එන්නත පිළිගන්න ජනතාව පෙළගැසෙති | Page 3 | සිළුමිණ

එන්නත පිළිගන්න ජනතාව පෙළගැසෙති

 ඉන්දියවේ සිට ගෙන එනු ලැබූ කොවිඩ් මර්දන එන්නත කටුනායක ගුවන්තොටුපළට ගෙන ආ සැණින් ගුවන්යානයෙන් පිටතට ගෙන ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කිරීමට සූදානම් කරන අයුරු
ඉන්දියවේ සිට ගෙන එනු ලැබූ කොවිඩ් මර්දන එන්නත කටුනායක ගුවන්තොටුපළට ගෙන ආ සැණින් ගුවන්යානයෙන් පිටතට ගෙන ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කිරීමට සූදානම් කරන අයුරු

කුත් සතිය ආරම්භයේදී මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අසූ දහස ඉක්මවා යද්දී ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 12 ඉක්මවා තිබිණ. මේ අතර ගෝලීය අර්බුද රැසක් ඇති කළ කොවිඩ් 19 වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේද ඉකුත් සතිය ආරම්භයේදීමය. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය සතියේදී වේගයෙන් ඉහළ ගිය අතර ඊට හේතුව මෙම නව ප්‍රභේද යැයි හෙළි වී ඇත. ඉන්දියාව මේ වනවිට එරට එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ සෞඛ්‍ය සේවකයන් ඇතුළු මුල් පෙළ රාජ්‍ය සේවකයන් කෝටි තුනකට එන්නත ලබා දේ. ඉන් අනතුරුව අවුරුදු 50ට වැඩි සහ අවදානම ඇති කෝටි 27කට එන්නත ලබාදීමට නියමිතව ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන් දින කිහිපයක් වසා දමා තිබූ ගම්පහ පොදු වෙළෙඳපොළ සහ අවට වෙළෙඳසල් යළි විවෘත කෙරුණේ ඉකුත් 22 වැනිදාය. ගම්පහ පොදු වෙළෙඳපොළ දින කිහිපයකට පෙර වසා දැමුණේ කොරෝනා ආසාදිතයන් 75 දෙනකු හමුවීම සැලකිල්ලට ගනිමිනි.

ඉකුත් සතිය පුරාද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වූ අතර ඉකුත් ඔක්තෝබර් මස 03 වැනිදා සිට පසුගිය 21 වැනිදා දක්වා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 415ක්, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 626ක් හඳුනා ගෙන ඇතැයි වාර්තා විය.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 10 දෙනකු මරණයට පත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතියේ ආරම්භක දිනයේදීම වාර්තා කළේය. ඒ අනුව ඉකුත් 21 වැනිදා වන විට කොවිඩ් හේතුවෙන් මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ළහිරු කුමාරද කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේද ඉකුත් සතියේදීය.

කොරෝනා වයිරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වන විට මෙරට ඉතා සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක වේ. ඉදිරි මාස කිහිපය තුළදී රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට එන්නත ලබාදීම රජයේ ඉලක්කය බවත් මුළු රටේම ජනතාවට එන්නත් කිරීම අවසන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව විය යුතු බව ජාතික කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේ අරමුණ බවත් පැවසේ. එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව තුළද දැඩි උනන්දුවක් දක්නට ලැබෙන අතර විවිධ පාර්ශ්වයන්ගෙන් ඒ සඳහා රජයට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. වසංගත අවදානම් තත්ත්වය හමුවේ මෙවර සාමාන්‍යපෙළ විභාග රාජකාරිවල නිරත වීමට නියමිත 46,000ක් පමණ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා එන්නත ලබාදීමට වහා මැදිහත් වන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක පසුගියදා පැවසීය.

රෝහල් කිහිපයක  කණිෂ්ඨ සේවකයන් පසුගියදා දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් යුද හමුදා සාමාජිකයන් රෝහල් කටයුතු සඳහා සහාය වූ අයුරු

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ලබන 1 වැනිදා සිට මධ්‍යස්ථාන 4513කදී ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි සඳහා නිරත වන නිලධාරින්ට කොවිඩ් එන්නත ලබා දිය යුතු බවය.

රෝහල් කිහිපයක කනිෂ්ඨ සේවක කර්ය මණ්ඩල පසුගිය සතියේ දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා යුද හමුදාවේ නිලධාරින් දෙදෙනකු සමඟ 185 ක භට කණ්ඩායමක් යොදවා තිබිණ. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ඔවුන් යොදවා ඇති බවත් කොළඹ, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් 14 ක වැඩවර්ජනයෙන් මහජනයාට අපහසුතාවක් නොවන අයුරින් වැඩ ආවරණය කළ බවද වාර්තා විය.

මේ අතර මෙරට දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිවීම පිළිබඳව තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය. එම සංගමය පවසන්නේ ඉතිරි ප්‍රමුඛතා කණ්ඩායමට අයත් වූයේ වයස අවුරුදු 60ට වැඩි අය සහ බෝනොවන රෝගවලින් පෙළෙන්නන් බවත් එම ක්‍රියාවලිය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුව තීරණය කළ බවයි.

ඉකුත් 23 වැනිදා වන විට දක්වා පුද්ගලයන් 366,907 දෙනකු සඳහා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. 23 වැනිදා දිනය තුළ පමණක් 12,555 දෙනකුට එන්නත ලබාදී ඇත. මේ අතර නාරාහේන්පිට, කිරුළ පාර බටහිර බෙහෙත් ශාලාව ඉදිරිපිට එන්නත් ලබා ගැනීමට රැස්වූ පිරිස් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනුණේ 24 වැනිදා පෙරවරුවේය. එන්නත්කරණ කටයුතු සිදුකිරීම සඳහා නිසි සැලැස්මක් නොමැති බව එහි රැස්ව සිටි ජනතාව චෝදනා කළහ. කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහායද ලබාගැනීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගියදා පැවසුවාය. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවය.

"අපේ රටේ තීන්දුවක් ගත්තා වයස අවුරුදු 30 සිට සියලු දෙනාටම මේ එන්නත ලබාදෙන්න. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිසමත් සමඟ සම්බන්ධවෙලා හැම ග්‍රාම නිලධාරි වසමකම ලියාපදිංචි ඡන්ද නාමලේඛනය අරගෙන එයින් 30ට වැඩි අය හඳුනාගැනීමක් කරලා ඔවුන් ලියාපදිංචි කරන්න අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා. සල්ලි තිබුණත් අද එන්නත මිලදී ගැනීමේ ලොකු තරගකාරීත්වයක් ඇතිවී තිබෙනවා.” යනුවෙන්ද එහිදී රාජ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය. ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බවත් එහෙත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත ලබාදීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

ඉදිරියේදී ලැබෙන එන්නත් මාත්‍රාවන්ද අවදානම් කලාපවල ජනතාව ඉලක්ක කරගනිමින් ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත්ද පසුගියදා අවධාරණය කළේය.

ඉකුත් සති දෙකක කාලය තුළ දිනපතා විශාල කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර පසුගිය 24 වැනිදා දිගු කලකට පසු කොළඹින් වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 100 ට වඩා අඩු අගයක් ගත්තේය. එදින වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 94කි. එදින මෙරට කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක 24 න්ම වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව සියය ඉක්මවා නොයෑම විශේෂත්වයකි. ඒ අතර ආසාදිතයන් 50ට වඩා වාර්තා වූයේද ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙන් පමණි.

බස්නාහිර පළාතේ අවදානම් ප්‍රදේශ තුළ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මේ දිනවල සිදු වන අතර එන්නත්කරණය කිරීමේදී ලබාදෙන කාඩ්පත සුරැකිව තබා ගන්නා ලෙස එන්නත ලබාගත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.දෙවැනි එන්නත ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය අනුක්‍රමික අංකය මෙම කාඩ්පතේ සඳහන් වන අතර ඉදිරියේදී විදෙස් ගතවීමේදී එන්නත්කරණය සිදුකරගත් බවට සාක්ෂි වශයෙන් තානාපති කාර්යාල වෙත පෙන්වීමට මෙම කාඩ්පත අවශ්‍ය වන බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අනාවරණය කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මුදල් ගෙවා ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් 25 වැනිදා පස්වරුවේ මෙරටට ගෙනඑනු ලැබුවේ ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙනි. ශීතකරණ පහසුකම් යටතේ ගෙන එනු ලැබූ මෙම එන්නත් තොගය ගුවන්තොටුපොළට ගොඩ බෑ සැණින් ආනයන ගුවන් භාණ්ඩ සංකීර්ණයේ ශීතකරණ තුළ තැන්පත් කර පසුව ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් ඔවුන්ගේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කිරීම සිදු විය.

මේ අතර කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් කලක සිට පැවති මතභේද අවසන් කරමින් එම මෘතදේහ භූමදානයට අදාළ අතිවිශේෂ ගැසට් නි‍වේදනය 25 වැනිදා රාත්‍රී සෞඛ්‍ය අමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණ . සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද විධිවිදාන අනුකූලව නිසි බලධරයා ව්සින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක එම බලධරයාගේ අධීක්ෂණය යටතේ අදාළ මෘතදේහ භුමදාන කළ යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් වේ. නිරෝධායය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ එහි දෙවැනි සහ තුන්වැනි වගන්තිවලට අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

Comments