ධර්මයට රත්නයක් වූ ලක් මිණිපහන | Page 2 | සිළුමිණ

ධර්මයට රත්නයක් වූ ලක් මිණිපහන

 

 

පඬිවරුන් බහුලව ජනිත වූ ලංකාවේ සුවිශේෂ ග්‍රාම කිහිපයක් තිබෙන අතර මාතර එයින් එක් ග්‍රාමයකි. ලන්දේසි පාලන සමයේ සිටි ප්‍රභූ පෙළපතකට උරුමකම් කියන ඇම්. ධර්මරත්න පඬිතුමා මෙරට බිහි වූ සුවිශේෂ චරිතයකි. බෞද්ධාගමට සහ පුවත්පත් කලාවට එතුමන් අතින් ඉටු වූ මෙහෙය පිළිබඳ වර්තමාන පරම්පරාවට අවබෝධයක් නොමැති තරම්ය. වර්තමානයේ ජාතික ධනය වැය කොට පවත්වා ගෙන යන අධ්‍යාපනයට සහ සංස්කෘතියට සම්බන්ධ ආයතනවලින් සිදු වනවාට වඩා වැඩි මෙහෙයක් මෙතුමාගේ පුද්ගල පරිශ්‍රමයෙන් මෙටට ඉටු වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ආගම ධර්මය පිළිබඳ ගැඹුරු වැටහීමක් තිබුණු ධර්මරත්න පඬිතුමා ඒ ඔස්සේ ලද ශික්ෂණය හේතු කොට ගෙන සමාජ ප්‍රශ්න තේරුම් ගත්තේ තාර්කික පදනමකිනි. ඒ නිසා එතුමන්ගෙන් සමාජයට ගලා ගියේ මිත්‍යාවන්ගෙන් සහ අගතීන්ගෙන් තොර සාර දර්ශනයකි. මෙතුමන්ගේ ළමා විය පැවිදි බිමට පිවිසීම සහ මූලික අධ්‍යාපනය පිළිබඳ තොරතුරු විවිධ ලේඛකයන් දක්වා තිබෙන ආකාරය එකිනෙකට පටහැනිය. මෙය ලංකාවේ නූතන සංස්කෘතික ඉතිහාසය රචනා කිරීම සම්බන්ධයෙන් කැපී පෙනෙන දුර්වලතාවකි. මෙතුමන් ධරමාන කාලයේ වැඩවිසූ පැලෑනේ වජිරඥාන හිමියන් දක්වා ඇති කරුණුවල විශ්වසනීයත්වයක් තිබෙන බව හැඟේ.

ධර්මරත්න පඬිතුමාගේ උපත සිදු වූයේ 1844 වර්ෂයේ ජුනි මස 01 වැනි දින මාතර පිලදූව ග්‍රාමයේදීය. ජොහැන්නස් මහරාර්දස් බන්ත්‍යන්ස සහ දෝන ලුවිසා කත්‍රිනා ප්‍රදිනන්දස් යුවළගේ කනිෂ්ඨ පුත්‍රයා වූ තිලකරත්න අභයරත්න යන නමින් හැඳින්වුණු මෙතුමා මුලින්ම අකුරුකරණය අරඹා තිබෙන්නේ කැබිලියපොළ පුරාණ රාජ මහා විහාරාධිපති මිරිස්සේ සංඝරක්ඛිත නාහිමියන් වෙතිනි. පසළොස් වන වියේදී මෙතුමා මාතර ධම්මරතන නමින් පැවිදි බව ලැබීය. සාමණේර අවධියේ ප්‍රබල ස්මරණ ශක්තියක් පැවති හෙයින් කෙටි කලකින් සියලු ධර්ම ශාස්ත්‍ර මැනවින් උද්ග්‍රහණය කිරීමට හැකි විය. ත්‍රිපිටක ධර්මය, සිංහල, පාලි සංස්කෘත පිළිබඳ ප්‍රමාණවත් මූලික අධ්‍යාපනයක් ලද ධම්මරතන සාමණේරයෝ වැඩි දුර අධ්‍යාපනය ලැබීම සඳහා ගාල්ලේ පරමානන්ද විහාර ශාස්ත්‍රාලයට පිවිස කොග්ගල සංඝතිස්ස හිමියන් වෙතින් ශාස්ත්‍ර හදාරා ප්‍රශස්ත පාණ්ඬිත්‍යයක් හිමි කර ගත්හ.

මෙසේ පරමානන්ද විහාරස්ථානයේ වාසය කරන කාලයේ බුරුමයේ මෙණ්ඩුන් මහා ධම්ම රාජාධිරාජ රජතුමා විසින් ලංකාවට ධර්ම දූතයන් ලෙස එවන ලද ධර්මසිද්ධිරාජ සහ සිංහශූර යන ඇමතිවරු දෙදෙන ගාල්ලේ පරමානන්ද විහාරස්ථානයේ නවාතැන් ගත්හ. මේ දෙදෙනාගෙන් බුරුමයේ බුදු සසුන පිළිබඳ දැන ගන්නට ලැබුණු තොරතුරු ගැන පැහැදුණු ධම්මරතන සාමණේරයන්ට එරටට වැඩම කිරීමේ සිතැඟියක් පහළ විය. තෙමේම උපයා ගත් මුදල් වැය කොට ධම්මරතන සාමණේරයෝ ඇමතිවරුන් දෙදෙන කැටුව බුරුමය බලා වැඩමකළහ. බුරුමයට ගොස් රජතුමා හමු වූ පසු එරටෙහි සඟ රජ වෙත පමුණුවන ලදි. බුරුමයේදී උපසම්පදාව ලැබ අග්ගධම්මාලංකාර ගුරු, ජාගරාභිධජ මහාධම්ම රාජාධිරාජ ගුරු සහ දීපාලංකාර කවිධජ මහාධම්මරාජාධිරාජ ගුරු යන තෙරවරුන් ඇසුරෙහි ධම්මරතන තෙරණුවෝ ත්‍රිපිටක ධර්මයෙහි පාරප්‍රාප්ත වූහ. ධම්මරතන තෙරණුවන්ගේ ධර්ම ශාස්ත්‍ර පාරගත භාවය ගැන පැහැදුණු බුරුම රජතුමා රතන පුණ්ණ පුරවරයේ ලංකාරාමය නම් ආරාමයක් තනවා මේ හිමියන්ට පූජා කළේය. එරටෙහි බෞද්ධ උපාසක උපාසිකාවන්ට ධර්ම දේශනා කරම්න් ඔවුන් සමඟ ධර්ම සාකච්ඡා පවත්වමින් සිටිනා අතරේ රජතුමාගේ අභාවය සිදු වූයෙන් ධම්මරතන හිමියන්ට ලංකාවට වැඩම කිරීමේ අදහසක් පහළ විය. 1881 වර්ෂයේ ධම්මරතන හිමියන් ලංකාවට වැඩම කොට කෙටි කලකින් උපැවිදි වූ බව පැවසේ. ධම්මරතන හිමියන් උපැවිදි වූ බව සැලවූ අවස්ථාවේ හික්කඩුවේ සුමංගල හිමියන් ඒ පිළිබඳ සංවේගයට පත්ව ‘සසුනෙන් භාගයක් පාළු විනැ’යි වදාළේලු. උපැවිදි වූ පසු හීනමානයෙන් පෙළෙන වර්තමාන උපැවිද්දන් සේ කුහක දෙබිඩි දිවි පෙවෙතකට ගොදුරු නොවූ මෙතුමා තම සාඩම්බර පැවිදි දිවිය බිඳකිනුදු අමතක නොකළ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා සේ ම ඇම්. ධර්මරත්න යන නම භාවිත කරමින් ධර්ම ශාස්ත්‍ර ගවේෂණයෙහි සහ ප්‍රවර්ධනයෙහිම නිමග්න විය.

පෙර ආරම්භ කොට අක්‍රීයව පැවති ලක්මිණි පහන පුවත්පත නැවතත් 1883 වර්ෂයේ ආරම්භ කොට එහි ප්‍රධාන කර්තෘ ලෙස සමාජ සත් කාර්යකට දායක වූ ධර්මරත්න පඬිතුමා දෙසාලිස් වසක් එම කාර්යය නොපිරිහෙළා ඉටු කිරීම ලාංකේය පුවත්පත් කලා ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියකි. මාධ්‍ය ආචාර ධර්ම වැනි සංකල්ප ප්‍රචලිතව නොතිබුණු අවධියක ධර්මරත්න පඬිතුමා ඒ ආචාර ධර්ම ප්‍රායෝගිකව පිළිපැදි අයුරු 1883 ජුලි මස 15 දින ලක්මිණිපහන කතු වැකියේ මෙසේ සඳහන් කොට තිබිණ. ‘මේ පත්‍රය අපි පටන් ගත්තේ මෙයින් යම් ලාභයක් උපදවාගණ පොහොසත්වෙන අදහසින්වත් යම් ආගමකට හෝ පක්ෂයකට හෝ ජාතියකට හෝ නින්දා අපහාස කරන අදහසින්වත් යම් කෙනෙකුගෙන් පලිගන්නා අදහසින්වත් යම් කෙනෙකුට උසස් වෙන්ටවත් යම් පක්ෂයක් සමඟ තරගකරන්ටවත් නොව ජාති භේද නිකාය භේද ආගම් භේද යනාදිය සිත්වලින් දුරු කොට ස්වජාතික මනුෂ්‍යයන්ගේ වැඩිදියුණුවම මුදුන්පත් කොට ගෙන’ යන වැකි පෙළෙන් ධර්මරත්න පඬිතුමාගේ උසස් චින්තනය මූර්තිමත් වන්නේය. සමාජය අවිද්‍යාන්ධකාරයට යොමු වන බව පෙනෙන විට පුවත්පත් කතුවරයකු ලෙස ධර්මරත්න පඬිතුමා ආගමික අන්තවාද බැහැර කොට තාර්කික චින්තනයකින් කටයුතු කළ අයුරු ලක්මිණි පහන් පාඨකයන් විසින් යොමු කෙරෙන ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරුවලින් අනාවරණය වෙයි. ‘අතීසාරය පැතිරෙන කාලයක එය නැවැත්වීමට පොල් ගැසීම හොඳ ද? පිරිත් කියවීම හොඳ දැ’යි එක් පාඨකයකු පුවත්පතට ප්‍රශ්නයක් යොමු කොට තිබුණි. ඊට ධර්මරත්න පඬිතුමාගේ පිළිතුර වූයේ ‘දෙක මැ හොඳ නමුත් අතීසාරයට නිසා පොල් මුඩු ගැසීම වඩා හොඳ ය’ යන්නයි.

අභිධර්ම විශාරදයකු වූ ධර්මරත්න පඬිතුමා ලක්මිණි පහන් කතුකම දරමින් සිටියදී අභිධර්ම පිටකයෙහි සප්ත ප්‍රකරණයන්ටම වෙන වෙනම විස්තර වර්ණනා සැපයීම විස්මයාවහ සම්ප්‍රදානයකි. මේ පිළිබඳ පැලෑනේ වජිරඥාන හිමියෝ මෙසේ ප්‍රකාශ කරති. ‘තොටගමු අවදියෙන් මෙපිටැ පෙළ බසින් ලියැවුණු බණදහම් පත් පොත් දෙස බලන කලැ සියවස් පහකින්වත් මෙතුමා තරම් ගැඹුරු බණ දහම් ලිහිල් හෙළ බසට නඟා පණස් ගණනකටත් වැඩි මහ බණ පොත් රැසක් ලියූ පඬිවරයෙක් නොපෙනේ’ රත්මලාන පරමධම්මචේතිය විහාර දායක සභාවේ ප්‍රධාන දායකයකු වූ මෙතුමා බුරුම රජු සමඟ පැවති සුහද සම්බන්ධය උපයෝගි කර ගනිමින් විහාරස්ථ ධර්ම ශාලාව ඉදිකිරීමට රජුගේ මූල්‍ය දායත්වය ලබා ගැනීමට සමත් විය. අභිධර්මය පිළිබඳ නිරවුල් අවබෝධයක් ලැබ ගනු කැමති ගිහි පැවිදි බොහෝ පිරිස් වෙත තම කාලය කැප කරමින් ඒ පිළිබඳ ඉගැන්වීම මෙතුමන්ගෙන් සිදු වූ වැදගත් ශාසනික මෙහෙයකි. ධර්මරත්න පඬිතුමා ගැන මාර්ටින් වික්‍රමසිංහ ලියූ මේ සටහන එතුමන්ට පිදුණු උපහාරයක් වැන්න. ‘මෑත කාලයෙහි විසූ බෞද්ධ පඬිවරයන් අතරින් නියම චින්තකයකු වශයෙන් හැඳින්විය හැක්කෙක් වීය. වර්තමාන අප විසින් අමතක කර දමන ලද ඔහු වනාහි ‘පහන් කතු තුමා’ යන නමින් දැනුදු හැඳින්වෙන ඇම්. ධර්මරත්න මහතාය.’ තනි පුද්ගලකුට ඉටු කළ නොහැකි තරම් වටිනා ජාතික මෙහෙයක් අසු එක් වසරක ආයු කාලය ඇතුළත ඉටු කළ ධර්මරත්න පඬිතුමා 1925 වර්ෂයේ මාර්තු මස 20 වෙනි දා දිවියෙන් සමුගත්තේය.

Comments