
ඉකුත් සතිය ආරම්භයේදී සමස්ත ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 11 ඉක්මවා ගියේ 16 වැනිදා පමණක් ලොව පුරා ආසාදිතයන් 336,000කට අධික පිරිසක් හඳුනා ගැනීමත් සමඟය.
ඒ වන විට වාර්තා වූ ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 2,429,707කි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ ගෙවුණු සතිය තුළදී වෛරස ආසාදනය වීමේ ප්‍රතිශතය සියයට 16කින් පහළ බැස ඇති බවය.
එම සංවිධානයේ වාර්තාවට අනුව ඉකුත් සතියේදී නව ආසාදිතයන් මිලියන 2.7ක් වාර්තා වී ඇති අතර පෙර සතියට සාපේක්ෂව එය ලක්ෂ 5ක අඩුවීමකි. මේ අතර බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව වෛරස ප්‍රභේදය මේ වන විට රටවල් 94කටත් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ප්‍රභේදය රටවල් 46කටත් බ්‍රසීලයෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය රටවල් 21කටත් ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලාංකිකයන්ට කොවිඩ් 19 වසංගත බිය වැඩියෙන් දැනෙන්නට පටන් ගෙන තිබේ.
ඊට හේතුව මේ දිනවල කොවිඩ් නව වයිරස් ප්‍රභේදයට අයත් ආසාදිතයන්ද රටේ තැන්තැන්වලින් වාර්තා වෙමින් තිබීමය.
කෝවිඩ්-19 වයිරසය මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්‍ට්‍රාසෙනෙකා එන්නත මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඉකුත් 15 වැනිදාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි එය සිදු කෙරෙන අතර එහි මුල් අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කොට එහි අවදානම් කලාපවල සිටින පිරිස හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව 17 වැනිදා බස්නාහිර පළාතේ පුද්ගලයන් 57,000කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් එන්නත ලබාදීමට නියමිතව තිබිණ. ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙසය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම එන්නත ලබාදීම ආරම්භ කළේ පසුගිය 16 වැනිදා නාරහේන්පිට යුද හමුදා රෝහලේදීය. ඉකුත් 16 වැනිදා ආරම්භ කළ එම වැඩසටහන යටතේ මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල්, අනුර ප්‍රියදර්ශන යාපා, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න හා ගීතා කුමාරසිංහ යන මන්ත්‍රීවරු එන්නත ලබාගත්හ. කථානායක මහින්ද යාපා අබේවර්ධන එන්නත ලබාගත්තේ ඉකුත් 17 වැනිදා නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදීය. එදින පස්වරුව වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනකු එන්නත ලබාගෙන තිබුණි.
![]() |
කොවිඩ් මර්දන එන්නත ලබාගනිමින්
|
බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ආරම්භ වූයේද ඉකුත් 16 වැනිදාය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ දිවයින පුරා බන්ධනාගාර නිලධාරින් 5100ක පිරිසකට එන්නත ලබාදීම සිදු කෙරෙන බවය. මේ අතර ඉකුත් 17 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේ 425කටද කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබිණ.
යම් යම් සංශෝධනවලට යටත්ව ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනයෙන් කෙරෝනා මර්දන එන්නත් මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට එළැඹීමට නීතිපතිවරයා විසින් රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවට නීතීපතිවරයාගේ අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ.
ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැලකිල්ලට ගනිමින් මහජනතාව අනවශ්‍ය ගමන්බිමන් යෑමෙන් වැළකී සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි පැවසීය. පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර විසින් සොයාගත් එම නව වයිරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇතැයිද හෙතෙම පැවසීය. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය නොකළහොත් ඉදිරියේදී දැඩි තීරණ ගැනීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පසුගියදා පැවසීය. කොවිඩ් රෝගීන් වැඩිවෙන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය පාලනය නොකරන බවට චෝදනා එල්ලවන බවත් ජනතාවගේ සහයෝගය නොමැතිව මෙය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ ත්‍රිවිධ හමුදාවට පාලනය කළ හැකි දෙයක් නොවන බවත් හෙතෙම පැවසීය. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 77,000 සීමාව පසු කරද්දී මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව පසුගිය 17 වැනිදා වාර්තා විය. ඒ අනුව එම දිනය තුළදී පමණක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 13කි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල දත්ත වාර්තා අනුව පෙබරවාරි 1 දා සිට 17 වැනිදා දක්වා පමණක් කොවිඩ් මරණ 108ක් වාර්තා වී තිබිණ. මේ වන විට මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 298ක්, 40-60ත් අතර 92 දෙනකු සහ 10-40ත් අතර 16 දෙනකු මරණයට පත්ව ඇත. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මෙතෙක් සියයට 40ක් පැවති කොවිඩ් ව්‍යාප්තියේ අවදානම මේ වන විට සියයට 60 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පසුගියදා 17 වැනිදා නිවේදනය කළේය.
ඒ සමඟ එම බස්රථවල සේවය කළ රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ සේවයද අත්හිටු වීමට පියවර ගෙන තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආසන ගණනට මගින් ප්‍රවාහනය කරන ලෙසට සෞඛ්‍ය අංශ මඟින් ලබාදී ඇති උපදෙස් උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් ප්‍රවාහනය කරන බවට පසුගිය කාලය පුරා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන ප්‍රාදේශීය කාර්යාල හතකට පැමිණිලි රැසක් ලැබී ඇත.
ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගේ උපදෙස් මත මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා කොළඹ අංක 4 කාර්යාලය යටතේ පාලනය වන පෞද්ගලික බස් රථ 1078ක් පරීක්ෂාවට ලක් කිරීමේදී ඉහත කී ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස්රථ 51 හමුවී ඇත. නිවෙස්වල නිරෝධායන සහ ස්වයං නිරෝධායන සඳහා යොමුව සිටින පුද්ගලයන් සෞඛ්‍ය බලධාරීන් විසින් එම නිවසේ අලවා ඇති දැන්වීම ඉවත් කරන තෙක් නිවෙස්වලින් බැහැර යෑම සම්පුර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
නිරෝධායනයට යොමු කර සිටින පිරිස් එම නිවෙස් හා පරිශ්‍රවලින් බැහැරට පැමිණෙන බවට පොලිසිය වෙත තොතුරු ලැබී ඇති බවත් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීරෝධායන නීතිය යටතේ ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.
නිරෝධානයට ලක්කර ඇති නිවෙස් හා එහි පුද්ගලයන් සම්බන්ධයෙන් නිතර විමසිල්ලේ සිටින ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය තැනැත්තාගේ පියා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඉකුත් 18දා තීන්දු කළේය. නීතිමය පදනමක් නැති බවට නීතිපතිවරයා ගෙන ආ විරෝධතාව පිළිගනිමින් අධිකරණය එම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලදී. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් නැමැත්තකු විසින් එම පෙත්සම ගොනුකර තිබුණි.
මේ වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයන් 9,268 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය 19 වැනිදා ප්‍රකාශ කළේය. එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සති අන්තයේද එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම හා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසත් ආවරණය වන පරිදි තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල එන්නත්කරණය සිදු කිරීමට නියමිතය.
ඡායාරූප- දුෂ්්‍මන්ත මායාදුන්නෙ