සහරාන්ගේ කල්ලියේ මරා­ගෙන මැරෙන කාන්තාවන් 15 | සිළුමිණ

සහරාන්ගේ කල්ලියේ මරා­ගෙන මැරෙන කාන්තාවන් 15

සර දෙදහස් හතරේ දෙසැම්බර් මාසයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පසු මෙරට තුළදී එක් නිමේෂයකදී ජීවිත සිය ගණනක් අහිමි වූයේ පාස්කු ප්‍රහාරය හෙවත් 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ ම්ලේච්ඡ මරාගෙන මැරුණ ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරය නිසාවෙනි.

එම අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ ලෝකයටම පිළිලයක්ව පවතින අයි එස් අයි එස් ත්‍රස්තයන්ගෙන් පෝෂණය වන මෙරට අන්තවාදී කල්ලියක් වන ජාතික තවුහිද් ජමාඩ් (NTJ) සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටි මඩකළපුව කාතන්කුඩියේ විසූ මොහොමඩ් හෂිම් මොහොමඩ් සහරාන් හෙවත් සහරාන් හෂිම් ප්‍රමුඛ අන්තවාදී ත්‍රස්තයන් බව මේ වන විට හෙළි වී අවසානය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව දිගින් දිගටම පූර්ව විමර්ශන සිදු කෙරෙමින් තිබියදී පොලිස් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනවලට අදාළව පසුගිය දෙසැම්බර් 07 වැනිදා කාන්තාවන් සයදෙනෙකු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ගෙන රඳවා තබා ගනිමින් ප්‍රශ්න කළහ. එම කාන්තාවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් මඟින් තවත් එක් කාන්තාවක් සහරාන් පැවැත්වූ අන්තවාදී ත්‍රස්ත පුහුණු ඉගැන්වීම් පන්තිවලට සහභාගි වී ඇති බවට අනාවරණය විණි. ඒ අනුව එම සැකකාරියන්ගෙන් ලැබුණු තොරතුරු ඔස්සෙ පසුගිය 19 වැනිදා මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේදී එකී තරුණිය ත්‍රස්ත විමර්ශන ක්‍රියා කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තාය.

ඇය, 24 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් ෂහීඩා නමැත්තියයි. මීට පෙරද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලින් පසු ඇප මත නිදහස්ව සිටි ඇය 2018 වසරේ දෙසැම්බර් 22ත් 25ත් අතර සමයේ මාවනැල්ල ප්‍රදේශයේ සිදුවූ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධානීන් දෙදෙනා වන ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්ගේ නැඟණියයි.

ඇගේ පියා වන 50 හැවිරිදි රෂිඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්ද බුදු පිළිමවලට හානි කිරීමේ අන්තවාදී ප්‍රහාරයට අදාළව සිදුකළ සෝදිසි කිරීම්වලදී මොහොමඩ් ඊබ්‍රාහිම්ට අයත් හිඟුල ප්‍රදේශයේ දෙමහල් නිවෙසක තිබී පුපුරණ ද්‍රව්‍ය, වායු රයිෆලයක් සහ පණිවුඩ හුවමාරු යන්ත්‍රයක් ඇතුළු නීතිවිරෝධි භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගැනිණි. ඒ, 2019 ජනවාරි මස 22 වැනිදායි. රෂිඩ් මොහොමඩ් මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වේ.

කලෙක සිටම මාවනැල්ල ප්‍රදේශයේ ඇතුළු බොහෝ ප්‍රදේශවලට යමින් අන්තවාදී දේශකයකු ලෙස කටයුතු කර තිබූ රෂිඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්, සහරාන්ගේ අන්තවාදය වැපිරීමටද ඍජුවම දායකව සිටි අයෙකි.

ඉකුත් 19 වැනිදා ෂහිඩා අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇයගෙන් බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු රැසක්ම හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පැවැසීය.

ඒ අනුව ඇය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානියා වන සහරාන් යටතේ අවි පුහුණුව ඇතුළුව අන්තවාදී ඉගැන්වීම් රැසක්ම හැදෑරීම් කරමින් සිය පුහුණුවීම් අවසන් කිරීමෙන් පසුව ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සූදානම් බවට සහරාන් ඉදිරියේ 'බයියත්' නමැති ප්‍රතිඥාව ලබා දුන් කාන්තාවන් 15 දෙනෙක්ම සිටි බව ඇය විමර්ශන නිලධාරින් ඉදිරියේ හෙළි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මාවනැල්ල, කාන්තන්කුඩි ඇතුළු රටේ විවිධ පෙදෙස්වලට යමින් එම පිරිස අන්තවාදී දේශනවලට සහභාගි වූ බවත් 2018 දෙසැම්බර් මාසයේදී තමා ඇතුළු එම කාන්තාවන් 15 දෙනා එලෙස සහරාන් ඉදිරියේ 'බයියත්' ප්‍රතිඥාව ලබා දුන් බවද ‍ඇය හෙළි කර තිබුණාය.

ඇය හෙළිකර තිබූ එම කාන්තාවන් 15 දෙනාගෙන් පස්දෙනෙකුම 2019 අප්‍රේල් 26 වැනිදා සයින්දමර්දුහි බොලිවේරියන් ගම්මානයේ නිවෙසකදී ආරක්ෂක අංශවලට හසු නොවී සියදිවි හානි කරගත් 17 දෙනා අතර සිටි බවද ඇයගෙන් පාපෝච්චාරණයෙන් හෙළි කළාය.

එදා එලෙස මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දී තිබූ 15 දෙනාගෙන් මියගොස් සිටි පස් දෙනා වන්නෙ සහරාන්ගේ මව අබ්දුල් සතාර් සිත්ති උම්මා, සහරාන්ගේ සහෝදරියක වන මොහොමඩ් කාසිම් හිදායා, සහරාන්ගේ සහෝදරයෙක් වූ මොහොමඩ් ශෙයිනි හසිම්ගේ බිරිය ආදම් ලෙබ්බේ පාතිමා, සහරාන්ගේ තවත් සහෝදරයෙක් වූ දෙවැනි ප්‍රහාර මාලාවට නායකත්වය දීමට සිටි සයින්දමර්දුහිදී මරණයට පත් මොහොමඩ් රිල්වාන්ගේ බිරිය මොහොමඩ් නස්හත් ෆාතිමා නෆ්නා සහ පාස්කු ප්‍රහාරයේදී මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කළ මොහොමඩ් නසර් මොහොමඩ් අසාද්ගේ බිරිය ෆෙරෝසාය.

එහෙත් ඇය හෙළි කළ කාන්තාවන් අතර සයින්දමර්දු පුපුරුවා ගැනීම මොහොතේ සිටි බවට සැලවුණු කටුවපිටිය මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කළ අච්චු මොහොම්මදු හස්තුන්ගේ බිරිය දමිළ ජාතික කාන්තාවක වූ පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් මුස්ලිම් ආගම වැලඳ ගැනීමෙන් පසු සාරා ජෙස්මින් ලෙසින් හැඳින්වූ ඇයගේ නම සඳහන් වී නොතිබිණි.

එහෙත් සාරා, ෆෙරෝසා සහ සහරාන්ගේ බිරිය අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු කණ්ඩායම කොළඹ සිට පාස්කු ප්‍රහාරයට දින කීපයකට පෙරදී මඩකළපුව හරහා කල්මුණේ ප්‍රදේශයට යන අතරතුරදී ගිරිඋල්ලෙ රෙදිපිළි වෙළෙඳසලකින් සුදු පැහැති ඇඳුම් ලබා ගැනීමට එකී වෙළෙඳසලට ගොස් සිටි ආකාරය සීසීටීවී කැමරාවන්හිද මනා ලෙස සටහන් වී තිබිණි. පසුව සිදුකළ විමර්ශනවලින් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් පසු දළදා පෙරහර හෝ පන්සල්, කෝවිල් ඉලක්කකොට එම කාන්තාවන් එක්කරගනිමින් සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන්ගේ නායකත්වයෙන් දෙවැනි ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැලැසුම්කර තිබූ බවයි.

එහෙත් කටුවපිටියේ සිට පාස්කු ප්‍රහාරයට පෙර එනම් 2019 අප්‍රේල් 11 වැනිදා සහරාන්ලාගේ පිරිසක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන කල්මුණේ බලා ගොස් තිබුණේ කුලියට ගත් ලොරි රථයකිනි. එම ලොරි රථ රියැදුරා වන නිට්ටඹුවේ ශාන්තලාල්ය ඔහු පාස්කු ප්‍රහාරයෙන් පසුව තමන් නොදැන ගිය ගමන පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කිරීම නිසා සහරාන්ගේ අන්තවාදීන් ආරක්ෂක අංශවලට කොටුවන්නට යද්දී අප්‍රේල් 26 වැනිදා කල්මුණේ සහ නින්දවුර් ප්‍රදේශවල නිවෙස් කීපයක් කුලියට ගෙන සැඟවී සිට පැන යාමට තැත් කිරීමේදී සයින්දමර්දු බොලිවේරියන් ගම්මානයේ නිවෙසකදී පුපුරුවාගෙන මරණයට පත්විය. එදින මියගිය 17 දෙනාගෙන් 11 දෙනෙක්ම ඉදිරි ප්‍රහාරයකදී මරාගෙන මැරෙන්නට සූදානම්ව සිටි අය බව ආරක්ෂක අංශ අනාවරණය කරගත්තේය.

එහෙත් එදින සාරා ජෙස්මින් දිවි ගලවාගෙන පසුව ඇගේ ගම් ප්‍රදේශය වන මඩකළපුවේ, කලවංචිකුඩි වෙත පැමිණ මාස කීපයක් සැඟවී සිට මන්නාරම් ප්‍රදේශයෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලාගොස් ඇති බවට වාර්තා විණි. එදා මියගිය අයගේ ඩීඑන්ඒ සාම්පල ගෙන සාරාගේ මවගේ ඩීඑන්ඒ සාම්පල හා සැසඳුවත් මරණයට පත් එක් අයකුගේ හෝ ඩීඑන්ඒ සාම්පලයක් සමඟවත් සාරාගේ මවගේ ඩීඑන්ඒ සමාන වී නොතිබිණි. ඉන් වඩාත්ම ගම්‍ය වූයේ සාරා දිවි ගලවාගෙන පැන ගොස් ඇති බවයි. ඇගේ මව වන කවීතා රාජරත්නම්ද පුන පුනා පවසන්නෙ සාරා ජීවතුන් අතර සිටින බවත් ඇය ඉන්දියාවට පැන ගොස් ඇති බවයි.

පසුව ඒ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනයකදී සාරාට එලෙසින් රටින් පැන යාමට සහාය දුන් බවට අනාවරණය වුණු ඇගේ බාප්පා කෙනෙකු වන සෙල්ව කුමාර් දේවකුමාර් නමැත්තෙක් සහ එම සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරික්ෂක අබුබකර් නමැත්තාද 2020 ජූලි 13 වැනිදා අම්පාරේදී සහ මඩකළපුවේදී කොළඹ අපරාධ කොට්ඨාස විමර්ශන නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනිණි. වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ සාරා සයින්දමර්දු පිපිරීමෙන් පසු යතුරුපැදියකින් එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇත්තෙ ඇගේ බාප්පා වන සෙල්වකුමාර් විසින් බවටයි.

ෂහීඩා හෙළි කළ ඇය සමඟ මරාගෙන මැරෙන්නට බයියත් ප්‍රතිඥා දුන් 15 දෙනාගෙන් පස්දෙනෙකු මේ වන විට මරණයට පත්වී තවත් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නීය.

ඒ, සහරාන්ගේ සහෝදරියක වන මොහොමඩ් කාසිම් හිදායා, ෂහීඩාගේ සහෝදරයෙක් වන මාවනැල්ල බුදු පිළිම කැඩීමට සහ පාස්කු ප්‍රහාරයේ යම් යම් ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ බවට අත්අඩංගුවට පත්ව සිටින සාදික් අබ්දුල් හක්ගේ බිරිය මොහොමඩ් පලීල් ෆාතිමා සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට එවන ලද මොහොමඩ් මිල්හාන්ගේ බිරිය මොහොමඩ් අහමදුල්ලා ෆාතිමා ජුස්තාය.

එසේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින තිදෙනාට අමතරව මේ වන විට ෂහීඩා සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරමින් සිටින මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් තවත් කාන්තාවන් හත්දෙනෙක්ද සිටින්නීය.

ඒ අතර සහරාන්ගේ රියැදුරා ලෙස කටයුතු කළ අත්අඩංගුවේ පසුවන ගෆූර් මාමා නමැත්තාගේ බිරිය උදුමා ලෙබ්බේ ෆරිසානා, සහරාන්ගේ බොහෝ අන්තවාදී ක්‍රියාවන්හිදී ළඟින්ම සිටි ඥාති හිතවතකුගේ බිරිය වන කාතන්කුඩියේ සහරාන්ගේ නිවෙස් ආසන්නයේම විසූ මුම්මදු හනීෆා නුස්රා, ඩුබායිහිදී අත්අඩංගුවට පත් මොහොමඩ් මිල්හාන්ගේ බිරියගේ මව වන මොහොම්මදු සාලිහ් ජුෆයිඩියා, කාතන්කුඩි දාරුල් අදර් පල්ලියේ සභාපති රවුෆ්ගේ දියණියක වන 22 හැවිරිදි අබ්දුල් ර‍වුෆ් පාතිමා සාරා සහ ඇයගේ මව වන අබ්දුල් කුද්දාස් සිත්ති සාතුනා සමඟ කාතන්කුඩිහි පදිංචිව සිටි සෙයියදු අහමදු අස්මියාද සිටි බව ෂහීඩාගේ පාපෝච්චාරණයෙන් හෙළි වූවාය.

ෂහීඩාගේ සිය සහෝදරයන් දෙදෙනා පාස්කු ප්‍රහාරයට පසු එනම් 2019 අප්‍රේල් 28 වැනිදා ගම්පොළ නගරයේ ඔවුනගේ මාමාට අයත් පාවහන් වෙළෙඳසලක සැඟවී සිටියදී අත්අඩංගුවට ගනිද්දී මාවනැල්ල, හිඟුල නිවෙසේ සිටියදී ෂහීඩාද අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණාය.

ඇයගේ සහෝදරයන් දෙදෙනා මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ. එම සහෝදරයන් දෙදෙනාගෙන් සාහිඩ් අබ්දුල් හක් උපාධිධරයකු ලෙස ගම්පොළ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ස්වේච්ඡාවෙන් ගුරු වෘත්තියේ යෙදෙමින් අන්තවාදය සහ ත්‍රස්තවාදය වපුරමින් සිටි අයෙකි. ඔහු 2014 වසරේ සිරියාවට සහ තුර්කියට ගොස් මාස දෙකකට ආසන්න කාලයක් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී පුහුණුව ලබා පැමිණි අයෙක් බව ඔහු අත්අඩංගුවට පත් මොහොතේ හමුවූ වීඩියෝ පටවලින්ද සනාථ වී තිබිණි.

ඔහුට එලෙස අයිඑස්අයිඑස් පුහුණුවට යාමට මඟ පාදා දී ඇත්තේ ඔවුන්ගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වන හජ්ජුල් අක්බර් නමැත්තාය. දැඩි සේ අන්තවාදය වැපිරූ පුද්ගලයෙක් වන 61 හැවිරිදි හජ්ජුල් අක්බාර්ද 2019 ඔක්තෝබර් මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනිණි.

ෂහීඩාගේ සෙසු සහෝදරයා වන සාදික් අබ්දුල් හක්ද මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන අතර පරිගණක පිළිබඳව විශේෂඥයෙක් ලෙස කටයුතු කරමින් සිටි අයෙකි.

 

Comments