‘කොමි­යු­නිස්ට් ප්‍රකා­ශ­නය’ අද­ටත් වලංගුද? | Page 2 | සිළුමිණ

‘කොමි­යු­නිස්ට් ප්‍රකා­ශ­නය’ අද­ටත් වලංගුද?

පෙබරවාරි 21 වැනිදා 173 වැනි විය සපු­රන විද්‍යා­ත්මක සමා­ජ­වා­දයේ  ප්‍රථම සටන් මඟ කොමි­යු­නි­ස්‌ට්‌ ­ප්‍ර­කා­ශ­නය පිළි­බඳ විද්වත් විග්‍ර­හ­යක්
 

කොමියුනිස්ට්වාදයේ ප්‍රථම සටන් මඟ පෙන්වන ලියැවිල්ල වන්නේ ‘කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයයි. මෙය කොමියුනිස්ට්වාදයේ සංයුක්ත කොටස් තුන වූ දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව සහ සමාජවාදය විස්තර කෙරෙන සංක්ෂිප්ත පූර්ණ මූලධර්ම සහිත ක්‍රමික විස්තරයකි. කොමියුනිස්ට් ප්‍රකාශනය ලියනු ලැබුවේ කාල් මාක්ස් - ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසිනි. ඔවුන් දෙදෙනාට මෙම කාර්යය පවරනු ලැබුවේ 1847 නොවැම්බර් මස පැවැති කොමියුනිස්ට්වරුන්ගේ සංගමයේ දෙවැනි සමුළුවේදී ය. ඊට හේතු වූයේ ඒ වනවිට යුරෝපයේ වර්ධනය වෙමින් පැවැති කොමියුනිස්ට් ව්‍යාපාරයේ සාමාජිකයන් අනාගතයේදී ඇතිවන දේශපාලන සටන්වලට න්‍යායික හා දේශපාලන වශයෙන් සූදානම් කිරීම ඉතා වැදගත් කාර්ය භාරයක් ලෙස ඔවුන් සැලකීමයි.

1847 දෙසැම්බර් මාසයේ ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ රචනා කිරීම ඇරඹුණු අතර 1848 ජනවාරි මාසයේ අවසාන වනවිට ලියා අවසන් කර ඇත. මෙය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 1848 පෙබරවාරි 21 වැනිදා ය. හරියටම අදින් වසර 173 කට පෙරය. මෙය කාල්මාක්ස් සහ එංගල්ස්ගේ න්‍යායික හා දේශපාලනික වශයෙන් ලැබූ අතිවිශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.

“ඔය කාලේ මහද්විපික යුරෝපයේ කම්කරුවන්ගේ නැඟිටීම් තිබුණා. ජනතා කම්කරු ව්‍යාපාරයේ නැඟිටීම් එක්කයි කොමියුනිස්ට්වාදය ඇති වුණේ. ඒ ව්‍යාපාරය ඉදිරියට ගෙනයෑම සඳහා ඉදිරිපත් කළ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය තමයි මාක්ස් - එංගල්ස් ලියා පළ කළේ. ලෝකයේ ඉඩම් හිමිකාරිත්වය සහ දරිද්‍රතාව ඇති වනවිට සමානාත්මතාව ගැන දිගටම කතා කළා. එයට වටිනාකමක් ලැබුණා. ඒ නිසා මාක්ස්වාදය ප්‍රචලිත වුණා” යනුවෙන් සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිය.

 

• ලෙනින්ගේ න්‍යාය

 

න්‍යායක් ලෙස පැවති මාක්ස්වාදය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවූයේ වී.අයි. ලෙනින් විසිනි. ඒ, 1917 දී රුසියාවේ සිදුවූ ඔක්තෝබර් විප්ලවයෙනි‍.

ඉන් අනතුරුව රුසියාව, සෝවියට් සමූහාණ්ඩුව බවට පත් විය. 2 වැනි ලෝක යුද්ධය අවසාන වනවිට නැඟෙනහිර යුරෝපයේ සමාජවාදී කඳවුර බවට පත් වී තිබුණේ සෝවියට් දේශයයි. ලෙනින් දේශපාලනමය වශයෙන් මාක්ස්වාදියකු වූ අතර ඔහු ඉදිරිපත් කළ සමහර න්‍යායන් හැඳින්වූයේ ලෙනින්වාදය ලෙසිනි.

මාක්ස් - ලෙනින්වාදය, සමාජවාදය සාක්ෂාත් කරගැනීම සහ කොමියුනිස්ට් සමාජයක් කරා ඉදිරියට යෑමේ නිල අරමුණ ඇතිව ක්‍රියා කෙ‍රිණි. කොමියුනිස්ට් ජයග්‍රහණයක් ලද චීන මහජන සමූහාණ්ඩුව කොමියුනිස්ට් රාජ්‍යයක් ස්ථාපිත කළේ 1949 දීය.

එහෙත් අද වනවිට නැඟෙනහිර යුරෝපයේ සමාජවාදී බළකඳවුර වූ සෝවියට් දේශය බිඳ වැටී ධනවාදී රටක් බවට යළි පරිවර්තනය වී තිබේ. ඒ 1991 දී එරට ජනාධිපතිව සිටි මිහයිල් ගොර්බචොව්ගේ පෙරෙස්තොයිකා ගිවිසුමත් සමඟිනි. ඉන්පසුව සෝවියට් දේශය නැවතත් රුසියාව ලෙස හඳුන්වනු ලැබීය. අද වනවිට කොමියුනිස්ට්වාදය ක්‍රියාත්මක වන රටවල් තිබෙන්නේ අල්ප වශයෙනි. චීනය, කියුබාව, උතුරු කොරියාව, වියට්නාමය, ලාඕසය ඊට නිදසුන් කීපයකි. වසර 173 කට පෙර කාල්මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් ප්‍රකාශයට පත් කළ කොමියුනිස්ට් න්‍යාය සහ එහි වැදගත්කම පිළිබඳව වර්තමානයේ අගය කළ හැකි වෙන්නේ ලෝකයේ ඇතිවූ වර්ධනයත් සමඟ සසඳා බැලීමෙන් අනතුරුවය.

• ධනපති සූරා කෑම

“ලෝකය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාග්ධනය මත. ඒ නිසාම ලෝක ආර්ථිකය පාලනය කරන්නේ කොම්පැනිකාරයෝ. ප්‍රාග්ධනය නිසා ඇතිවන ධනපති පන්තිය හේතුවෙන් සූරාකෑම ඇතිවෙනවා. ඒ නිසා ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය බිහිවෙනවා. නිර්ධන පන්තිය තුළින් මාක්ස්වාදය, සමාජවාදී ක්‍රමය ඇති වෙනවා. මේ විදිහට තමයි මාක්ස්වාදී න්‍යායේ සඳහන් වෙන්නේ. යටත්විජිත රටවල් නිදහස ලබා ගැනීම, කාර්මික විප්ලවය ඇති වීම, ලෝක ආර්ථිකය ගෝලීයකරණය වීම වැනි හේතු මත ධනවාදය ලෝකයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. ඒ වුණත් මාක්ස්වාදය අදටත් වලංගුයි. ඒ ක්‍රමයට ගමන් කළා නම් රටක ආදායම් සහ සම්පත් බෙදී යෑමේ විසමතාව අවම මට්ටමක තබා ගනිමින් සංවර්ධනය කරා ළඟා වෙන්න තිබුණා.

අදටත් භුක්ති විඳින පැය අටේ සේවය බිහි වුණේ වැඩ කරන ජනතාවගෙන් බිහිවුණ කොමියුනිස්ට්වාදය නිසා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය කොමියුනිස්ට් ක්‍රමයෙන් බිහිවුණු දේවල්. ඒ දේවල්වලින් සමාජයේ හැමෝටම යහපතක් සිද්ධ වුණා මිසක් අයහපතක් සිද්ධ වුණේ නැහැ. සමාජවාදය ක්‍රියාත්මක වන වියට්නාමය, ලාඕසය කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළේ ඔවුන්ගේ ක්‍රමය නිසා. ධනවාදය ඉහළින් ම තිබෙන රටවල්වලට එය තවමත් පාලනය කර ගන්න බැරිව ඉන්නවා. ඉතින් මාක්ස්වාදී න්‍යාය අනුව බිහිවුණු සමාජවාදය, තවමත් වලංගුයි.” යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකරය.

• අපේ කොමියුනිස්ට් පක්ෂයේ කැලඹීම

 

එහෙත් මාක්ස් - ලෙනින්වාදය පසුකලෙක මතවාදී වෙනස්කම් අනුව ස්ටාර්ලින්වාදය, ට්‍රොට්ස්කිවාදය, මාඕවාදය ආදී වශයෙන් වෙනස් කණ්ඩායම් වශයෙන් බෙදී වෙන්විය.

“ලෝකයේ සමාජවාදී මතවාදවල වෙනස්කම් සමඟ බිහි වුණු 3 වැනි ජාත්‍යන්තරය නැවතත් මතවාදී බෙදීම් එක්ක කැඩුණා. සෝවියට් දේශයේ බෙදීම් එක්ක ලංකාවේ දේශපාලන පක්ෂවලත් බෙදීම් ඇති වුණා. සමාජවාදී පක්ෂවල න්‍යායට අනුව වෙනත් දේශපාලන පක්ෂ එක්ක සන්ධානගත වෙලා වැඩ කරන්නේ නැහැ. ඒත් පසුකාලයක ලංකාවේ ඒ දේ සිද්ධ වුණා. ඒ නිසා ලංකා සමසමාජ පක්ෂය 4 වැනි ජාත්‍යන්තරයෙන් අයින් කළා. ඒ අය වෙනම පක්ෂයක් හදාගත්තා.

චීනය සහ රුසියාව අතර ඇතිවූ මත‍ෙභ්ද මත ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කැ‍ඩුණා. මේ විදිහට ලෝකයේ මතවාදවල වෙනස්වීම් සමඟ ලෝකයේ වගේම ලංකාවෙත් සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය බෙදුණා.” යනුවෙන් මහාචාර්ය නි‍ර්මාල් රංජිත් දේවසිරි විස්තර කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ මතවාදවල යම් යම් වෙනස්කම් තිබුණත් සියලුම කොමියුනිස්ට් පක්ෂවල මූලික පදනම වී තිබෙන්නේ මාක්ස් - එංගල්ස් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය බවය.

“අපේ පක්ෂය මාක්ස් - ලෙනින්වාදය පදනම් කරගෙන කටයුතු කරන්නේ. බුදුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ වැනි ආගමික දාර්ශනිකයන් සමානාත්මතාවය අගය කළා. පෛතගරස් දාර්ශනිකයා සමානාත්මතාවය ගැන කතා කළා. ඒත් ඒවා මනෝරාජික සමාජවාදයන් මිස සාර්ථක වුණේ නැහැ. මාක්ස් - එංගල්ස්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය විද්‍යාත්මක පදනමක් මත රචනා වුණේ. ඒ නිසා එය සාර්ථක වුණා.” යනුවෙන් දුමින්ද නාගමුව පැවසීය.

එහෙත් මාක්ස්වාදය බිහිවූ සෝවියට් දේශයෙන් එය අතු ගෑවී ගියේය. ඒ සමඟම ඇතැමකුගේ අදහස වූයේ කොමියුනිස්ට්වාදය, මාක්ස් - ලෙනින්වාදය වත්මන් සමාජයට නොගැළපෙන බවය. “සෝවියට් දේශය බිඳ වැටුණේ කොමියුනිස්ට්වාදයේ වැරැද්දක් නිසා නොවෙයි. ගොර්බචෙව් ගත් තීරණයේ වැරැද්දක් නිසා. ඕනෑම සමාජවාදී ක්‍රමයක් තුළ ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිද්ධ වෙනවා. ඒකේ වරදක් නැහැ.

ලෝක ආර්ථිකය ගෝලීයකරණය වුණාම රටකට සංවෘත විදිහට ආර්ථිකය ගෙනියන්න බැහැ. ඒ නිසා තමයි 1978 දී චීනය ආර්ථික ප්‍රතිසංස්කරණයක් කළේ. හැබැයි චීනය දේශපාලන ප්‍රතිසංස්කරණයක් කළේ නැහැ. ඒ නිසා තමයි චීනයේ අද දක්වාම කොමියුනිස්ට්වාදය පවතින්නේ.

ගොර්බචෙව් ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවට තෝරා ගත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණය. ඒ නිසා තමයි සෝවියට් දේශයේ සමාජවාදී බළකඳවුර කඩාගෙන වැටුණේ.

ගොර්බචොප්ගේ වැරදි තීරණය නිසා සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදය බිඳ වැටුණාට කොමියුනිස්ට්වාදය හොඳ නැහැ‍, රටකට ගැළපෙන්නේ නැහැ කියලා කියන්න බැහැ. ඒකට හොඳම උදාහරණය තමයි චීනය.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පැවසීය.

 

• කම්කරු අරගල හා පීඩිත කම්කරුවෝ

 

මාක්ස් - ලෙනින්වාදයට අදටත් ගරු කරන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත අද දවසේ අපේ රට තුළ සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වශයෙන් ඇති දේශපාලන පක්ෂ තුළ සැබෑ මාක්ස්වාදය නොමැති බවත් එම පක්ෂ ජාතික ධනපති පංතියට අයත් බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පැවසුවේ ලංකාව තුළ කොමියුනිස්ට්වාදය ස්ථාපිත කළ නොහැක්කේ දැවැන්ත කම්කරු අරගලයක් කිරීමට තරම් පීඩිත කම්කරුවන් මෙරට ප්‍රමාණාත්මකව නොමැති නිසාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ කොමියුනිස්ට්වාදය යන අදහසට වර්තමානයේ පුළුල් අර්ථයක් ඇතිවී තිබෙන බවය.

“Community කියන වචනයේ තේරුම සාමූහිකත්වය. පොදු ඕනෑ එපාකම් මත එක්වූ සමූහය. පොදු අදහසක් දරන කණ්ඩායම. ප්‍රජාවගේ සාමූහිකත්වය, සමානත්මතාව යන අදහසට ලෝකයේ තැනක් තියෙනවා. අධිකාරි බලයට විරුද්ධවීම, සම අයිතිය, සාමූහිකත්වය කියන අදහස්වලට ලෝක‍යේ ඉල්ලුමක් තියෙනවා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල් තුළ පවා ඒ සංකල්පවලට තැනක් තිබෙනවා. ඒ නිසා කොමියුනිස්ට්වාදය ලෝකයෙන් අයින් වෙන්නේ නැහැ.” යනුවෙන් පැහැදිලි කළේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසි‍රිය.

 

• ප්‍රායෝගික ගැටලු

එහෙත් මීට වසර 173 කට පෙර රචනා කළ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය යාවත්කාලීන විය යුතු ද නැතිද යන කාරණය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය‍.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ මාක්ස් - එංගල්ස් රචනා කළ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය එදාටත් වඩා වලංගු වන්නේ අද දවසට බවය.

ඊට හේතුව ලෝක තත්ත්වයන්ට අනුව යාවත්කාලීන වුව ද සියලුම කොමියුනිස්ට් පක්ෂවල මූලික පදනම වී තිබෙන්නේ මෙම ප්‍රකාශනය වන බැවිනි.

Comments