ලංකාවේ අම්මලා සොයන එතෙර දරුවෝ | Page 3 | සිළුමිණ

ලංකාවේ අම්මලා සොයන එතෙර දරුවෝ

 

 

 

මවක සහ දරුවකු අතර වන බැඳීම අරුත් ගන්වන්නට ශබ්ද කෝෂයේ ඇති වදන් පවා නොසෑහේ. එපමණටම එය පවිත්‍ර ය; පරාර්ථකාමීය. දසමසක් කුස හොවා අනේක දුක් විඳ මෙලොවට බිහිකරන දරුවාගේ ලෝකය සැපවත් කිරීම සෑම මවකගේම පැතුමය. නමුදු තමා මෙලොවට බිහිකළ දරුවා ළයට තුරුලු කරගෙන සැනසෙන්නට වාසනාව නොලද දරුවන් ද වේ. දරිද්‍රතාව, පියකු නැතිවීම, විවාහ නොවී ගැබ් ගැනීම ආදී හේතු නිසා මෙලොව එළිය දකින බොහෝ දරුවන්ට තමා වැදූ මවගේ උණුසුම අහිමි වන්නේ බොහෝ විට උපත ලබා පැය කිහිපයක් ගතවන්නටත් මත්තෙනි. මවගේ උණුසුම පමණක් නොව මවුබිමෙන් බොහෝ ඈත දේශදීපංකරයක ජීවත් වන්නට ඔවුන්ගේ දෛවය ලියැවෙන්නේ අනුවේදනීය ආකාරයෙනි.

 

එවැනි බොහෝ කඳුළු කතා අපේ රටේ තැන්තැන්වලින් අසන්නට ලැබේ. වසර 35කට අධික කාලයක් සංචාරක රියැදුරකු ලෙස කටයුතු කරන දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වන මීගමුවේ මුන්නක්කරයේ පදිංචි ඇන්ඩෘ සිල්වා මේ පිළිබඳ බොහෝ අත්දැකීම් ඇත්තෙකි.

මෙරටින් විදේශයන්ට දරුකමට හදාගැනීමට ගෙනගොස් ඇති බොහෝ දරුවන් ගැන තොරතුරු ඔහු සතුව ඇත. දැනට විදේශයන්හි සැපවත් ජීවිත ගතකරන එම දරුවන් තමා මෙලොවට බිහි කළ සැබෑ මව ගැන තොරතුරු දැනගැනීමේ සහ ඇය දැකබලා ගැනීමේ නොතිත් ආශාවෙන් පසුවන බව ඇන්ඩෘ සිල්වා අපට කීවේය. තම සැබෑ මව සොයා මෙරටට පැමිණෙන එම දරුවන් මෙරටදී විවිධ පුද්ගලයන්ගේ රැවටීම්වලට හසුවන අතර මෙරට ඇතැම් පුද්ගලයන්ට එම දරුවන්ට තම සැබෑ මව මුණගස්වන බවට පොරොන්දු වෙමින් එය මුදල් ගරා ගන්නා අවස්ථාවක් බවට පත්කරගෙන තිබීම ඛේදනීයය.

විදේශීය රටවල්වලට දරුකමට හදාගැනීමට දුන් ශ්‍රී ලාංකික දරුදැරියන්ට ඔවුන්ගේ සැබෑ මවුවරු මුණගැස්වීමට ඇන්ඩෘ සිල්වා විශාල දායකත්වයක් දක්වන අතර මේ වන විට ඔහු මවුවරුන් 150 දෙනකු පමණ සොයා දී තිබේ. එහෙත් තවත් දරුවන් 1000ක් පමණ සිය සැබෑ මව දැකගැනීමේ බලවත් ආශාවෙන් පසුවන බව ඔහු කීවේය. එම දරුවන් දැනට නෙදර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්විඩනය වැනි රටවල්වල ජීවත් වන අතර එම දරුවන් අන්තර්ජාලය තුළ කණ්ඩායමක් ලෙස ඒකරාශි වී සිය බලාපොරොත්තුව ඉටුකරගන්නට දැඩි වෙහෙසක් දරමින් සිටිති.

එම දරුවන්ට තම සැබෑ මව හඳුනා ගැනීමේදී මුහුණ පාන ගැටලු අතර මෙරටින් ඔවුන් රැගෙන යෑමේදී සකස් කළ ලිපිලේඛන නිවැරදි නොවීම, මවුවරුන්ට තමා විදේශිකයන්ට දුන් දරුවන්ගේ උපන් දිනය අමතක වීම ආදිය වේ. එමෙන්ම එදා පියකු නැති වීම සහ නීත්‍යානුකූල විවාහයක් නොතිබීම නිසා තම දරුවන් විදේශියකයන්ට දරුකමට හදාගැනීමට දුන් මවුවරු දැන් විවාහ වී සිටීම නිසාද ඔවුහු පෙර දරුවන් හමුවීම ප්‍රතික්ෂේප කරති.

එහෙත් විදේශයන්හි සිටින දරුවෝ බොහෝදෙනකු තමා බිහිකළ මව දැකබලා ගැනීමට අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටිති. එම දරුවන්ට ඔවුන්ගේ සැබෑ මව මුණගැස්විය හැකි නම් එය සැබෑ පුණ්‍යකර්මයක් වනු ඇත. ඒ ගැන ඇන්ඩෘ සිල්වා මෙසේ පැවසීය.

“තමන්ගේ දරුවන් විදේශිකයන්ට දරුකමට හදාගන්න දුන් අම්මලා ඉන්නවා නම් ඔවුන් ගැන තමන් ළඟ තිබෙන තොරතුරු මට දෙන්න. ලිපි ලේඛන නැතිවුණත් ඩී.එන්. ඒ පරීක්ෂණයක් මඟින් සැබෑ මව සොයාගන්න පුළුවන්. ඒ සියල්ල නොමිලේ කර දෙනවා. තමන්ගේ දරුවෝ හොයන සමහර අම්මලා දරුවන් හදා ගන්න දීලා තියෙන්නේ ලංකාවේ අයට. ඒත් ව්‍යාජ ලේඛන හදලා ව්‍යාජ මවුවරුන් ඉදිරිපත් කරලා ඒ දරුවන් පිටරටට අරන් ගිය අවස්ථාත් තියෙනවා. ඒ නිසා අම්මලාව හොයන එක ලේසි නෑ. නමුත් මෙහෙම සිදුවීමකට මුහුණ දුන් මවුවරු සිටිනවා නම් ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

ඔහු පවසන අයුරින් ඔබත් කලකට පෙර දරුකමට හදාගන්නට දුන් දරුවකු හොයන මවක් නම් 077 9941919 අංකයෙන් ඇන්ඩෘ සිල්වා ඇමතිය හැකිය.

Comments