මානසික රෝගීන්ගේ සුව සහනයේ දෙව්දුව ඩිෆ්නා මුනි­ව­රිය | සිළුමිණ

මානසික රෝගීන්ගේ සුව සහනයේ දෙව්දුව ඩිෆ්නා මුනි­ව­රිය

ඉදිෙවමින් පවතින නව පල්ලිය

 

 

හලාවත පදවියේ රාජකදලුව මීසමේ අත්තංගනය ග්‍රාමයේ ස්නායු හා මානසික රෝගීන්ගේ සුව සහනයේ ශාන්තුවරියට කැප කර ඇති ශ්‍රී ලංකාවේ පිහිටි එකම දේවස්ථානය ශුද්ධ වූ ඩිෆ්නා මුනීවරියගේ දෙව් මැදුර.ශුද්ධ වූ ඩිෆ්නා මුනිවරියගේ ජීවිත කථාව මෙසේය.

ක්‍රි.ව. 600දී පමණ ශුද්ධවන්තයන්ගේ රට යයි පැවසෙන අයර්ලන්තයේ ප්‍රාදේශීය නායකයකු ලෙස ජීවත් වූ දාමේන් නමැත්තා දැඩි මිත්‍යාදෘෂ්ටිකයෙකු විය. ඔහුගේ බිරිඳ නිර්භීත කතෝලික භක්තිමතකු වූවාය. ඔහුගේ එකම දියණිය වූ පහළොස් හැවිරිදි ඉතාම රූමත් ඩිෆ්නා නමැත්තිය මව මෙන් භක්තිවන්ත කතෝලික තරුණියක් වූවාය. හදිසියේ ප්‍රධානියාගේ බිරිඳ මිය ගිය අතර ඔහු දැඩි කම්පාවකින් ජීවත් විය. ඔහුගේ මනස ද විකෘති භාවයට පත්වී තිබුණි. ප්‍රධානියාගේ උපදේශකයන් ඔහුට විවාහයක් කර ගැනීමට යෝජනා කළ අතර ඔහුගේ අදහස වූයේ බිරිඳ මෙන් රූපයෙන් හෙබි ගුණවත් කාන්තාවක් ඇත්නම් විවාහ විය හැකි බවයි. අධිපති දූතයන්ට එවැනි කාන්තාවක් සොයා ගත නොහැකි වූ බැවින් ඊට සමාන රුවක් ඇති එකම කාන්තාව ලෙස ඔහුගේම රූමත් හා ධර්ම ගුණයෙන් හෙබි දියණිය විවාහ කර ගැනීමට යෝජනා කෙරිණි. ඒ අදහසට විරුද්ධව දැඩි අරගලයක නිරත වූ දියණිය ඊට විරුද්ධව තම සුපිරිසිදු බව ආරක්ෂා කර ගනිමින් තම ආත්මීය පියා වූ ගෙරුබ්‍රැන් සමඟ රටින් පිට වී බෙල්ජියමට පැන ගත්තේය. එහි ගීල් නමැති කුඩා ගම්මානයක ඔවුහු පදිංචි වූවෝය. පියතුමාගේ සහචරයන් ඇය සොයාගෙන පැමිණ ඇය බලහත්කාරයෙන්

සියරටට ගෙන යාමට උත්සාහ කළ විට ඊට විරුද්ධ වූ විට ඇයගේ මහලු ආත්මික පියා රජු අතින් මරා දමනු ලැබුවේය. තවදුරටත් දියණියගේ විරෝධය හේතුවෙන් විකෘති මනසින් යුතුව අධිපති විසින් තම නිලධාරීන්ට ඇය මරා දමනු ලෙස අණ කළත් ඊට නිලධරයන් අකමැති වූ හෙයින් පියාණන් විසින් කඩුපත ගෙන සියතින්ම ඇගේ හිස ගසා දැමීය. මෙසේ ඩිෆ්නා දැරිය ප්‍රාණ පරිත්‍යාගවරියක් ලෙස කතෝලික සභාව නම් කළ අතර පියාගේ මානසික විකෘති භාවය හේතුවෙන් ඇය ස්නායු හා මානසික රෝගීන්ගේ සුව සහනයේ ශාන්තුවරිය ලෙස නම් කරනු ලැබීය. එම ශාන්තුවරිය මිය ගිය ස්ථානය අද එවැනි රෝගීන්ට සුවය ලබා දෙන වන්දනා ස්ථානයක් බවට පත්වී ඇත.

මෙම දෙව් මැදුර පිළිබඳ මීසම් සේවක ඩෙනිස් ගයාන් පියතුමා දැක්වූ අදහස්ය මේ.

“මේ දේවස්ථානයට සතිපතා ආගම් භේදයකින් තොරව මානසික රෝගීන් පැමිණ ආශිර්වාද ලබා ගන්නවා. මානසික රෝගීන්ට සැනසීමත් සුවයත් ලබා දෙන වන්දනා ස්ථානයක් බවට මෙතැන පත්වී තිබෙනවා.“

කලක් මෙම මීසමේ කටයුතු කළ කුවීන්ටස් ප්‍රනාන්දු පියතුමා සිය අත්දැකීම් පවසන්නේ මෙසේය.‍

 

ශු. ඩිෆ්නා මුනිවරිය

“ගමේ කෘෂිකර්මාන්තයේ නියැළෙන ඇන්ටනි ඇලෝසියස් තමයි ඔහුගේ වෙල්යායට යාබදව ඇති අක්කර භාගයක ඉඩම පල්ලියට දුන්නේ. 1998.03.22 වන දින පල්ලියට මුල්ගල තිබ්බා. දානපතියකු වූ මයික්කාලේ කොලින් පෙරේරා පල්ලිය සෑදීම සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන්නා. මේ ගමේ වැඩි පුරම බෞද්ධ ජනතාව සිටියත් ඔවුන් පල්ලිය ගොඩනැඟීම සඳහා උදව් කළා. 1999.01.05 දින එවක හලාවත රදගුරුතුමන් වූ අති උතුම් ෆ්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් හා අසල්වැසි පන්සලේ නාහිමි ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති ගරු ආනන්දනායක ස්වාමීන්වහන්සේ සමඟ දේවස්ථානය ආසිරි ගැන්නුවා.

“ස්වාමි ඉරිදා පූජාවට ආපු දවසක කාන්තාවක් පියතුමාට කියූ කථාවක් “මගේ දරුවා මානසික රෝගයකින් හිටියා. දොස්තරල කිව්වා දරුවා ජීවත් වන්නේ තව අවුරුද්දක් විතර කියල. මම ඊට පස්සේ මේ පල්ලියට භාර වෙලා සතිපතා පල්ලි ආවා. ඊටපසු දරුවා ක්‍රමයෙන් හොඳටම සනීප වුණා. පල්ලියට පැමිණි අයෙකු අප හා පැවැසීය. පල්ලිය සෑදීම සඳහා බොහෝ උදවු කළ කොලින් පෙරේරාගේ පුතු තම පියා කළ සේවාව ගැන මෙසේ අදහස් දැක්විය.

“අපේ අම්මා ඒ කාලේ නැති වුණා. තාත්තා අම්මා වෙනුවෙන් මේ දේවස්ථානය හදන්න උදවු කරල තියෙනවා. මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. අපි හැම මංගල්‍යයකටම එනවා. ඒ කාලේ මේ සුරුවමක්වත් ලංකාවේ හොයා ගන්න බැරිවෙලා තියෙනවා. තාත්තා අයර්ලන්ත තාත්තාගේ මිතුරෙකු මාර්ගයෙන් සුරුවම් ගෙන්වාගෙන තියෙන්නේ.“ නිර්මලත්වයේ ශුද්ධවත්ත භාවයේ විශ්වාසයේ ශාන්තුවරියගේ ආශිර්වාදය පතා පැමිණෙන්නට යයි ගරු මීසම් සේවක පියතුමා ආරාධනය කර සිටී.

Comments