මවු භාෂාව භාවිත කිරී­මට ලැබීම ඕනෑම මානව වර්ග­යක අයි­ති­යකි! | සිළුමිණ

මවු භාෂාව භාවිත කිරී­මට ලැබීම ඕනෑම මානව වර්ග­යක අයි­ති­යකි!

භාෂාමය සංස්කෘතික විවිධත්වය සහ බහු භාෂා භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර්ජාතික මවුභාෂා දිනය පෙබරවාරි 21 වැනි දින වන සැමරයි. ලෝ වැසියන් විසින් භාවිත කරනු ලබන සියලු භාෂා සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සැමරෙන ජාත්‍යන්තර මවු භාෂා දිනය 2021 වර්ෂයේ තේමාව වන්නේ බහුභාෂා පෝෂණය අධ්‍යාපනයට හා සමාජයට මහඟු ප්‍රවේශයක් යන්නයි. මවු භාෂාව යන්න කුමක්ද ලෙස සරලව අර්ථ ගැන්වුවහොත් භාෂාව තමන්ට උපතින් හිමි වන භාෂාව එසේත් නැතිනම් උපතේ සිට තීරණාත්මක කාලයක් තුළ මුලින්ම ඉගෙන ගන්නා බස සරල වශයෙන් මවු භාෂාව ලෙස අර්ථකථනය කළ හැකිය.

ලොව වැඩිපුරම කතා කරන භාෂාව ඉංග්‍රීසි භාෂාව ලෙස හැඳින්වූවත් ඉංග්‍රීසි භාෂාව කතා කරන ජන සංඛ්‍යාව පසුවන්නේ ලොව තෙවැනි ස්ථානයේයි. ලොව වැඩිපුරම කතා කරන භාෂාව චීන භාෂාවයි (මැන්ඩලීන්). දෙවැනි ස්ථානය හිමි වනු ලබන්නේ ස්පාඤ්ඤ භාෂාවටයි. දෙමළ භාෂාව විසි වන ස්ථානයේ පසුවන අතර සිංහල භාෂාවට හිමි හිමිවන්නේ හැට දෙවන ස්ථානයයි. මෙය ඉතා දුක්ඛිත තත්ත්වයකි. භාෂාවක් ඉදිරියට පවත්වාගෙන යාමේදී වඩාත් වැදගත් වෙනු ලබන්නේ කථනයයි. ලොව භාවිත වන භාෂා සීයට අනූවක් තරම් බහුතර භාෂා ප්‍රමාණයක් ව්‍යවහාර කරන්නේ සමස්ත ලෝක ජනගහනයෙන් සියයට හතරක් තරම් ඉතා සුළු පිරිසකි. ජාත්‍යන්තර භාෂා දිනය සමරනුයේ විශ්ව භාෂා අද මුහුණ පා ඇති අභියෝග හඳුනා ගෙන ඊට විසඳුම් සෙවීමේ අරමුණිනි.

වර්තමාන ලෝකයේ ව්‍යවහාරික භාෂාව පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණයකදී දැනට ලෝකය පිළිගත් භාෂා 6912 ක් ව්‍යවහාර වන බව හඳුනා ගෙන තිබේ. එයින් භාෂා දහයක් පමණ වචන නැති සංඥා භාෂාය. එසේම ව්‍යවහාරයේ පවතින භාෂා තුනෙන් 50% කට වඩා වැඩි ගණනක් ව්‍යවහාරයෙන් ඉවත්ව මළ භාෂා ලැයිස්තුවට එක් වීමේ අවදානමක් පවතියි. වඩාත් භයානකම කරුණ වන්නේ මෙම භාෂා අතරින් එක් භාෂාවක් සෑම සති දෙකක් තුළ ම ලොවට අහිමි වීමයි.

මේ පිළිබඳව හා මෙවර මවුභාෂා දිනයට සමගාමීව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ ඩී.කලංසූරිය අදහස් දැක්වූවේ මේ ලෙසිනි.

‘මේක මවුභාෂා දිනය වශයෙන් ප්‍රකාශ කරලා 2000 දී රටවල් 188ක් ජාත්‍යන්තර වශයෙන් මවුභාෂා දිනය සමරනවා. ඒ අනුව තමයි මේ දිනය පෙබරවාරි 21 මවුභාෂා දිනය විදියට යොදා ගත්තේ. ලංකාව තුළත් විවිධ ජාතීන් කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා. ඔවුන් ඔවුන්ගේ මවුභාෂාව ඔවුන්ගේ ගෘහාශ්‍රිතව, ඔවුන්ගේ ඥාතීන් අතර භාවිත කරනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මෙවර මවුභාෂා දිනය වෙනුවෙන් තම අදහස් දැක්වූයේ මේ ලෙසිනි.

බහුභාෂිකත්වය ලෝකය පුරාම දකින්නට ලැබෙන සංසිද්ධියක්. ඒ රටවල් වලින් වැඩි ප්‍රමාණයක් බහුභාෂිකයි. ඒකභාෂික කියන රටවල් අද නැහැ. ඒ අතරම තියෙන අනිත් කාරණය තමා ඉංග්‍රීසි වැනි විශ්ව භාෂාවක් ව්‍යාප්ත වෙන නිසා ඒ රටවල තියන මවු භාෂාවලට විශාල බලපෑමක් එල්ල වෙමින් තියනවා. මවුභාෂා දිනයේ තියන වැදගත්කම තමයි ඉංග්‍රීසි වැනි විශ්ව භාෂා හමුවේ මවුභාෂාවට ඇති ත‍ර්ජනය.

ස්වදේශී භාෂා ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම ඒ භාෂාවල තියන තොරතුරු ලේඛනගත කිරීමේ අවශ්‍යතාවක් තියනවා. අද තියෙන විශේෂ කාරණයක් තමා ලංකාව වැනි රටක සිංහල, දෙමළ රාජ්‍ය භාෂා වශයෙන් භාවිත වුවත් ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන් අපේ අධ්‍යාපනය පරිපාලනයට හා වාණිජ වැනි අංශවල වැඩි බලපෑමක් කිරීම.

යම්කිසි ආකාරයකට මවු භාෂාව අතහැර ඉංග්‍රීසි වැනි භාෂාවක් සම්පූර්ණයෙන් අධ්‍යාපනය මාර්ගය බවට පත් වුණොත් ඒ දැනුම ස්වභාෂා වලින් ප්‍රකාශයට පත් වෙන්නෙ නැහැ. එහෙම තත්ත්වයක් ආවොත් සාමාන්‍ය ජනයාගේ එදිනද කතා බහ පමණක් මවුභාෂාවට සීමා වෙන්න පුළුවන්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ මහාචාර්ය දුෂ්ෂන්ති මෙන්ඩිස් මවුභාෂාව පිළිබඳවත් එහි වැදගත්කමත් වෙනස් විදියකට ප්‍රකාශ කළේය. ‘මම හිතන විදිහට මේ පාර තේමාව ගොඩක් උචිතයි. මොකද ශ්‍රී ලංකාව බහුභාෂික රටක්.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා දෙකක් තියෙනවා. ඒ සිංහල සහ දෙමළ. ඊට අමතරව ඉංග්‍රීසි කතා කරන අයත් ඉන්නවා. ඒ වගේම තවත් භාෂා තුනක් තියෙනවා.

ශ්‍රී ලංකා මැලේ, ශ්‍රී ලංකා පෘතුගීසි, ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ භාෂාව. අඩුම ගානේ ලංකාව තුළ මවු භාෂාව කියලා භාෂා 6 කට අපිට කියන්න පුළුවන්. හැබැයි දැන් අධ්‍යාපනය අතින් බලනකොට ලංකාවේ පාසල්වල උගන්වන්නේ ඔය භාෂා හයෙන් තුනක් පමණයි. ඒ සිංහල, දෙමළ, ඉංග්‍රීසි. අනිත් භාෂා පාසල්වල උගන්වන්නේ නැහැ.

මම ඒ එක්කම භාෂා අයිතිවාසිකම් අතින් බලන විට එතනත් උල්ලංඝණය වෙනවා කියලා මම කියනවා. එයාලගේ මවු භාෂාව අපි අනුමත කරන්නේ නැහැ. මවු භාෂාව කියන්නෙ තමන්ගෙ ආත්මේ වගේ. තමන්ගේ සිරිත් විරිත් තමන්ගේ ආගම තමන් කවුද කියන එක මේ ඔක්කොම දේවල් එක්ක බැඳෙන දෙයක්.ඒ නිසා කාගෙහරි මවු භාෂාව අනුමත කරන්නෙ නැත්නම් තමන්ගෙ මවු භාෂාවට තැනක් දෙන්නේ නැත්නම් මගේ තර්කය එක භාෂා අයිතීන්ට කරන උල්ලංඝනය කිරීමක්.

කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය කවීතා රාජරත්නම් මවු භාෂාව වෙනුවෙන් සිය හඬ අවදි කළේ මේ ලෙසය.

ලෝක භාෂා දිනය සැප්තැම්බර් 26 දින සමරනවා. නමුත් ජාත්‍යන්තර මවු භාෂා දිනය සැමරීම පෙබරවාරි 21 දිනට යෙදෙනවා. එය ආරම්භ කළබව 1999 පෙබරවාරි 21 දින දැනුම්දෙන ලද්දේ UNESCO ආයතනය විසින්. මෙම දිනයේ අරමුණ රටක පවතින පැරණිම භාෂා ආරක්‍ෂා කිරීම. භාෂාව පෝෂණය කිරීමට අනිවාර්යයෙන් පැරණි සාහිත්‍ය හා සම්ප්‍රදාය අවශ්‍යය වෙනවා.

එසේත් නොමැතිව කථන භාෂාවෙන් පමණක්ම මවු භාෂාව පෝෂණය අපහසුයි

මේ දෙයට මම යෝජනා කරන විසඳුම වන්නේ මවු භාෂාව හා දෙවන භාෂාව සෑම දරුවෙකුටම හොඳින් ඉගෙන ගන්න ඕනී. මක්නිසාද යත් මවු හාෂාව ඉතා නිවැරදිව අවබෝධ කර ගත් විට අනෙක් හාෂාවල අත්තිවාරමද පැහැදිලිව අවබෝධ වෙනවා.

ඉහත කරුණු සමඟ මඳක් සිතා බලන විට ඔබ සිතන්න මවුභාෂාවට හිමිවන තැන සහ මවුභාෂාව අද තිබෙන තැන. ජාතිය සිංහල යැයි ආඩම්බරයෙන් කියනවා සේම භාෂාව සිංහල යැයිද ඔබ ආඩම්බරයෙන් කිවයුතුය. ඉතින් ඔබ ඔබගේ සිතින් මඳක් අසන්න; ඔබ ඔබේ භාෂාවට දී තිබෙන තැන.

Comments