ඡේක ප්‍රයෝග නම් හරි වහර ම වේ | සිළුමිණ

ඡේක ප්‍රයෝග නම් හරි වහර ම වේ

හරි වහරෙහි අරමුණ සිංහලයෙහි නිවැරැදි වහර මතු කොට පෙන්වාදීම යි. වැරැදි වහර ද ඒ අතරෙහි දී පෙන්වා දෙන්නට සිදු වනු නො වැළැක්විය හැකි ය. සිංහලයෙහි ගැටලු තැන් ළිහා දීම ද හරි වහර මඟින් සිදු ‍කැරේ. දැන් දැන් ඇතැම්හු එ බඳු තැන් විමසති.

ඉතා මෑතෙක දී එක්තරා රූපවාහිනී නාළිකාවෙතින් නිවැරැදි සිංහලය අරමුණු කොටගෙන ලියැවුණු පොතක් පිළිබඳ වැ විචාරාත්මක වූ සාකච්ඡාවක් ප්‍රදර්ශනය වැ ඇත.‍ එහි විමැසිල්ලට බඳුන් වැ ඇති එක් කරුණක් නම් ‘ඡේක ප්‍රයෝග’ යන්න යි. එය නැරැඹූ කෙනෙක් ඡේක ප්‍රයෝග යනු කිමෙක් දැයි නිරවුල් වැ සරල වැ සාදා දෙන ලෙස ඉල්ලති. ඡේක ප්‍රයෝග යනු හරි වහර ම දැ යි විමසති.

එක්තරා ලෙසෙකින් සලකන කල ඡේක ප්‍රයෝග නම් හරි වහර ම බව සැබැවි. එහෙත් එහි අරුත එයට වඩා ගැඹුරින් විමැසිය යුතු ය.

මුලින් ම මෙහි ඡේක යන්න ගනිමු. ඡේක යනු සිංහලයෙහි ද තත්සව වැ යෙදෙන සංස්කෘත ශබ්දයෙහි එහි අරුත් කිහිපයක් වෙයි. වඩා‍ ප්‍රකට වූ ද මෙහි ලා අදාළ වන්නා වූ ද අර්ථය නම් දක්ෂ, පණ්ඩිත යනු යි යම් විෂයගෙන, විශේෂයෙන් භාෂා ශාස්ත්‍ර ඉදිරියෙහි දක්ෂ වූ ද පණ්ඩිත වූ ද අය මෙයින් ගැනෙති. ඇතැම් වියතුන් දක්වන පරිදි ඡේක යන්නෙහි සේවනය කළ යුතු, ආශ්‍රය කළ යුතු අරුත ද වෙයි‍. එ අරුතින් ගත් විට ද යට කී අරුත ගැළැපෙයි. දක්ෂ, පණ්ඩිත ජනයා අන් අය විසින් අනුගමනය කළ යුතු හෙයිනි.

මෙහි අනෙක් වදන වන ‘ප්‍රයෝග’ යන්න ද සිංහලයෙහි තත්සම වැ යෙදෙන සංස්කෘත ශබ්දයෙකි. එහි සරල අර්ථය නම් මනා යෙදුම් යනු යි.

මේ අනුව බලන කල්හි ඡේක ප්‍රයෝග යන්නෙහි සරල අර්ථය නම් දක්ෂ වූ, පණ්ඩිත වූ, අනුගමනය කළ යුත්තන්ගේ මනා යෙදුම් යනු යි. මේ ඡේක ප්‍රයෝග යන්න සිංහලයෙහි බෙහෙවින් යෙදෙන්නට වූයේ සිදත් සඟරාවට කරන ලද අර්ථ විවරණ, ව්‍යාඛ්‍යාන ආදිය නිසා යැයි සිතිය හැකි යි. සිදත් සඟරාවේ පළලු වන සන් අදියරේ එන

සඳරුත් විදි සියල් - අනුරූ යේ පියෝනන්

ඉති සන් සඳ ......... ඈ - වහරනු යෙරෙන් සපයා

යන ගීය විවරණය කොට දැක්වීමේදී ‘යේ පියෝනන්’ යන්න සඳහා ‘‍ඡේක ප්‍රයෝග’ යැ යි අරුත් දක්වන ලදී. එ මඟින් මේ යෙදුම භාෂාවෙහි පැතිර ගිය සේ සිතිය හැකි යි.

සිදත් සඟරාවේ එන යට දැක්වූ කියමන වෙනත් සංස්කෘත ග්‍රන්ථයෙක ආ කියමනක් අනුගත ව කියන ලද්දකැ යි ද ඇතැම් වියත්හු දක්වති. සිදත් සඟරාවට අර්ථ ව්‍යාඛ්‍යානයක් කළ රත්මලානේ ධර්මාරාම මහා ස්වාමීන්ද්‍රයන් පවසන්නේ ඉතා පුරාතන සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයක් වන ශබ්ද පාරායණයෙහි එන ‘ශිෂ්ට ප්‍රයෝගඃ සාධවාඃ’ යන යෙදුම ඇසුරු කොට ගෙන ‘අනුරූ සේ පියෝනන්’ යන සිදත් සඟරා පාඨය යොදා ඇති බව යි‍.

ඒ ‘ශිෂ්ට ප්‍රයෝගඃ පාධවාඃ’ යන යෙදුම අරුත් දන්වන ධර්මාරාම ස්වාමීන්ද්‍රයෝ ශිෂ්ටයෝ නම් ස්ථිර බුද්ධිමත්හු වෙති යි දක්වති. ස්ථිර බුද්ධිමත්හු නො සැලෙන ඥානයක් ඇත්තෝ ය. පසු වැ වෙනස් කරන්නට වන දෙයක් නො කියන්නේ ය. ශිෂ්ටයෝ කවුරු දැයි අර්ථ විවරණය කරන කුමාරතුංග මුනිදාසයෝ ද ශිෂ්ට‍යන් තමන් කියූ දැයෙහි පිහිටා සිටිති යි ද ඔවුන් ගේ ව්‍යවහාරයෙහි ක්‍රමවද් භාවයක් ඇතැයි ද දක්වති. මෙයිනු දු මනා ව පෙනෙනුයේ ශිෂ්ටයන් ගේ හෙවත් ඡේකයන්ගේ යෙදුම් ස්ථිරසාර බව යි.

ඇතැම්හු බොහෝ පොත්පත් ලියූ නිසා ම ඒ ලියූවන් ඡේකයන් ලෙස සලකති. එ සේ සලකතොත් මාරක කතා ආදි පොත් දහසකට ද වැඩියෙන් ලියූවත් විශිෂ්ටතම ඡේකයන් විය යුතු ය. ඡේකත්වය මිනිය යුත්තේ ප්‍රමාණයෙන් නො ව ගුණයෙනි. එ හෙයින් භාෂාව පිළිබඳ ඡේකයෝ නම් නිවැරැදි සම්මතය අනුව ලේඛනයෙහි යෙදෙන්නෝ ම ය. ඡේක ප්‍රයෝග නම් ඔවුන් ගේ යෙදුම් ය. හරි වහර යනුත් නිවැරැදි සම්මත ව්‍යවහාරය ම ය.

දැන් ඡේක ප්‍රයෝග යනු කවරේ දැයි දන්නා බැවින් අපි එ බඳු ඡේක ප්‍රයෝග කිහිපයක් විමසා බලමු.

සිංහලයේ ‘අනු’ ශබ්දයකුත් ‘අණු’ ශබ්දයකුත් යෙදේ. එකක් (දන්තජ) ‘නු’ යොදා ලියනු ලැබේ. අනෙක ලියනු ලබන්නේ (මූර්ධජ) ‘ණු’ යොදා යි. ‘අනු’ යන්න වදනක් නො ව, වදනෙකින් කොටසක් ලෙස යෙදෙන උපසර්ගයෙකි. උපසර්ග නම් වදනකට මුලින් යෙදී එහි අර්ථය වෙනස් කරන ශබ්ද යි. සු, දු, පිළි ආදිය ‍එ බඳු උපසර්ග යි.

‘අනු’ යන උපසර්ගයේ උප, දෙ වන, අනුව යන ආදී අ‍ර්ථ ශබ් වැ ඇත. අනුනායක යනු උපනායකයා යි, දෙ වන නායකයා යි, අනුචර යනු (යමකු) අනුව හැසිරෙන්නා යි. අනුගත යනු (යමකුට හෝ යමකට හෝ) අනුව ගිය, අනුගමනය කළ යනු යි.

‘අනු’ යන්නට පසුව ස්වරයන් මුලට ඇති වදනක් යෙදුණහොත් එ තන්හි සන්ධියක් වෙයි. අනු + අර්ථ > අන්වර්ථ වන අයුරිනි. අර්ථයට අනුගත වූ යනු එහි තේරුම යි.

සිංහලයේ තත්සම ව යෙදෙන සංස්කෘත වචනවල ‘අනු’ යන්න තවත් අයුරෙකින් යෙදේ. ‘උ’ ස්වරයෙන් ඇරැඹෙන වදනකට නැති අරුතෙහි (නඥර්ථයෙහි) ‘න’ යනු එනතු වූ කල, ඒ ‘න’ වෙනුවට ‘අන්’ යන්න ආදේශ වෙති යි සංස්කෘත ව්‍යාකරණයේ කියැවේ. එ විට එය, යට කී ‘උ’ ස්වරය හා එක් වී ‘අනු’ යන්නක් ඇති වේ. න + උපම > අන් + උපම > අනුපම; න + උල්ලංඝන > අන් > උල්ලංඝ > අනුල්ලංඝන ආදිය මෙනි.

‘අණු’ යනු නාම ප්‍රකෘතියෙකි. එහි අරුත ඉතා ම කුඩා කොටස යනු යි. අතිශයින් ම කුඩා කොටස හැඳින්වීමට පරම + අණු > පරමාණු යනු යෙදේ. ජීවයේ කුඩා ම කොටස ජීව + අණු > ජීවාණු වේ. අණු බලන (කුඩා දේ ලොකු කැර බලන) උපකරණය අණු + ඊක්ෂ > අණ්වීක්ෂ වේ. එ හෙයින් අන්වීක්ෂ යනු වැරැදි යි. එයට හෙළ බසින් අණුදක්නය යැයි කියනු ලැබේ.

 

Comments