ගුරුගොඩ වේල්ලේ ගැටුමෙන් කෑගල්ලේ 50,000ක් ජල අර්බුදයක | Page 3 | සිළුමිණ

ගුරුගොඩ වේල්ලේ ගැටුමෙන් කෑගල්ලේ 50,000ක් ජල අර්බුදයක

 

වේල්ල සහ ජලවිදුලි බලාගාරයට එරෙහි උද්ඝෝෂණ, විරෝධතාවල නිමාවක් නෑ

 

ගුරුගොඩ ඔය කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගය යාකරන මොරොන්තොට පාලම සමීපයේදී මෙන්ම මොරොන්තොට - අරන්දර මාවතට මනාව දිස්වෙයි. ගොඩිගමුව ඇළ,කුඩා ඔය,ගුරුල්ලවල ඇළ මේ සීමාවේදී ගුරුගොඩ ඔයට එක්වන අනෙකුත් ජල පෝෂකයන්ය.

ගුරුගොඩ ඔයේ ගමන් මඟ හරස්කර ලාහුපන හුණුගලවත්ත ප්‍රදේශයේ ඉදිවූ වේල්ල පිළිබඳව මුලින්ම බොහෝ දෙනකු දැන නොසිටියහ. ජලසම්පාදන මණ්ඩලය මඟින් එය ඉදිකරන බව ඔවුහු සිතූහ. ගුරුගොඩ ඔයෙන් පිරිසිදු ජලය බෙදනවාට ගම්මුන් කිසිවකුත් විරුද්ධ වූවේ නැත. මීටර එක හමාරක් දෙකක් වේල්ල බඳින බව ඇසූ ඔවුහු එයට එකහෙළාම එකඟ වූහ. එහෙත් සිදු වූවේ ඔවුන් සිතූ පරිදි නොවේ. ඔය හරහා බඳින ලද වේල්ල මීටර හය හතක් උස් විය. ජලසම්පාදන මණ්ඩලයට මෙම වේල්ල අසලින් ජලය ලබා ගැනීම ආරම්භ විය. ගුරුගොඩ ඔය හරස්කර ලබා ගන්නා ජලයෙන් පෞද්ගලික සමාගමක් මඟින් එහි කුඩා ජල විදුලි බලාගාරයක්ද ආරම්භ කළේය. ගැටලුව ඇතිවන්නේ එතැන් සිටය.

එදා සිටම මෙම වේල්ලටත් , ජලවිදුලි බලාගාරයටත් එරෙහිව සිදු කරන උද්ඝෝෂණ, විරෝධතා නිමාවක් නැත. විදුලි බලාගාරයේ කටයුතු අතරමග ඇණහිට ඇත. වේල්ලේ දොරටු බලෙන් විවෘත කිරීමට ගමේ පිරිසක් පෙරමුණ ගැනීමත් සමඟ මේ වනවිට එහි ආරක්ෂාවට පොලිසියෙන් යොදවා තිබේ. ඒ මෙම වේල්ල අසලින් ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අවශ්‍ය ජලය ලබාගැනීමට බාධාවක් ඇතිවීම වැළැක්වීමටය. උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳ මොරොන්තොට පදිංචි විශ්‍රාමික විදුහල්පති එච්.ආර්.කරුණාරත්න අදහස් පළ කළේ මෙසේය. “මේ වේල්ල ඉදිකිරීමේ ගැටලුව අපට ආවේ ගංවතුරත් සමඟ. වෙනදා විශාල වැසිවලට ගංවතුර ආවත් මේ වේල්ල නිසා අස්වාභාවික විදියට යටවෙන්න ගත්තා. වේල්ල ඉදි කළේ ජනාශ්‍රිත ප්‍රදේශයක නොවෙයි. බලාගාරයක් හදනවා කීවත් අපි ඒක ඒතරම් ගණන් ගත්තේ නැහැ. වේල්ල හැදුවාම ඉදිවූ ජලාශය නිසා ඔය මැද තිබූ දූපත් විනාශ වුණා. ගස් මැරුණා; ඉවුරු ඛාදනය වුණා; පරිසරය විනාශ වුණා; ඒකටයි අපි එරෙහි වුණේ."

අපි මෙම ආයතනයට එරෙහිව ගිය අධිකරණ කටයුත්තකදී දැනගත්තා ජලවිදුලි බලාගාරය අනවසර ඉදිකිරීමක් කියලා. මේ අය අවසර ගන්න අවශ්‍ය ආයතන එකොළහකින් සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් විතරයි අවසර අරගෙන තියෙන්නේ. මේක පටන්ගන්න කලින් ජනතාවට දැනුම්දීමක් නොකර නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නිසයි; ජනතා උද්ඝෝෂණ වලට යොමු වුණේ එහි ප්‍රතිඵලයක් විදියට තමයි.

වේල්ලේ උස අඩුකරන්නත් ඔවුන්ට සිද්ධ වුණේ. මෙම ඉදිකිරීම් නිතිවිරෝධී බව නිලධාරිනුත් දන්නවා. නීතිවිරෝධීව ඉදිකළ ආයතන සමඟ රාජ්‍ය ආයතන මෙලෙස ගිවිසුම්ගත වීමත් වැරදියි. ලාභ ලබන රාජ්‍ය ආයතනයක් ඇයි පෞද්ගලික විදුලි බලාගාරයකට හේත්තු වෙන්නේ?

මොරොන්තොට ගුරුගොඩ ඔය නිම්න ජීවිත,දේපළ හා පරිසරය සුරැකීමේ සංවිධානය කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයකි.මෙම ගැටලු මතම ආරම්භ කර ඇති එම සංවිධානයේ ලේකම් බුද්ධික ගොඩිගමුව පවසන්නේ මෙබන්දකි. “ජලසම්පත් මණ්ඩලය කිලෝමීටර දෙකකට වඩා දුරක් වේල්ලේ ඉඳලා පිරිපහදු කරන තැනට ඔය දිගේ වතුර ආපසු අරගෙන එනවා. පිරිපහදු කරන තැනින්ම කුඩා බන්ට් එකක් බැඳලා වතුර ගන්න තිබුණා.

කෑගල්ලට වතුර ප්‍රශ්නයක් තිබෙන බව අපි පිළිගන්නවා.අපේ ගමෙන් කෑගල්ලට වතුර දෙන්න ලැබීම අපිට ආඩම්බරයක්.අපි කැමැතියි. ඒත් මේ ජලාශය අපිරිසිදුයි. එය පිරිසිදු කරන්න ජලසම්පාදන මණ්ඩලයට නිසි වැඩපිළිවෙළක් නැහැ.ජල පිරිපහදුවල අපද්‍රව්‍ය නැවත ජලාශයටම දමන්නේ නැහැ. ඒත් මෙහිදී ඒ අප ජලයත් නැවත දමන්නේ ජලාශයටමයි.

මොරොන්තොට නගරයට මඳක් දුරින් වටවල ඇල්ල ළඟ කලින් හදපු ඇනිකට් එකකුත් තියෙනවා. එතැන ඉඳලා පොම්ප කරන්නේ නැතිව ස්වභාවිකවම ගුරුගොඩ ඔයේ ජලය මොරොන්තොට පිරිපහදුවට ගෙන එන්නත් පුළුවන්.අපි එවැනි විකල්ප යෝජනා සිදුකළත් ජලසම්පාදන මණ්ඩලය මේ පෞද්ගලික වේල්ල අතහරින්න කැමැති නැහැ. වැසි කාලයට මේ ඔයේ දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනවා. පායන කාලයට මේකේ වතුර පල්වෙනවා. ඒකයි අපි වේල්ලේ ගේට්ටු අරින්න කීවේ. කොහොමත් අපි පනහක් විතර ගියොත් ගේට්ටු අරිනවා. පොලිසියෙන් ආරක්ෂාව දීලා තියෙන්නේ ඒ නිසයි. හමුදාවෙනුත් විටින් විට එනවා."

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරු (ක්‍රි.හා.න.) ජී.කේ.නිමල්සිරි මේ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.

“ජලය සීමිත සම්පතක්. කෑගල්ලට දිනකට ජලය ලීටර එක්ලක්ෂ හැටදහසක්වත් අවශ්‍යයි. මේ සඳහා අපට තිබෙන්නේ මාඔය සහ ගුරුගොඩ ඔයයි. මේ දෙකමත් පායන කාලයට හිඳෙනවා. ගුරුගොඩ ඔයෙන් ලබාගන්න ජලය කෑගල්ල නගරයේ පෞද්ගලික හා රාජ්‍ය ආයතනවලටත්, නිවාසවලටත් කරඬුපන, දේවාලේගම වැනි ප්‍රදේශ දක්වාත් බෙදා හැරෙනවා. අපි ගුරුගොඩ ඔයේ ජලය ලබාගන්නේ පෞද්ගලික විදුලි බලාගාරයක් මඟින් ඉදිකළ වේල්ල අසලින්. අපි වේල්ල අසල සිට පිරිපහදු කරන තැනට ජලය නළ මඟින් ගෙන එන බව ඇත්තක්.

වේල්ලක් ඉදිකරනවාට වඩා ඉතාම අඩු වියදමකුයි එම නළ එළීමට වැයවී තිබෙන්නේ. ජලය එක්රැස්කර තිබෙන තැනකින් ගන්නවා විනා අපිට වෙනත් තැනකට යන්න අවශ්‍ය නැහැ. පැහැදිලිවම මේක ඩීල් එකක් නොවෙයි. ඒ නිසා වේල්ල ඉවත්කිරීමට අපි එකඟ නැහැ. පිරිසිදු කරන ජලය රසායනිකව පරීක්ෂා කිරීමෙන් අනතුරුව සම්මත ප්‍රමිතියක් යටතේයි අපි ජනතාවට බෙදා දෙන්නේ.

මෙම පෞද්ගලික විදුලි සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමක් තිබෙනවා. අපි වේල්ල අසලින් ජලය ලබාගැනීමට ගිවිසුම්ගත වූවා. මේ පායන දවස්වල ජලය පාරිභෝගිකයන්ට නොකඩවා ලබාදීමට නම් වේල්ලේ දොරටු විවෘත නොකළ යුතුයි. ගුරුගොඩ ඔයට රක්ෂිතයක් නැහැ. මොරොන්තොට නගරයේ ව්‍යාපාරික ස්ථාන හා නිවාසවල වැසිකිලි හදලා තියෙන්නේත් ඔයට මායිම්වයි. නගරයේ අපද්‍රව්‍ය සියල්ලක්ම එක්රැස් වෙන්නේත් මේ ජලාශයට. ජලය වැඩිපුරම අපවිත්‍ර වන්නේ මිනිස් ක්‍රියාකාරකම්වලින්.

අනතුරුව මේ සම්බන්ධයෙන් කෑගල්ල දිසාපති මහින්ද එස්. වීරසූරියගෙන්ද අපි අදහස් විමසුවෙමු.

“ගුරුගොඩ ඔය මෙම ගැටලු සම්බන්ධයෙන් විධිමත් කමිටුවක් පත්කර නිර්දේශ ලබාගත්තා. පෞද්ගලිකව මමත් මේ ස්ථානය නිරීක්ෂණය කළා. වැසි කාලයේදී සිදුවන ස්වභාවික හානි හැර වෙනත් හානියක් මෙම ජලාශය නිසා සිදුවන්නේ නැහැ. මෙම ස්ථානයේ ජලය රඳවා ගැනීමේ ගැටලුවක් නැහැ. මේ වනවිටත් කෑගල්ලට ලබාදෙන ජල ධාරිතාව මඳි නිසා තවත් ඉල්ලුම්කරුවන් දසදහසකට පමණ ජල සම්බන්ධතා ලබාදිය නොහැකි බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ජලය නැතිවන විට පෞද්ගලික අවශ්‍යතා මෙන්ම සංවර්ධන කාර්යයන් සියල්ලද ඇණ හිටිනවා.

මෙම ජලාශයේ ජලය අපිරිසිදුවීම වැළැක්වීමට පරිසර අධිකාරියේ උපදෙස් මත ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර අවසන්. ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත හා දේපළවලට හානිදායක නොවන පරිදි මේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙළ අනුව 2030 වසර වනවිට 70%ක් පුනර්ජනනීය බලශක්ති භාවිතයට යොමුවීමට රජය අපේක්ෂා කරනවා. මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තියයි‘ යනුවෙන් පවසයි.

සටහන හා ඡායාරූප  ඔස්වල්ඩ් ගොඩකුඹුර, රඹුක්කන විශේෂ

Comments