ශ්‍රී ලංකා‌ෙවන් ඉහ­ළම ආග­න්තුක සත්කාර ලබා අප­ටම හිනැ­හුණු චාර්ල්ස් කුමා­රයා | සිළුමිණ

ශ්‍රී ලංකා‌ෙවන් ඉහ­ළම ආග­න්තුක සත්කාර ලබා අප­ටම හිනැ­හුණු චාර්ල්ස් කුමා­රයා

ශ්‍රී ලංකාවේ‘ ජීවත්වන සිංහල, දමිල, මුස්ලිම්‘ ජනතාව ආගන්තුක සත්කාරයට ලෝක ප්‍රසිද්ධය. ගෙදරට එන අමුත්තන්ට අසල්වාසීන්ට හා නැතිබැරි අයට හැකි පමණින් සංග්‍රහ කොට සතුටු වීම අපගේ සාම්ප්‍රදායික සංස්කෘතික පුරුද්දයි. ලංකාවට පැමිණ ආපසු තම රටවලට ගිය විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවාසීන් ගේ උසස් ආගන්තුක සත්කාරය ඉහළින් වර්ණනා කරමින් ලියන ලද පොත්පත් හා නිකුත් කරන ලද වීඩියෝ දහස් ගණනක් ලොවපුරා පතළ වී ඇත. පසුගිය වසරේ කොරෝනා සමයේ දී ආපසු සිය රටට යෑමට බැරුව අසරණව සිටි යුරෝපා සංචාරයකයන් පිරිසක් ඇල්ල ප්‍රදේශයේ ජනතාව විසින් නොමිලේ කෑම-බීම, ඉඳුම්-හිටුම් ලබාදෙමින් ආදරයෙන් රැක බලාගත් අන්දම යුරෝපයේ රූපවාහිනී වැඩ සටහන් විශාල ගණනක ප්‍රචාරය කෙරුණේ ලංකාවට විශාල කීර්තියක් හා ප්‍රශංසාවක් ලබා දෙමිනි.

 

නමුත් අවාසනාවකට දෝ යුරෝපයේ බොහෝ රටවල්වල ශ්‍රී ලංකාවේ තරම් හදපුරා සතුටින් කෙරෙන ආගන්තුක සත්කාරයක් නම් දකින්නට නැත.

මේ මා එංගලන්තයේ ජීවත්වන 46වැනි වසරයි. ගතවුණු කාලය තුළ අපේ අසල්වැසි සුදු මිතුරන්ට, කාර්යාලයේ මිතුරු මිතුරියන් හා අපේ දු පුතුන්ගේ යාළුවන් හා දෙමවුපියන්ට නත්තලට සිංහල අලුත් අවුරුද්දට හෝ උපන්දින උත්සව වලට අපි පන්සිය වරකට වඩා ආරාධනා කර ඇත්තෙමු.

චාල්ස් කුමරු ආචාර වෙඩිමුර මැද පිළිගැනීම

ඔවුන් අපේ නිවසට පැමිණ ( “Very nice, Sri Lankan food is delicious” ) ශ්‍රී ලංකා කෑම හරිම රසයි කියමින් මගේ බිරිඳ රුවිනී සැදු කිරිබත්, කැවුම්, කොකිස් රස විඳිති. දුංතෙල් බත් සමඟ පරිප්පු, කුකුල්මස්, බල මාළු හා සිංහල හා එළවළු තලු මර මරා කති. ඒ කන අතරේ ( “You must comeand have a meal with us one day”) ඔයාලත් ඉංග්‍රීසි කෑමක් රසවිඳින්න දවසක අපේ ගෙදර එන්න ඕනෑයි කියති’

නමුත් මේ සුද්දෝ කවදාක්වත් අපට ඔවුන්ගේ ගෙදර ආහාර වේලකට එන්නට ආරාධනා නොකරති. ආගන්තුක සත්කාරය යන ගුණ ධර්මය ඔවුන්ට අරහන්ය. ඒ ඔවුන්ගේ සංස්කෘතියේ හැටියයි. ඔවුන්ගේ සමාජය හැඩ ගැස්වී තිබෙන්නේ එසේය. (නමුත් මෙහි වසන ඉතාලි, ඉරාන, ග්‍රීක්, රුසියන් ජාතිකයන් ආසියාතිකයන් තරමටම ආගන්තුක සත්කාරයට ළැදිය).

මේ වැරැද්ද වැඩියෙන්ම කරන්නේ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් වැදගත් උත්සවවලට රාජ්‍ය අමුත්තන් ලෙස සහභාගීවීමට පැමිණෙන බ්‍රිතාන්‍ය දේශපාලන නායකයන්ය; නැතිනම් රාජ කුමාරයන්ය.

මෙයට දිය හැකි ලොකුම උදාහරණය 2013 ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක උළෙලට සහභාගී වූ එවකට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ අභූත හැසිරීමයි.

ඩේවිඩ් කැමරන් ලංකාවට පැමිණීමට සති දෙකකට පෙර සුප්‍රසිද්ධ කොටි අනුගාමිකයකු වු ලයිකා මොබයිල් ටෙලිෆොන් සමාගමේ අධිපති සුබාකරන් අලි රාජා හා ඊනියා ඊලාම් සිහින රාජ්‍යයේ අගමැති විසුවානාදන් රුද්‍රකුමාර් ඇතුළු ඩයස්පෝරාවේ පචකාරයන් පිරිසක් අගමැති නිල නිවසේ දී ඩේවිඩ් කැමරන් හමු වීය

චැනල් 4 රූපවාහිනී ආයතන විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව අභූත චෝදනා එල්ල කරමින් නිපදවු Killing Fields නමැති පච චිත්‍රපටය කැමරන්ට පෙන් වූ ඔවුහු අගමැතිවරයා හා ශ්‍රී ලංකාව සාර්ථක ලෙස කෙටවීමට සමත් වූහ.

කොටි බොරු ප්‍රචාරවලට රැවටුණ ඩේවිඩ් කැමරන් ලංකාවට ආවේ අරියාදුවටමය. රාජ්‍යනායකයකු විදේශක සංචාරයක දී හැසිරිය යුතු සාම්ප්‍රදායික හා ආදර්ශවත් පිළිවෙත ඔහු සම්පුර්ණයෙන්ම බැහැර කළේය.

ගුවන් යානයේ සිට පර්යන්ත ගොඩනැගිල්ල දක්වා දෙපස රැස්වී ශ්‍රී ලංකා හා ඉංග්‍රීසි ධජ වනමින් කැමරන් අගමැතිවරයාට චියර් කළ පාසල් ළමුන්ට ඔරවමින් ඇතුළට ගිය ඔහු අමුත්තන්ගේ පොතේ අත්සන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කළේය. ඔහු ලංකාවේදී තනිකරම හැසිරුණේ මදාවිකාරයෙක් ලෙසය.

එපමණක් නොවේ; ගෝඨාභය රාජපක්ෂයන් විසින් රටින් පිටුවහල් කරන ලද චනල් 4 වාර්තාකරුවන් පිරිස් තම නිල ජනමාධ්‍ය කණ්ඩායමට ඇතුළත් කර ගනිමින් තහනම මඟ හරවා ආපසු ඔවුනට ඔහු සමඟ ලංකාවට පැමිණීමට ඔහු ඉඩ සැලසුවේය. (විදේශ රාජ්‍ය නායකයකුගේ නිල මාධ්‍යධාරියකු ඔහු සමඟ ආගන්තුක රටකට පැමිණීම වැළැක්වීමට එම රටට බැරිය) මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් සංවිධානය කරන ලද තරු පහේ භෝජන සංග්‍රහ රස විඳිමින් අපේ වියදමින් ඉහළම හෝටලයක ළැඟුම් ගනිමින් ශ්‍රී ලංකාව දිගින් දිගටම විවේචනය කළ මේ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධව විදේශ විනිසුරුවරුන් ඉදිරියේ නඩු විභාගයක් පැවැත්විය යුතු යැයිද යෝජනා කළේය.

රාජ්‍ය සම්ප්‍රදාය වලට පයින් ගැසු ඇගමැති කැමරන් එතනින් නැවතුණේ නැත. ශ්‍රී ලංකා රජයේ විරෝධය නොතකා සුභාකරන් අලිරාජාගේ ආරාධනාවක් අනුව යාපනයේ අතුරුදහන් වුවන්ගේ දෙමවුපියන් හමුවීමට ද ගියේය. එතනදීත් ඔහු සත්කාරක ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අවමානයට ලක්කරමින් කථා කළේය. මේ අන්දමට ජාතිද්‍රෝහී වැඩ කරන කොටි අනුගාමික සුබාකරන් අලිරාජාට යහපාලන රජය විසින් රටේ වටිනාම රූපවාහිනි නාළිකාවක් බිලි දුන්නේ මොන හිතකින්ද.

හිටපු ජනපතිනී චන්ද්‍රිකා සමඟ 1998 නිදහස් දින සමරු උලෙළේදී

ලංකාවේ ආගන්තුක සත්කාර භුක්ති විඳිමින් ලංකාවට පාට් දැමීමට පැමිණි එකම දේශපාලනඥයා ඩේවිඩ් කැමරන් නොවේ. 2009 යුද්ධයේ අවසන් අවදියේ ප්‍රභාකරන් බේරාගැනීමට බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන්ඩ් ද මෙහි පැමිණියේය. ‘යුද්ධය වහාම නොනැවත්වුහහොත් හොඳ පාඩමක් උගන්වනවා” යැයි ඔහු ශ්‍රී ලංකාවට තර්ජනය කළේය. වාසනාවට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ට ඒ මිනිහාගේ පුහු තර්ජන සතයකටවත් ගණන් ගත්තේ නැත. “ගිහින් කැළණි ගඟෙන් නාලා එනවා“ යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන් දුන් පිළිතුරෙන් පසු බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා වලිගය හකුලා ගෙන ආපසු ගෙදර ගියේය’

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය කෙළසමින් අපට හිනැහුණේ බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් පමණක් නොවේ. අතීතයේ ශ්‍රී ලංකාවට වරින් වර පැමිණි බ්‍රිතාන්‍ය රජ කුමාරවරු ද එහි දී හැසිරුණේ මහත්වරුන් ලෙස නම් නොවේ.

1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් වු පසු මුලින්ම එහි පැමිණි රජ කුමාරයා වුයේ වික්ටෝරියා රැජිනගේ දෙවන පුත් හා එවකට එඩින්බරෝ ආදිපාදවරයා වු ඇල්බට් කුමාරයාය. 1870 දී දවස් හතකට ලංකාවේ සංචාරයක යෙදුණ ඔහු වෙනුවෙන් වෙනමම දළදා පෙරහරක් සංවිධානය කරමින් නිළමේවරු කුමාරයාට ගෞරව කළහ. නමුත් ඔහු ආපසු එංගලන්තයට ගියවිට තමා මහ නුවරදී “යක්ෂ පුජා” පෙළහරක් දුටුවා යැයි අපේ දළදා සමිදුන්ට අපහාස කළේය.

නමුත් ඇල්බට් කුමාරයා මේ ආගන්තුක සත්කාරය තවදුරටත් කෙළසුවේ මහවැලි ගඟ අසබඩ කොම්පනච්චි නමින් හඳුන්වන කැලයට ගොස් අසරණ අලි රාජයන් දෙදෙනෙකුට විනෝදයට වෙඩිතබා දඩයම් කිරීමෙනි.

බ්‍රිතාන්‍ය මාධ්‍යයේ එම කතාව ඉකුත් සතියේ පළකළ අයුරු

1875 දී වික්ටෝරියා රැජිනගේ දෙටු පුත් එඩ්වඩ් කුමාරයා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ට කළ ආගන්තුක සත්කාරවලට කෙළෙහි ගුණ දැක්වූයේ රුවන්වැල්ලේ කැලැවක දී ඇතින්නකට වෙඩි තබා මරා දැමීමෙනි. (1902 දී ඔහු හත්වෙනි එඩ්වඩ් නමින් එංගලන්තයේ රජ විය).

අටවෙනි එඩ්වඩ් නමින් වසරක් බ්‍රිතාන්‍යයේ රජ පදවිය දරා දික්කසාද ගැහැනියක් නිසා කිරුළ අතහැර ගිය වේල්ස් කුමාරයා රජකම ලැබීමට පෙර 1922 දී ශ්‍රී ලංකාවට පැමිණියේය ග ශ්‍රී ලංකා ජනතාව දස දහස් ගණණින් ඔහු පිළිගැනීමට කොළඹ වරායට රැස්වුහ. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ගෞරව ආදරයට පාත්‍රවෙමින් ඉහළතම ලෙස ආගන්තුක සත්කාරය භුක්ති විඳී කුමාරයා ආපසු එංගලන්තයට ගිය විට උඩරට තේ වතු හිමි බ්‍රිතාන්‍ය වතුකාරයින්ගේ සංගමයට තමාට කරන ලද සත්කාර ගැන බලවත් ස්තුතිය පුද කරමින් දිගු ලිපියක් එවීය. නමුත් සතියක් තිස්සේ ඔහු යන යන තැනට රැස්වෙමින් ඔහුට ගරු බුහුමන් කළ සාමාන්‍ය ලාංකිකයන්ටත් ඔහු වෙනුවෙන් ඉහළ පෙළේ භෝජන සංග්‍රහ පැවැත්වූ සොයිසා වැනි ඉහළතම සිංහල ප්‍රභූවරුන්ට වචනයකින්වත් ස්තුතියක් කෙරීමට මේ අහංකාර සුද්දාට උවුමනාවක් නොවීය.

චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිතිනියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවේ 50වෙනි නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් 1998දී බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා මෙහි පැමිණියේ කොටි විසින් දළදා මන්දිරයට බෝම්බ දමා දින කිහිපයකට පසුවය. චාර්ල්ස් කුමාරයා ආවේ බ්‍රිතාන්‍ය හමුදාවේ ආරක්ෂක සෙබළුන් රැසක් සමඟිනි. ශ්‍රී ලංකා රජය ද චාර්ල්ස් කුමාරයාගේ ආරක්ෂාව සඳහා රුපියල් මිලියන 20 ක් වියදම් කර තිබුණි.

නිදහස් උත්සවයේ දී ලස්සන කතාවක් කළ චාර්ල්ස් කුමාරයා කීවේ තමා ලංකාවේ සිටි කාලය ඉතාමත් ප්‍රීතියෙන් ගත කළ බවයි. තමාට ඉහළින් ගරු සත්කාර කළ ජනාධිපතිනියට ද කුමාරයා ස්තුති කළේය. නමුත් චාර්ල්ස් කුමාරයා කීවේ ඇත්තක් ද? ඔහු තමාගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථක එකක් යයි ඇත්තටම හිතුවාද?

ශ්‍රී ලංකා සංචාරය ගැන ඔහුගේ නියම අදහස් ඔහු පිට කළේ 2019 වසරේ රාජකීය සංචාර නැමති ග්‍රන්ථය ලියූ Robert Hardman නැමති කතෘවරයා ඉදිරියේය. එම පොතට අනුව නම් චාර්ල්ස් කුමාරයාට තම ලංකා සංචාරයත් විහිළුවක් වී ඇත. එම කෘතියේ අඩංගු විස්තර පසුගිය සතියේ ලන්ඩන් Daily Express පත්‍රයේ මෙසේ පළවිය.

Daily Express පෙබරවාරි 16 අපේ චාර්ල්ස් කුමාරයා ලෝකයේ බොහෝ රටවල්වල නිල වශයෙන් සංචාරය කොට තිබේ. නමුත් ඉඳහිට ඔහු විදේශ රටක කරන සංචාරය සම්පුර්ණ විකාරයක් බවට පත්වන අවස්ථා ද නැත්තේ නොවේ.

1998 චාර්ල්ස් කුමාරයා ශ්‍රී ලංකාවේ කළ සංචාරය එයට හොඳම උදාහරණයයි. ශ්‍රී ලංකාව 50 වෙනි නිදහස් උත්සවය සැමරීමට කුමාරයා එහි ගියේ විදේශ අමාත්‍යාංශයේ විරෝධතාවන් නොතකාය. කොටි සංවිධානයේ මිනිස් බෝම්බ ගැහිලි මැද්දේ වුව ද ලංකාවේ සංචාරයේ යෙදීමට චාර්ල්ස් කුමාරයා බියක් පෙන්වුයේ නැත. නමුත් සංචාරය පටන් ගත් වෙලේ සිට අවසානය දක්වා චාර්ල්ස්ට එය ලොකු විහිලුවක් බව ඔහු Robert Hardman කතෘවරයට හෙළි කළේය.

රාජකුමාරයා පිළි ගැනීමට කොළඹදී වෙඩිමුර 21ක් පුපුරවද්දී ගිනි පුපුරක් විසි වී අසල තණකොළ බිස්ස ගිනිගන්නට විය. ගිනි නිවන හමුදා වාහනයක් වේගයෙන් පැමිණ ගිනි නිවද්දී ආචාර පෙළපාලිය අධීක්ෂණය කිරීමට ජනාධිපතිනි චන්ද්‍රිකා චාර්ල්ස් කුමාරයාට ආරාධනා කළේය. රජකුමාරයා හමුදා ඛණ්ඩය දෙස ගමන් කරද්දී අහක හිටි අයාලේ යන සුනඛයෙක්ද ඔහුට එක්වීය. කුමාරයා අධීක්ෂණය නිම කරන තුරුම මේ කැහැටු සුනඛයාද ඔහු පසුපස ගමන් කිරීම ඔහුගේ විනෝදයට හේතුවීය.

ඊළඟට හමුදා තූර්ය වාදක මණ්ඩලය සුප්‍රසිද්ධ දී ‘Liberty Bell‘නමැති ඉංග්‍රිසි ගීතය වාදනය කළේය. අවාසනාවට එය මාර දී රජා මැරිල්ලක් වීය’ කුමාරයා පසුකලෙක Hardman කතු වරයාට කීවේ හමුදා තුර්ය කණ්ඩායම වරද්ද වරද්දා සින්දුව ගයන විටතමන්ට සිනහ නවත්වා ගැනීමට බැරුව දිව තදින් හපාගත් නිසා තව පොඩ්ඩෙන් ලේත් ගලන බවය.

චාර්ල්ස් කුමාරයාගේ ඊළඟ චාරිකාව වුයේ දළදා මාලිගාව නැරඹීමයි. නමුත් දින කිහිපයකට කලින් කොටින් එයට බෝම්බ ගසා තිබුණි. එනිසා ඒ වෙනුවට බ්‍රිතාන්‍ය පිරිමින්ගේ යට ඇඳුම් නිපදවන Marks & Spencer සමාගම නැරඹීමට රජකුමරු රැගෙන යන ලදී. චාර්ල්ස් කුමාරයාට මෙයත් ලොකු විහිළුවක් වීය.

සංචාරය අවසානයේ දී සේවකයන් අමතා කතා කරමින් ( “Thank you ‘providing hidden support to substantial parts of the UK population'.”)

“බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් විශාල කොටසකට පිරිමින්ට සැඟ වී සපෝට් එකක් දෙන ඇඳුමක් මහන ඔබ සැමට මා මුළු රටම වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා” යැයි කීවේ සැවොම හිනාගස්වමිනි.

ලංකාවේ නිල සංචාරයට එන බ්‍රිතාන්‍ය රාජ කුමාරවරු හා දේශපාලඥයන් ව අපි තොරණ් ගසා පාවාඩ එලා පාරවල් ලස්සනට සරසා හා රතිඤ්ඥා පත්තු කරමින් මහ ඉහළින් පිළි ගන්නෙමු. නමුත් ඊනියා බ්‍රිතාන්‍ය ප්‍රභූවරුන්ගෙන් ඇතැම් අහන්කාරයන් (හැමෝම නොවේ) ආපසු එංගලන්තයට ගිය විට අනිකුත් සුද්දන් ඉදිරියේ අපගේ ඇදකුද කියමින් අපට හිනා වෙති. ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් එන බොහෝ රාජ්‍ය නායකයන් හා රජ කුමාරවරුන්ට අප දක්වන සැලකිල්ල ගෞරවය හා ආගන්තුක සත්කාරය ඔවුනට මාර විහිළුවකි. මෙයාලා හිතන්නේ අපි තවමත් ඔවුන්ගේ කොලනියක සිටින අන්තේවාසිකයන් කියාය. අපිව හාස්‍යයට ලක්කරන මේ අහන්කාර සුද්දන් ඉදිරියේ අභිමානවත් වන අපි ලාංකීකයන් වන අප තව දුරටත් වැඳ වැටිය යුතු නොවේ.

([email protected])

Comments