නුගේගොඩ අනුලාවේ දංගෙඩියට හසුවූ සිසුවියන් | සිළුමිණ

නුගේගොඩ අනුලාවේ දංගෙඩියට හසුවූ සිසුවියන්

ධ්‍යාපන අමාත්‍යාංශ යටතේ හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ දස දහසකට අධික පාසල් ප්‍රමාණයක් ඇති අතර සෑම වසරකම මේ පාසල්වල පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම සිදු වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දෙවැනි වාර ආරම්භයේද නිකුත් කරන්නා වූ චක්‍රලේඛ විධි විධානයන්ට අනුකූලවය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවසන් වරට නිකුත් කර ඇති දත්ත සංගණන වාර්තාවට අනුකූලව 10,165 ක් වන රජයේ පාසල්වල සිසුන් 4,061,653ක් අධ්‍යාපනය ලබති. මේ පාසල් අතරින් ප්‍රාථමික අංශය සහිත පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගන්නා පාසල් 9,151 ක් ඇති අතර, සෑම වසරකට පළමු ශ්‍රේණියට ඇතුළත් වන්නා වූ සිසුන් ප්‍රමාණය 333,074 කට ආසන්න වෙයි. එයින් ජාතික පාසල්වලට සිසුන් 26,420 ක් වූ ආසන්න සිසු පිරිසක්ද, පළාත් පාසල්වලට සිසුන් 306,654 ක් වු ආසන්න සිසු පිරිසක්ද ඇතුළත්ව බව වාර්තා වෙයි.

සෑම වසරකටම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියා පටිපාටිය ආරම්භ වන්නේ දෙවැනි වාරයේ මැයි මස අගදී හෝ අවසානයේදීය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ආවරණය වන පරිදි නිකුත් කරන චක්‍රලේඛයට අනුකූලවය. මේ චක්‍රලේඛයට අනුකුලව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පදනම් කිහිපයක් වෙයි. එනම් දෙමවුපියන්ගේ පදිංචිය මත පාසලට ඇති ආසන්නතාව පදනම, එසේම සිය පාසලට ලබා දී ඇති සේවය මුල් කරගනිමින් ආදි සිසු පදනම, පාසලට ඇතුළත් කර ගන්නා දරුවාගේ සහෝදරයකු එම පාසලේ සිසුවකු වීම මත සහෝදර පදනම, අධ්‍යන, අනධ්‍යන සේවක පදනම, විදෙස් සිට පැමිණ මෙන්ම රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් යන පදනම් මත මෙසේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත වෙයි.

සිසුන් පළමු ශ්‍රේණියට ඇතුළත් වීමේදී දැඩි තරගකාරිත්වයක් උසුලන්නේ ඉතාම සීමිත පාසල් ප්‍රමාණයක් පමණී. ඒ පාසල් නාගරික සීමාවේ පවතින අති ජනප්‍රිය පාසල් කිහිපයක පමණි. ඒ හේතුවෙන් සැම වසරකම මේ කිසිදු පදනමක් නොමැතිව වුවද බොහෝ දෙමවුපියන් පෙලඹී සිටින්නේ තම දරුවා කෙසේ හෝ ජනප්‍රිය යැයි සැලකෙන පාසලකට ඇතුළත් කරන්නටය. මේ නිසාවෙන් පසුගිය කාලාන්තරයක් පුරා තම දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට සමහරක් දෙමවුපියන් කූට ලේඛන සකස් කිරීමේ කාර්යයේ නියැළෙන්නේ කිසිදු බියකින් තොරවය. එපමණක් නොව සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේම මේ කූට ලේඛන සකස් කිරීමේ නිතී රීති ඇතුළත් කර තිබෙන අතර එයින් දැඩිව අවධාරණය කරන්නේ එසේ කූට ලේඛන සකස් කිරීම නීතියෙන් දඩුවම් විඳිය හැකි වරදක් වන අතර, එමඟින් ඇතුළත් කළ දරුවාගේ ශිෂ්‍යභාවයද අහෝසි වන බවය.

පසුගිය දිනවල නුගේගොඩ අනුලා විදුහලේ සිසුන් හය දෙනෙකුගේ දෙමවුපියන් විසින් මෙසේ කූට ලේඛන ඉදිරිපත් කිරීම නිසා පාසලට ඇතුළත් වූ එම දෙමවුපියන්ගේ දරුවන් අනුලා විදුහලින් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වත්මන් විදුහල්පතිනියට දැනුම් දුන් අතර; අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට වත්මන් විදුහල්පතිනිය කටයුතු කර ඇත. අනුලා විදුහලේ වත්මන් විදුහල්පතිනිය වැඩබාර ගෙන ඇත්තේ 2020 වසරේ පෙබරවාරි 27 වැනිදාය. මෙම කූට ලේඛන හරහා සිසුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු සිදුවී ඇත්තේ 2019 වසරේ හිටපු විදුහල්පතිනිය විසිනි. මේ වන විට ඊට වගකිව යුතු විදුහල්පතිනියද අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු කර යවා තිබුණි. 2019 වසරේදී මේ සිදුවීම සිදු වී ඇත්තේ 2020 වසරට ආදි ශිෂ්‍ය පදනමින් සිසුවියන් ඇතුළත් කිරීමේදී වන අතර, කිසිදු ආදි ශිෂ්‍ය සම්බන්ධයක් නොමැති දෙමවුපියන්ගේ දරු පිරිසක් ආදි සිසු පදනමින් ඇතුළත් කර ගෙන ඇත. මේ සඳහා එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ඇතැම් නිලධාරීන්ද හවුල් වී ඇති බව සැලය. අයුතු ආකාරයෙන් සිසුවියන් ඇතුළත් කර ගැනීම් සිදුව ඇති බවට මේ වන විටත් පැමිණිලි රැසක් ලැබී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය විසින් අදාළ ලිපි ගොනු පරීක්ෂාවේදී එවැනි කූට ලේඛනවලින් සිදු කළ ඇතුළත් කිරීම් 6 ක් සොයා ගන්නට හැකිව තිබේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 19 වැනි දින හා දෙසැම්බර් මස 21 වැනි දින මෙම සොයා ගැනීම් සිදුව ඇති අතර අනතුරුව මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා යවා ඇත්තේ අදාළ නීති විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් සි. අයි. ඩී යෙන් විමර්ෂණයක් ආරම්භ කරන ලෙසට ඉල්ලමිනි. කෙසේ වෙතත් පසුගිය කාලයේ මේ සම්බන්ධව සි. අයි. ඩීයට පැමිණිලි කිරීමට යම් යම් අධ්‍යාපන බලධාරීන් පවා පැහැර හැර ඇතැයිද වාර්තා වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය සඳහන් කරන ආකාරයට මේ සිදුවීම සිදුවී ඇත්තේ මෙසේය.

“2020 වසරේදි නුගේගොඩ අනුලා විදුහලට පළමු වසරට සිසුවියන් ඇතුළත් කිරීම් සම්බන්ධව පැමිණිලි වාර්තා වුණා. ඒ හිටපු විදුහල්පතිනිය යටතේ. ඒ අනුව අදාළ ඇයැදුම්පත් කැඳවීම සිදුවී ඇත්තේ 2019 වසරේදි. ආදි ශිෂ්‍ය පදනමින් සිසුවියන් ඇතුළත් කිරීමේදී යම් අකටයුතු දේ සිදුව ඇතැයි අධ්‍යාපන අමාතංශයට පැමිණිලි ලැබුණේ මෙයින් අසාධාරණයට පත්වු දරුවන්ගේ දෙමවුපියන්ගෙන්. අධ්‍යාපන අමාත්‍යාංශය අභ්‍යන්තර විගණන ඒකකයේ බලධාරීන් අදාළ පාසලට ගොස් නියැඳි පරීක්ෂණයක් සිදු කළා. එහිදි ආදි සිසු පදනමින් සිදුකළ ඇතුළත් කර ගැනීම් වලදි සිසුන් 6 දෙනෙකුට දෙමවුපියන් විසින් ලබා දී තිබුණේ කූට ලේඛන. ආදි සිසු පදනමින් සිසුන් ඇතුළත් කර ගැනීමට මොවුන් විසින් ඉදිරිපත් කළ යුතු සියල්ල කූට ලේඛන.“

මෙම දෙමවුපියන්ට කිසිදු ආදි සිසු පදනමක් නොමැති බවද වාර්තා වෙයි. ඔවුන් අස්වීම් ලේඛන, ඇතුළු අත්‍යාවශ්‍ය ලියවිලි කූට ආකාරයට සකස් කර ඇති බව සැලය. ඒ සියල්ල කළේ දරුවන් වෙනුවෙන්ද? දරුවන් යහපත සලසන්නට සිදු කළා නම් අද මේ සිඟිත්තන් ඊට වන්දි ගෙවන්නේ නැත. මේ වන විට අනුලා විදුහලේ වත්මන් විදුහල්පතිනියට අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කරන්නට සිදුවී ඇත්තේය. ඒ අනුව මේ දරුවන්ට වෙනත් පාසලක් ලබා දීමට පළාත් අධ්‍යාපන බලධාරීන් බැඳී සිටින්නේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ගයන්ට අනුව මේ සඳහා යම් පිරිසකගේ සහයෝගයක් ලැබී ඇතැයි පැවැසීම කනගාටුදායකය. විශේෂයෙන්ම හිටපු විදුහල්පතිනිය ඇතුළු සම්මුඛ පරීක්ෂණ කමිටුව මේ සහයෝගය වක්‍රව ලබා දී ඇතැයි වාර්තා වන්නේ සම්මුඛ පරීක්ෂණයේදි දෙමවුපියන් විසින් ලබා දෙන තොරතුරු සත්‍යාසත්‍ය බව පිරික්සීමේ වගකීම ඔවුන් සතු වන නිසාය. මේ වන විට මේ සිදුවීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන ලේකම් කපිල සි පෙරේරා සිළුමිණට පැවැසිය.

“2020 අනුලා විදුහලේ පළමු වසරට සිසුන් 6 දෙනේ ඇතුළත් කර තියෙන්නේ ව්‍යාජ ලේඛන සකස් කිරීමෙන්. ඒ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මම නෙමෙයි. මේ කූට ලේඛන සකස් කර සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හිටපු විදුහල්පතිනියව අදාළ තනතුරින් ඉවත් කළා. පරීක්ෂණ කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ බලපෑම් ආවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය පරික්ෂණය නිසියාකාරව සිදු වුණේ නැහැ. අපිට වාර්තා වූ ආකාරයට මේ සමහර දෙමවුපියන් ඒ පාසලේ සිසුන් නොවන අයයි. සමහර අය උසස් පෙළ සහතික පවා වෙනස් කර ගෙන තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇතැම් බලධාරීන් සි. අයි. ඩී යට පැමිණිලි කිරීම පවා පැහැර හැරියා. මට මේ කිසිවකුත් සමඟ කිසිදු හිතවත් කමක් නැහැ. ඒ නිසා සි.අයි. ඩීයට යවන ලියවිල්ල මම අත්සන් කර යැව්වා. ඒ වගේම මේ නිසා අසාධාරණයට පත්වූ දරුවන්ට සාධාරණයක් ඉටු කරන්නටත් කූට ලේඛන සැකසීම නිසා පීඩාවට පත් වූ දරුවන්ට වෙනත් පාසලක් ලබා දිමටත් වත්මන් විදුහල්පතිනියට අවශ්‍ය නියෝග ලබා දුන්නා....“

මෙම් කූට ලේඛන සකස් කිරීමේ වරදට දණ්ඩ නීති සංග්‍රහය යටතේද දැඩි දඩුවම් හිමි වන්නේය. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේද විනය පරික්ෂණ හරහා දඬුවම් නියම වන්නේය. මේ පිළිබඳ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පවසන්නේ මෙවැනි වැරදිවලට නිසි දඬුවම් ලබා දීම අධ්‍යාපන බලධාරින්ගේ යුතුකමක් ලෙසය.

“මීට සම්බන්ධ විදුහල්පතිනිය සිය තනතුරින් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළත් කර ගත්තා. මේ නිසා අපිට යම් සැකයක් මතුවෙනවා, අධ්‍යාපන අමාත්‍යාංශයේම යම් බලධාරීන් මේ සිදුවීම යට ගහන්න උත්සාහ කරනවා කියලා. මෙවැනි වංචනික ක්‍රියා සිසුන් ඇතුළත් කිරීමට සමහරුන් විසින් සිදු කරනවා. මේ එයින් එකක් පමණයි. මේ නිසා ඉදිරියේදි මෙවැනි දේ සිදු නොවෙන්න මෙය අනිකුත් අයට පාඩමක් විය යුතුයි. ඒ නිසා නීතිය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට හැමෝම බැඳි සිටිය යුතුයි...“

මේ සිසුන් අදාළ පාසලින් ඉවත් කිරීමේ වගකිම වත්මන් විදුහල්පතිනියට සිදු වන්නේය. එය දරුවන් වෙනුවෙන් ගත යුතු අපහසුම තීරණයක් වන්නේය. නමුත් මෙවැනි වැරදි වලට දඩුවම් නුදුන්නහොත් ඉදිරියේදී සිසුන් ඇතුළත් කිරීම් හරහා මෙවැනි වංචනික ක්‍රියා කොතෙකුත් සිදුවිය හැකිද? තම දරුවන්ට ජනප්‍රිය පාසල් සොයා යන මේ ගමනේ වැරදිකරුවන් කවරහුද? පාසල් අතර විෂමතා ඇති බව කවුරුත් පිළිගනිති. සැම දෙමවුපියකුගේම බලාපොරොත්තුව තම දරුවාට හොඳට ඉගැන්වීමටය. රටේ හොඳ තැනක් තම දරුවාට ලබාදීමේදි ඔහු හෝ ඇය උගන්නා පාසල ඉතා වැදගත්ය. මේ සියල්ල සත්‍ය වුවත් රටේ නිතියට ගරු කිරිම සැමගේම වගකීමක්ද වන්නේය. නැතිනම් මින් අසාධාරණයට ලක්වන්නේ අනෙක් දරුවන් ය.

Comments