පුද්ගලයා, ස්ථානය හා සිද්ධිය | Page 2 | සිළුමිණ

පුද්ගලයා, ස්ථානය හා සිද්ධිය

 

“පුවතක් යනු කුමක්දැයි මම ඔබට කියා දෙන්නම්. එය වටහා ගැනීමෙන් පමණයි ඔබට මගේ පත්තර ලෝකයේ වාසය කිරීමට පුළුවන් වෙන්නේ” මෙසේ තම පත්තර සගයින් ඇමතුවේ, ජෝසෆ් පුලිට්සර් (Joseph Pulitzer) (1847 – 1911) මහතා ය. ඔහු හන්ගේරියාවේ උපත ලද කෙනෙකු වුව ද වැඩි කලක් ගත කළේ ඇමෙරිකාවේ ය. නිව්යෝර්ක් නගරයට පැමිණ ‘ලෝකය’ (World) නමින් හැඳින්වෙන වාර ප්‍රකාශනය පටන්ගෙන, වැඩි කල් යන්නට මත්තෙන් එය අලෙවිය දෙගුණ තෙගුණ කළේ විස්මිත අයුරිනි.

පුලිට්සර් මහතා තම පුවත්පත කලාවට සම්බන්ධකර ගත්තේ අපූරු ලේඛන හා ගවේෂණ කුසලතාවලින් යුත් තරුණ පරපුරකි. ඔවුන්ට ලියන පිහින හැටි ඉගැන්වීමට උගත් දෙටු පරපුරක් ද සම්බන්ධ කරගත්තේ විශ්මයජනක ආකාරයෙනි. ඔහු තම කතාව පටන් ගනිමින් එකම යෙදුම තුන් පාරක් තුන් ආකාරයකට කියූ බව සඳහන් වේ. ඒ වචනය කුමක්ද?

‘Relevance’ යන්නයි.

කුමක්ද එහි තේරුම?

වචනාර්ථය හෙවත් ශබ්දකෝෂ අර්ථය අදාළත්වය යන්නයි.

ඇයි අදාළත්වය!අදාළත්වය! අදාළත්වය

යන්න තුන්වතාවක් කීවේ?

පුලිට්සර් මහතා තම අත්දැකීම්වලින් ම තම අදහස කියා පෑ අයුරු අද පත්තර ලෝකයට නව චින්තාවක් නොවේ.

“මට මේ එකම යෙදුමෙන් ප්‍රබල අර්ථ තුනක් හැඟවීමට වුවමනාකර තිබෙනවා. අපි පළමු අදාළත්වය (Relevance) ගනිමු. ඒ තමයි මම සොයා යා යුතු පුද්ගලයා (Person) හෝ පුද්ගලයන් (People) කවුරුන්ද? පුවත් මවන්නේ පුද්ගලයන් බව අමතක කරන්නෙපා. ඒත් පුවත් තනන, පුවත් මවන, පුවත්දෙන තොරතුරු සම්පාදන පුද්ගලයා කවුරුන්ද? ඔහු හෝ ඇය කෙතරම් අදාළ ද?

ඔහු හෝ ඇය වෙනුවට වෙනත් අදාළ නොවන කෙනෙකුන් හමුවීමෙන් තමන් අභිමත තොරතුරු ලබාගත හැකිද? ඇතැම් විටෙක නිසි තොරතුර දැන, එය සැඟවීමට තැත් කරන පුද්ගලයා වුවද අදාළ වීමට ඉඩ තිබෙන බව අමතක නොකරන්න. ඒ නිසා මගේ පළමු අදාළත්වය මා සලකන්නේ අදාළ පුද්ගලයා (Relevant person) හෝ අදාළ පුද්ගලයන් (Relevant People) ඒ තමයි මගේ පළමු වැනි අදාළත්වය. දෙවැනි අදාළත්වය ඊළඟට. ඒ කිනම් අදාළත්වයක්ද?

ඒ තමයි ස්ථානයේ අදාළත්වය (Relevant Place) කුමක්ද මේ අදාළ ස්ථානය? එය අහසේ, පොළොවේ, මුහුදේ, ග‍ඟේ, වනාන්තරයේ, හෝ වෙනත් ඕනෑම අප දන්නා හෝ නොදන්නා ස්ථානයක් වෙන්ට පුළුවන්. ඒ ස්ථානය මිසක් වෙනත් ස්ථානයක් අදාළ නොවන්නට පුළුවන්. මේ නිසා අදාළ ස්ථානය වෙනුවට අදාළ නොවන ස්ථානයකට යාමෙන් පලක් සිදුවෙනවාද? නැහැ!

අදාළ ස්ථානයට මිසක් අනදාළ ස්ථානවලට යාමෙන් වළකින්න.

මම හිතන්නේ මම මේ පවසන දේ ව්‍යවහාර ඥානය ගැනය. (general Knowledge) ඒත් ඒ දැනුම අපට තිබෙනවාද? ඒ දැනුම කෙමෙන් ඔබ අත්පත් කර ගැනීමෙන් ඔබට ඇතිවන දැක්ම (Vision) පුදුමාකාර බව මම අමුතුවෙන් කිවයුතු නොවේ.

මොකක්ද ඊළඟ අදාළත්වය?

මේක හුඟක්ම වැදගත් අදාළත්වය. ඒ මොකක්ද?

සිද්ධියේ අදාළත්වය කෙතරම් වැදගත්ද? (How relevant is the event?) නොවැදගත් සිද්ධිය හා වැදගත් සිද්ධිය මෙන්ම අදාළ සිද්ධිය හා අනදාළ සිද්ධිය වටහා ගැනීමට සිදුවෙනවා. සිද්ධියක අදාළ බව කෙනෙකුට වැටහෙන්නේ ඉවෙන් (Instinct) මෙන්. අපට හමුවෙන දහස් ගණන් ‘සිද්ධි’වලින් අපට අදාළ සිද්ධිවලට අපේ අවධානය යොමුවීම පුරුදු කරගත යුතු අභ්‍යාසයක්. (Exercise) හැබැයි වරදවා වටහාගන්න එපා. සිද්ධියක අදාළත්වය මනින්නේ වතාවකදී පොදු මිම්මකින් (a common measure) තවත් විටෙකදී පෞද්ගලික මිම්මකින් (a personal measure) කෙනෙකුට අදාළ නොවන්නේ එවැනි සිද්ධියක් තවත් කෙනෙකුට අදාළ බව පේනවා. දැන් මම ඔබට පී.පී.ඊ (PPE) න්‍යාය වටහා දුන්නා. ඒ කියන්නේ පුද්ගලයන් (People) ස්ථාන (Places) හා සිද්ධි (Events) ඔබට පුළුවන්ද බලන්න මේ මගේ න්‍යායට තවත් අකුරු එකතු කිරීමට?

පුලිට්සර් මහතාගෙ කතාවට කන්දී සිටින සගයන්ගේ මුහුණු මත පතිත වන්නේ අපූරු සිනහ රැල්ලකි.

Comments