අඹගමුවේ ප්‍රා. සභාපති ගස් 42ක් අනවසරයෙන් කැපූවාද? | සිළුමිණ

අඹගමුවේ ප්‍රා. සභාපති ගස් 42ක් අනවසරයෙන් කැපූවාද?

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට සමගාමීව ගිනිගත්හේන දියගල නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය දක්වා වු මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ සංවර්ධන කටයුත්තට මුවාවෙන් ස්වභාවික රක්ෂිතයක වූ වටිනා දැව කඳන් කපා අලෙවි කිරිමේ ජාවාරමක් සිදු කර ඇති බවට ලද පැමිණිලි කිහිපයක් මත ආරක්ෂක අංශ සහ වගකිය යුතු ආයතන කිහිපයක් විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇත.

එම මාර්ගයේ පළමුවන අදිරයේ කිලෝ මිටර් 03 දුර ප්‍රමාණයක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන අතර; එම කිලෝ මිටර් 03 තුළ වූ ලොනැක් වතුයායේ සහ එම වතු යායට මායිම්ව වු ස්වභාවික රක්ෂිතයේ වටිනා දැව කඳන් කපා ලී මෝල වලට අලෙවි කර ඇති බවත් , ඇතැම් දැව කඳන් ගිනිගත්හේන ප්‍රදේශයේ විහාරස්ථානයක ඉරා ඇති බවටද ලද පැමිණිලි මත ආරක්ෂක අංශ සහ වගකිය යුතු ආයතන විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.

මෙම දැව ජාවාරම සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කර ඇත්තේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රදේශීය සභා මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ විසිනුයි.

කපා විනාශ කර ඇති මහා වෘක්ෂයක මුල

මෙම ජාවාරම සම්බන්ධයෙන් අදහස් දක්වන හෙලප්‍රිය නන්ද රාජ කියා සිටියේ මෙවැන්නකි.

"දියගල සිට නල්ලතන්නිය දක්වා මාර්ගය පුළුල් කිරිමේ ව්‍යාපෘතිය කියලා තමයි මේක සිදු කරලා තියෙන්නේ.එසේ සංවර්ධන කටයුතු සිදු කරනවා නම් එයට යම් ක්‍රමවේදයක් තියෙනවා.

මාර්ග රක්ෂිතයට අයත් ගස් , වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ගස් ඉවත් කිරිමේදි නෛතික පැත්තක් තියෙනවා. නෛතික පැත්තෙන් බාහිරව වෙනත් පාර්ශ්වයක් විසින් මේකට මැදිහත් වෙලා තමයි මේ දැව ජාවාරම සිදු කරලා තියෙන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතයේ කොටස් තියෙනවා නම් ඉංජිනේරුවරුන් විසින් ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්වත් කරලා එතුමිය හරහා දැව සංස්ථාව මඟින් ගස් ඉවත් කිරිමක් තමයි සිද්ධ වෙන්න ඕනි. මෙතන තියෙනවා වටවල වැවිලි සමාගම යටතේ පාලනය වන ලොනැක් වත්ත. වටවල වැවිලි සමාගමට අයත් ගස් ඉවත් කරනවා නම් ඒක අයිති වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට; දැව සංස්ථාව හරහා.

එහෙම නොවී පෞද්ගලික වාහන යොදාගෙන වෙනත් ආයතනයක් සම්බන්ධ කරගෙන; අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලොරිය පවා යොදාගෙන තියෙනවා මේකට. සාක්ෂි තියෙනවා මේ සම්බන්ධයෙන්. වෙනත් පාර්ශ්වයකට මේකට මැදිහත් වෙලා ගස් ඉවත් කරන්න බෑ කියලා තමයි අපි කියන්නේ.

මම මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් , දැව සංස්ථාවෙන් විමසීමක් කරා. පැහැදිලිවම පේනවා මෙතන මහා ගස් වංචාවක් කරමින් , රජයේ ආයතන වලට යා යුතු මහ ධනස්කන්ධයක් පෞද්ගලික වෙනත් පාර්ශ්වයකගේ සාක්කුවට යනවා. කපපු ගස් ටික බදුපොල ලී මෝලක තියෙනවා, ප්‍රාදේශීය සභාවේ ලොරි භාවිත කරමින් ගිහින් ලී කොට බාලා තියෙනවා කියලා සාක්ෂි තියෙනවා.

කටුගස්තොට පැත්තට ගිහින් තියෙනවා, පෞද්ගලික ලොරි සහ අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලොරි වලින් ප්‍රවාහනය සිදු කළ බවට ප්‍රදේශවාසීන් සාක්ෂි ලබා දෙනවා යනුවෙන් පැවසීය.

මේ සම්බන්ධයෙන් අප අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා ගෙන් කළ විමසුමකට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙලප්‍රිය නන්ද රාජ විසින් සිදු කර ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වලට ප්‍රකාශ ලබා දී ඇති බවයි.

එම මාර්ගයේ අනතුරුදායක සහ ආපදාවට ලක් විය හැකි ඇල්බිසියා සහ යුකෙලේප්ස්ටික් වර්ගයේ ගස් කිහිපයක් තිබු බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා විශාල පිරිසකගේ සහ ප්‍රදේශවාසීන්ගෙන් තම ප්‍රාදේශිය සභාවෙන් කළ ඉල්ලිම් කිහිපයක් මත තම ප්‍රාදේශිය සභාව සතු බලතල උපයෝගි කරගෙන නිතියානුකුලව එම ගස් කපා ඉවත් කිරිමට කටයුතු කළ බවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ අඹගමුව ප්‍රාදේශීය සභාපති ජයසංඛ පෙරේරා මෙසේ කියා සිටියහ.

"සමහරු මෙම දැව කඳන් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් මටත්, ප්‍රාදේශීය සභාවටත් , මගේ දේශපාලන ගමනටත් මඩ ගහන්න හදනවා. මම මේ හැම දෙයක්ම කළේ නීත්‍යානුකූලව.

ගස් 13 කපා ඉවත් කිරිමට දැව සංස්ථාවේ ලියා පදිංචි කොන්ත්‍රාත්කරුවෙක් හෙයාගෙන ඔහුට එම කොන්ත්‍රාත්තුව ලබා දුන්නා. මම ඔහුට කොන්ත්‍රාත්තුව ලබාදෙනකොට කිව්වේ ගස්ටික කපලා ආරක්ෂිත ස්ථානයක ගොඩ ගහන්න කියලා. එම දැව කඳන් වල තක්සේරු වාර්තාවක් ගන්න ඕනි නිසා. දැව කඳන් කපන්න කොන්ත්‍රාත්තුව ගත්ත කොන්ත්‍රාත්කරුට ප්‍රවාහනය කිරිමට වාහන කිහිපයක් මදි නිසා අඹගමුව ප්‍රාදේශිය සභාවේ වාහන මුදල් ගෙවලා කුලි පදනම මත ලබාගෙන තිබුණා.

ඒ අනුව එම මාර්ගයේ කපා ඉවත් කළ ගස් කිහිපයක දැව කඳන් බදුපොල විහාරස්ථානයේ ඉදිරිපිට මාර්ගයේ ඉඩ තියෙන තැනක ගිහින් දාලා තිබුණා. ඒ දවස්වල මම හිටියේ නිවසේ දවස් කිහිපයක්ම. හේතුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ආශ්‍රිතයකු වීම නිසා මාව ස්වයං නිරෝධානයට යොමු කරලා තිබුණේ.

ඒ අතරතුර දැව සංස්ථාවෙන් ගස් වල වටිනාකමට තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව තක්සේරු වාර්තාවට අදාළ මුදල අදාළ ආයතන වලට ගෙවීමට ප්‍රාදේශීය සභාවේ තැන්පත් කරන්න කියලා මම කළ ඉල්ලිමක් මත එම කොන්ත්‍රාත්කරු විසින් එම මුදල් ප්‍රාදේශිය සභාවේ තැන්පත් කරලා තියෙනවා.

කොන්ත්‍රාත්කරු විසින් නිතියානුකුලව අවධානම් ගස් කපා ඉවත් කිරීමෙන් පසු තවත් කිසියම් පිරිසක් විසින් විශාල ගස් කිහිපයක් කපලා අරන් ගිහින් තියෙනවා. ඒ ගස් කැපුවේ කවුද කියලා මම දන්නේ නැ, මම පොලිසියට කියලා තියෙනවා ඒ ගස් කැපුවේ කවුද කියලා හොයන්න කියලා.

පන්සල ගාව දාපු දැව කඳන් කිහිපයකින් පන්සල් කිහිපයක වහල හදන්න ඕනි කියලා එම විහාරස්ථානවල විහාරාධිපතිවරුන් මගෙන් කළ ඉල්ලීමක් මත මම එම කොන්ත්‍රාත්කරුට කිව්වා හාමුදුරුවන්ට ලී ටිකක් ඉරලා දෙන්න කියලා මම ඒකට මුදල් දෙන්නම් කියලා. ඒ අනුවයි කොන්ත්‍රාත්කරු පන්සලට ලී ඉරා දිලා තියෙන්නේ යනුවෙන් පැවසීය.

Comments