
උතුරේ දූපත් තුනකට පුනර්ජනනීය විදුලිබලය ලබාදීමේ ව්‍යාපෘතියකට චීනයේ සහාය ලබා ගැනීම හේතුවෙන් අසල්වාසි ඉන්දියාව විරෝධය පළ කිරීමේ පුවතක් මේ දිනවල වාර්තා වෙයි. ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපිත කර විදුලිය බෙදා හැරීමට තීරණය කර තිබෙන්නේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් (නාගදීපය) සහ අනලතිව් යන දූපත් තුනටය. මේ වන විට මෙම දූපත් වාසින්ට විදුලිය ලබා දෙන්නේ ඩීසල් ජනන යන්ත්‍ර මගිනි. එහෙත් ඩීසල් ජනන යන්ත්‍ර මගින් විදුලිය සැපයීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එබැවින් විදුලි ඒකකයක මිල රුපියල් 50.00ක් වනු ඇත. ඊට විකල්පයක් වශයෙන් හිරුඑළියෙන් සහ සුළඟ මගින් විදුලිය උත්පාදනය කර බෙදා හරිනු ලැබුවහොත් ඒකකයක මිල රුපියල් 20.00 දක්වා අඩු කර ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දී තිබේ. දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම වැදගත් වන්නේ එබැවිනි.
ෙම් දූපත් තුනට සහනදායි මිලකට විදුලිය සැපයීමේ අරමුණින් පුනර්ජනනීය බලශක්ති සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ණය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන්නේ 2015 සැප්තැම්බර් මාසයේය. ඊට අනුමැතිය හිමි වූ පසුව 2017 නොවැම්බර් මාසයේ මීට අදාළ දැන්වීම් පළ කර තිබේ. විවෘත ටෙන්ඩර් පටිපාටියකින් පසුව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලැබුණේ චීනයේ සයිනොසෝර් එච්වින් ජොයින්ට් වෙන්චර් සමාගමටය. ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක් ද ඉල්ලුම් කර තිබේ. ඩෙල්ෆ් ඇතුළු දූපත් තුනේ මෙම ව්‍යාපෘති චීනය ආරම්භ කිරීමත් සමඟ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවට ඉන්දියාව ප්‍රකාශ කර ඇත.
මෙහිදී ප්‍රථමයෙන්ම ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත්වල පිහිටීම ගැන අවධානය යොමු කිරීම වටී. යාපනය අර්ධද්වීපයට අයත් විශාලම දූපත වන ඩෙල්ෆ් යාපනයේ සිට කිලෝ මීටර් 15ක දුරින් පිහිටා ඇත. ඉන්දියාවේ රාමේශ්වරන් වෙත ඇති දුර කිලෝමීටර් 42.5කි. දිගින් කිලෝමීටර් 8ක්ද පළලින් කිලෝමීටර් 06ක්ද වූ ඩෙල්ෆ්ට් දූපතේ වපසරිය වර්ග කිලෝමීටර් 47.5කි. මෙහි ජීවත් වන පවුල් ගණන 1329කි. මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති භූමි ප්‍රමාණය අක්කර 12කි. යාපනයට බටහිරින් කිලෝමීටර් 32ක දුරින් නාගදීපය (නයිනතිව්) පිහිටා ඇත. කිලෝමීටර් 3.5ක දිගින් සහ කිලෝමීටර් 1.5ක පළලින් යුතු නාගදීපයේ පවුල් 800ක් පමණ වාසය කරති. අනලතිව් දූපත වර්ග කිලෝමීටර් 5කට ආසන්න වපසරියකින් යුක්ත වන අතර පාසල්, තැපැල් කාර්යාල, පල්ලි, කෝවිල්වලින් සමන්විත 3000ක පමණ ජන සංඛ්‍යාවක් ජීවත් වන දූපතකි. චීනය, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසන්නේ මෙම දූපත් අතරින් ඩෙල්ෆ් දූපත ඉන්දියාවේ වෙරළබඩ නගරයක් වන රාමේශ්වරන් නගරයට කිලෝමීටර් 42.5ක දුරින් පිහිටා තිබෙන බැවිනි.
“මේ ව්‍යාපෘතිය පිටරට සමාගමකට දීමට අවශ්‍ය නැහැ. මේක ලංකාවේ අයට කරන්න පුළුවන්. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවො 1000ක් විතර ඉන්නවා. කාර්මික නිලධාරින් 1300ක් විතර ඉන්නවා. අධිකාරිවරුන් 1500ක් ඉන්නවා. දිවා කාලයට සූර්ය බලයෙනුත් රාත්‍රි කාලයට සුළං වලිනුත් විදුලිය උත්පාදනය කරන නිසා තමයි මෙය දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතිය කියලා හඳුන්වන්නේ.
මෙයින් එක දූපතකට මෙගාවොට් 1ක විදුලි ධාරිතාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මේ වගේ පොඩි ව්‍යාපෘතියක් කරන්න අපිට පුළුවන්. අපේ සම්පත් පාවිච්චි කරලා මේ ව්‍යාපෘති කරන්නේ නැතිව පිටරටට දීමෙන් කලාපීය අර්බුදයක් නිර්මාණය වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය සම්පත් නැති බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා පාලනාධිකාරියේ සුළු පිරිසකගේ වුවමනාවට මෙය විදේශයකට දීමෙන් කලාපීය අර්බුදයක් නිර්මාණය වීමෙන් ශ්‍රී ලංකාව දිනා ගත් රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය පළුදු වෙනවා.
මේ කුඩා ව්‍යාපෘති ජාත්‍යන්තර ගැටලුවක් වෙත තල්ලු වීම ලොකු හානියක්. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.” යනුවෙන් පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.ජී. ජයලාල් ය.
ඉන්දියාව විසින් මතු කරනු ලබන විරෝධයට ප්‍රතිචාර දැක්වූ චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ අදාළ චීන සමාගම පෞද්ගලික සමාගමක් බවත් මෙය විවෘත ටෙන්ඩර් පටිපාටියක් යටතේ සිදුවන හුදු වාණිජ කටයුත්තක් පමණක් බවත් ය. ශ්‍රී ලංකාව යනු ස්වෛරී රාජ්‍යයක් වන අතර එහි අවශ්‍යතාව සඳහා වඩාත් සුදුසු කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතු බවද චීන තානාපති කාර්යාලයෙන් නිවේදනය කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 12කි. කොන්ත්‍රාත් කාලය වසර 2කි.
“මේ වගේ ව්‍යාපෘති, ඊට වඩා විශාල ධාරිතාවෙන් යුක්ත ව්‍යාපෘති දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලය සිදු කර තිබෙනවා. එවැනි ශක්‍යතා ඇති දේශීය සමාගම් තියෙනවා. එළුවතිව් දූපතේ ස්වීඩන් රජයේ ආධාර ඇතිව දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක ආදර්ශයක් කරලා තිබෙනවා.
ඒ නිසා මේ වගේ පොඩි ව්‍යාපෘතියක් කරන්න ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාවක් නැහැ කියන්නේ කොහොමද? ඒ නිසා මෙම දූපත් විදේශික අතපෙවීම්වලට යටත් කරලා, ඒ හරහා පටු ආර්ථික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට විවිධ කණ්ඩායම් දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපේ සම්පත් පාවිච්චි කරලා තාක්ෂණය විදේශීය රටකින් ලබා ගත්තාට කමක් නැහැ. සමහරුන් හුවා දක්වන තර්කයක් තමයි ලංකා විදුලිබල මණ්ඩලයට මුදල් නැහැ කියන කතාව. මුදල් නිසි විදිහට කළමනාකරණය කරනවා නම් ලංකා විදුලිබල මණ්ඩලයට මුදල් තියෙනවා. 2015දී සමහරුන්ගේ වැටුප් 113%කින් වැඩිවීම නිසා නඩුමගට යෑමට සිදුවුණා. විදුලිය හදිසි මිලදී ගැනීම් කළේ නිසි පරිපාලනයක් නැතිව. උදාහරණයක් හැටියට මීට අවුරුදු තුනකට විතර ඉස්සෙල්ලා විදුලි ජනනය කිරීමේ යන්ත්‍ර 50ක් මිල දී ගත්තා. දැන් ඒවායින් 10ක්වත් වැඩ කරන්නේ නැහැ. මේ විදිහේ අනවශ්‍ය මුදල් නාස්ති කිරීම් වළක්වා ගත්තොත් සල්ලි තිබෙනවා.” යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති උපුල් නිශාන්ත විස්තර කළේය.
යාපනයේ ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිව් දූපත් තුනට විදුලිබලය සැපයීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, විදේශීය මැදිහත්වීම් ගැන අදහස් පළ කළේ මෙලෙසිනි.
“සූර්ය බලයෙන් සහ සුළඟින් දෙමුහුන් ආකාරයට විදුලිය උත්පාදනය කිරීමේ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ සඳහා කැඳවූ ජාත්‍යන්තර ටෙන්ඩරය පළමුවැනි අවස්ථාවේ අසාර්ථක වුණා. ඊට පස්සේ 2019 ජූලි මාසයේ 2 වැනි වතාවටත් ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳෙව්වා. මේ ටෙන්ඩර් කැඳවීමට ආසියානු සංවර්ධන බැංකුව මැදිහත් වුණා. 2 වැනි වතාවේ රටවල් 4කින් ඉදිරිපත් වුණා. ඉන්දියාවේ ස්ටලීන් සමාගමත් ඉදිරිපත් වුණා. අඩුම ලංසුව තිබුණේ චීනයෙන්. ඒ නිසා එය චීනයට හිමිවුණා. මේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය ඉතාමත් නිවැරදිව සිද්ධ වුණ දෙයක්. අපේ රටේ ජාතික න්‍යාය පත්‍රය ජාත්‍යන්තරයට යට වෙන්නේ නැහැ. තවමත් මෙය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා නැහැ. මහා භාණ්ඩාගාරය අලුත් තාක්ෂණය ගැන වැඩි විස්තර, නිර්දේශයන් ඉල්ලලා තිබෙනවා. ඒ අතෙර්දි ඉන්දියන් මහ කොමසාරිස්තුමා දැනුම් දී තිබෙනවා ඔවුන්ට තාක්ෂණික වාර්තාව ලබා දෙනවා නම් එම මුදල ප්‍රදානයක් හැටියට අපිට ලබා දීමට.” යනුවෙන් විස්තර කළේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමය.
චීනයට හිමි වී ඇති අපේ රටේ දූපත්වල ඉදිකිරීමේ ව්‍යාපෘතියට කෙසේ හෝ ඉන්දියාව ද අතපෙවීමට සිටින ආකාරය මෙයින් හැඟී යයි. ඇතැම් දමිළ දේශාලන නායකයන් කියා සිටියේ මෙම දූපත් තුනේ විදුලි බලය පුනර්ජනනීය කිරීමේ පද්ධතිය ඉදිකිරීමට චීනයට ඉඩ නොදෙන බවය. මේ සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයාගෙන් අදහස් විමසුවේ එමනිසාය.
“මේක ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකට අනුව සිද්ධ වුණු දෙයක්. ටෙන්ඩර් කැඳවීමේ අඩු ලංසුව ඉදිරිපත් කරලා තිබුණේ චීනය නිසා එය චීනයට ගියා. මේක රජය විසින් හිතාමතා කරපු දෙයක් නොවෙයි. මේ දූපත් තුන ඉන්දියාවට කිට්ටු නිසා ඉන්දියාව මේ වැඩේට විරුද්ධයි. ආසියානු සංවර්ධන බැංකුව සමඟ යම් ගැටුමක් ඇති වීමට ඉඩ නොදී දෙරටේ හොඳ හිත පවත්වා ගනිමින් කටයුතු කිරිම සඳහා අපි පැහැදිලි විසඳුමක් හොයනවා.” යනුවෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කළේය.
මෙම දූපත් තුනට දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය නිසා කලාපීය වශයෙන් අර්බුදයක් ඇති වීම වළක්වනු පිණිස දේශීය ඉංජිනේරුවන්, අධිකාරිවරුන් සහ තාක්ෂණ ශිල්පීන් යොදවා මෙය සිදු කළ හැකි නොවේද යනුවෙන් විදුලිබල අමාත්‍ය, ඩලස් අලහප්පෙරුමගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ඇති අවස්ථාවක සාධාරණ හේතුවක් නොමැතිව අපට ක්ෂණිකව එය වෙනස් කළ නොහැකි බවය.
එවැනි ක්ෂණික තීරණ ගතහොත් ඉදිරියේදී ආයෝජනය කිරීම් නවතා දැමීම් වැනි තීන්දු ගැනීම නිසා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බරපතළ අර්බුද පැන නැඟිය හැකි බව ඔහු තවදුරටත් පැවසීය.