
කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පසුගියදා විවෘත විය. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10 ක විදුලියක් ජනනය කරන කෙරවළපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය මඟින් දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600 - 800 ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය. කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමඟින් ස්ථිරසාර විසඳුමක් නිර්මාණය වේ. එසේම පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා මෙම ව්‍යාපෘතිය තිරසර විසඳුමකි. කොළඹ නගර සභාව, එයිට්කන් ස්පෙන්ස් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතියට දායක වී තිබේ.
එහිදී විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කළ කතාවයි මේ.
නව ශතවර්ෂයට, නව ලෝකයට, සමාන්තරව රටක් ලෙසට අප යන මේ ප්‍රගතිශීලි ගමනේ තවත් ඉදිරි පියවරක් ලෙසට අද මහින්ද රාජපක්ෂ අගමැතිඳු සුරතින් ෙම් ආරම්භ කළ ජාතියේ මංගල ඝන කසළ භාවිතයෙන් විදුලිය උත්පාදන බලාගාරය ඉතිහාසයට එකතු වෙනවා.
අප මොහොතකට සිතුවොත්, මෙම විසිඑක්වන ශතවර්ෂය, 3 වන සහස්‍රය ආරම්භ කරන මොහොතේ අප ජලයෙන් සහ පොසිල ඉන්ධන දහනයෙන් පමණක් විදුලිය උත්පාදනය කළ රටක්. නමුත් වසර විස්සක් ගෙවුණු තැන අප ගල්අඟුරු භාවිතයෙන්, ද්‍රවීකරණය කළ ස්වාභාවික වායු භාවිතයෙන්, විතරක් නොවෙයි පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයන් වන සූර්යාලෝකයෙන්, සුළං බලයෙන් සහ ජීව වායුවෙන් ද විදුලිය උත්පාදනය කරන තැනකට පැමිණ සිටිනවා.
මෙම ප්‍රවණතාව, මිහිකතට වගකියන, මිහිකතට කෘතවේදී, මිහිකතට ප්‍රත්‍යූපකාරී රටක්, ජාතියක් ලෙසට අපි අභිමානයෙන් ඉදිරියට තැබූ දැවැන්ත පියවරක් ලෙසටයි මා දකින්නේ. එය දියුණු වෙමින් පවතින රටකට, දුෂ්කරතා මැද වුවද අනුගමනය කළ හැකි ඉතාමත්ම ප්‍රගතිශීලී ඉදිරි පියවර එකින් එක තබමින් අප බලශක්ති උත්පාදනයෙන් ධනාත්මක දිශානතියකට ගමන් කරන ලකුණු පහළ කර ඇතැයි යන්න මා දැඩි ලෙස විශ්වාස කරනවා.
මිනිසුන් වන අප මිහිකතගේ දරුවෝ. 2020 වසර මුළු ලෝකයටම ස්වභාවධර්මය, මානව ප්‍රගමනය, මානව උන්නතියේ තිරසාරභාවය පිළිබඳව පරම්පරා ගණනකට අමතක නොවන පාඩමක් ඉගැන්වූවා. විශ්වීය මාරයෙකුගේ වෙසින් පැමිණි ව්‍යාධියක්, අපව මිහිකතගේ දරුවන් ලෙසට ප්‍රත්‍යාවලෝකනයක යෙදෙන්නට පෙලඹූවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෘතග්ජන මිනිසුන් ලෙසට හිමිකම් වෙනුවෙන් පමණක් වෙහෙසුනු අපට මිහිකතගේ දරුවන් ලෙසට ඒ හා සමානව යුතුකම් ද ඇති බව ප්‍රත්‍යක්ෂ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පෘතග්ජන මිනිසුන් ලෙසට හිමිකම් වෙනුවෙන් පමණක් වෙහෙසුනු අපට මිහිකතගේ දරුවන් ලෙසට ඒ හා සමානව යුතුකම් ද ඇති බව ප්‍රත්‍යක්ෂ කළා. එය පොදුවේ අප සැමටම වරදකාරී හෘදය සාක්ෂියක් ඇති කළා යැයි පැවසුවොත් නිවැරැදියි. එහි විපාකයක් ලෙසට හෝ මිහිකතට අප ඉටුකළ යුතු යුතුකම් පිළිබඳව සංවේදනීයතාවක් අප තුළ ඇති වුණා නම්, එය මානව වර්ගයාගේම මතු පැවැත්ම ගැන සැලකූ විට භාග්‍යයක්. මන්ද, අපි තවම පරක්කු නැහැ. හැබැයි අපිට තව වැඩි වෙලාවකුත් නැහැ. බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට යනුවෙන් බෝඩ් ලෑල්ලක් එල්ලා අනාගත උවදුරින් ගැලවීමට අපට තවදුරටත් බැහැ.
අන්න ඒ හේතුව නිසාමයි අපගේ පාරිභෝජනය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය කිරීම වැදගත් වන්නේ. එහි වැදගත්කම ඉතාමත් පැහැදිලි ලෙස අවබෝධ කරගත් නිසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන සෞභාග්‍යයේ දැක්මට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කයන් ඇතුළත් කළේ. එය හුදෙක් ප්‍රකාශනයකට සීමා නොකොට ක්‍රියාත්මක කිරීම සඳහා ඒ වෙනුවෙන්ම විශේෂිත රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටවූයේත් එම නිසාමයි. මෙම රජය පත්වී වසරක කාලයක් තුළදී, අනපේක්ෂිත වාගේම පෙර නොවූ විරූ ස්වභාවයේ දැවැන්ත අභියෝගයක් මැද්දේ වුවද, එම ඉලක්කයන් සපුරා ගැනීමේ දිගු ගමනේ සමාරම්භක පියවර එකිනෙක ඉදිරියට තැබීම, විශාල ජයග්‍රහණයක් ලෙසට අප අවිවාදයෙන් පිළිගත යුතුයි. එමෙන්ම, මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කැප වූ මාගේ පූර්වගාමී අමාත්‍යවරුන්ට ද සියලුම දේශපාලන පක්ෂ වෙත ද නිලධාරීන් වෙත ද පෞද්ගලික අංශය වෙත ද විශේෂයෙන්, තම ලාභාංශවලට වඩා ඉහළින් ජාතික අවශ්‍යතාවයට ගරුත්වයක් ලබාදුන් ලංකා විදුලිබල මණ්ඩලයටCEB) රාජ්‍යයේ ගෞරව ප්‍රණාමය හිමිවිය යුතුවේ.
වැඩිවන ජනගහනයත්, පාරිභෝජනයත් හේතුවෙන් ඇතිවන බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට රටක් ලෙසට අප ඉදිරියෙහි ඇති විශාල අභියෝගයක්, බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් බිහිකිරීමට අපට රටක් ලෙසට හැකි හැම බලශක්ති ප්‍රභේදයක්ම භාවිතා කිරීමටත්, ඒ අතරින් විශේෂයෙන්ම පරිසර හිතකාමී ප්‍රභේදයන් ප්‍රවර්ධනය කරමින් ඒවා බහුලව යොදා ගනිමින් රටේ විදුලිය උත්පාදනය කරන තැනට අප යායුතුමයි.
එම නිසා කුමන අභියෝගාත්මක තත්වයන් තුළ වුවද, පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය ජනනය කිරීම මුළුමනින්ම නැවැත්වීමටත්, ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය අවම කිරීමටත් අප ප්‍රායෝගිකව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග, කොන්දේසි විරහිතව ක්‍රියාත්මක කිරීමට එකඟතාවයකට පැමිණිය යුතුමයි. නැතිනම් අපට සෞභාග්‍යමත් අනාගතයක් යන්න තවදුරටත් සිහිනයකට පමණක් සීමා වෙනවා. මෙය තමයි සරල සත්‍යය.
අපද්‍රව්‍ය භාවිතයෙන් විදුලිය ජනනය කිරීම යන සංකල්පය අපේ සමාජයට නුපුරුදු, නුහුරු ක්‍රියාවලියක් වන්නට පුළුවන්. අපද්‍රව්‍ය ප්‍රභේදයන් විවිධාකාර වනවා. නාගරික ඝන අපද්‍රව්‍ය, ජෛව හායනය වූ අපද්‍රව්‍ය, උපද්‍රවකාරී අපද්‍රව්‍ය, කර්මාන්ත අපද්‍රව්‍ය, ඉදිකිරීම් අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් සහ රසායනික අපද්‍රව්‍ය වශයෙන් ඒවා වර්ගීකරණයට ලක්වනවා. මෙතැනදි අපට වැදගත් වන්නේ නාගරික ඝන අපද්‍රව්‍යයයි.
එය නම් අපේ සමාජයට නුහුරු දෙයක් නොවෙයි. ඉතාමත්ම සමීප, කටුක අමිහිරි අප්‍රසන්න අත්දැකීමක් තමයි මෙම නාගරික ඝන අපද්‍රව්‍ය. කොළඹ නගරයක් ලෙසට දීර්ඝකාලීනව මුහුණ දෙන දැවැන්තම ගැටලුවක් තමයි මේ දිනකට ටොන් දහස් ගණනින් එකතු වන නාගරික ඝන අපද්‍රව්‍ය ගොන්න. අද මේ විවෘත කරන විදුලි ජනන බලාගාරය ක්‍රියාත්මක වන්නේ එම නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතයෙන්. ලෝකයේ නම්, නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් බලශක්තිය උත්පාදනය සාපේක්ෂව අලුත් දෙයක් නොවෙයි. නමුත් එම ක්‍රියාවලිය පරිණාමයට ලක්වි ලොව දියුණු රටවල් පරිසරයට මුදාහරින අහිතකර බලපෑම් අවම කරමින් එය ක්‍රියාත්මක කරන්නට සමත් වී තිබෙනවා. අප රටක් ලෙසට පුරවැසියන් ලෙසට මෙහි වැදගත්කම අවබෝධ කරගත යුතුමයි. නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම බලාගාරයට විදුලිය ජනනය කිරීම පමණක් නොවෙයි කොළඹ නගරයේ කසළ ප්‍රශ්නයට ද සාධනීය විසඳුමක් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා. එය මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට අපට ලබාදෙන දිරිගැන්වීමක්. ගෝඨාභය රාජපක්ෂ ජනපතිඳුන්ගේ දිගුකාලීන සංකල්පය වූ අගනුවර “ශුන්‍ය අපද්‍රව්‍ය නගරයක්” (Zero Waste City) බවට පත්කිරීම නුදුරේදීම යථාර්ථයක් වනු නොඅනුමානය. තැබුවේ එහි පළමු පියවරයි.
මෙහි තවත් වටිනාම කරුණක් වන්නේ මෙම ව්‍යාපෘතියට මධ්‍යම රජය, පෞද්ගලික සමාගම් සහ පළාත් පාලන ආයතන යන අංශ ත්‍රිත්වයම අත්වැල් බැඳගැනීමයි. විශේෂයෙන් ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන පක්ෂ හා නායකයන් එම සම්ප්‍රදායික “එරෙහි” මතවාදයෙන් බැහැරව ජාතික අභිලාෂයන් ඉදිරිපිට එක්වීමයි. එය අගය කළයුතු ප්‍රවණතාවක්. රටට හොඳ දෙයක් කරන්නට අප වෙන්විය යුතු නැහැ. පිල් බෙදිය යුතු නැහැ. මන්ද අවසානයේ අප සියලු දෙනාම පුරවැසියන් ලෙසට එම යහපත් ක්‍රියාවන්වල ප්‍රතිඵල භුක්ති විඳින නිසා. රටට හොඳක් කරන්නට අපට එකතු විය හැකියි. එකතු විය යුතුයි කියන වැදගත් වටිනා පූර්වාදර්ශය මෙම ව්‍යාපෘතිය ආරම්භයත් සමඟ අප ජාතියට කියා දී තිබෙනවා.
ලොව බිහිවූ විශිෂ්ටතම නවෝත්පාදකයෙකු, කර්මාන්තකරුවෙකු වූ හෙන්රි ෆෝඩ් වරක් මෙහෙම කියා තිබුණා. “ප්‍රයෝජනයක් නොවන යම් දෙයක් වේද, එය අපද්‍රව්‍යයකි, කියලා” ඉතින් අපි අපද්‍රව්‍යයෙනුත් ප්‍රයෝජනයක් ගත්තොත්, එය තවදුරටත් අපද්‍රව්‍ය කියා අපට කිව හැකි ද? එසේ නොකිය හැකි තැනට යන්නට මේ පියවරම ඇරඹුමක් කර ගනිමු. රටක් ලෙසට දිනමු.
විදුලිබල අමාත්‍යාංශය, පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා අපද්‍රව්‍ය කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, පාරිසරික අමාත්‍යාංශය සහ පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යාංශය මෙම ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එක්ව, එක අරමුණකින් සහ සෞභාග්‍යයේ දැක්මෙන් කටයුතු කිරීමට දැනටමත් එකඟවී ඇත. පළාත් මට්ටමින් කුඩා ප්‍රමාණයේ අපද්‍රව්‍ය බලශක්තියට හැරවිමේ (WTE) බලාගාර නවයක් අරඹා දශක ගණනාවක් මෙරට දේශපාලන ශබ්දකෝෂය අරක්ගෙන සිටි “කුණු කතාවන්ට” නැවතීමේ ලකුණ තැබීම තවත් වසරකට හෝ ප්‍රමාද කළ යුතු නොවේ.