ඇඟිලි සට­හන් ඔස්සේ ඝාත­කයා හසු­කර ගත්තේ මෙහෙ­මයි | Page 2 | සිළුමිණ

ඇඟිලි සට­හන් ඔස්සේ ඝාත­කයා හසු­කර ගත්තේ මෙහෙ­මයි

විත්තිවාචකය
විත්තියේ නීති­ඥ­ව­ර­යාගේ හරස් ප්‍රශ්න­ව­ලින් මහා­චාර්ය සාක්ෂිය බිඳ වැටුණු හැටි
 
අප­රා­ධ­ක­රු­වන් දෙදෙ­නා­ටම මරණ දඬු­වම  
 
 ලේ පැල්ල­මක් පැය­කින් වේළෙ­යිද? 
 
 

 

පරිවේෂණාත්මක සාක්ෂි හා විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව පසුගිය දශක තුනක කාලයක් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න නම් වූ ඔහු ලංකාවේ මෙතෙක් ආන්දෝලනයකට තුඩු දුන් නඩු බොහෝමයක රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකි. තවත් විටක ඔහු ජූරි සභාව ඇමතීමේ විශිෂ්ටයකු විය. මිරුසුවිල් නඩුව, ඇඹිලිපිටිය සිසු ඝාතනය, කොබෙයිගනේ අවුරුදු කුමාරි ඝාතනය, රගර් ක්‍රීඩක ටෝනි මාටින් ඝාතනය, හෝකන්දර සය පුද්ගල ඝාතනය, බටලන්ද කොමිසම, විනිසුරු සරත් අඹේපිටිය, කටුනේරිය ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතන වැනි රට හෙල්ලූ නඩු වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය විශිෂ්ටය. සිළුමිණ ඔබ වෙත ගෙන එන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නගේ ඒ මතකාවර්ජනයයි.

 

ටෝනි මාටින් නඩුවේ විත්තිකරුවන්ගේ ඉල්ලීම පිට මහාධිකරණ නඩුව විභාග කළේ ජූරි සභාවක් නැතිව විනිසුරුවරයා ඉදිරිපිටදීය. පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීමට කිසිදු ඇසින් දුටු සාක්ෂියක් නොතිබුණු අතර සියලු සාක්ෂි රැඳි තිබුණේ පරිවේෂණීය සාක්ෂි මත පමණි. පැමිණිල්ල තම නඩුව අවසන් කිරීමෙන් අනතුරුව විනිසුරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තියට අනුව විත්තිකරුවන්ට විත්ති කූඩුවේ සිට කැමති නම් ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දුන් අතර 1 හා 2 වැනි විත්තිකරුවෝ විත්ති කූඩුවේ සිට තමන් නිර්දෝශී බව පවසමින් මිනි මැරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කළ ආකාරය පසුගිය ලිපියේ අවසානයේ සනිටුහන් විය. මෙහිදි දෙවැනි විත්තිකරු කියා සිටියේ අදාළ ඝාතනය සිදු වූ දින තමා කොළඹ ප්‍රදේශයේ ක්ලබ් එකට ගිය බවත්, අනතුරුව තම කාරයෙන් නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ සුරතලයට ඇති කරන බල්ලා තම ඔඩොක්කුවට පැන්න බවත්, බල්ලාගේ නිය පහරින් තම අත තුවාල වූ බවත්ය. ඔහු විත්ති කූඩුවේ සිට සාක්ෂි ලබාදීමෙන් පසුව පැමිණිල්ලේ නීතීඥවරයා වූ එවකට රජයේ අධි නීතීඥ සරත් ජයමාන්න සිය අවසන් දේශනයේ තර්ක ඉදිරිපක් කළේ මේ ආකාරයෙනි.

‘2 විත්තිකරුගේ අත බල්ලා සපා කෑවා නම් මේ තුවාල බල්ලාගෙන් සිදුවිය හැකිදැයි මහාචාර්ය සල්ගාදුගේ සාක්ෂියේදී හරස් ප්‍රශ්න නොඇසුයේ ඇයි? ඒ නිසා මෙම තර්ක මත 2 විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය බොරුවක් බව ප්‍රකාශ කරනවා....“ යැයි

පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධි නීතීඥ සරත් ජයමාන්න සිය දේශනයේදී අධිකරණයට අවධාරණය කර සිටියේය. අනතුරුව විත්තියේ නීතීඥයාගේ තර්කය මහාධිකරණය පිළිගත්තේය.

ටෝනි මාටින් නඩුවේ තවත් වැදගත් සාක්ෂියක් වූයේ 2 විත්තිකරුගේ ප්‍රකාශය මත වැල්ලවත්ත ධර්මාරාම පාරේ ඇළක තිබී සොයාගත් ජැකට්ටුවේ වූ ඉස්කුරුප්පු ඇණ කිහිපයය. මෙම ඇණ හමුවීමේ මතකය දිග හැරෙන්නේ අපරාධය සිදු වූ ස්ථානය හා එහි ගලවා බිමට දමා තිබූ ජනේල යකඩ රාමුවය. එම ඇණ රජයේ රස පරික්ෂකවරයාට යැවෙන අතර එහිදි හෙළි වූ සාක්ෂි මෙසේය. මේ පිළිබඳ අධ්‍යයනය කළ මූට්ටු සාක්ෂි විශේෂඥයන්ට අනුව “ යකඩ රාමුවේ කළු පාට තීන්ත ගාලා තිබුණේ. සොයා ගත් ඇණ හිස් කළු පාටයි. නමුත් කඳ කොටස මලකඩ කාලා. වතුරේ තිබූ පසු මලකඩ කෑමේ වේගය වැඩියි. ඇණ හිසේ පරිධිය, සංයුතිය, ස්වභාවය හා භෞතික ලක්ෂණ අනුව අපරාධය වූ ස්ථානයේ ලී රාමුවට මේවා හොඳින්ම ගැළපෙනවා..“ඒ අනුව මේ සාක්ෂිය ඇඟිලි සටහන් මෙන් සියයට සියයක් නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි වුවත් පරිවේෂණාත්මක වශයෙන් මෙය වැදගත් සාක්ෂියක් විය.

 

තෙත ලේ සලකුණු ඇඟිලි සටහන

ටෝනි මාටින් නඩුවේ වැදගත්ම සාක්ෂිය වූයේ ඇඟිලි සටහන් සාක්ෂියයි. මෙහිදි යළි සිහි කැඳ වෙන්නේ අපරාධය සිදුවූ ස්ථානයේ ටෝනි මාටින්ගේ කාමරයේ බිත්තියේ තිබී හමු වූ තෙත ලේ යැයි සැක කළ හැකි පැල්ලමයි. ඇඟිලි සටහන් පරික්ෂකවරුන්ට මෙය හමුවන්නේ අපරාධය සිදුවී පැය 6 කට පමණ පසු ඔවුන් එතැනට පැමිණීමෙන් පසුවය.

යමකුගේ ඇඟිලි සටහනක් වැඩෙන්නේ මවු කුසේ කළල අවස්ථාවේදී ම ය. ඕනෑම කෙනකුට නිශ්චිත වූ හා අනන්‍ය වූ ඇඟිලි සලකුණු රටාවක් ඇති අතර ඇඟිලි, අත්ල, පතුල වැනි මේ ඕනෑම ස්ථානයක මෙම රටා දැකිය හැකිය. ලොව කෙනකුගේ ඇඟිලි සලකුණු රටාවක් තවත් කෙනකුට කිසිදා සම වන්නේ නැත. තවත් ආකාරයකින් සංඛ්‍යානමය හා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව නම් විවිධ ඉරිවලින් සමන්විත මෙම රේඛා අතර එක ළඟ පිහිටි රේඛා කැබලි 12 ක එකතුවක් ලොව තවත් එකෙකුට සම වන්නේ නැත. මේ නිසා අපරාධකරු කවරහුද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට මෙම එක ළඟ පිහිටි ඉරි කැබලි 12 ක්වත් සොයා ගැනීම විද්‍යාත්මක පරීක්ෂණයකට හොඳටම ප්‍රමාණවත්ය. දහඩිය සිදුරු නිසා පෘෂ්ඨය මත රැඳුණු සමහර ඇඟිලි සටහන් පියවි ඇසට නොපෙනුණ ද, ඇඟිලි සලකුණු විශේෂඥයන් මෙවා මතුකර ගන්නට පවුඩර් වැනි කුඩක් එක් කරති. විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් යමකුගේ ඇඟිලි සටහන් පිලිස්සි ගියද, යළි වර්ධනය වූ පසුවද එම ඇඟිලි සටහන් නොවෙනස්ව පවතින බවකි.

ලියනාඩෝ ඩාවින්චිගේ විස්මිත මොනාලීසා රුව හා ඇඟිලි සලකුණු

1911දි ප්‍රංස ජාතික අපරාධ විද්‍යාඥයකු වූ ඇල්ෆොන්සු බර්ටිලන් පැරිස් නුවර පුද්ගලයන්ගේ අැඟිලි සලකුණු එකතු කොට දත්ත ගබඩාවක් පවත්වාගෙන ගියේය. කෙසේ වෙතත් එම වසරේ ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ ලියනාඩෝ ඩාවින්චිගේ විස්මිත මොනාලීසා රුව අතුරුදහන් වූ අතර චිත්‍රයේ ආරක්ෂාවට තිබූ වීදුරු ආවරණයේ සැක කටයුතු ඇඟිලි සටහන්

 

අපරාධකරුවන් ඇතුළු වූ ස්ථානය

තිබුණ ද එවා බර්ටිලන්ගේ දත්ත ගබඩාවේ ඇඟිලි සලකුණු සමඟ නොගැළපෙන්නට විය. මේ වන විට ඇඟිලි සලකුණු විද්‍යාව සොයා ගෙන වසර 10 ක් පමණ ගත වී ඇත. ඉන් වසර දෙකකට පසු සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවම සොයා ගත්තේ පැරිස් නුවර විසූ පෙරූගියා නම් සැකකරුවකු විසින් එය ඉතාලියේදී විකිණීමට තැත් කරද්දීය. පෙරූගියා ජීවත්ව සිට ඇත්තේද ප්‍රංසයේ පැරිස් නුවර වන අතර මුල්ම ඇඟිලි සටහන් පරීක්ෂාවේදී විදුරුවේ වූ සලකුණු සමඟ දත්ත ගබඩාවේ වූ පෙරූගියාගේ ඇඟිලි සලකුණු සමඟ නොසැසඳුණේ මන්ද? දත්ත ගබඩාවේ වූයේ පෙරූගියාගේ දකුණු මහපටැඟිල්ලේ සලකුණය. නමුත් වීදුරුවේ තිබුණේ වම් මාපටැඟිල්ලේ සලකුණය.මෙයින් ඇඟිලි සලකුණු පිළිබඳ වැදගත් තොරතුරක් ඉස්මතු වන්නේය. එනම් යමකුගේ එක් ඇඟිල්ලක ඇඟිලි සලකුණ අනිත් ඇඟිල්ලේ සලකුණට වඩා වෙනස් වන බවකි. ටෝනි මාටින්ගේ ඝාතන අනාවරණයේදී ඇඟිලි සටහන් හබය අධිකරණයේදි දිග හැරුණේ මේ ආකාරයෙනි. ඝාතනය වූ ටෝනි මාටින්ගේ කාමරයේ බිත්තියේ වූ ඇඟිලි සලකුණ 1 විත්තිකරුගේ ඇඟිලි සටහන් හා මනාව ගැළපිණ. කෙසේ වෙතත් අපරාධයට පෙරදින මේ විත්තිකරුවන් දෙදෙනා මේ නිවසට ආගිය නිසා මේ සාක්ෂි ගැළපීම සිදු කළ යුතු වූයේ ඉතා ප්‍රවේසමිනි. නමුත් ටෝනිගේ සේවක ජයසේනගේ සාක්ෂියේ 1 විත්තිකරු කාමරයට නොගිය බව පැවැසීම පැමිණිල්ලට වාසිදායක විය. බිත්තියේ වූ ලේ

පැල්ලමේ ලේ; ටෝනි මාටින්ගේ ද? නැතිනම් විත්තිකරුවන්ගේද? ඇත්තෙන්ම මෙය මිනිස් ලේද? මේ වන විට ඩී.එන්.ඒ තාක්ෂණය නොතිබුණු හෙයින් ඔප්පු කිරීම උගහට විය. තවත් පැත්තකින් මෙම සාම්පල රජයේ රස පරීක්ෂකට යවන අවස්ථාවේදීද එය වියෝජනය වී තිබුණි. ඇඟිලි සටහන් පිළිබඳ සාක්ෂි විභාගයේදි අතිරේක රජයේ රස පරීක්ෂක ඒ.ආර්.එල් විජයසේකර ගෙන් රජයේ අධිනීතීඥ සරත් ජයමාන්න හරස් ප්‍රශ්න කිරීම් කළේ මේ ආකාරයෙනි.

‘පැය 6 ක් යද්දි ලේ තෙත වශයෙන් තිබිය හැකිද?‘

‘එසේ තිබිය හැකියි‘

පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් පසුව විත්තිය විසින් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රසිද්ධ මහාචාර්යවරයකුව අධිකරණයට කැඳවූ අතර පැමිණිල්ල මෙහෙය වූ සරත් ජයමාන්නයන්ගේ වගකීම වූයේ විශේෂඥවරයාගේ සාක්ෂිය විද්‍යාත්මක අභියෝගයට ලක් කොට එය ප්‍රතික්ෂේප වන තත්ත්වයකට පත් කිරීමය. මෙහිදී විත්තිය විසින් කැඳවන ලද විශේෂඥවරයා හරස් ප්‍රශ්නවලට භාජන වූ ආකාරය මෙසේය. විත්තිය විසින් කැඳවූ මෙම විශේෂඥයාගේ මතය වූයේ රුධිරය පැයකින් වේළෙන්නක් බවත්, එමඟින් ඇඟිලි සටහන් පරීක්ෂකවරුන්ගේ සාක්ෂි අසත්‍ය බවත්ය. මෙහිදි මහාචාර්යවරයා 1 විත්තිකරුගේ නිතිඥයා වන ජනාධිපති නීතීඥ ආර්.අයි ඔබේසේකරගේ කිරීම්වලට පිළිතුරු දුන්නේ මේ ආකාරයෙනි.

 

“මම අපරාධ වූ ස්ථානයට ගියේ නැහැ. නමුත් විත්තිය වෙනුවෙන් සාක්කි දෙන්න කී විට මම මාගේ විද්‍යාගාරයේ මේ සම්බන්ධ පරික්ෂණයක් කළා. මෙහිදි මම මගේ ඇඟිල්ලෙන් ලේ ටිකක් සිරින්ජයකට ගෙන ඇඟිල්ලක ගා එය බිත්තියේ තැන්පත් කළා. සාම්පල දෙකක් එසේ කළා. මේ ලේ වේළෙන්න ගියේ පැයක් වැනි කාලයක්. එමනිසා රුධිරය වේළෙන්න ගතවන්නේ පැයක් වැනි කාලයක් බව මම තීරණය කරනවා. පැය 6 ක් ගතවීම බොරු. ..“

ඉන්පසු සරත් ජයමාන්නයන්ගේ හරස් ප්‍රශ්න කිරිම් විය.

“ඔබ පරික්ෂණයට භාවිත කළේ හැන්ද, සිරින්ජය හා වේලාව බැලීමට ඔරලෝසුව පමණි. නමුත් ඔබ වෙන කිසිම දෙයක් නිගමනයට ඒමට භාවිත කළේ නැහැ නේද?,“

“ නැහැ“

“නිගමනයට ඒමට භාවිත කළේ සාම්පල දෙකක් නේද? ලෝකයේ මෙවැනි පරීක්ෂණ කර නිගමන වලට එළැඹීමට සාම්පල දෙතුන් සියයක් භාවිත කරනවා නේද?“

“ඔව්“

“ඔබ දන්නවාද, වාතයේ ජල වාෂ්ප මැනීමේ ‍ෙසාපේක්ෂ ආර්ද්‍රතාව) උපකරණ තියෙන බව? ඔබ පරීක්ෂණාගාරයේ මෙය මැන්නේ නැහැ නේද?“

“ඔව්“

“ඔබ භාවිත කළේ රුධිරය කුඩා ප්‍රමාණයක්, එය ඉතා සිනිදු පටලයක්. රුධිරයේ ඝනකම මනින්න වර්නියර් කැලිෆර් එක භාවිත කළේ නැද්ද?“

“නැහැ“

“අපරාධ වූ ස්ථානයට ගියාද? බිත්තියේ තීන්තවල ස්වභාවය දැක්කේ නැහැ නේද??“

“නැහැ“

“අදාළ නිවසේ වායු සමීකරණය දාලා තිබුණා. දැක්කද?“

“නැහැ“

“ඔබ විද්‍යාගාරයේ ෆෑන් 8 ක් දාලා තිබුණා නේද?“ (මේ වන විට සරත් ජයමාන්න අදාළ විද්‍යාගාරය කලින් නිරීක්ෂණය කර තිබුණි)

“ඔව්“

“මේ තුළ අධි ශිතකරණ 4 ක් තියෙනවා නේද? මේ නිසා ඔබ විද්‍යාගාරය රත් වෙනවා“

“ඔව්“

“ජනේල 12 ක් විද්‍යාගාරයේ තියෙනවා නේද? ඒවා තුළින් හිරු එළිය වැටෙනවා නේද?“

“ ඔව්“

“මින් පෙර අවස්ථාවලදී ඔබ රුධිරය ගැන පරීක්ෂා කරන විට රජයේ රස පරීක්ෂකගෙන් මතයක් ලබා ගත්තා නේද? ඔබ මහාචාර්යවරයකු විය හැකියි. නමුත් ඔබ රුධිරය සම්බන්ධ විශේෂඥවරයකු විය නොහැකියි“

රජයේ අධි නීතීඥ සරත් ජයමාන්නගේ අවසන් ප්‍රශ්නය වඩාත් තියුණු ආකාරයේ එකක් විය.

“ඔබ නිතීඥවරුන්ට හා විශ්වවිද්‍යාල සිසුන්ට පාඩම් පවත්වනවා නේද? (මේ වන විට සරත් ජයමාන්නද ඔහුගෙන් මේ සම්බන්ධව උගත් අයකු විය) සමහර විට රුධිරය ගැන දේශනත් කළා. එහිදි ඔබ මේ දේ කිව්වා. (සටහනක් ඇඳ පෙන්වමින්) ඔබ දුන් සටහනක මෙහෙම දෙයක් තියෙනවා. ‘රුධිරය වේළිමට ගත වන කාලය සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ලොව කිසිම විද්‍යාඥයකුට ප්‍රකාශ කළ නොහැකි බව ඔබ ඉගැන්වුවා නේද?“

මහාචාර්යවරයා ජනාධිපති නිතීඥ සරත් ජයමාන්නයන්ගේ ප්‍රශ්න කිරීම් වලින් නිරුත්තර වූ අතර විත්තිවාචකය නැමැති මිනි පෙට්ටියේ ගැසු ඇණද ටිකෙන් ටික තදවෙන්නට විය.

ටෝනි මාටින් නඩුවේ විත්තිකරුවන්ට එරෙහි පරිවේෂණීය සාක්ෂි ගෙතුණේ මේ අයුරිනි. අපරාධය වූ ස්ථානයේ තිබී හමු වූ 1 විත්තිකරුගේ ඇඟිලි සටහන්, 1 විත්තිකරුගේ නිවසේ වූ කනප්පුවේ අතුරුදන් පාදය අපරාධ බිමෙන් කැබලි තුනකට කැඩී හමු වීම, අපරාධ ස්ථානයේ තිබී හමු වූ ලී හිස සහිත මිටිය හා විත්තිකරුගේ ප්‍රකාශය මත සොයාගත් මල්ල තුළ වූ මිටියේ ඉතුරු ලී කැබැල්ල, මේ දෙදෙනාටම එරෙහිව ජයසේන විසින් ඉදිරිපත් කළ එනම් කලින් දින රාත්‍රියේ ටෝනි හමුවීම සඳහා 1 හා 2 විත්තිකරුවන් පැමිණීම, ඔවුන් පැමිණියේ ටෝනි මාටින් ළඟ තිබූ වාහනයේ පොත ඉල්ලීමට බව තමන්ට ටෝනි පැවසූ තොරතුරු‍, එසේම මල්ලේ තිබී හමුවූ ටෝනි මාටින්ගේ තොප්පිය, 2 විත්තිකරුගේ අතේ ඇඟලි අතර වූ තුවාලය, 2 විත්තිකරුගේ ප්‍රකාශය මත සොයා ගත් මල්ලේ වූ ඉස්කුරුප්පු ඇණ, දෙවැනි විත්තිකරු කෑගල්ලේ පිහිටි සිය මිතුරාගේ නිවසට යාම මෙන්ම එහිදි කාන්තාවක විසින් මරණය සම්බන්ධයෙන් පුවත්පතේ පළ වූ වාර්තාව විත්තිකරුට පෙන්වීම හා ඔහු නොහඳුනන බවට හැසිරීම ආදිය මෙහිදි එකතු කර ගත් පරිවේෂණීය සාක්ෂි වෙයි.

ටෝනි මාටින් ඝාතනය සම්පූර්ණයෙන්ම පරිවේෂණීය සාක්ෂි මත රැඳුණු නඩුවක් බව මුලින්ම පැවසුවෙමු. නඩුවේ විවිධ ප්‍රභවලින් එන නානාප්‍රකාර සාක්ෂි කැබලි වැනි තන්තුවලින් එකතු වූ කඹයකින් මිස පරිවේෂණිය සාක්ෂි සියල්ලේම එකතුවෙන් මිස තනි සාක්ෂි කැබැල්ලකින් පමණක් විත්තිකරු වැරදිකරු කිරීමේ හැකියාවක් නොමැත්තේය. පරිවේෂණීය සාක්ෂි ගැළපීමේදී එක දෙයක් කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් කටයුතු කිරීම නොකළ යුතු වන්නේ එමඟින් අධිකරණය නොමඟ යා හැකි නිසාය. සෑම දෙයක් සම්බන්ධයෙන් පුළුල් විමසීමක් සිදුකළ යුතුමය.

පරිවේෂණීය සාක්ෂි සම්බන්ධ මුල්ම හා හොඳම උදාහරණය සපයන්නේ චුල්ලහත්ති පදෝපම සුත්‍රයෙන් බව රජයේ අධි නීතීඥ සරත් ජයමාන්න පවසයි. පා සලකුණින් පමණක් ඇතුන් සොයා ගැනීම උගහට බව කියා දෙන එම ජාතක කතාව පරිවේෂණීය සාක්ෂි සම්බන්ධව ඇති හොඳම පාඩමකි.

මහාධිකරණ විනිසුරු ජේ. ජයවික්‍රම නඩුව අවසන් කළේ විත්තිකරුවන් දෙදෙනා මිනි මැරීමේ චෝදනාව යටතේ වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කරමිනි. අනතුරුව 1988 දී මෙම නඩු තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනයක් ගොනු කළේය. එම අභියාචනය විභාග කිරීමේදි අභියාචනාධිකරණය විශේෂයෙන් සඳහන් කළේ නඩු විභාගයේදි විත්තිය විසින් කැඳවන ලද විශේෂඥ සාක්කිකරුගේ සාක්ෂි පළමුවැනි විත්තිකරුගේ අත්ල සටහන අපරාධ ස්ථානයේ තිබීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් මතු නොවූ බවය. අභියාචනාධිකරණයෙන්ද මහාධිකරණ තීන්දුව ස්ථීර කළේය.මෙහිදි නීතිපති වෙනුවෙන් එවකට අතිරේක සොලිසිටර් ජනරාල් සී.ආර් ද සිල්වා හා රජයේ අධි නීතීඥ සරත් ජයමාන්න පෙනී සිටියහ. අනතුරුව විත්තිකරුවන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේ 1999 දීය. කෙසේ වෙතත් අවසානයේ දෙදෙනාටම මරණ දඬුවම හිමිවිය.

 

Comments