
රාජ්‍ය නායකයකු යම් කිසි රටක නිල වශයෙන් සංචාරය කරන්නේ එම රටේ සුන්දරත්වය නැරඹීමට හෝ විවේක සුවය ලබා ගැනීමට නොවේ. එම සංචාරවල යෙදීමෙන් ඔවුන් අපේක්ෂා කරන අරමුණු පවතින අතර, සංචාරය කරන රටේ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් එම අරමුණු අතරින් හැකි උපරිමයක් සාක්ෂාත් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වේ. ගෙදරටම පැමිණි පුද්ගලයා නිසා අදාළ රටේ රාජ්‍ය නායකයන්ද ඉතා ගෞරවයෙන් යුක්තව හැකි උපරිම නම්‍යශීලී වීමෙන් කරුණු කාරණා සාකච්ඡා කර පැමිණි රාජ්‍ය නායකයාගේ අරමුණුවලට හැකි උපරිම සහය ලබා දීමට උත්සාහ කරති. මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික සංචාරවලදී සාක්ෂාත් කරගත යුතු අරමුණු අතරින් ඉටුවන අරමුණු ද ඉටු නොවන අරමුණු ද තිබේ.
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා අප රටේ දෙදින නිල සංචාරයකට එක් වූයේය. ඔහු මෙරටට පැමිණියේ අප රටේ මුස්ලිම් ආගමිකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකදීය. පකිස්ථානය යනු දකුණු ආසියා කලාපයේ විශාලතම මුස්ලිම් රාජ්‍යය බව අමතක කළ නොහැකිය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාවට නිදහස ලබා දීමේදී මුස්ලිම් ජාතිකයන්ට වෙනම රාජ්‍යයක් ලබා දීමට ගත් වෑයමේ අවසාන ප්‍රතිඵලය අද ලොව අත්විඳින්නේ පකිස්ථානය සහ බංග්ලාදේශය යනුවෙනි. මේ දෙරට අතරින්ද පකිස්ථානය අදටත් බලවතාය. එසේ වන්නේ එදාසිට පකිස්ථානය අත්කරගෙන සිටි කීර්තිනාමය හේතුවෙනි.
මේ හේතු මත පකිස්ථානය කලාපීය මුස්ලිම් බලවතා සේ සැලකීම හේතු සහගතය. දෙරටටම බලපාන වෙළෙඳ සහ වාණිජ අරමුණු ඉස්මතු කරගෙන වුවද කොවිඩ් මරණ ආදාහනය
![]() |
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්; අගමැති මහින්ද රාජපක්ෂයන් සමඟ |
සම්බන්ධව එකඟතාවකට පැමිණීමද පකිස්ථාන අගමැතිවරයාගේ සංචාරයේ එක් විශේෂ අරමුණක් වූ බව පැහැදිලිය.
විශේෂයෙන්ම සංචාරය අවසානයේ කොවිඩ් මරණ භූමදානයට අවසර ලබා දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇති බව ඉම්රාන් ඛාන් විසින් ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශයට පත් කර තිබූ අතර, ශ්‍රී ලංකා රජයේ මතය ලෙස ප්‍රකාශයට පත්වී තිබුණේ කොවිඩ් මරණ භූමදානයට දේශපාලනිකව අවසර ලබා දුන්න ද වෛද්‍ය උපදෙස්වලට මුල්තැන හිමිවන බවයි.
කෙසේ වුවද ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයට විදෙස් මාධ්‍යවලින්ද වැඩි ඉඩක් හිමි වී තිබූ අතර එයට හේතුව කොවිඩ් මරණ අදාහනය යැයි සැලකිය හැකිය. විශේෂයෙන්ම මැදපෙරදිග මාධ්‍ය මේ සංචාරය ඉස්මතු කර තිබුණේ ලොව පුරා පැතිර යන ‘මුස්ලිම් භීතිකාවට’ විසඳුම් සෙවීමට ගත් තවත් එක් උත්සාහයක් වශයෙනි.
ඉම්රාන් ඛාන් ගේ සංචාරයේදී රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට අමතරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමද න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණ ද අවසානයේ රාජ්‍ය නායක හමුවෙන් පමණක් සෑහීමකට පත්වීමට පකිස්ථාන අගමැතිවරයාට සිදුවිය. ඔහුගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව අහිමි වන්නේ ඉන්දීය බලපෑමක් හේතුවෙන්ය යනුවෙන් විදෙස් මාධ්‍යවල ඉඟි පළවී තිබුණු නමුදු පකිස්ථාන අගමැතිවරයාට ශ්‍රී ලංකා සංචාරයේ නිරතවීමට ස්වකීය ගුවන් කලාපය විවෘත කරමින් ඉන්දියාව තම සුහදත්වයේ දෑත ද මේ අවස්ථාවේදී ඔහු වෙත දිගු කර තිබිණි.
කෙසේ වුවද ඉම්රාන් ඛාන් යනු ඉන්දියාවේ ටොකුවලට හොඳින් හිස අල්ලා පුරුදු නායකයෙක් බව කිව යුතුය. මේ අවස්ථාවෙදී ප්‍රබල ඉන්දියාව සමඟ හැප්පීමට තරම් ආර්ථික ශක්තියක් තමන් සතුව නැති බව හොඳින් දන්නා ඉම්රාන් ඛාන් මෝදිලාගේ ඡන්ද ගුණ්ඩුවලට හොඳහැටි හිස නවා අවස්ථාව ලබා දුන් බව ලොවම දන්නා කරුණකි. එබැවින් ඉන්දීය තර්ජන මත පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව අහිමි වූයේ නම් ඉම්රාන් ඛාන් එයද සැහැල්ලුවෙන් ඉවතලන බව පැහැදිලිය.
කෙසේ වුවද දශක ගණනාවක තම කලාපීය හිතවතා වන පකිස්ථානයට ශ්‍රී ලංකාවෙන් නම් හෘදයාංගම පිළිගැනීම් ලැබෙන බව නිසැකය. ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂයන් ගුවන් තොටුපොළේදී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම ලොවට පෙන්වා දුන්නේ එකී හෘදයාංගම භාවයයි. අතීතයේ ඉන්දීය දේශපාලන මැදිහත්වීම් මත ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ගැටලුවලට මැදිවන විට අපගේ ආරක්ෂාවට සිටි අසල්වැසියා පකිස්ථානයයි. එපමණක්ද නොව මේ දෙරට අතර වන ආනයන අපනයන ගනුදෙනු ද දෙරටේම ආර්ථිකයෙන් අති විශාල ඉඩක් වෙන් කර ගන්නා බව අමුතුවෙන් නොකිව මනාය. පකිස්ථාන මහබැංකුව ඉදිරිපත් කර ඇති දත්ත මත පසුගිය මුල්‍ය වර්ෂය තුළ දෙරට අතර ඩොලර් බිලියන 359ක මුල්‍ය ගනුදෙනු සිදුවී තිබේ. ඒ අතරින් බහුතරය වාර්තා වන්නේ පකිස්තානයෙන් ශ්‍රී ලංකාවට සිදු කරන ලද අපනයන ලෙසිනි. මේ මුල්‍ය ගනුදෙනු එලෙසින්ම පවත්වා ගැනීම මෙන්ම වර්ධනය කිරීමද දෙරටේම අවශ්‍යතාව වන බවට සැකයක් නැත.
කෙසේ වුවද පකිස්ථානයේ විදේශ ඇමති ෂා මෙහමුද් ක්වාර්ෂි සහ වාණිජ ඇමති අබ්දුල් රසාක් ඩැවූඩ් යන අමාත්‍යවරුන් දෙදෙනාගේද සහභාගීත්වයෙන් යුතුව අගමැතිවරයා සිදු කළ සංචාරයේදී ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ, වාණිජ, අධ්‍යාපන, ක්‍රීඩා, ආයෝජනය, සෞඛ්‍ය මෙන්ම විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂක සහ කෘෂිකර්මාන්ත යන ක්ෂේත්රවල ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීම පකිස්ථාන පාර්ශ්වයේ ප්‍රධාන අරමුණු විය. එය ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකාවටද විශේෂ වාසිදායක වන ගිවිසුම් පහකට අත්සන් තැබීම සිදුවිය.
ඒ යටතේ, දෙරට අතර සංචාරක සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුම, දෙරටේ ආයෝජන මණ්ඩල අතර සහයෝගීතා ගිවිසුම, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සහ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, කොළඹ විශ්වවිද්‍යාලය සහ පකිස්ථානයේ ලාහෝර් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම යනාදී වශයෙන් අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබීමද සිදුවිය. ජනාධිපති ගෝටාභය රාජපක්ෂයන් සහ පකිස්ථාන අගමැතිවරයා අතර පැවති නිල සාකච්ඡා බෙහෙවින් සාර්ථක වූ බවට ප්‍රකාශ වූ අතර එම සාකච්ඡාවලදී දෙරටේ කෘෂි කාර්මාන්ත ප්‍රවර්ධනය සඳහා තාක්ෂණික දැනුම හුවමාරුව සම්බන්ධව විශේෂ සාකච්ඡා පැවැත්විණි.
පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ එකිනෙකට බෙහෙවින් සමාන කෘෂිආර්ථිකයන් පවතින බැවින් මෙන්ම ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන පරිදි කෘෂිආර්ථිකය පවත්වා ගැනීමේ දෙරටේම අරමුණුද සමාන වන බැවින් දෙරට අතර කෘෂි තාක්ෂණය මෙන්ම දැනුමද පහසුවෙන් හුවමාරු කරගත හැකි බව දෙරටේම පොදු මතය ලෙස සාකච්ඡාවට බඳුන් විය.
එමෙන්ම ශ්‍රී ලංකාව පකිස්ථානයට සිදුකරන අපනයන වැඩි කිරීමට මෙන්ම පකිස්ථානය ශ්‍රී ලංකාවට සිදුකරන අපනයන වැඩි කිරීමට ද දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අදහස විය. දෙරටේම මුල්‍ය වෙළෙඳපොළෙන් සැලකිය යුතු කොටසක් දෙරට වෙනුවෙන් වෙන් වන බැවින් එය වඩාත් ශක්තිමත් සුහද සබඳතා මත වැඩි දියුණු කර ගැනීම දෙරටේම පොදු අරමුණ විය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පකිස්ථානය විසින් අප රටේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබා දෙන පුහුණුවීම් වඩාත් විධිමත් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යෑම සම්බන්ධව අදහස් හුවමාරු වූ අතර පකිස්ථානය විදේශ සබඳතාවලදී නිතරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගයද ඉහළින්ම අගය කිරීමට ලක් විය.
කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි දෙරට තුළම නගා සිටුවීම දෙරටේම සහයෝගීතාවයෙන් යළි ශක්තිමත් කිරීම සම්බන්ධව ද අදහස් හුවමාරු විය. මේ සියලු සාර්ථක සාකච්ඡා අවසානයේ සිය දෙදින නිල සංචාරය නිම කරමින් පසුගිය 24වැනිදා පකිස්ථාන අගමැතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේය.