ඔන්ටාරියෝ ප්‍රාන්තයේ බ්‍රම්ප්ටන් නගරය විවිධ ජන කණ්ඩායම් වෙසෙන බහුවාර්ගික නගරයකි. 2016 පැවති කැනඩා සංගණනයට අනුව නගරයේ ජනගහනය 593,638 කි. බ්‍රැම්ප්ටන් යනු කැනඩාවේ නවවන වැඩිම ජනගහනය සහිත නගර සභාව වන අතර එය උතුරු ඇමරිකාවේ හැත්තෑ හත්වන විශාලතම නගරයයි. බ්‍රැම්ප්ටන් හි විශාලතම ජනවාර්ගික කණ්ඩායම ජනගහනයෙන් 44.3% නියෝජනය වන දකුණු ආසියානුවන්ය.
සමස්ත ජනගහනය තුළ සියයට 21.46% ක්ම කතා කරන්නේ ඉන්දීය භාෂාවන්ය. එමෙන්ම ජනගහනයෙන් 1.83% දෙමළ භාෂාව කතා කරති. ජනගහනයෙන් 2.79% උර්දු භාෂාව කතා කරන පාකිස්ථානුවන් වන අතර දකුණු ආසියාතික ජනගහනයෙන් ඉතිරිවන 18.22% කොටස තුළ අනිවාර්යයෙන්ම සිංහලයන් නියෝජනය වියයුතු අතර අවාසනාවකට මෙන් සිංහලයන් සුපුරුදු පරිදි තම මවු භාෂාව කුමක්ද යන්න හෙළිදරව් කිරීමට ලැජ්ජා වීම නිසා මෙම 18.22% තුල සිංහලයන්ගේ නියෝජනය කුමක්දැයි යන්න සොයා බැලීම මහත් ගැටලුවක් වී ඇත.
මා දන්නා පරිදි දෙමළ කතා කරන ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලයින් බැම්ප්ටන්හි ජීවත්වන අතර සිය නියෝජනය සංගණනයන් තුළ හෙළිදරව් නොකිරීම නිසා සිංහලයන්ට නගර දේශපාලකයන්ගේ විවිධ අකටයුතුකම් වලට මුහුණ දීමට සිදුවී තිබේ.
බැම්ප්ටන්හි වත්මන් නගරාධිපතිවරයා වන්නේ සුදු ජාතිකයකු වන පැට්‍රික් බ්‍රවුන්ය. ඔහුට ඉහත දැක්වූ ජනගහන තේරාවලිය තුළ වඩා වැදගත්වන්නේ ඉන්දීය ජනගහනයයි. ඒ නිසා ඔහුගේ විවිධ ක්‍රියාකාරකම් බොහෝමයක් ඉන්දීය කේන්ද්‍රීය වන අතර ඊළම කරපින්නාගත් ඔහුගේ ප්‍රධාන දේශපාලන සහායක බාබු නාගලිංගම්ගේ උසිගැන්වීම් මත සමහර දෙමළ කොටස්වල වුවමනා එපාකම් නොවලහා ඉටුකිරීමද ඔහු අතින් සිදු වෙයි. එහෙත් එවැන්නක් සිදුවන්නේ ද ඉන්දීය අවශ්‍යතා අනුවද යන සැකය දැන් බලවත් ලෙස ඇතිවී තිබේ.
වත්මන් ඉන්දීය අගමැතිවරයා සමඟ පැට්‍රික් බ්‍රවුන්ට ඇත්තේ සහෝදරාත්මක බැඳීමක් බව දෙපාර්ශ්වයෙන්ම විටින්විට කරන ලද ප්‍රකාශ වලින් හෙළි වේ. මෝඩි සමඟ පැට්‍රික් බ්‍රවුන් ගේ මිත්‍රත්වය 2009 තරම් ඈතට දිවයන අතර එය ආරම්භ වූයේ කැනඩාවේ සංස්කෘතික ප්‍රජා වෙත ළඟා වීමට ෆෙඩරල් කොන්සර්වේටිව්වරුන් දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි. කැනඩාවේ වෙසෙන ඉන්දීය ජනගහනයෙන් අතිමහත් බහුතරයක් වන්නේ "සිංග්"ලා වුවද පැට්‍රික් තෝරාගන්නේ ව්‍යාපාරික ප්‍රජාවක් වන බොහෝ අත මිට ඇති "පටෙල්" ලාය. පටෙල්ලා පැමිණෙන්නේ ගුජරාටයෙනි. එවකට ගුජරාට මහ ඇමතිකම දැරුවේ වත්මන් අගමැති මෝඩි ය. විදෙස් කටයුතුවලදී කැනඩාවේ දේශපාලකයන්ට ගුරු හරුකම් දෙන කැනඩා විදේශ අමාත්‍යාංශයට අනුබද්ධ ගෝලීය කටයුතු (Global Affairs) ආයතනයේ විරුද්ධ වීම් නොසලකා. පැට්‍රික් ගුජරාටයට ගොස් එහි මහා ඇමති මෝඩි හමුවෙති. ඒ වනවිට පැට්‍ර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වූ අතර මෝඩි මහත් ආන්දෝලනයකට ලක්ව සිටි අතර සිය ගණනක් මියගිය කැරලි කෝලාහලයක් නැවැත්වීමට අපොහොසත් වූ බවට චෝදනා ලැබ එක්සත් ජනපදයට යෑමට පවා වීසා අහිමිවී තිබුණු දේශපාලකයකු විය. එසේ තිබියදී මෝඩිගේ ගුජරාට් රජය විසින් පවත්වන ලද වෙළඳ සමුළුවකට පැට්‍රික් සහභාගී විය. එහි ප්‍රථිපලයක් ලෙස පැට්‍රික් මෝඩිගේ හිතවතකු බවට පත්විය. මෝඩි ඉන්දීය අගමැතිවරයා ලෙස කැනඩාවේ සංචාරයක යෙදෙද්දී ඔහු පුද්ගලිකව නිල නොවන මට්ටමින් හමු වූ එකම පුද්ගලයා බ්‍රවුන් ය. දැනටමත් බ්‍රවුන් මෝඩි හමුවීම සඳහා 15 වතාවකටත් වඩා අධික ප්‍රමාණයක් ඉන්දියාවේ සංචාරය කර තිබේ. කොටින්ම මෝඩි ඔහු හඳුන්වන්නේ කැනඩාවේ සිටින පැට්‍රික් සොයුරා හෙවත් "පැට්‍රික් බහායි" යනුවෙනි. ඉන්දියාව සහ කැනඩාව 2015 අත්සන් කළ ඩොලර් මිලියන ගණනක් වටිනා යුරේනියම් සැපයුම් ගනුදෙනුව ක්‍රියාවට නැඟීම සඳහා ප්‍රබල කාර්යභාරයක් පසුබිමේ සිට කර ඇත්තේ පැට්‍රික් බහායි බවද කියවෙයි. මිට අමතරව පැට්‍රික් මැතිවරණයකට ඉදිරිපත්වන සෑම අවස්තාවකදීම මෝඩිගේ ඉල්ලීම මත ඔහුගේ සහයට ඔන්ටාරියෝ ගුජරාටි සංගමයද එලිබසියි. මෙය ඔහුගේ පාර්ලිමේන්තු, ප්‍රාන්ත, සහ දැන් බ්‍රම්ප්ටන් නගරාධිපති මැතිවරණ තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. ඔන්ටාරියෝ කන්සවේටිව් පක්‍ෂ නායකත්ව තරගයේදී පැට්‍රික්ට එරෙහිව ලිංගික අපහරණයක් පිළිබද චෝදනාවක් එල්ල නොවන්නට ඔහු අද ඔන්ටාරියෝ ප්‍රාන්තයේ මහා ඇමති වරයාය. ඉන්දීය සම්භවයක් සහිත ඔන්ටාරියෝ ජනතාවගේ ජන්දයෙන් එසේ වන්නට ඉඩ තිබිණ.
මෙලෙස දිග හෑල්ලක් පැට්‍රික් බ්‍රවුන් ගැන කියන්නට සිදුවන්නේ මෑතකදී ඔහු විසින් ගන්නා ලද එක ක්‍රියාමාර්ගයක් හේතුවෙනි. ඔහු අපට වැදගත් වන්නේ ඒ හෙයිනි. කැනඩාවේ සුදු ජාතික දේශපාලකයන් අතරින් එල්ටීටීඊයට දරදිය අදින එකම දේශපාලකයා පැට්‍රික් ය. කලක් නිහඬව සිටි පැට්‍රික් බ්‍රවුන් හිටි හැටියේම ලංකාව පිළිබඳ කථාකරන්නට පටන්ගෙන තිබේ. පසුගිය 20 වැනිදා යුද්ධයෙන් අහිමි වූ දෙමළ ජීවිත සැමරීම සඳහා තමන්ගේම ස්මාරකයක් ඉදිකිරීමට පැට්‍රික් නගරාධිපතිධුරය හොබවන බ්‍රැම්ප්ටන් නගර සභාව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේය. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ පැට්‍රික්ගේ සෙවණැල්ල බඳු ඔහුගේ මිත්‍ර නාගරික මන්ත්‍රීවරයකු විසිනි. ඉන් නොනැවතුණු පැට්‍රික් කැනේඩියානු ගුවන් විදුලියට (CBC) ගොස් ලංකාවට එරෙහිව සම්මුඛ සාකච්ඡාවක්ද ලබාදෙනු ලැබීය. පැට්‍රික් හිටිහැටියේ මෙලෙස හැසිරෙන්නේ ඉන්දියාවේ මෝඩි ලොකු අයියාගේ වුවමනාවටදැයි මට නිකමට සිතෙයි.
ඉන්දියාවට නැගෙනහිර පර්යන්තයේ අවශ්‍යතාව තදින් දැනෙනවිට බ්‍රම්ප්ටන්හි සිටින පොඩි මල්ලිට හිටි හැටියේම මෙතරම් ලංකාව පිළිබඳ වෛරයක් ඇති වන්නට වෙනත් හේතුවක් නම් මට නොපෙනේ. සමහරවිට පැට්‍රික් මලයාගේ මෙම හැසිරීම සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට ලොකු අයියාගේ එකම දුරකථන ඇමතුමකින් කළ හැකිවනු ඇත. ඔවුන් ඒ තරමටම සමීප සහෝදරයන් දෙදෙනෙකු බව ඉහත දැක්වූ විවරණයෙන් පැහැදිලි වනු ඇත.
දැන් බ්‍රම්ප්ටන්හි ශ්‍රී ලාංකිකයෝ පැට්‍රික්ට එරෙහිව නඩු මගට යාමට වුවද සුදානම්ව සිටිති. මුල්ලිවයික්කාල් ස්මාරකයක් බ්‍රම්ප්ටන් හි සෑදීමෙන් සිදුවන්නේ ශ්‍රී ලාංකික ජනකොටස් අතර වෛරය තවදුරටත් උග්‍ර ලෙස වර්ධනය වීමයි. යුද්ධයෙන් මියගියේ දෙමළ අය පමණක් නොවේ සෑම ජනකොටසකටම අයත් ශ්‍රී ලංකිකයන් යුද්ධය නිසා ජිවිත අහිමි කරගත්හ. බ්‍රම්ප්ටන්හි බදු ගෙවන්නන්ගේ අරමුදල් මෙලෙස ජාති අතර ගිනි ඇවිළීම සඳහා භාවිත කරන්නේ තවත් රටක (ඉන්දියාවේ) අවශ්‍යතා සපුරාලීමට දැයි බ්‍රම්ප්ටන්හි බදු ගෙවන්නන් පැට්‍රික් බහායි ගෙන් විමසති. ශ්‍රී ලාංකිකයන් එකිනෙකා අතර කාකොටා ගැනීමට සලස්වා සිය දේශපාලන වාසි ලබා ගැනීමට විදෙස් රටවල දේශපාලකයෝ මෙලෙස කටයුතු කරන්නේ අපේ රටේ යම් වැදගත්කමක් ඔවුන් සියලු දෙනාටම ඇතිබව නිසා නොවේදැයි තේරුම් ගැනීමට ශ්‍රී ලාංකිකයනට හැකිවන්නේ නම් කිසිවකුට අපේ රට මෙලෙස පහළට ඇදදැමීමට හැකි නොවනු ඇත.
ඔබේ අදහස් යොමු කරන්න: