පෙලඹවීමෙන් සිදු වන්නේ කුමක්ද? | සිළුමිණ

පෙලඹවීමෙන් සිදු වන්නේ කුමක්ද?

‘සන්නිවේදනාත්මක පෙලඹවීම අද සන්නිවේදන අධ්‍යයනයේ ප්‍රධාන පෙලේ සංකල්පයක් බවට පත් වී තිබෙනවා. ඉන් අදහස් කරන්නේ කෙනෙකු කියවන සන්දේශයකින් හෝ ඇහෙන් සන්දේශයකින් හෝ දැනෙන හා හිතෙන හෝ දකින සන්දේශයකින් කිසියම් ප්‍රමාණයක් පෙලඹවීමක් ඇති වීම යි. එය වටහා ගැනීමට භාවිතයට ගැනෙන යෙදුම හඳුන්වන්නේ සන්නිවේදනාත්මක පෙලඹවීම යනුවෙන්. ඉංග්‍රීසියෙන් ලියැවී තිබෙන්නේ පර්සුවේෂන් (persuasion) නැතිනම් මෝටිවේෂන් (motivation) යනුවෙන්. වෙනත් යෙදුම් වලිනුත් ඇතැම් විටෙක හඳුන්වන්නට බැරි නැහැ.’ ‘අපූරු සිත් ඇද බැඳගන්නා කවියක් හෝ කතාවක් කියවන කෙනෙකුට ඒ කවියේ හෝ කතාවේ හරය හා රසය ඉක්මවා කසියම් මානසික පෙලඹවීමක් ඇති වෙන බව වචන වලින් පැවසීම අපහසුයි.

ඒ නිසා එය හඳුන්වන්නේ කෙනෙකු තුළ ඇති වන පිබිදීමක් (awakening) ලෙස ය. මේ පිබිදීම හුදු උත්තේජනයක් ද? උත්තේජනයක් : (stimulus) සමඟ හෝ එම උත්තේජනයේ ප්‍රතිඵලයක් හෝ අතුරු ඵලයක් ලෙස අත්පත් වන මානසික ප්‍රතිචාරයක් (response) මේ නිසා පෙලඹවීම එක්තරා පිබිදීමක් වශයෙන් සලකන්නට බාධාවක් නැහැ.’

‘ඒ වාගේම තමයි අපට මධුර ස්වරයෙන් ඇසෙන ගීතයක්. ගීතයක පද වලට අතිරේක උපතක් ලබා දී එය හුදු පදමාලාව ඉක්මවූ නාද මාලාවක් වීමෙන් ශ්‍රාවකයාට (listener) අත්පත් වන්නේ හුදු නාදා මාලාවක් නොවේ. එසේ නම් එය කුමක්ද?’

එය වදනින් විස්තර කළ නොහැකි අභ්‍යන්තර පෙලඹවීමක් ලෙස සැලිය නොහැකි ද? මේ තත්වය ගීතයකට පමණක් සීමා කිරීම අපහසු යි. අප ප්‍රිය කරන කනින් ඇසෙන වෙනත් සන්දේශ රැසක් ඇති බව අමතක නොකළ යුතු යි.

හිත් ඇද බැදගන්නා කනට ඇසෙන් දේශනයකින්, කතන්දරයකින් ඒ ටික සිදු වෙනවා.

‘මේ කියන පෙලඹවීම අපේ ඉඳුරන් මඟින් අපට අත්පත් කර දෙන්නේ අපේ චර්යාවන් (behaviour) තිබූ තත්වයෙන් වෙනස් කරවීමක් බව අපට මතුපිටින් වටහා ගන්න බැරි වෙනවා.

ඒත් නොදැනීම හෝ අපේ චර්යාව වෙනස් වෙන බවක් අපට දැනෙනවා. ඇතැමුන්ට තම චර්යාවන් වෙනස් කරගැනීමට හේතුකාරක වන්නේ තමන්ගේ ගුරු හෝ දෙගුරු ඇසුර වෙන්නට පුළුවන්. පාසැලේදී හෝ විශ්වවිද්‍යාලයේ දි හෝ වෙනත් විද්‍යා පීඨයකදී හෝ තමන් ඇසුර ලබන්නේ ගුරුවරුන්ගේ. ඔවුන් කරන කියන දේවල් වලින් බලපෑමක් ඇති වෙනවා. එය ගුරු ඇසුරේ ප්‍රතිඵලයක්.’

‘අනිත් අතට තම නිවසට පැමිණි විට දෙගුරු ඇසුර ලැබෙනවා. අම්මලා, තාත්තල, කරන කියන දේවල් වෙනත් අයුරකින් බලපානවා. එමගිනුත් කිසියම් පෙලඹවීමක් ඇති වෙනාව.

මේ පෙලඹවීමත් විටෙක වදනින් ප්‍රකාශ කිරීම අපහසු යි. මේ නිසා ඒ සාධක දෙකම සැලකිය යුතු වන්නේ සන්නිවේදනාත්මක පෙලඹීම් (persuasion through communication) යන දෙසුමෙන්. මේ සාධක දෙකත් තවත් වෙනස් ආකාරයකින් වුවද වෙනස් වන්නට බැරි නැහැ. තමන් රැකියාවේ නියුතු තැන් වලින්. තමන්ට නිතර නිතර හමු වන පුදුගලයන්ගෙන් මේ වෙනස්කම් සිදු වන්නට පුළුවන් බවත් වටහා ගත යුතු යි.

‘ගුරුන්ගෙන් ඇසෙන දේ කෙරෙහි සිත් යොමු කරන සිසුන් ඇතුළත් පෙලඹුමක් ඇති කෙරේ. වෙදුන්ගෙන් ඇසෙන දේ ගිලනුන්ට යොමු කෙරේ. එයත් ගිලනුන් සිතේ පෙලඹුමක් ඇති කෙරේ. ගිලන්ගත නොවී ගිය සමාජය බිහි කෙරේ.

සිත්තරුන් අඳින දේ රසික සිත් ඇඳ බැඳේ. රූපණය, ගායනය රසික සිත් මත් කෙරේ. ආගමට, ධර්මයට, භක්තියට, නැමුණු සිත යහපතට පෙලඹීම ඉගැන්වේ සදාතන.’ ‘මේ නිසා සන්නිවේදනාත්මක පෙලඹවීම විටෙක යහබත් ය. විටෙක අයහපත් ය. එහෙත් පෙලඹවීමකින් තොරව සන්නිවේදනයක් නොපවතින බව ද වටහා ගත යුතු ය.’

Comments