නුග ගහක් බේර­ගන්න පාරට බසින ගැමියෝ | සිළුමිණ

නුග ගහක් බේර­ගන්න පාරට බසින ගැමියෝ

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සීමාවේ තිබී හමුවූ කෘෘඩියා සෙලනිකා ශාකයත් සමඟ මහත් ආන්දෝලනයට ලක්වූ ගම්පහ දාරළුව ගම්මානය පසුගිය සතියේ යළිත් කරළියට ආයේ දාරළුව ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ ලෝකයේ පළමු අගමැතිනිය අතින් රෝපනය කරනු ලැබූ ඉන්දියන් නුග ගසක් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සමඟිනි.

ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජපාන රජයේ ආධාර ඇතිව බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දාරළුව දොරණාගොඩ මාර්ගයේ කෙටවල වෙල්යායේ දී - ඇල් ඔය හරහා ජපන් මිත්‍රත්ව පාලම 1995 දී ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුයේ එවකට රාජ්‍ය නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මැදිහත්වීම මතය.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේම්ජයන්ත හා ප්‍රවාහන මහාමාර්ග, ඇමතිවරයා වූ ප්‍රසන්න රණතුංගගේ මැදිහත්වීමෙන් මෙම පාලමේ ඉදිකිරීම් කෙටි කාලයක් ඇතුළතදී නිම කරන්නට ඉඩ ප්‍රස්තාව ලැබිණි.

ඒ අනුව කඩිනම් ව්‍යාපෘතියක් ලෙස අවසන් කෙරුණු ජපන් මිත්‍රත්ව පාලම 1996 අගෝස්තු මස 31 වැනි දින එවකට අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබූයේ අනාගත පරම්පරාව වෙනුවෙනි. මේ පාලම නිසා දොරණාගොඩ වතුමුල්ල ඇතුළු ගම්මාන ගණනාවක ජනතාවට ගම්පහ නගරයට අවශ්‍යතා සඳහා කෙටි දුරකින් ගමන් කිරීමේ පහසුව උදාවූයේය.

අගමැතිනිය අතින් පාලම විවෘත කළ අවස්ථාව සිහිපත් කිරීමටත් මඟ දෙපස අලංකරණය හා ඉවුරු ආරක්ෂාව සැලසීම වෙනුවෙනුත් පැළ ගණනාවක් රෝපනය කරන්නට කටයුතු කෙරුණි.

මෙහිදී විශේෂත්වය වුයේ බෙන්ජමින් නැමති ඉන්දියන් නුග විශේෂයක පැළ පහක් මේ අවට රෝපණය කිරීමය. එම පැළ රෝපනය කරනු ලැබුයේ මැතිනිය විසින්මය. මෙසේ රෝපනය කරන ලද නුග පැළ පහෙන් තුනක් පසුකාලීනව මැරී ගියේ ස්වභාවිකවමය. ඉතිරි පැල දෙක රූස්ස ගස් ලෙස වැඩෙමින් පැවතියේ පෙදෙසටම මහත් අලංකාරයක් ගෙන දෙමිනි.

ඉතිරි වු නුග පැළ දෙක පිහිටියේ ජපන් මිත්‍රත්ව පාලම සමීපයේමය. එය පාලමේ ආරක්ෂාවටත් මහත් පිටිවහලක් විය. වෙළෙදාමේ යන වාහන නවතා මේ ස්ථානයේ ගිමන් හරිනු අසල්වාසීන්ට නිතර දකින්නට ලැබිණි. පාලම ආසන්නයේම නුග පැළ දෙකට පහළින් වූ කුඹුරු හිමියා ගෙන් ආරක්ෂාවක් ලැබුනේදැයි කිසිවෙක් දැන සිටියේ නැත.

වරින් වර කිසිවෙකු මෙම නුග ගස් දෙකේ මුල්වලට ගිනි තබා විනාශ කරන්නට උත්සාහ ගෙන ඇති බව ප්‍රදේශවාසීහූ දුටහ. එහෙත් එසේ කළේ කවුදැයි මුලදී දැන සිටියේ නැත. නුග ගස්මුල පැතිර යන ගිනි ගොඩවල් නිමන්නට අසල පදිංචි රණවිරුවන් මහත් උත්සාහයක් ගනු ලැබීය. ඒ ඔවුන් පරිසරයට ගහ කොළට ඇල්මක් දැක්වූ නිසාවෙනි.

පෙබරවාරියේ අවසන් සතියේ දිනක එක් නුග ගසක් ගස මුලට ප්ලාස්ටික් බෝතල් දමා ගිනි දල්වා තිබූ බව දුටු ආසන්නයේ පදිංචි කරුවන් එම ගින්න නිවා දමා දමන්නට පියවර ගනු ලැබීය. එසේ තිබියදී පෙබරවාරි මස 27 රාත්‍රියේ යළිත් නුග ගස් දෙකේම මුල් ගිනි තබා තිබිණි.

28 වැනිදාට එළි වෙද්දී ගස කඩා වැටුණේ පාරේ ගමන අවහිර වන පරිදිය.

මඟ දෙපස දර්ශනීයත්වය සඳහාත් මාර්ගයේ ආරක්ෂාව සඳහාත් සිටුවා තිබූ මෙම ගස විනාශ කිරීමට විරෝධය පළ කරමින් අසල්වැසි ජනතාව පාර හරහා වැටී තිබූ ගස ඉවත් කිරීමෙන් වැළකී සිටියේය. යාබද කුඹුරු හිමියා සේවකයන් සමඟ පැමිණ ගස් කපා ඉවත් කිරීමට ගත් උත්සාහයටද ජනතාව විරෝධය පළ කළහ.

 

පාලම අසල නුග ගස තිබූ අන්දම හා අද පෙනෙන අන්දම

සිද්ධිය සැලවීමෙන් මාධ්‍ය හා පොලිසිය පැමිණිමත් නිසා කුඹුරු හිමියා ට කරකියා ගත හැකි දෙයක් නොවීය. මාර්ග අවහිරය නිසා ඒ ආසන්නයේ පදිංචිව සිටින ආබාධිත රණවිරුවන් ඇතුළු ජනතාව ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ගමනාගමන පහසුකම් සලසා ගැනීමේ ගැටලුවකටද මුහුණ පෑහ. වටිනා සිහිවටනයක් සඳහා අගමැතිනිය අතින් ඉන්දවා තිබූ නුග ගස ගිනි තබා විනාශ කර මෙසේ පාරිසරික විනාශයක් සිදුකළ පුද්ගලයන් සොයා බලා නීතිමය පියවර ගත යුතු බව ජනතාව දැඩිසේ අවධාරණය කළහ.

ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ. ඇතුළු නිලධාරීන් සිදුකළ මූලික පරීක්ෂණයේ දී හෙළි වූ තොරතුරු මත මෙම ගස ගිනි තබා බිම හෙළා ඇතැයි කියන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගනු ලැබීය. සැකකරු සඳහන් කළේ තමන් කුඹුරට ගිනි තැබීමේදී ගින්න පැතිර ගොස් ඇති බවයි. එම ප්‍රකාශය පිළිගන්නට අසල්වාසීහු සූදානම් නොවූහ.

 

ගින්න නිවාදැමීමට උත්සාහ කරන ගැමියන්...

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මාර්තු 1 වැනිදා නියෝග කළේය.

ගිනි තබා විනාශ කරනු ලැබූ නුග ගස පිහිටියේ අධිවේගී මාර්ගයේ සීමාවේ පිහිටි කෘෘඩියා සෙලනිකා ගස පිහිටි ස්ථානයට මීටර් තුන් හාර සියයක් තරම් ආසන්නයේ වීමද විශේෂත්වයකි.

ගම්පහ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂක සේනාරත්න සහ පොලිස් කොස්තාපල් 81859 සුරංග විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර වැඩිදුර විභාගය මැයි මස තුන්වෙනි දාට නියම කෙරිණි.

 

Comments