අනුරපුර අව­න්ති­දේවී දැරි­යන්ගේ ඉරණම | සිළුමිණ

අනුරපුර අව­න්ති­දේවී දැරි­යන්ගේ ඉරණම

 

අනුරාධපුර අවන්තිදේවී ළමා නිවාසයේ පැවති එක්තරා සාදයකින් අනතුරුව සිදුවූ සිදුවීම් මේ කතාවට පාදක වේ. මත්පැන් සාදයක් දංකුඩ බත් ආහාර වේලකින් ආරම්භ වන පුවත විකාශය වීමත් සමඟ හෝරා කිහිපයක් ගතවත්ම තවත් අදහාගත නොහැකි පුවත් රැසක් අවන්ති දේවී ළමා නිවාසයෙන් මතුවන්නට වූ අතර ඒ අතර එහි ප්‍රධාන පාලිකාව මෙන්ම යෝග ව්‍යායාම පුහුණු කරන්නට පැමිණි පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මාධ්‍ය සතු වගකීම හරිහැටි ඉටු කිරීම නිසාය.

අවන්තිදේවි ළමා නිවාසයේ දැරියන්ට සිදුවී ඇති අගතිය පිළිබඳව සිදු කරන පරීක්ෂණ කටයුතු අඩාළ වෙමින් පවතින බවට පැතිර යන ආරංචි අගනුවරට කාන්දු වීමත් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් වහාම ක්‍රියාත්මක වී සිය අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකාරක ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කොටුවැල්ලට කතා කළේය. එහිදී ඔහුට ලැබුණු නියෝගය වූයේ අවන්තිදේවී ළමා නිවාසයේ සිදුව ඇති ළමා අපචාර සම්බන්ධයෙන් පරීක්ෂා කර වහාම වාර්තාවක් ලබා දෙන ලෙසටය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කොටුවැල්ල කාන්තා නීතිඥවරියක වන නීතිඥ නිර්මලා අධිකාරීද කැටුව විමර්ශන කටයුතු සිදු කරන අනුරාධපුර පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමඟ අවන්තිදේවියේ ළමුන් හමුවී සිදුව ඇතැයි පැවසෙන ළමා අපචාර පිළිබද පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව විමර්ශනයක් සිදු කෙරිණි.

“මම ඇත්තටම එතන්ට සහභාගි වුණේ අග්‍රාමාත්‍යවරයා මා වෙත ලබා දුන් උපදෙස් මත. අපිට ඇත්තටම නඩු අහන්න බලයක් නැහැ. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් එහෙම බලයක් නැහැ. හැබැයි දැරියන්ට යම්කිසි අපයෝජනයක් සිදුවෙලා තියෙනවා කියා ඒ දැරියන් කියනවා නම් ඒ පරීක්ෂණ කවුරු හෝ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් යට ගහන්න හදනවා නම් ඒ පිළිබඳව හොයල බලන්න අපිට අයිතියක් තියෙනවා; රජයට අයිතියක් තියෙනවා.

එහි සිදු කළ නිරීක්ෂණයෙන් මට සැකහැර දැනගන්න හැකිවුණා ඉදිරිපත්වූ චෝදනා විසිපහකට වැඩිය අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා ඒකකය විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරල තිබෙන බව.ඒ අතරින් වැඩිම චෝදනා ගොනුවෙලා තියෙන්නේ කැලුම් නැමැති පුද්ගලයකුට එරෙහිවයි. මම පොලිස් නිලදාරීන් ඉදිරිපිටදී ළමා නිවාසයේ දරුවන්ගෙන් ඇහුවා දුවලට වෙච්ච අකටයුතුකම් පිළිබඳව පරීක්ෂණ සිදුවෙනවද කියලා. එතකොට ඔවුන් පැවසුවා පරීක්ෂණ හොඳින් සිදුවෙනවා කියල.

මම එහෙම කළේ වෙනත් පිරිසකුත් මට අදහස් දැක්වූවා මේ පරීක්ෂණ හරියට සිදු වන්නේ නැහැ කියලා. මේ සිදු වන්නේ මීට පෙර හිටපු පරිපාලනය විසින් සිදුකරන උසිගැන්වීමක් කියලා. ළමා නිවාසයේ පරිපාලනය වෙනස් වෙච්ච නිසා හිටපු පරිපාලකයෝ ළමා නිවාසයේ ළමයි මඟින් බොරු චෝදනා එල්ල කරල ළමා නිවාසයේ ගැටුම් ඇති කරන්න. මෙතනදී ළමයි දීර්ඝ වශයෙන් අප සමඟ කරුණු දැක්වූවා. පරීක්ෂණ හොඳින් සිදුවෙන බවත් පැවසුවා. හැබැයි එක් දෙයක් කීවා. ප්‍රවෘත්තියේ පළ වුණු ආකාරයට වෙනසක් ගැන ඔවුන් අපට කීවා. දංකුඩ කන්න දුන්න කියල ප්‍රචාරය වුණා කියල ඒ ප්‍රවෘත්තිය වැරදියි කියල කීවා. කිරිබත් හදපු වෙලාවට දංකුඩ ඉල්ලගෙන කනවා කීවා. ඒ ආසාවට කියල කීවා. එහෙම නැත්නම් මස් මාළු හෝ බිත්තර සමඟ ආහාර වේලක් ලැබෙනව කියල ඒ දරුවන් අපිට එකහෙළාම කීවා.

කිසියම් විදිහකින් සිදුවී ඇති මේ අපරාධය සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කර මේ දරුවන්ට සාධාරණය ඉෂ්ට කරන්න අපි කැපවෙනවා.’’

ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කොටුවැල්ල මෙදින සිදු කළ පරීක්ෂාවේදී දැරිවියන් විසින් යම් කරුණු කිහිපයක් වසන් කර බවට හැඟී යෑමත් සමඟ එම දැරිවියන් වෙනම ස්ථානයකදී වාචික අදහස් ලබාගැනීමට තීරණය කෙරිණි. එහි වගකීම පැවරුවේ නීතිඥ නිර්මලා අධිකාරී වෙතය.

“මම ඒ දැරියන් කිහිප දෙනෙකු වෙනම කාමරයකට රැගෙන ගොස් විමසීම් සිදුකළා. එහිදී ඔවුන් විශේෂයෙන්ම ප්‍රකාශ කර සිටියේ සාමුහිකව පවත්වන යෝග ව්‍යායාම අභ්‍යාසවලදී කිසිම අවස්ථාවක පරිපාලනයේ නිරත කිසිදු පාලිකාවක් හෝ නිළධාරියෙකු සම්බන්ධ නොවූ බව. සමහර අවස්ථාවල පන්තිය අවසන් වූ පසුව එක් එක් ළමයි වෙන වෙනම ඒ කාමරයට කැඳවා ගන්නවා කියල. යෝග උපදේශකයාගේ කැමැත්ත අනුව තමයිලු ළමයි කැදවා කාමරයේ දොර වහගන්නවාලු. මේව අධීක්ෂණය කරන්න හෝ සොයා බලන්න ළමා නිවාසයේ කිසිම නිලධාරියෙක් එන්නෙ නැහැ කියල ඒ ළමයි පැවසුවා. ඒ වගේම යෝග ව්‍යායාම සිදු කළ පුද්ගලයාත් ළමා නිවාසයේ එක් අයෙකුත් අතර සමීප සම්බන්ධයක් තියෙනවා කියල කීවා. කිසිම අවස්ථාවක තොරතුරු පිටතට නොයන්න අදාළ කාන්තාව කටයුතු කරන් බවත් ඒ දරුවන් පැවසුවා. මෙතනදී සිදු වුණු විශේෂ දෙයක් තමයි විවෘතව පැවති සාකච්ඡාවට වඩා මම වෙනමම කාමරයකට රැගෙන ගිහින් සිදු කළ විමර්ශනයේදී දරුවන් කරුණු රැසක් හෙළි කළා.ඒ පිළිබඳවත් මේවනවිට පරීක්ෂණ පැවැත්වෙනවා.”

මෙම පුවත දිගහැරීමත් සමඟ අනුරාධපුරයේ පැතිර යන විවිධ කටකතා හේතුවෙන් විශාලතම අගතියක් සිදුව ඇත්තේ එම ළමා නිවාසයේ දරුවන්ට බව පරිවාස දෙපාර්තමේන්තුවේ නම හෙළි නොකළ වෘත්තීය සමිති ප්‍රකාශකයකු පැවසීය. පුවත හෙළිවීමත් සමඟ යෝග ව්‍යායාම පුහුණුව ලබාදීමට පැමිණි පුද්ගලයාගේ අතින් සිදු වූ හිංසා සමාජයට විවෘත වුවද දංකුඩ සහිත බත් සහ මත්පැන් බෝතලය රැගෙන ඒමේ කතාව පසුපස විශාල අභිරහසක් ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

Comments