යුද්ධ­යක් නැතත් අපේ ශක්තිය තවත් වැඩි කර­නවා | සිළුමිණ

යුද්ධ­යක් නැතත් අපේ ශක්තිය තවත් වැඩි කර­නවා

ටක ගුවන් හමුදාව යනු ගොඩ බිම මුහුද හා උඩුගුවනේ ආරක්ෂාව පිණිස කටයුතු කරන ආරක්ෂක හමුදාවකි. එමෙන්ම සෙසු ආරක්ෂක අංශවලද මෙහෙයුම් උදෙසා සහයෝගය ලබා දෙන හමුදාවකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සැමරුම යෙදී ඇත්තේ මාර්තු 2 වෙනිදාටය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා වන එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙවර සිළුමිණ සමඟ අදහස් දක්වන්නේ ගුවන් හමුදාවේ වත්මන් කාර්යභාරය ගැන මෙන්ම ඉදිරි ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙනි.

 

ඔබ ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබූ අවස්ථාවේදී පැවසුවා අංශ 4ක් ඔස්සේ ගුවන් හමුදාව ඉදිරියට ගෙන යන බව කොහොමද දැන් එහි ප්‍රගතිය.

මා පැවසූ ලෙසින්ම එම ඉලක්ක 4 කරා යමින් සිටිනවා. එයින් පළමු ඉලක්කය ලෙසින් ගුවන් හමුදා ශක්තිය වැඩි කිරීම පිණිස ගුවන් යානා පූර්ණ නඩත්තුවකට ලක් කරමින් ඉදිරි කටයුතු කරගෙන යනවා. එම ගුවන්යානාවලින් 50%ක් පමණ සංඛ්‍යාවක් පූර්ණ අලුත්වැඩියා කිරීම පිණිස විදේශ රටවල් සමඟ මේ වන විට ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ. සෙසු ගුවන් යානාත් ඒ ලෙසින්ම පූර්ණ අලුත්වැඩියාවන් සඳහා යොමු කිරීම මේ වසරේදීම සිදුකරනවා.

දෙවැන්න ලෙසින් පැවසූ මුහුදු ආරක්ෂණය සම්බන්ධයෙන්ද අපි මේ වන විටත් ආවරණ කටයුතු කරමින් පවතින්නේ. ශ්‍රී ලංකාව දූපතක් නිසා මිත්‍ර රටවල සහයෝගයෙන් එම කටයුතු සිදු කරන්නට අප සැලසුම් සකස් කර තිබෙනවා. ඒ සඳහා නවීන තාක්ෂණික පහසුකම් පවා අපට හිමිව තිබෙනවා. රජයේත් අවසරය මත විදේශ රටවල් දෙකකින් නවීන පහසුකම් ඇති ගුවන් යානා ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ මඟින් ගුවන් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගන්න පුළුවන් වේවි. තුන්වැන්න ලෙසින් මා පැවසුවේ නවීන තාක්ෂණය යොදා ගැනීමයි, විශේෂයෙන්ම සයිබර් තාක්ෂණය සම්බන්ධව අප වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ කාර්යය සඵල කර ගැන්ම පිණිස සයිබර් තාක්ෂණයට දක්ෂතා ඇති අය බඳවා ගැනීම් සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කර තිබෙනවා.

ඊට අමතරව නියමුවන් රහිත යානා භාවිතය යළි ස්ථාපිත කිරීමටත් අප කටයුතු යොදා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතුයි, ආසියාවේ පළමුවෙන්ම නියමුවන් රහිත යානා භාවිත කෙළේ අපි. අද වන විට අපේ නියමුවන් රහිත යානා භාවිතය ‘0‘ දක්වා පහළට ඇවිත්. මේ තත්ත්වය වහාම නඟා සිටුවීමටයි කටයුතු කරන්නේ.

එසේම ස්වභාවික උවදුරුවලදී රටට අවශ්‍ය සහාය දීමේ ක්‍රමවේදය වර්ධනය කිරීම මගේ සිවුවෙනි අරමුණ වුණා. අප විදේශීය තාක්ෂණය හා උපාංගත් ඒ වෙනුවෙන් වැඩියෙන් භාවිත කරනවා.

 

● ඔබ පැවසුවා නියමුවන් රහිත යානා යළිත් පණ ගන්වන බවක්. මෙරටදීම එම යානා තැනීමට කටයුතු කරන බවත් මීට පෙර අවස්ථාවකදී ඔබ පැවසුවා......

අපේ නිෂ්පාදන ක්‍රමවේදය ඉතාම සාර්ථකයි. අපි හදපු නියමුවන් රහිත යානාව මාර්තු මාසයේ ගුවන් හමුදා 70 වන සංවත්සරයේදී එළි දක්වනවා. ඉදිරියේදීත් එම යානා එලෙසින්ම වැඩි දියුණු කරනවා.

 

විදේශීය රටවල් දෙකකින් නවීන පහසුකම් ඇති යානා ලබා ගන්නා බව ඔබ පැවසුවා, එයින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කාර්යයන් ගැන හැඳින්වීමක් කළොත්..

ශ්‍රී ලංකාව දූපතක්. මේ නිසා මුහුදු මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හෝ මෙරට කේන්ද්‍රස්ථානයක් කරගෙන වෙනත් රටවලට යළි අපනයනය කිරීමට හැකි තත්ත්වයක් තියෙනවා. එමෙන්ම අනවසර සංක්‍රමිකයන් පැමිණෙන්න පුළුවන්. ඒ වගේම මුහුදු මඟින් තහනම් භාණ්ඩ ගෙන එනවා. අපේ මත්ස්‍ය සම්පත විදේශ ධීවරයන් හොරෙන් ලබා ගන්නවා. ඒ සියලු ක්‍රියාදාමයන් වළක්වාලීම පිණිස නවීන පහසුකම් වලින් යුතු යානා හරහා ආවේක්ෂණ කටයුතු සිදු කරන්න පුළුවන්. එසේම නාවික හමුදාව හා වෙරළාරක්ෂක බළකාය සමඟ එකතු වී මෙරට සීමාවේ මුහුදෙන් සිදු කෙරෙන සියලු ජාවාරම් මේ හරහා මැඬ පවත්වන්නට පුළුවන් වේවි.

 

● කොවිඩ් මර්දනය හමුවේ ගුවන් හමුදාවේ දායකත්වය ගැන පැහැදිලි කළොත්...

කොවිඩ් රෝග ව්‍යාප්තිය මෙරට ආරම්භ වීමටත් පෙර සිටයි අප ඒ සඳහා කටයුතු කෙළේ. වූහාන්වල සිට ශිෂ්‍ය කණ්ඩායමක් ගුවන් මඟින් ගෙන ඒමේදී ගුවන් හමුදා ජීව විද්‍යාත්මක රසායනික විකිරණශීලී හා න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය සඳහා ප්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගය (CBRNE) තමයි ඒ වෙනුවෙන් මුල් වී කටයුතු කෙළේ. අපට බාර දී ඇති රාජ්‍ය ආයතන සම්බන්ධ ක්‍රියාකාරීත්වයන්ට අමතරව අපි මේ වෙනකොටත් කොවිඩ් රෝගීන් වෙනුවෙන් මධ්‍යස්ථාන 5ක් පවත්වාගෙන යනවා.

එමෙන්ම රජයෙන් අපට දැනුම් දෙන ස්ථාන විෂබීජහරණයටත් අප කටයුතු කරනවා. එහිදී පාසල් මෙන්ම පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කළා. ඒ වගේම පසුගිය දිනවල කොවිඩ් මර්දන එන්නත අපේ ඉදිරි පෙළේ හමුදාවන්ට ලබා දී ඒ හරහා ඔවුන්ගෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගන්නට කටයුතු කරමින් ඉන්නේ.

 

● ගුවන් හමුදාවට දැන් වසර 70ක් මේ කාලයේ සේවාව, විශේෂයෙන්ම යුද්ධයේදී කළ සේවාව ගැන ජනතාවට යමක් දැනුම්වත් කළොත්....

වසර 70ක කාලයක් කියන්නෙ සුළු කාලයක් නෙමෙයි. මේ කාලය ඇතුළත ගුවන් හමුදාවේ නිලධාරීන් 4000ක් පමණ හා සෙසු නිලයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සේවය කර තිබෙනවා. මට පෙර ගුවන් හමුදාපතිවරුන් 17 දෙනකු සේවය කර තිබෙනවා. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැන්මට ගුවන් හමුදාවේ 443 දෙනකු දිවි පුදා තිබෙනවා. එයින් 43ක්ම ගුවන් නියමුවන්. යුද සමයේ ගුවන් හමුදාවේ නියමුවන් හිටියේ 150ක් වගේ සංඛ්‍යාවක්. එයින් 43ක් මියගියා කියන්නේ 1/3ක් වගේ සැලකිය යුතු පිරිසක්. ඒ සියලු දෙනාගේ ධෛර්යය කැපවීම මතයි අපි මේ ගමන ආවේ.

 

● වර්තමානයේ සමාජ සුබ සාධනය පිණිස ගුවන් හමුදාවේ දායකත්වය ගැන සඳහන් කළොත්......

ගුවන් හමුදාව කියන්නේ මහජන මුදලින් යැපෙන ආයතනයක්. එම නිසා අපි අනිවාර්යෙන්ම ජනතාව වෙනුවෙන් උපරිම වශයෙන් ජනතා සේවාවන් ඉටු කළ යුතු වෙනවා. මෙවර ගුවන් හමුදා 70 වන සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑවේ කණුගහවැව කියන ඉතාම දුෂ්කර පිටිසර ගම්මානයක් නඟා සිටුවීමේ වගකීම ජනාධිපතිතුමා අපට පවරා තිබෙනවා. ඒ කටයුත්ත මේ වන විට අප උපරිමයෙන් සිදු කරමින් ඉන්නේ. අපි ගම්මානයේ කුඩාම පැල්පත් 25ක් වෙනුවෙන් නිවාස තැනීමට කටයුතු කළා. එයින් මේ වන විටත් නිවාස 14ක් සම්පූර්ණයෙන්ම නිමකර අවසන්. ඉතිරි නිවාසත් මේ මාසය නිමාවන විට තනා නිම කරනවා.

විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අනුව ගම්මානයේ බොහෝ කටයුතු සිදු කරන්නට අප කටයුතු යොදා තිබෙනවා. මේ ගම්මානයේ සංවර්ධන කටයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙසින් අදියර වශයෙන් අප සිදු කරන්නේ.

ඒ යටතේ ඉදිරියේදී පාසලේ ගුරු නිවාසය, වතුර ටැංකියත් පිළිසකර කෙරෙනවා. ගමේ විහාරස්ථානයක් නවීකරණය කෙරෙනවා. ගමට අත්‍යවශ්‍ය අලිවැටත් අප සාදා අවසානයි.

එමෙන්ම දීර්ඝ කාලීන සැලසුම් යටතේ ගමට බස් රථ නැවතුමක්, බෙහෙත් ශාලාවක්, ප්‍රජාශාලාවක් ඇතුළු පහසුකම් සපයන්නත් අප බලාපොරොත්තු වනවා.

● මේ වගේ දරිද්‍රතාවයන්ගෙන් පෙළෙන ගම්මානවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පහළ මට්ටමක තියෙන්නේ. ඒ වෙනුවෙන් යමක් කරන්නට බලාපොරොත්තු වන්නේ නැත්ද?

ඒ වෙනුවෙන් කිසිදු ගම්මානයක මීට පෙර නොකළ ක්‍රියාදාමයක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නාගරික සුපිරි පෙළැන්තියේ වගේ අපි ඒ හැම කෙනෙකුටම වෛද්‍ය ගොනුවක් ස්ථාපිත කරනවා.

ඒ අනුව යම් රෝගයක් වැළඳෙන්නට පෙර පවා ප්‍රතිකාර ලබා ගන්නට ඔවුන්ට හැකි වෙනවා. ඒ වගේම රෝග ඉතිහාසය එක්වර වෛද්‍යවරයකුට නිගමනය කර ගන්නත් පුළුවන්.

 

● ගුවන් හමුදාව පසුගිය කාලයේ තණමල්විල ඇතුළු ප්‍රදේශවල සිදු කළ කංසා හේන් වැටලීමේ මෙහෙයුම් තවමත් සිදු කරනවාද?

අනිවාර්යෙන්ම ඒ කාර්යයන් දිගටම සිදු කරනවා. අපි ගුවන් ආවේක්ෂණ කටයුතු සිදුකර අදාළ පුද්ගලයන් මෙන්ම කංසා වගාවන් ගැන නිරීක්ෂණ ලබා ගන්නවා. ඒ මඟින් වැරැදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පහසුයි.

කොහොමත් පසුගිය දිනවල දිගින් දිගටම ‍කේරළ ගංජා විශාල තොග ඉන්දියාවේ සිට ගෙන ඒමේදී අත්අඩංගුවට පත්වුණේ දේශීය වශයෙන් ගංජා නිපැයුම අඩුව ඇති නිසයි. නීති විරෝධී වගාකරුවන් අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම සිදු වෙනවා.

 

●  ගුවන් හමුදාව කාලාන්තරයක් තිස්සේ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සිදු කළා. යුද්ධය අවසන් වෙලා සෑහෙන කලක් ගතවෙලත් ඇයි තවමත් ඒ සේවාව ආරම්භ කෙළේ නැත්තෙ.

මේ වන විට අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා අනුමැතිය ඉල්ලා තිබෙනවා. ඉතා ඉක්මනින් ඒ සඳහා අනුමැතිය ලැබෙයි කියා හිතනවා.

 

●  ගුවන් හමුදා කඳවුරු පිහිටා තිබෙන්නේ ඉතාම සශ්‍රීක භූමිවලයි. විශේෂයෙන්ම වීරවිල, අම්පාර, හිඟුරක්ගොඩ වැනි කඳවුරු ආශ්‍රිතව වගා කටයුතු සිදු කිරීම් නොකරන්නේ ඇයි?

ගුවන් හමුදා කඳවුරුවලට ගුවන් යානා ගොඩබැස්සවීම් මෙන්ම ගුවන් යානා ගුවන්ගත කිරීම් සිදුවෙනවා. එවන් අවස්ථාවලදී පලතුරු ආහාරයට ගැනීමට කුරුල්ලන් පැමිණීමේදී ගුවන් යානා අනතුරුවලට ලක්වන්නට පුළුවන්. එම නිසා කඳවුරු ආශ්‍රිතව යටි වගා සිදු කරන්නට පමණක් අවසර ලබා දී තියෙනවා. එම යටි වගාවන් කඳවුරුවල ප්‍රයෝජනයට ගන්නවා.

 

●  දේශීය වශයෙන් ගුවන් යානා හා ගුවන් හමුදා සේවා ගැන දැනුවත් කිරීමක් නැත්නම් පුහුණුවක් සිදු කරන්නට කටයුතු කළානම් එයට වැඩි වටිනාකමක් ලැබෙනවා නේද?

ගුවන් හමුදාවට, ගුවන් යානාවලට ආදරය කරන තරුණ කොටස් ඉන්නවා. ඒකට අඩිතාලමක් ලෙස ගුවන් යානා ගැන හොයන පාසල් දරුවන්ට ඒ ගැන ‘ඔන් ලයින්‘ පාඨමාලාවක් මේ වන විට ආරම්භ කර තිබෙන්නේ. එය නොමිලේම සිදු කරන සේවාවක්. කොවිඩ් වසංගත තතත්වය පහව ගිය සැණින් ගුවන් හමුදා කඳවුරු තුළ ගුවන් පාසල් ආරම්භ කර පාසල් සිසුන්ට ඒ අවස්ථාව නොමිලේම ලබා දෙන්නට අප කටයුතු කරනවා.

ඊට අමතරව කටුනායක තියෙන ගුවන් යානා නඩත්තු අංගණයේ චීනයේ නිෂ්පාදිත ගුවන් යානා සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට ලක් කරනවා. එහි පුහුණුව වගේම තාක්ෂණයත් ඉතා වටිනවා. එමෙන්ම අපේ කඳවුරුවලට අවශ්‍ය ඇතැම් උපාංග පවා අපි එහිදී නිපදවා ගන්නවා.

 

● කෆීර් යානා යුද සමයේ විශාල දායකත්වයක් ලබා දුන්නා. දැන් ඒවායේ තත්ත්වය කුමක්ද?

අපි බලාපොරොත්තු වනවා කෆීර් යානා වසර 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන්න. ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් කරන්න කටයුතු යොදා තියෙන්නෙ.

 

● කෆීර් යානා ශබ්දයේ වේගයටත් වැඩි වේගයකින් ගමන් කරන්නේ. යුද සමයේ අවශ්‍ය වුවත් අතිවිශාල මුදලක් වැය කර එවන් යානා තබා ගැනීමේ තේරුමක් තියෙනවද?

රටක් ලෙස අපේ ප්‍රහාරක ශක්තිය අත්‍යවශ්‍යයි. අපිට ඒ සඳහා අතීතයේ හොඳ පාඩම් තියෙනවා. පසුගිය ඊළාම් යුද්ධයේ ආරම්භය වන 1983 වසර වන විට අපට ගුවන් ප්‍රහාරක ශක්තියක් තිබුණේ නැහැ.

අපට ප්‍රහාරක ශක්තිය නිසි පරිදි සකස් කර ගන්නට හැකිවුණේ 1991 වසරේදීයි. ඒ කියන්නේ යුද්ධය ආරම්භ වී අවුරුදු 9ක් පමණ යනතුරු අපට ඒ සඳහා මුහුණ දෙන්න ප්‍රමාණවත් ගුවන් ප්‍රහාරක ශක්තියක් තිබුණේ නැහැ. එයින් සතුරා බලවත් වුණා. ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වුණා. එම නිසා මේ වන විටත් මුදල් ගෙවා ලබා ගෙන ඇති කෆීර් යානා නඩත්තු කර තබා ගැනීම අපේ ගුවන් ප්‍රහාරක ශක්තියට අවශ්‍යමයි.

 

●  එවන් ආකාරයට යුද්ධයේදී ලත් අත්දැකීම් මත ගෙන ඇති වෙනත් පියවර මොනවාද?

යුද සමයේ අත්දැකීම් ලත් නිලධාරීන්ගෙන් කනිෂ්ඨ නිලධාරීන්ට ඒ අත්දැකීම් ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා. එසේ නොමැති වුවහොත් යම් අත්දැකීමක් ලබා ගන්නට ඒ නිලධාරීන්ටත් සැලකිය යුතු කාලයක්, එහෙමත් නැත්නම් උවදුරක් පැමිණෙන තුරු බලා සිටින්නට සිදු වෙනවා.

 

● දැන් යුද්ධය අවසන්. මේ වන විට ගුවන් හමුදාවේ පුමුඛ කාර්යයන් ලෙස හඳුනාගෙන ඇත්තේ මොනවාද?

ගුවන් හමුදාව ලෙසින් අපට මුහුණ දෙන්නට වන ප්‍රධාන කාර්යය තමයි සමුද්‍රීය ආරක්ෂණය ගුවනින් සිදු කිරීම. විශේෂයෙන්ම ගොඩබිම මෙන් 24 ගුණයක මුහුදක් අපට තිබෙනවා. එය ආවරණය කිරීම සුළු පටු නැහැ. අපේ මත්ස්‍ය සම්පත රැක ගැනීම මෙන්ම සමුද්‍රයට සිදු වන දූෂණ සම්බන්ධව සොයා බැලීමත් සාගරයේ වෙනත් සම්පත් ගැන සොයා බැලීමත් මෙහිදී අපට වැදගත් වෙනවා. එමෙන්ම දූපත් රටක් ලෙස අප නිරතුරුවම ජනතාව හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙනවා. නාවික හමුදාව හා එක්ව සමුද්‍ර ආරක්ෂණ කටයුතු සිදු කිරීම අපෙන් එදත් අදත් කවදත් සිදුවන්නක්.

 

● ගුවන් හමුදාව විසින් සිදු කරන වෙනත් සමාජ සේවාවන් තියෙනවද?

ඔව්, අපි මහජනතාව වෙනුවෙන් පවත්වන සුබසාධක කටයුතු අතර විශේෂයෙන්ම පැවසිය යුතුයි ශ්‍රී පාදස්ථාන මාර්ගය අවට පිරිසිදු කිරීම. අප සෑම වසරකම එය සිදු කරනවා. එමෙන්ම අපි ගුවන් පාපැදි සවාරිය වාර්ෂිකව පවත්වනවා. මෙරට ඉතා ජනප්‍රිය වගේම ආදරය දිනාගත් සයිකල් සවාරිය එයයි. දින 3ක් වෙනදා ගුවන් පාපැදි සවාරිය පැවැත්වුණත් මෙවර සෞඛ්‍ය ආරක්ෂිත ලෙසින් පැවැත්වීම උදෙසා එය එක් දිනකට සීමා කළා.

එමෙන්ම අපි මේ වසරේ රගර් ක්‍රීඩා තරගාවලියකුත් පවත්වනවා. මේ ලෙසින් අපි මහජනතාව වෙනුවෙන් උපරිම ආකාරයෙන් බාධා මධ්‍යයේ වුවත් කටයුතු කරනවා.

 

● ගුවන් මඟින් බීජ රෝපණ කටයුතු සිදු කළා. එය සාර්ථකද?

ඉතාම සාර්ථකයි. අපි බීජ 70,000ක් පමණ අම්පාර ලාහුගල ජාතික වනෝද්‍යානයේ අක්කර 60ක පමණ භූමි භාගයකට ගුවන් මඟින් හෙළනු ලැබුවා.

විශේෂයෙන්ම අපට ඉතා වැදගත් ඇහැළ. මී, කරඳ, සියඹළා. කුඹුක්, කෝන්, මදටිය වැනි බීජ එසේ ගුවන් මඟින් හෙළනු ලැබුවා. අපට නිරීක්ෂණය වී තිබෙනවා එය ඉතා සාර්ථක ලෙසින් ඵල දරන බවට.

 

● යුද්ධයේදී ඉමහත් මෙහෙයක් කළ ගුවන් හමුදා සේවාවට අන්තර්ජාතික වශයෙන් ඉල්ලීමක් නැත්ද?

2014 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවෙන් ලැබුණු කැඳවීම මත මධ්‍යම අප්‍රිකාවේ සහ දකුණු සූඩානයේ අපේ ගුවන් හමුදා හෙලිකොප්ටර් බළ ඇණි දෙකක් ස්ථාපිත කරා. එයින් අපට විශාල විදේශ විනිමයක් පවා ලැබුණා.

 

● ඔබගේ ධුර කාලයේ ක්‍රියාවට නංවන්න වෙනත් සැලසුම් තියෙනවද?

මා පෙර සඳහන් කළ අපේ ගුවන් ශක්තිය හා ප්‍රහාරක ශක්තිය ඉහළ නැංවීම තමයි ප්‍රධානතම ඉලක්කය වන්නේ. එහිදී තාක්ෂණයත් නවීනතම අයුරින් යොදා ගන්නට කටයුතු කරන අතර දේශීය තාක්ෂණයෙන් අප බොහෝ දේ ලබා ගන්නට කටයුතු කරනවා.

 

සේයාරූ - සමන්ත වීරසිරි

Comments