පොන්නම්බලම් රාමනාදන් | සිළුමිණ

පොන්නම්බලම් රාමනාදන්

 

 

එකුන් විසි වන සියවස ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් රැසක් දැයට දායාද කළ අවදියකි. ජාති - ආගම් ආදි භේදවලින් විනිර්මුක්තව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස මෙතෙර මතු නොව එතෙර සියලු දෙස සම්භාවනාට පාත්‍ර වූ ශ්‍රී ලාංකික පුත්‍රයෝ රැසක් ඒ ඓතිහාසික අභිමානවත් කාල පරිච්ඡේදය ශෝභමාන කළාහුය. මෙයින් බොහෝ දෙනෙකු විවිධ සංස්කෘතික අනන්‍යතාවන්ට හිමිකම් කීවද ඔවුන්ගේ මනස යොමු වූයේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ගොඩනැංවීම කෙරෙහිය. සිංහල, දෙමළ, බර්ගර්, බෞද්ධ, හින්දු, ඉස්ලාම් යන අනන්‍යතා කිසිවෙකුටවත් සතුරු ප්‍රතිවිරෝධතා ඇති කර ගැනීමට හේතු නොවිණ.

පොන්නම්බලම් සහ කුමාරස්වාමි පරපුර පැවත ආවේ යාපනයේ මනිපායි ප්‍රදේශයේ හින්දු ප්‍රභූ පරපුරකිනි. කොළඹ පදිංචියට පැමිණි මේ පරපුරට අයත් බොහෝ දෙනා තම සාම්ප්‍රදායික හින්දු උරුමය රැක ගනිමින් මනා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබ ගත්හ. ඒ අතරම එවක සිටි සිංහල පඬිවරුන් වෙතින් සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමටද ඔවුහු සමත් වූහ. ආනන්ද කුමාරස්වාමිගේ පියා වූ මුතු කුමාරස්වාමි පාලි භාෂාව පිළිබඳ පඬිවරයකු ලෙස පිළිගැනේ. ඔහු සුත්ත නිපාතය සහ දාඨාවංසය පාලි භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමෙන් අන්තර් ආගමික හා වාර්ගික සංස්කෘතික සහජීවනයකට මුල පිරී ය.

මෙවන් කීර්තිමත් ඉතිහාසයත් තිබෙන පරපුරකිනි පොන්නම්බලම් රාමනාදන් බිහි වූයේ. 1851 වර්ෂයේ අප්‍රේල් මස 16 වෙනි දින එතුමන්ගේ උපත සිදු වූයේ තම මුත්තණුවන් වූ වාසල මුදලි ආරුමුගනාදන් පිල්ලේ කුමාරස්වාමිගේ කොළඹ නිවසේදීය. වාසල මුදලි ආරුමුගනාදන් පිල්ලේ කුමාරස්වාමි ව්‍යවස්ථාදායකසභාවේ දෙමළ අසුන නියෝජනය කළ සාමාජිකයාය. පියා වාසල මුදලි පොන්නම්බලම් වැවිලිකරුවකු මෙන්ම ව්‍යාපාරිකයෙකි. මව සෙල්ලච්චි කුමාරස්වාමි වාසල මුදලි ආරුමුගනාදන් පිල්ලේ කුමාරස්වාමිගේ දියණියෝය. ඇය මුතු කුමාරස්වාමිගේ සහෝදරියයි. මුතු කුමාරස්වාමි එංගලන්තයේ නීතිඥ මණ්ඩලයේ සිටි ප්‍රථම ආසියාතිකයා මෙන්ම හින්දු භක්තිකයාද විය. එංගලන්තයේ අධ්‍යාපනය ලැබ වරප්‍රසාදිත වෘත්තීන්හි නියැළුණද සිය සංස්කෘතික මූලයන් නොසිඳ සිටීම මේ පරපුරේ කැපී පෙනෙන ලක්ෂණයකි.

අධ්‍යාපනයට හිතකර ගෘහස්ථ පරිසරයක හැදී වැඩුණු කුඩා රාමනාදන් කුමරා නිවසේදී මූලික අධ්‍යාපනය ලැබූ අතර විධිමත් පාඨශාලීය අධ්‍යාපනයක් ලැබීම සඳහා සිය මාමා වන මුතු කුමාරස්වාමි අධ්‍යාපනය ලැබූ කොළඹ ඇකඩමියට ඇතුළත් කෙරිණ. උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මදුරාසියේ ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වුවද ප්‍රථම වර්ෂයෙන් පසුව උපාධි පාඨමාලාව නිම කිරීමේ අදහස අත හැර දැමූ රාමනාදන් ඉන්දියානු දර්ශනය හා ආගම් පිළිබඳ මනා දැනුමක් ලබා ගත්තේය. පසුව ඔහු නීති අධ්‍යාපනය කෙරෙහි යොමු විය. ඒ සඳහා ඔහු යොමු කරවන ලද්දේ මුතු කුමාරස්වාමි විසිනි. රාමනාදන් තරුණයා නීතිවේදය හැදෑරීම සඳහා නීතිපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් රිචඩ් මෝර්ගන් වෙත යොමු කෙරිණ. මේ කාලයේදී නීතිවේදයට අදාළ පොත පත පමණක් නොව අර්ථශාස්ත්‍රය පිළිබඳවද එවක සිටි කීර්තිමත් චින්තකයන්ගේ පොත්පත් රැසක් දෑඩි උද්‍යෝගයකින් යුතුව හැදෑරීමට රාමනාදන් පෙලඹිණ. 1873 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස පොන්නම්බලම් රාමනාදන් දිවුරුම් දුන්නේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු විසි දෙකකි. නීතිඥයකු ලෙස අසීමිත ලෙස මුදල් ඉපයීමේ හැකියාව තිබුණද රාමනාදන් නීතිඥවරයා හැම විටම කටයුතු කළේ පොදු ජන යහපත අරමුණු කර ගෙනය. මේ නිසා ඔහු ගෞරවාන්විත නීතිවේදියකු ලෙස සමාජයේ පිළිගැනීමට පාත්‍ර විය. මේ නිසා නීති වාර්තා සකස් කිරීමේ වගකීමද ඔහුට පැවරීමට නීතිපතිවරයා තීරණය කෙළේය. ඒ කටයුතු මැනවින් ඉටු කිරීම නිසා ශ්‍රීමත් ජේම්ස් ලොංඩන් ආණ්ඩුකාරවරයා විසින් 1878දී රාමනාදන් නීතිවේදියාට ශ්‍රේෂ්ඨාධිකරණයේ චක්‍රලේඛ සකස් කිරීමේ වගකීම පවරන ලදී. 1879දී මුතු කුමාරස්වාමිගේ අභාවය සිදු වූ පසු පොන්නම්බලම් රාමනාදන් ව්‍යවස්ථාදායක සභාවට දෙමළ ජනතාවගේ නියෝජිතයා ලෙස පත් කෙරිණ. මේ කාලය ඇතුළත 1885 වර්ෂයේ සිට වර්ෂ දාහතරක් ඔහු වැඩ බලන සොලිසිටර් ජනරාල් හා නීතිපති ලෙස කටයුතු කර තිබේ. එකල ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සියලු දෙනම පාහේ ආණ්ඩුකාරවරයාගේ අභිමතයට පක්ෂපාතව කටයුතු කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් පවත්වා ගෙන ගිය අතර ඔවුන් එසේ කිරීමට හේතුව සාමාජිකයන් වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පක්ෂපාතව කටයුතු කිරීමය. රාමනාදන් ව්‍යවස්ථාදායක සභාවේදී පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටීම ඔහු තුළ පැවති සැබෑ ස්වදේශානුරාගය මූර්තිමත් කිරීමකි. මෙහිදී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු විසින් ඉතා වැදගත් කරුණු ඉදිරිපත් කරන ලද අතර ස්වභාෂා අධ්‍යාපනයේ වැදගත්කම වෙනුවෙන් ප්‍රබල මැදිහත් වීමක් කරන ලදී. 1888 වර්ෂයේදී වෙසක් දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් රාමනාදන් මහතා විසින් ඉටු කරන ලදි. මුතු කුමාරස්වාමි මෙන් මෙරට සිංහල බෞද්ධ පඬිවරුන් සමඟ සමීප මිත්‍රත්වයක් පැවැත්වූ රාමනාදන් සංස්කෘත භාෂාව පිළිබඳ මනා පරිචයක් ලබා සිටි අතර 1904 වර්ෂයේදී භගවත් ගීතාව සංස්කෘත භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය කළේය.

1911 වර්ෂයේදී ව්‍යවස්ථාදායක සභාවේ උගත් ලාංකික නියෝජනය සඳහා පොන්නම්බලම් රාමනාදන් තේරී පත් වූයේ ඔහු සමඟ තරග කළ මාකස් ප්‍රනාන්දු පරාජයට පත් කරමිනි. 1915 වර්ෂයේ සිදු වූ සිංහල මුස්ලිම් කෝලහලයේදී ආණ්ඩුකාරවරයා යුද නීතිය පනවා සිංහල බෞද්ධ නායකයන් සිර භාරයට ගත් අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්ව විශාල කාර්ය භාරයක් ඉටු කරන ලද්දේ පොන්නම්බලම් රාමනාදන් විසිනි. ඒ පිළිබඳ එතුමන් විසින් 1916 දී රචනා කරන ලද ග්‍රන්ථය අපක්ෂපාත ඓතිහාසික ලේඛනයක් ලෙස පිළිගැනේ. 1905 - 1906 කාලයේදී ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක ආරාධිත දේශන සඳහා සහභාගි වූ රාමනාදන් මහතා ආගම් දර්ශනවාද පිළිබඳ එහිදී දැක්වූ අදහස් ඇමරිකන් ජාතිකයන්ට පෙරදිග සංස්කෘතිය තේරුම් ගැනීමට ලැබුණු වැදගත් අවස්ථාවක් ලෙස පිළිගැනේ.

හින්දු කාන්තාවන්ට අධ්‍යපන අවස්ථා බහුල කිරීමේ අරමුණෙන් රාමනාදන් මහතා 1913 වර්ෂයේදී ස්වකීය පෞද්ගලික ධනය වැය කොට යාපනයේ රාමනාදන් හින්දු කාන්තා විදුහල අරඹන ලද අතර එලෙසම තම ධනය වැයකොට 1921 වර්ෂයේ දී පරමේශ්වර පිරිමි විදුහල ඇරඹීය. විශිෂ්ට ජාතික මෙහෙයක් ඉටු කළ පොන්නම්බලම් රාමනාදන් ශ්‍රීමතාණෝ එකුන් අසූ වසක් ආයු විඳ 1930 නොවැම්බර් 26 වෙනි දින දිවියෙන් සමුගත්තෝය.

Comments