රාජ්‍ය බැංකු තුනේ සංස්ථා­ව | Page 2 | සිළුමිණ

රාජ්‍ය බැංකු තුනේ සංස්ථා­ව

 

 

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව,නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු තුන ඒකාබද්ධ කර ජාතික සංවර්ධන බැංකු මූල්‍ය සංස්ථාව (NDBC) නමින් නව බැංකු සංස්ථාවක් ආරම්භ කිරීමට මේ වන විට කටයුතු සම්පාදනය වන බවට මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබේ.

 

2021 වර්ෂය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදක්වමින් පසුගිය දිනක පැවැති උත්සවයකට සහභාගී වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඩබ්. ඩී. ලක්ෂ්මන් මෙම වැඩපිළිවෙළ පිළිබඳව අනාවරණය කර තිබුණු අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනක් එකතු කර ගනිමින් ශක්තිමත් මූල්‍ය සංස්ථාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව කාලයක සිට පැවැති බවත් ඒ අනුව ඉදිරි කාලය තුළ මෙම නව බැංකු සංස්ථාව පිහිටුවීම සඳහා කටයුතු යෙදෙනු ඇති බවත් ය. මෙම පියවර මෙරට සංවර්ධන බැංකු ක්ෂේත්‍රයේ නව යුගයක් උදා කරනු ඇති බවද මහ බැංකු අධිපතිවරයාගේ විශ්වාසය විය.

මෙම නව බැංකු සංස්ථාව කුමක්ද?එම සංස්ථාව ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ ඇයි? මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් පසු දැනට ක්‍රියාත්මක එකී රාජ්‍ය බැංකු හි අනාගතය කවර මගක් ගනීද? මේ පිළිබඳව එම රාජ්‍ය බැංකු හා සම්බන්ධව කටයුතු කරන වෘත්තීය සමිති නායකයන්ගේ අදහස් විමසීමට අපි තීරණය කළ අතර එහිදී ජාතික බැංකු සේවක සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු අදහස් දක්වමින් සඳහන් කර සිටියේ දැනට නව සංස්ථාව පිහිටුවීමට කටයුතු කිරීමේදී මෙම බැංකු හි සේවයේ නිරත වී සිටින සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

රාජ්‍ය බැංකුවල කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ගුණාත්මක ලෙස ඉහළ නැංවීම සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව,නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු තුන ඒකාබද්ධ කර ජාතික සංවර්ධන බැංකු මූල්‍ය සංස්ථාව (NDBC) නමින් නව බැංකු සංස්ථාවක් ආරම්භ කිරීමට යෝජනා වීම ඉතා සාධනීය පියවරක් වන නමුත්, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේදී මෙලෙස ඒකාබද්ධ කෙරෙන බැංකුවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව ප්‍රශ්න ඇතිවිය හැකි බව එහිදී අවධාරණය කෙරිණි. උදාහරණයක් ලෙස දැනටමත් මෙම රාජ්‍ය බැංකුවල ශාඛා එකම නගරයක් තුළ ස්ථාපිත වී තිබේ නම් මෙම නව බැංකු සංස්ථාව ආරම්භ කිරීමත් සමඟ ප්‍රායෝගික ගැටලු රැසක් ඇති වීමට හැකියාව ඇති බවද පෙන්වා දුන් ජාතික බැංකු සේවක සංගමයේ ලේකම්වරයා එහෙයින් තවදුරටත් ගැඹුරින් සොයා බලා, විධිමත්ව අධ්‍යයනය කර ප්‍රායෝගික ගැටලු ඇති වීම අවම වන පරිදි කටයුතු කිරීම ඉතාම වැදගත් වන බවත් අවධාරණය කරන ලදී.

මෙරට තුළ රාජ්‍ය අංශය යටතේ පාලනය වන බැංකු හා පෞද්ගලික අංශය යටතේ පාලනය වන බැංකු ලෙස බැංකු 19ක් මේ වන විටත් ක්‍රියාත්මක අතර මෙම බැංකු යම් ප්‍රතිසංවිධානයකට ලක් කර බැංකු ප්‍රමාණය අඩු කළ යුතුයි යන යෝජනාව බොහෝ කලක සිටම කතා බහේ පැවතුණු බව ද ජාතික බැංකු සේවක සංගමයේ වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුවල ප්‍රාග්ධනය පිළිබඳව තීන්දු ගන්නේ ජාත්‍යන්තර නියාමනයට අදාළ බාසල් 3 සම්මුතියට අනුව බවත් එහිදීද ඉතා පැහැදිලිවම මෙලෙස බැංකු ඒකාබද්ධ කළ යුතුයි යන අදහස යෝජනා වී තිබෙන බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

වමේ සිට (ඉහළ) ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ සභාපති විමල් චන්ද්‍රෙස්න,ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ, ජාතික බැංකු සේවක සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු සහ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක

ජාතික බැංකු සේවක සංගමය මෙන්ම ලංකා බැංකු සේවක සංගමයද මෙලෙස ප්‍රධාන රාජ්‍ය බැංකු තුනක් ඒකාබද්ධ කර නව රාජ්‍ය බැංකු සංස්ථාවක් පිහිටුවීමට ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳව ප්‍රසාදය පළ කර සිටියි. එහෙත් ඔවුන්ද ඉතා දැඩිවම අවධාරණය කර සිටින්නේ ඒකාබද්ධ කෙරෙන බැංකු වල සියලුම සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බවයි. ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ දැනට ක්‍රියාත්මක සංවර්ධන බැංකු තම මූලික අරමුණින් පරිබාහිරට ගොස් දැඩි ලෙස වාණිජකරණය වී තිබීම හේතුවෙන් ජාතික සංවර්ධනය උදෙසා උරදී කටයුතු කරන නව ජාතික සංවර්ධන බැංකු ව්‍යුහයක අවශ්‍යතාව මේ මොහොත වන විට පැහැදිලිවම ඉස්මතු වී ඇති බවයි. ඒ නිසා ප්‍රමුඛතම රාජ්‍ය බැංකු තුනක් ඒකාබද්ධ කර ගනිමින් පිහිටුවීමට යෝජිත මෙම නව බැංකු සංස්ථාව මඟින් ග්‍රාමීය සංවර්ධනය, නිවාස සංවර්ධනය හා ග්‍රාමිය නිවාස කටයුතු ආදී මූලික අරමුණු සඳහා සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු බවද; ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා කටයුතු කරන නව බැංකු සංස්ථාවක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමේදී දැනට ක්‍රියාත්මක එලෙස ඒකාබද්ධ කෙරෙන රාජ්‍ය බැංකු ආරම්භ කිරීමට මුල් වූ ඒවායේ ආරම්භක අරමුණු නොවෙනස්ව ඉදිරියට ගෙන යා යුතු බවද ලංකා බැංකු සේවක සංගමයේ ස්ථාවරය වී තිබේ.

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධව කටයුතු කරන වෘත්තීය සමිති මෙම බැංකු ඒකාබද්ධ කිරීමේ යෝජනාවට සුපුරුදු පරිදි දැනටමත් සිය විරෝධය පළ කර තිබේ. එම වෘත්තීය සමිති තම සාමාජිකයන් අතර මේ සම්බන්ධව ගොඩනඟා ඇති මතය වන්නේ ආණ්ඩුව වෙනුවෙන් ණය ගන්නා ඒජන්සියක් බවට රාජ්‍ය බැංකු පත් කිරීමේ අරමුණ ඇතුව රාජ්‍ය බැංකු තුනක් ඒකාබද්ධ කිරීමේ මෙම නව සැලැස්ම රජයේ බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ ප්‍රකාශ කර සිටියේ යෝජිත බැංකු සංස්ථාව පිළිබඳව රජයේ පාර්ශ්වයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදු වී නොමැති බවයි. ඒ නිසා දැන්වත් රජයේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව ජනතාවට කරුණු අවබෝධ කර දිය යුතු බවද මෙතරම් අවස්ථා තිබියදීත් ජනතාවට නිසි ලෙස කරුණු කාරණා තේරුම් කර නොදී රජය හා මහ බැංකු ප්‍රධානීන් මුනිවත රැකීම පිළිබඳව තමන්ට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ සභාපති විමල් චන්ද්‍රසේන අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනක් ඒකාබද්ධ කරමින් පිහිටුවීමට යෝජිත මෙම නව බැංකු හා මූල්‍ය සංස්ථාව පිළිබඳව තම සංගමයේ සාමාජිකයින් අතර ප්‍රසාදයක් ඇති බවයි. නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී පාරිභෝගිකයන්ට හා බැංකු සේවකයන් සඳහා වඩාත් ඵලදායි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය වන බවත්; විශේෂයෙන්ම මෙම බැංකුවල සේවය කරනු ලබන සේවක සේවිකාවන් සඳහා දැනට ලබා දෙන පහසුකම් හා වරප්‍රසාද කිසිදු අඩු කිරීමකින් තොරව තවදුරටත් පුළුල් කරමින් ලබා දිය යුතු බවට තම සංගමය යෝජනා කර ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ සභාපතිවරයා සඳහන් කරයි. පිහිටුවීමට යෝජිත මෙම නව සංස්ථාව සම්පූර්ණයෙන්ම රජයේ පාලනයේ පැවැතිය යුතු බවත් රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණය කිරීම සඳහා ගන්නා කිසිදු උත්සාහයකට තම සාමාජිකයන්ගේ සහයෝගය හිමි නොවන බවත් හේ සඳහන් කර සිටියේය. යෝජිත මෙම නව බැංකු සංස්ථාව පාර්ලිමේන්තු පනතකින් නිසි ලෙස ස්ථාපිත කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරන ලදී.

Comments