දකුණේ වී ගොවීන්ට පහන් එළියක් | Page 3 | සිළුමිණ

දකුණේ වී ගොවීන්ට පහන් එළියක්

 

සහල් මිල,සහල් මාපියාව, හා වී මිලදිගැනිම පිළිබද කියවෙන කථාන්දර මේ දිනවල මහජනතාව අතර ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ ගැන සඳහන් කරණ විට වී අලෙවි මණ්ඩලය ගැන සදහන් නොකරම බැරිය. මක්නිසාදයත් වි අළෙවි මණ්ඩල පනතට අනුව වී, සහල් මිලදී ගැනීම, අලෙවි කිරීම, සැපයීමේ සහ බෙදාහරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම එම මණ්ඩලයේ මූලික අරමුණකි. 2018 වර්ෂයට අදාලව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති විගණන වාර්තාවට අනුව 2014 යල කන්නය, 2016/2017 මහ කන්නය, 2017 යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය මඟින් ගොවින්ගෙන් වී ඇටයක්වත් මිලදී ගෙන නොතිබු බව විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වුවද 2009 යල, 2009, 2010 මහ, 2010/2011 මහ, 2012 යල, 2019/2014 මහ, 2016 යල සහ 2017/2018 මහ කන්නවලදී ගොවින්ගෙන් වී මිලදී ගෙන තිබුණද එය මුළු වි අස්වැන්නෙන් සියයට තුනකටත් වඩා අඩු ප්‍රතිශතයක් බව විගණනය මඟින් අනාවරණ කොට තිබුණි. ඒ පමණක් නොව 2017/2018 මහ කන්නයේ දී රටේ සමස්ත වී අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 2,396,926කි. එහෙත් වී අලෙවි මණ්ඩලය විසින් ගෙවින්ගෙන් වි මිලදී ගෙන තිබුණේ වි මෙට්‍රික් ටොන් 4,605කි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ සියයට 0.19කි.

මේ කාලයේ ගොවින්ගේ වි අස්වැන්න මිලදි ගැනිමේ දි රජයේ මැදිහත්විම ඉතා දුර්වල මට්ටමක පැවතිම නිසා ගොවින්ගේ වී අස්වැන්න තට්ටුවට දෙකට වී මෝල් හිමියන් විසින් මිලදි ගනු ලැබිය. ගොවියාගේ වි අස්වැන්නට සහතික මිලක් නොලැබිම නිසා වී ගොවීහු දැඩි අසරණ තත්වයට පත්වුහ. ඒ විතරක් නොව රජය සතුව වී සංචිතයක් නොතිබිම නිසා සහල් වෙළදපොළ තුළ එකාධිකාරියක් නිර්මාණය විය. මේ නිසා පාරිභෝගිකයා ද දැඩි අසරණ තත්වයට පත්විය.

කෙසේ වුවද වත්මන් රජය බලයට පත්විමත් සමඟ සහල් මාපියාවට මුහුණදිම සඳහා සැලසුම් සකස් කෙරිණි. වී අලෙවි මණ්ඩලය යළි සක්‍රිය කිරිමට පියවර ගනු ලැබිය. වී මිලදි ගැනිමේ යාන්ත්‍රණය ශක්තිමක් කළේය. ඒ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ග්‍රාමිය මට්ටමේ සිටින කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් සම්බන්ධ කරගනු ලැබිය. වී අලෙවි මණ්ඩලය මඟින් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් හරහා ගොවින්ගෙන් වි මිලදි ගැනිමට කටයුතු ආරම්භ කරණු ලැබිය. මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03 ක් මිලදි ගැනිමට සැලසුම් සකස් කෙරිණි. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උපදෙස් මතය. පුද්ගලික මෝල් හිමියන් සමඟ තරගකාරි ලෙස වී මිලදි ගැනිම සඳහා. රුපියල් මිලියන 16000ක මුදලක් රජය මඟින් වි අළෙවි මණ්ඩලයට ලබා දෙනු ලැබිය. ගොවින්ගේ වී මිලදි ගැනිම සඳහා රජය මඟින් මෙතරම් මුදලක් වෙන් කරණු ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටය. තෙත් වි කිලෝවක් සඳහා රුපියල් 46ක සහතික මිලක් ලබාදෙනු ලැබිය. වියලි වී කිලෝවක් සඳහා රුපියල් 56.50 ක සහතික මිලක් නියම කෙරිණි.

එමෙන්ම වි ගබඩා කිරිම සඳහා යුධ හමුදාවේ ද සහයෝගය ඇතිව වී ගබඩා ප්‍රතිසංස්කරණය කරණු කරනු ලැබිය. කෘෂිකර්ම අමාත්‍යංශයේ ගණන් හිලව්වලට අනුව 2020/2021 මහ කන්නයේ දි හෙක්ටයාර් 7.64000 වි වගාකොට ඇත. ඉන් වී මෙට්‍රික්ටොන් 32ක අස්වැන්නක් අපේක්ෂා කෙරේ. අප රටේ වාර්ෂික සහල් පාරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 24කි. දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 6500කි. ගොවියාත් පාරිභෝගිකයාත් රැක ගැනිමේ අරමුණින් රජය මඟින් මේ වනවිට ගොවින්ගේ කමතටම ගොස් වී මිලදි ගැනිමේ මෙහෙයුම ආරම්භ කොට තිබේ.

මෙහිදි ගාල්ල දිස්ත්‍රික්කය ගැන විශේෂයෙන් සදහන් කළ යුතුය. ඒ වි අලෙවි මණ්ඩලය මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගෙන් වී මිලදි ගනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. 1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත යටතේ 1972 වර්ෂයේ දි වි අලෙවි මණ්ඩලව පිහිටුවා ඇත්තේය. එදා මෙදා තුර වි අලෙවි මණ්ඩලය මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වි අස්වැන්න මිලදි ගනු නොලැබිය. එහෙත් මෙවර ගොවින්ගේ තෙත් වී නිවෙස්වලටම ගොස් මිලදි ගැනිම සිදු කෙරෙයි. වි අලෙවි මණ්ඩලයේ දකුණු කළාප කළමණාකරු සුසන්ත සේනානායක, ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඉන්දික ද සිල්වා යන අය සහයක් ලබාදෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වි මිලදී ගැනිමේ ක්‍රියාන්විතය මෙහෙයවිමේ වගකිම ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් (පරිපාලන) ඩබ්ලිව්. එස්. ප්‍රියන්ජන් විසින් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් (දේපාර්තමේන්තු) හේමපාල වර්ෂවිතානයන් වෙත පවරා ඇත. ඩබ්ලිව්. එස් ප්‍රියන්ජන් උපදෙස් මත හේමපාල වර්ෂවිතාන විසින් දිවා රාත්‍රි වෙහෙසෙමින් වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් සම්බන්ධීකරණය කරමින්, කෘෂිකර්ම හා පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් හා ගොවිජන සංවර්ධන නිලධාරින් මෙහෙයවිමන් වි මිලදි ගැනිමේ ක්‍රියාන්විතය මෙහෙයවති. ගාල්ල දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනිමේ සමාරම්භක උත්සවය පැවතියේ ඇමති රමේෂ් පතිරණ හා රාජ්‍ය ඇමති මොහාන් පි. ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වළහන්දුව යක්ගහවිල යායේ දිය. එහිදි ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් (පරිපාලන) ඩබ්ලිව්. එස්. ප්‍රියන්ජන් මෙසේ පැවැසීය.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ එක් කන්නයකදි කුඹුරු අක්කර 33.500ක් වු වැඩිම කුඹුරු අක්කර ප්‍රමාණයක් වගා කරණු ලැබුවේ මෙවර මහ කන්නයෙදි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වි අස්වැන්නෙන් වි කිලෝ ලක්ෂ 13ක් මිලදි ගැනිමේ ඉලක්කයක් අපිට තියෙනවා. ඒ ඉලක්කය සපුරා ගැනිමට අපි කටයුතු කරණවා. මේ සදහා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් අපිට විශාල සහයෝගයක් ලබාදෙනවා. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් (‍ෙදපාර්තමෙන්තු) වරුෂවිතාන මහතා, ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරින්, විශේෂයෙන් ගම් මට්ටමේ දි ගොවින් සමඟ සක්‍රිය ලෙස කටයුතු කරණ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් දැඩි කැපවිමෙන් කටයුතු කරණවා යැයි සහකාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනිමේ ක්‍රියාන්විතයේ වගකිම සිය දෙවුරමත රදවාගෙන දිවා රාත්‍රි වෙහෙසෙමින් කටයුතු කරණ ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තු) හේමපාල වරුෂවිතාන පවසන්නේ මෙවැනි කතාවකි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට අපි තෙත වී කිලෝ 1.99.937ක් මිලදිගෙන තියෙනවා. වියලි වී කිලෝ 6110ක් මිලදි ගෙන තියෙනවා. අපිට ලබාදි ඇති ඉලක්කයට යාම සඳහා අපි උපරිම උත්සාහ කරනවා. වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරිමේ දි අපේ ගැටඵ විසදා දෙමින් අපිට විශාල සහයෝගයක් ලබාදෙනවා. එමෙන්ම ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ සේවා කොමසාරිස් රසික මහතා ද අපිට විශාල සහයෝගයක් ලබාදෙනවා. යැයි හේමපාල වර්ෂවිතාන මහතා කිවේය.

වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා මෙසේ කිවේය. “වි මිලදි ගැනිම සඳහා රජය මැදිහත්විමත් සමඟ ගොවින්ගේ වි අස්වැන්නට හොද මිලක් ලැබි තියෙනවා. රජය මගින් පළමුවරට තමයි වී මිලදි ගැනිම සදහා රුපියල් මිලියන 16000ක මුදලක් වෙන්කළේ..ජනවාරි 13 වැනි දින වනවිට එම මුදල වෙන් කරණු ලැබුවා. මේ වනවිට වී අලෙවි මණ්ඩලය මඟින් වි කිලෝ ලක්ෂ 40ක් ගොවින්ගෙන් මිලදි ගෙන තියෙනවා. ගොවින්ගේ කමතටම ගොස් වී මිලදි ගන්නේ. මේ වසරේ මැයි, ජුනි මාසය වෙනකම් ගොවින්ගේ වී මිලදි ගන්නවා. වි කිලෝවක මිල රුපියල් 12කින් වැඩි කළා. තෙත වි මිලදි ගැනිමේ දි ගාල්ල දිස්ත්‍රික්කය තුළ හොඳ ප්‍රගතියක් තියෙනවා. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුව මඟින් විශාල සහයෝගයක් ලබාදෙනවා. ගාල්ලේ වි මිලදි ගැනිමේ දි ඉතා හොඳ ප්‍රගතියක් තියෙනවා. ගන්න පුළුවන් උපරිම වි ප්‍රමාණය අපි මිලදි ගන්නවා. ආරක්ෂිත වී තොගයක් රැස්කොට ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කිරිම රජයේ අරමුණ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments