව සහ පුතාය.

2001 වර්ෂයේ දී රුහුණ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගන්නා හිමාලි රත්නවීර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලිපිකාරිනියක ලෙස අගනුවර රැකියාවට ගියාය. ඉන් පසු අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමත්ව අධ්‍යාපන අමාත්‍යාංශයටත් එතැනින් විභාග දෙපාර්තමේන්තුවෙත් සේවයට එක්වන ඇය 2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සමත්ව තම ජීවන ඉලක්කය ජයගත්තාය.

විප­තට පත්වු­වන්ට ගංව­තුර ආධාර බෙද­න්නට ගිය අව­ස්ථා­වක්
 

 

ඇය ඉල්ලා සිටිියේ වනජීවී දෙපාර්තමේන්තුවේ තනතුරකි. වසර 05ක් පුරප්පාඩු වී තිබූ වනජීවී සහකාර අධ්‍යක්ෂ (පාලන) තනතුරට පත්වූ හිමාලි රත්නවීරට දැවැන්ත අභියෝගයක් ඉදිරියේ විය. වසර 05ක් පුරා සේවක

කාර්යක්ෂමතා කඩඉම් සකසා නැත. බඳවාගැනීම් සහ උසස්වීම් සිදුකර නැත. මේ සියල්ල සම්පූර්ණ කරන්නට ඇයට සිදුවූවාය.

“ඒක වෙනස්ම අභියෝගයක් වුණා. නමුත් අදටත් මගේ රාජ්‍ය සේවා ජීවිතයේ ලැබූ ලොකුම අත්දැකීමක්. පරිපාලන සේවයට ආපු පළමු අවස්ථාවේ දී ම වනජීවී දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න ලැබීම වාසනාවක් කියා හිතනවා. ඵලදායීතා ක්‍රමවේදය හඳුන්වාදෙන්නත් මම එහි දී කටයුතු කළා.”

ඉන් අනතුරුව තමන් ලිපිකාරිනියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හම්බන්‍තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ම සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙස පත්වීම් ලැබීම ඇය ලැබූ භාග්‍ය්‍යකි. ඇය පවසන්නේ හැදුණු වැඩුණු ගම් ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලැබීමත්, එවකට දිසාපතිවරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල වැනි මහත්මයකු යටතේ සේවය කිරීමට ලැබීමත් තම ජීවිතයට පන්නරයක් වූ බවයි.

ඉන් පසු දකුණු පළාතේ වඩාත් දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස සැළකෙන ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස ජනතා ගැටලු විසඳීමේ දී වඩාත් කාර්යකෂම සේවාවක් ලබා දීමට නිරන්තර වෙහෙසුණාය. වසර ගණනක් නොවිසඳී තිබූ ඉඩම් ගැටලු රැසක් විසඳූ හිමාලි රත්නවීර මහත්මිය තම කාලයේ දී ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඵලදායීතා සම්මාන උළෙලේ දෙවැනි තැන දක්වා ඔසවා තැබුවාය.

මේ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් රාජ්‍ය පරිපාලන පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගන්නා හිමාලි රත්නවීර මහත්මිය ජපානයේ ටෝකියෝ නුවර පිහිටි වසේඩා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පුහුණු ශිෂ්‍යත්වයක් ලැබ එහි ගියාය. ඇය පවසන්නේ ජපානයේ රැඳී සිටින කාලයේ දී සිදුවූ ස්වභාවික ව්‍යසනවල දී එරට ජනතාවට කටයුතු කරන ආකාරයත්, රජයේ සේවාවන් සිදුකරන ආකාරයත් අධ්‍යයනය කිරීම තමන්ට විශාල අත්දැකීමක් වූ බවයි. ජපානයේ වේල්ලක් කඩාගෙන යෑමෙන් ආපදාවට පත්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට උදවු කරන්නට ද ඇයට එහි දී අවස්ථාව ලැබී ඇත. යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ඇය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර සම්බන්ධීකරණ නිලධාරීවරිය බවට පත්වන්නීය. නොවිසඳුණු ගැටලු සොයා ඒවාට විසඳුම් ලබාදීමේ ජනපති ජංගම සේවයට විශාල දායකත්වයක් දක්වන ඇය බද්දේගම ප්‍රාදේශීය ලේකම් වරිය ලෙස පත්වීම් ලැබුවාය. ඇය එම තනතුරේ සිටිය දී පැමිණි 2017 මහා ගංවතුර හේතුවෙන් සිදුවූ විනාශය අතිමහත්ය.

 

 

හිමාලි රත්න­වීර සිය සැමියා හා දුව පුතා සමඟ

“මහා ගංවතුර සියල්ල විනාශ කළා. ගම් බිම් උන් හිටිතැන් නැති කළා. දහස් ගණනක් අවතැන් වුණා. බොහෝ දෙනෙක් හිතුවා කාන්තාවකට මේ වෙලාවේ වැඩ කරන්න අමාරු වේවි කියලා. අපේ සමාජයේ දැක්ම ඒක. නමුත් මට හැමදෙනාගෙන් ම විශාල සහයෝගයක් ලැබුණා. ගිං ගඟේ බද්දේගම නගරය ආසන්නයේ තියෙන ගංවතුර පාලන වේල්ලෙන් වතුර කාන්දුවෙන්න ගත්තා. බද්දේගම නගරය යටවීමේ අවදානමක් තිබුණු වෙලාවක වැලි කොට්ට කරගහන්න පවා අපේ නිලධාරීන්ට සිදුවුණා. අපිට ත්‍රිවිධ හමුදාවෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඇතැම් දවස්වල විනාඩි 05ක්වත් නිදාගන්න වුණේ නැහැ. ගෙදරට යන්නේ ඇඳුමක් මාරුකරගන්න විතරයි. ගැහැනියකටත් ඕනෑම අභියෝගයක් හමුවේ කටයුතු කරන්න පුළුවන් කියන එක මට සනාථ කරන්න හැකියාව ලැබුණා.”

ඉන් පසු ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ‍ලේකම් ධූරයට පත්වන ඇය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුළුමනින්ම ඩිජිටල් තාක්ෂණයට අනුගත කිරීමට කටයුතු කළාය. මේ වනවිට එහිි පැමිණෙන ඕනෑම පුරවැසියකුට ක්ෂණිකව සේවාවන් ලබා ගැනීමට හැකි අයුරින් එය නවීකරණය වී තිබේ. කොරෝනා වසංගතය හමුවේ ඇය ක්‍රියාකළ ආකාරය ද ගාල්ලේ පමණක් නොව අන් ප්‍රදේශවල ජනතාවගේ ද පැසසුමට ලක්විය.

රටම වසා දමා තිබිය දී ප්‍රදේශයේ ඕනෑම නිවැසියෙකුට ඇය අමතා අවශ්‍යතා ඉටුකරගත හැකිවන පරිදි කාර්යක්ෂම යාන්ත්‍රණයක් ගොඩනැඟීමට ඇය කටයුතු කළාය.

රටටම ආදර්ශයක් වූ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරිනියක වන ඇය පවසන්නේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු දැරීම පුරුෂයන්ට පමණක් සීමා වී තිබූ යුගය දැන් අවසන් බවයි.

“ජනතාවගේ පොදු ප්‍රශ්න විතරක් නෙවෙයි පුද්ගලික ප්‍රශ්න පවා කියන්නේ ප්‍රාදේශීය ලේකම්ට. කාන්තාවක් ජනතාවගේ ප්‍රශ්න දිහා බලන්නේ මවක්, සොහොයුරියක්, මිතුරියක් විදියට, පිරිමි කෙනෙකුට වඩා සෞම්‍ය බවක්, කරුණාවන්ත බවක් එතැන තිබෙනවා. මම මේ බව හොඳින් තේරුම් ගෙන ඉන්නේ. මගේ කාර්යාලයේ හැමෝටම සොහොයුරියක් වගේ සලකන අතර මගේ ළඟට සේවය ලබාගන්න එන හැමෝටමත් මම මවක් හැටියට, දුවෙක් හැටියට, සහෝදරියක් හැටියට සලකන්න පුරුදුවෙලා ඉන්නවා. ඒ තමයි මේ සාර්ථකත්වයේ රහස.”

ඇය පවසන්නේ මේ ගමනේ දී තමන්ගේ සාර්ථකත්වය පසුපස සිටි අයෝමය ශක්තිය වූයේ තම සැමියා බන්දුල ලියනගේ බවයි. සංචාරක ‍හෝටලයක සාමාන්‍යාධිකාරීවරයකු ලෙස කටයුතු කරන ඔහු තම රාජකාරී පවා පසෙක දමමින් ඇගේ අවශ්‍යතා වෙනුවෙන් සෑම විටම කැපවූයේය. ඔහු නොවන්නට ඇයට මෙවන් ගමනක් යාම අසීරුවනු ඇත.

“ප්‍රාදේශීය ලේකම්වරයෙක් හැටියට අපිට හැමදේටම යන්න වෙනවා. දිවා රාත්‍රී කියලා වෙනසක් නැහැ. සමාජයේ දේශපාලනඥයාගේ සිට සියලු දෙනා සමඟ කටයුතු කරන්න‍ වෙනවා. ඒ සෑම අවස්ථාවක දී ම අපේ ආත්ම ගරුත්වය ඉතාමත් වැදගත්. මගේ සැමියා නිතරම මාත් එක්ක සිටීමත්, සෑම අවස්ථාවක දී ම ඔහු මා සමඟ එක්ව කටයුතු කිරීමත් නිසා මගේ රාජකාරී කරගෙන යන්න ඉතා පහසු වුණා. ගෙදර තුන්වේලටම වෙන වෙනම කෑම සකස් වෙන්නේ මගේ අතින්. උදවුවට කෙනෙක් හිටියත් අම්මා කෙනෙක් හැටියට ඒ දේවල් අතපසු කරන්න මම කැමති නැහැ.

නමුත් දරුවන්ගේ අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු ගැනනම් හොයා බලන්නේ මහත්තයා. පුතයි දුවයි මේවා තේරුම් අරගෙන ඉන්නේ. ඒ අයගේ සහයෝගය නොවන්නට මට මේ වගේ සේවයක් ජනතාව වෙනුවෙන් කරන්න ලැබෙන්නේ නැහැ.” ඇය පවසයි.

බදුල්ලේ උපත ලබා එහි ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ නිසාම දෙමළ භාෂාව හොඳින් කතා කිරිමේ හැකියාව ද හිමාලිට ඇත. සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් ම වැඩ කිරීම ජනතාවට වඩාත් පහසුවක් වී තිබේ. ඇය පවසන්නේ ද මේ නිසා තමන්ට රටේ ඕනෑම ප්‍රදේශයක සේවය කළ හැකි බවයි. එසේ වුව ද තම සැමියාගේ උපන් ගම වූ ගාල්ලට ඇය වඩාත් ආදරය කරයි.

“අපිට රජයෙන් වැටුප් ගෙවන්නේ මේ රටේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ දාඩිය කඳුළුවලින්. මගේ එකම බලාපෙ­ාරොත්තුව හැකිතාක් ඒ අහිංසක ජනතාවට සේවය කිරීම. නෑ බෑ වචන මගේ ළඟ නැහැ. නමුත් බැරි දේකට බැහැ කියන්නත් නැති දේකට නැහැ කියන්නත් මට පුළුවන්. ඒ නිසා කවදාවත් දේශපාලන බලපෑම්වලට මම යටත් වෙලා නෑ. දේශපාලකයන් කරන හැම යෝජනාවක්ම අපිට ඉෂ්ට කරන්න බැහැ. නමුත් අපි සංවර්ධන කටයුතුවලට ජනතාවට සේවයක් වෙන වැඩවලට නිලධාරීන් විදියට විරුද්ධ විය යුතුත් නැහැ. කිසිම බලපෑමකට යටත් නොවී ජනතාවට සේවය කිරීම තමයි එකම පරමාදර්ශය විය යුතු. එවිට ජනතාව අපි සමඟ සිටිනවා. මේ අවස්ථාවේ සියලු දෙනා මා සමඟ සිටිමින් ඒ බව සනාථ කළා.”

ඇය පවසන්නේ වරදාන වරප්‍රසාදවලට යටත් නොවී දේශපාලන බලපෑම්වලටත් නතු නොවී ජනතාව වෙනුවෙන් උපරිම සේවය කිරීමට නිරන්තරව කැපවී සිටීම නිසා මේ සම්මානය තමන්ට ජනතාව විසින් ලබාදුන් සම්මානයක් බවයි.

“මේ සම්මානය ලැබුණේ මට වුණාට ඇත්තටම ඒක ජනතාවට ලැබුණු සම්මානයක්. මහජනතාව සමඟ සමීපව වැඩ කිරීමෙන් ලැබුණු දෙයක්. මෙය අයිති මට නෙවෙයි. මගේ සේවය ලබාගත් ජනතාවට, යැයි ඇය අවසන් වශයෙන් කීවාය.

Comments