
මාරවිල හාල්දඬුවන ප්‍රදේශයේ පදිංචි වී සිටි ඉලංගපේඩිගේ ධර්මසිරි ජනානන්ද කොරෝනා ආසාදනය වී ලංකාවේ මරණයට පත් වූ පළමුවැන්නා ලෙස වාර්තාගත වූයේ 2020 මාර්තු 28 වැනිදා ය. 60 හැවිරිදි වියේ පසු වූ ඔහු සංචාරක මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කළ අයෙකි. අවසාන වතාවට ජර්මන් ජාතික සංචාරකයන් පිරිසකට මඟ පෙන්වූ ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වූයේ එකී සංචාරකයන්ගෙන් යැයි අනුමාන කෙරිණි. ඔහු ලංකාවෙන් වාර්තා වූ 4 වැනි කොරෝනා රෝගියා විය. ලංකාවේ කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ලෙස 2020 මාර්තු 11 වැනි දින වාර්තා වූයේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නෙකි. ඔහු ඉතාලි ජාතිකයන්ට මඟ පෙන්වූ අයෙකි.
මෙයින් අපට තහවුරු වෙන්නේ රටට විදේශ විනිමය ගෙනෙන සංචාරක මඟ පෙන්වන්නන් දැඩි අවදානමක් ඇතිව ජීවිත පරදුවට තබා කටයුතු කරන ආකාරයයි. සංචාරක මඟ පෙන්වන්නන් විසින් සමාජ ආරක්ෂණ ආවරණයක් ඉල්ලා සිටින්නේ ඒ නිසාය.
සමාජ ආරක්ෂණ ආවරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් රැගත් සන්දේශයක් ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශකවරුන්ගේ දිනයේදී බාර දෙන ලදී. ඔවුන් මේ සඳහා පැමිණෙන්නේ කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉදිරිපිටින් ආරම්භ කරන අවබෝධාත්මක පා ගමනකිනි.
ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශක ආයතනය 1968 වර්ෂයේ පිහිටුවනු ලැබුවේ 1966 අංක 10 දරන සංචාරක මණ්ඩල පනතින් ලංකාවේ සංචාරක මාර්ගෝපදේශකයන් ශීර්ෂගත කර නියාමනය කිරීම ආරම්භ කිරීමත් සමඟය. සංචාරක සංවර්ධනය සඳහා 1968 අංක 14 පනත ඇති කළ අතර 1986 නිකුත් කළ ගැසට් පත්‍රයකින් සංචාරක මාර්ගෝපදේශකයන් කොටස් 4කට වර්ග කෙරිණි. ඒ ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය, රියදුරු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය, ස්ථානීය මාර්ගෝපදේශක, ප්‍රාදේශීය මාර්ගෝපදේශක යනුවෙනි. ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනයට බඳවා ගැනෙන්නේ ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් පමණී. මේ වන විට මෙහි සාමාජිකත්වය ලැබූ පිරිස 1567කි. ඉන් 100 දෙනෙක් පමණ කාන්තාවෝ වෙති.
“සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් විදිහට සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍ර හිමි වන්නේ ශ්‍රී ලංකා ජාතික සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය පවත්වන පාඨමාලාව සම්පූර්ණ කරන අයට. ඇත්තටම මේ අය නිල නොවන තානාපතිවරුන් හැටියට හැඳින්වූවාට වරදක් නැහැ. රටේ උරුම, සංස්කෘතිය හැමදේම ගැන විදේශීය සංචාරකයන්ට දැනුම අවබෝධය ලබා දෙන්නේ මේ ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්. ඇත්තටම විදේශිකයනුත් කැමති රජය නියාමනය කරන බලපත්‍රලාභී සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සේවය ලබා ගැනීමටයි. ආවාට ගියාට ඉන්න මාර්ගෝපදේශකයන්ට වඩා බලපත්‍රලාභි මාර්ගෝපදේශකයන්ගේ වටිනාකම විදේශිකයන් දන්නවා. ඒ නිසා ඒ අය සංචාරක මාර්ගෝපදේශකයන්ට හොඳ ගෙවීමක් කරන්න කැමතියි. අපට ගෙවන මුදල ට්‍රැවල් ඒජන්සිවලින් දෙන පැකේජ් එකට ඇතුළත් කරන්න ඕනෑ. ඒත් අපිට ලැබෙන්නේ පරණ ගණන්. ඒ මුදල අද දවසට කොහොමටත් ගැළපෙන්නේ නැහැ. අපිට මාසික වැටුප් ලැබෙන්නේ නැහැ. විදේශිකයන් සමඟ ගියොත් දෛනික වැටුප් ලැබෙන්නේ. අපේ දෛනික වේතනය ඇමරිකන් ඩොලර් 35 දක්වා වැඩි කරලා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින තවත් ඉල්ලීමක්.” යනුවෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනයේ ලේකම් සුමේධ චන්ද්‍රදාස ය.
ඔහු තවදුරටත් පැවසුවේ සංචාරක මාර්ගෝපදේශකවරුන්ගේ ගෙවීම් රජය විසින් හෝ චාරිකා ඒජන්සි මගින් ගෙවිය යුතු මුදලක් නොව සංචාරකයන්ගෙන් අය කර ගන්නා මුදලක් වුවත් චාරිකා ඒජන්සි විසින් ඔවුන්ට එම අවස්ථාව හිමි කර නොදෙන බවයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද සිදුවූ එකම දේ ඔවුන් තෙහෙට්ටු වීම පමණක් බව ද සුමේධ චන්ද්‍රදාස පැවසීය. ඇතැම් චාරිකා ඒජන්සිවරුන් බලපත්‍ර නැති, නිත්‍යනුකූල නොවන සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනයට සැල වී තිබේ. එවැනි අය සේවයට යෙදවීමෙන් ජාතික සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සේවය හෑල්ලු විය හැකිය. එපමණක් නොවේ. යම් අපකීර්තියක් ඇති වුවහොත් එයින් කැළලක් ඇති වන්නේ ශ්‍රී ලංකාවට ය.
![]() |
අවබෝධාත්මක පා ගමන |
“අපි හිතමු 35 දෙනකුගේ සංචාරක කණ්ඩායමක් ලංකාවට ආවා කියලා. එතකොට ඒ අයගේ පැකේජ් එකට අපි වෙනුවෙන් දවසකට ගෙවන්න වෙන්නේ ඇමරිකන් ඩොලර් 1යි. අපේ සේවයට ඒ අය දවසකට ඇ:ඩොලර් 1ක් ගෙවන්න අකමැති වෙන්නේ නැහැ. ඒත් ට්‍රැවල් ඒජන්සි මාෆියාව නිසා අපිට එය අහිමි වෙලා තියෙනවා. කොරෝනා වසංගතය එක්ක අපි මාස 10ත් තිස්සේ ගෙදර. අපිට සහනදායි පොලි ක්‍රමයට රුපියල් 20,000ක් ලැබුණා. ඒක අපිට වටිනවා. ඒත් අපි වගේ අයට බැංකුවකින් ණයක් ගන්න බැහැ. අපි ඉල්ලා සිටින්නේ අපේ බලපත්‍රය ඇපයට තියාගෙන හරි ණයක් ගන්න පුළුවන් ක්‍රමයක් සකස් කර දෙන්න කියලා.” යනුවෙන් ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනයේ සභාපති, ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන පැවසුවේය.
මේ වන විට සංචාරක මාර්ගෝපදේශකයන්ගේ බලපත්‍ර යාවත්කාලීන කිරීම ගාස්තුවකින් තොරව සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනයේ මැදිහත් වීමෙනි. 2020 වර්ෂයේදී යාවත්කාලීන කිරීම ගාස්තුවෙන් නිදහස් වූයේ 2019 පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු නිසාය. 2021 වසරේ නිදහස් වූයේ කොරෝනා වසංගතය නිසාය. ඒ වෙනුවෙන් කටයුතු කළේ ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශනය.
“ලංකාවේ 1 වැනි කොරෝනා රෝගියා විදිහට වාර්තා වුණේ සංචාරක මඟ පෙන්වන්නෙක්. ඒක වාර්තා වුණා කියලා අපි සංචාරකයො මඟ දාලා ආවේ නැහැ. අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව නීතිරීති පිළිපදිමින් අපේ රාජකාරිය අකුරටම කළා. අපි අදටත් සංචාරකයන් සමඟ කටයුතු කරන්නේ ජීවිත අවදානම දරාගෙන. ඒ නිසයි අපි රක්ෂණ ආවරණයක් බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනයේ ලේකම් සුමේධ චන්ද්‍රදාස සඳහන් කළේය.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 6වැනි පරිච්ඡේදයේ 45 වැනි පිටුවේ “සංචාරක” කොටසට අයත් ඡේදයේ සංචාරක මාර්ගෝපදේශකයන් සහ සංචාරක රියදුරන් බලාත්මක කරන ලෙස සඳහන් කර ඇති බැවින් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගෙන් ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ට යම් සහනයක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනය විශ්වාසය පළ කරයි.