පොඩි ­නි­ල­මෙ­ලාට ජීවි­තය දුන් ඉත්තෑවෝ | Page 2 | සිළුමිණ

පොඩි ­නි­ල­මෙ­ලාට ජීවි­තය දුන් ඉත්තෑවෝ

 

 

ඔහු කලක් කෑගල්ල නගරයේ පදික වේදිකාවේ මනිබඩු වෙළෙන්දෙකි. නගරයේ සංවර්ධනයත් සමඟ මහාමාර්ගය පුළුල් කිරීමේදී ඔහුට එම රැකියාවට තිත තබන්නට සිදු විය. ඉන් අනතුරුව ඔහු නගරයේ පොත් වෙළෙඳසැලකින් ණයට පොත් ලබාගෙන බස්රථවල අලෙවි කළේය. ගැඹුරු එහෙත් පැහැදිලි ඔහුගේ හඬ ඔහුට ඊට මහත් සහයක් ගෙන දුන්නේය. ජන කවි හා බෝධි පූජා කවි ඔහු බස් රථවල උස් හඬින් ගායනා කරමින් කවි පොත් අලෙවි කළේය. දිනකට පොත් සියයක් පමණ අලෙවි කළ ඔහු එමඟින් රුපියල් දෙදහසක පමණ දෛනික මුදලක් උපයා ගත්තේය.

එහෙත් දෛවය ඔහුට එම රැකියාවද වැඩිකාලයක් කරගෙන යාමට ඉඩ නොදුන්නේය. ඔහුගේ එක් අතක් සමඟ ශරීරයේ පැත්තක් පණ නැතිවීමෙන් ඔහු මහත් අසීරුතාවයට පත් වූයේය. තනිවම බස්රථවල ගමන් කිරීමට අසීරුවූ ඔහුගේ සහයට බිරිය ද එක්වූවාය. අනතුරුව දෙදෙනාම බස්රථවල ජන කවි, බෝධි පූජා කවි කියමින් කවි පොත් අලෙවි කළහ. එහෙත් තම රෝගී තත්ත්වය වඩවඩාත් උත්සන්න වීමත් සමඟ බස් රථවල එල්ලී පොත් වෙළදාමේ යෙදීමෙන්ද සමුගැනීමට ඔහු තීරණය කළේය.

ඒ සුළු රැකියාවද අහිමි වූ ඔහු අගහිඟකමේ පතුළටම වැටු‍ණේය. කළ හැකි අන් කිසිවක් නොවූයෙන් සැහැල්ලු කුලී වැඩෙහි යෙදීමට හෙතෙම තීරණය කළේය. ඒ හැර බිරිඳත් දරුවන් සිවුදෙනාත් සමඟ ජීවන අරගලයට මුහුණදීමට වෙනත් මඟක් ඔහුට ඉතිරිව නොතිබුණි.

ඔහුගේ මිතුරෙක් ලබාදුන් පණිවුඩය ඔවුන්ගේ ජීවන ගමන්මඟ සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු කළේය. එම තොරතුර ඔස්සේ ඔහු අරනායක උස්සාපිටිය ප්‍රදේශයේ නිවසකින් ඉත්තෑවන් දෙදෙනකු මිලට ගෙන ආවේ මීට වසර විස්සකට පමණ පෙරදීය.

කෑගල්ල, පුවක්දෙනිය පදිංචි කේ. ජී. පොඩිනිලමේ ඉත්තෑවන් මහමඟ ප්‍රදර්ශනය කරමින් මුදල් ඉපයීමට පෙළඹුණේ එලෙසිනි. ඉත්තෑවන් ප්‍රදර්ශනය කිරීම තම දෛනික ආදායම කරගත් ඔවුන්ගේ වගතුග සොයා පසුගිය දිනක අපි ඒ නිවසට ගොඩ වැදුනෙමු.

“හරි හමන් රස්සාවක් නැතිව මම ඉන්න අතරේ මගේ යාලුවෙක් කීවා උස්සාපිටියේ ගෙදරක ඉත්තෑවන් ජෝඩුවක් විකුණන්න ඉන්නවා කියලා. ඒකාලේ වැඩි මුදලක් වුණේ නැති හින්දා මම ගිහින් ඉත්තෑවෝ අරගෙන ආවා. කෑගල්ලේ පේමන්ට් එකේ වෙළදාම් කරන්න මනිබඩු ගේන්න කොළඔ යන එනකොට යට්ටෝගොඩ අම්බලම ළඟ පාර අයිනේ ඉත්තෑවන් දෙදෙනෙක් වාහනවලට පෙන්නලා සල්ලි ගන්නකෙනෙක් දැකලා පුරුද්දක් මට තිබුණා. මේ මතකය තිබුණ නිසා පින්නවල සංචාරක කලාපයට අලි බලන්න යන අයට ඉත්තෑවන් පෙන්නලා කීයක් හරි හොයාගන්න පුළුවන් කියලයි මටත් එකපාරටම හිතුණේ. එහෙම හිතුනේ අපේ ගෙවල් පින්නවලට කිට්ටුව තිබෙන නිසා.

මගේ බිරිඳ එච්. පී. චන්ද්‍රකාන්ති. අප විවාහ වෙලා පදිංචි වුණේ පුවක්දෙනියේ වලව්වත්තේ මේ වෙන්දේසි ඉඩමේ ඉහළ කොටසක්. බ්ලොක් ගල් ටිකකින් වටකරගත්ත කුඩා ගේ කෑල්ලකි අපට තිබුණේ. මේ ඉඩමේ ගල් තට්ටුවක් උඩ වගේ තමයි ගේ හදලා තියෙන්නෙත්. මම ඒ ගල් ලෑල්ල පැත්තකින් ගෙටම අල්ලලා කූඩුවක් හදලා ඉත්තෑවන් ඇති කරන්න ගත්තා. හැමදාම උදේට ඒ ඉත්තෑවන් අරගෙන පාර අයිනට ගියාම සංචාරකයන්ගෙන් සෑහෙන මුදලක් හොයාගන්න පුළුවන් වුණා.“

“සංචාරකයන් සම්බන්ධව අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති නේද? ඇසූ විට ඔහු ඒ ගැන කීවේ මෙසේය.

 

විදේශීය යුවතියක් ඉත්තෑවන් නරඹමින්

“සංචාරකයන් අපි ළඟ වාහන නවත්තලා ඉත්තෑවන් සමඟ ඒ අය පොටෝ ගත්තා. ඉත්තෑවන්ට කෑම දීලා අපිටත් මුදල් දුන්නා. හැබැයි කවදාවත්ම අපි මෙච්චර මුදලක් දෙන්න කියලා ඉල්ලුවේ නැහැ. මේ සත්තු අපිට වටිනාකමක් තිබුණාට සංචාරකයන්ට ගණන් කියන්න බැහැ. සමහරු රුපියල් විස්ස, පනහ, සීය දීලා යනවා. පිටරට අය ආවත් එහෙමයි. හැබැයි පිටරට අය එන ලොකු බස් නවත්වන්නේ ඉතාම අඩුවෙන්. වෑන්වලින්, කාර්වලින් එන සුද්දෝ තමයි අපි ළග නැවතිලා ඉත්තෑවන් බලන්නේ. බස්වල එන ගයිඩ් මහත්තුරු වතුවලට, කඩවල්වලට ගියාට අපි ළඟ වාහන නවත්වන්න දෙන්නේ නැහැ. ඒ අයට වාසි ඒ තැන්වලට ගියාමයි.

එක දවසක් සුද්දෙක් ඩොලර් සීයක් දෙන්නම් කියලා මගෙන් ඉත්තෑව‍ෙක් ඉල්ලුවා. මම ඇයි කියලා ඇහුවාම ඒ අයගේ රටට ගෙනියන්න කීවා. මම කීවා සත්තු එහෙම මේ රටින් පිටරටට ගෙනියන්න දෙන්නේ නැහැ නේද කියලා. එතකොට ඒ සුද්දා කීවා ඒ රටට ගෙනියන්න නෙවෙයි මරලා මස් කරන්නයි ගන්නේ කියලා. කෝටියක් දුන්නත් ඉත්තෑවා දෙන්නේ නැහැ. පොටෝ ගන්නෙත් නැතිව යන්න කියලා මම සැර දැම්මා. ඒ සුද්දා මට රුපියල් දාහේ කොලයක් දීලා වෙරි ගුඩ්! වෙරි ගුඩ් !! කියලා යන්න ගියා.

හැබැයි මටයි මගේ දරුවන්ටයි ලැබෙන්න තිබුණු ලොකුම වාසනාවක් සුනාමියට අහු වුණා. යුරෝපයෙන් ආව සුදු මහත්තයෙක් ඉත්තෑවන් බලන්න ඇවිත් අපේ ගෙදරටත් ආවා. එයා අපේ ගේ වැඩ ඉවර නැති බව දැකලා ගේ හදලා දෙන්නත් පොරොන්දු වුණා. එයාට මගේ දුවෙකුයි පුතෙකුයි හදාගන්න දෙනවා නම් ඒ රටට ගෙනියන්නත්, එයාලට හොඳට උගන්වන්නත් කැමැති වුණා. අපිත් ඒකට කැමැති වුණා. ඒ සුදු මහත්තයා මගේ දරුවන් ළඟින් තියාගෙන ඉත්තෑවෙකුත් වඩාගෙන ගත්ත පොටෝ එකක් රාමු කරලා අදටත් අපි ළඟ තියෙනවා. ඒත් සුනාමියෙන් පස්සේ ඒ සුදු මහත්තයා ගැනවත්, එයාගේ නෝනා ගැනවත්, පවුලේ අය ගැනවත් කිසිම තොරතුරක් නෑ.“කියමින් පොඩි නිලමේ ළය සැහැල්ලු කරගන්නා අන්දමින් දිගු සුසුමක් හෙළුවේය.

“මෙහෙම කාලයක් යනවිට අපි ගැන ඉත්තෑවන්ගේ පිංතූරත් එක්ක පත්තරවල පළ වුණා. රූපවාහිනී වැඩසටහනකත් පෙන්වූවා. ඒක දැකලා වනජීවී එකේ මහත්තුරු කණ්ඩායමක් ඇවිත් සත්ව හිංසා වැළැක්වීමට කියලා අපි ළඟ හිටි ඉත්තෑවන් අටක් නවයක් අරගෙන ගියා. අපේ ජීවිත ආයෙමත් කඩාගෙන වැටුණා. මේ අතරෙම 1998 මැයි මාසයේදී මගේ ඇස් පෙනීමත් ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගත්තා.“

පොඩි නිලමේ නැවතත් ආර්ථික වශයෙන් පහළම අඩියට වැටුණේ නොසිතූ අයුරිනි. එක්වරම මෙතෙක් අප හා කතා කළ ඔහුගේ ගැඹුරු හඬ ශෝකාකූල විය. එහෙත් ඒ තුළ අධිෂ්ඨානයේ ලකුණු ද දක්නට තිබිණි.

“මට වෙනත් රස්සාවක් කරන්න බැරි නිසා මම නැවතත් ඉත්තෑවන් දෙතුන් දෙනෙක් ලබාගන්න සිතුවා. මේ වෙනකොට කෑගල්ල නගරය කිට්ටුව පේරකැළේ ගමේ කෙනෙක් ළග ඉත්තෑවන් දෙදෙනෙක් අල්ලා ගෙන සිටින බව මට ආරංචි වුණා. මේ සත්තු දෙන්නා පොඩි නිසා මරන්නත් බැහැ. කන්න දීලා ලොකු වෙනකල් ඇති කරන්නයි ඒ අය බලාගෙන හිටියේ. මම ගිහිල්ලා ඉත්තෑවෝ දෙන්නා මට ඉල්ලුවා. මම කීප දෙනෙක්ගෙන්ම අතමාරුවට සල්ලි ඉල්ලා ගෙන රුපියල් පන්දාහක් දීලා ඒ සත්තු දෙන්නා බේරාගෙන ගෙදර අරගෙන ආවා.“

 

පොඩිනිලමේ

පොඩි නිලමේ තම බිරිඳත් සමඟ මාර්ගය අසලට ගියේ අලුතින් ගෙන ආ ඉත්තෑවන් දෙදෙනාද සමඟින්ය. සමහර දිනවල රුපියල් දෙදාහක්, තුන්දහසක් ලැබුණු අතර. දිනෙන් දින ඔහුට හොඳ ආදායමක් ලැබුණේය. ඒ සමඟම වනජීවී නිලධාරින් ඔහුගේ නිවසට නැවතත් පැමිණියේ ඉත්තෑවන් ඇති කරන බවට යළි සැලවීමෙනි.

“දවසට පැය දෙක තුනක් ඉත්තෑවන් පාරේ තියාගෙන මුදලක් හොයා ගන්නා බවත්, අපේ පවුලම ජීවත් වෙන්නේ මේ ලැබෙන මුදලකින් බවත් මම ඒ මහත්තුරුන්ට කීවා. ඒ මහත්තයත් මේ ඉත්තෑවන්ට හිරිහැරයක් සිදු නොවන බව දුරකතනයෙන් කොළඹට දන්වලා යන්න ගියා. ඊට පස්සේ නම් කරදරයක් වුණේ නැහැ.“

“මේ ඉත්තෑවන්ට නම් තියලා තියෙනවාද? මෙයාලා කන කෑම ජාති මොනවාද? “මම ඇසිමි.

“අපි ළඟ ඉත්තෑවන් පස් දෙනෙක් බෝවෙලා ඉන්නවා.මේ සත්තු එකිනෙකා හඳුනාගන්න පහසු වෙන්නත්,ඒ අයට අඬගහන්නත් නම් තියලා තියෙනවා.‘‘කිරී, චූටි, ටිංකි‘‘ වගේ නම්. ඒවා සුද්දන්ට වුණත් කියන්න පුළුවන්. හැබැයි එක සතෙක්ට නම තියලා තියෙන්නේ මගේ පුතාට ගෙදරට ආදරේට කියන ‘‘උක්කුං මහත්තයා‘‘ කියලයි.

‘‘මේ ඉත්තෑවන් බතල,දේසාල වගේ අල වර්ගත්, කංකුන්, කිරි හැන්ද, මුකුණුවැන්න වගේ පලා වර්ගත් කනවා. කොස් වගේම බත් කන්නත් කැමැතියි. ඒ සේරටම වැඩිය මුං ඇට කිරිබත් කන්න මෙයාලා හරිම ආසයි. සතියකට සැරයක් මුං ඇට කිරිබතක් කූරු ගාලා කන්න දෙනවා. පොඩිනිලමේ ඉත්තෑවන් ගැන පවසන්නේ සතුටිනි.

කොහොම වුණත් පොඩිනිලමේලාගේ රස්සාවට අතුල් පහරක් වැදුණේ පාස්කු ප්‍රහාරයයි. ඒ ප්‍රහාරයත් සමඟ අපේ රටට සංචාරකයන්ගේ පැමිණිම නතර වීමත් සමඟ ඔවුන්ට බොහෝ ආර්ථික ගැටළු වලට මුහුණ පාන්නට සිදුවිය.

“අපේ රස්සාවට කන කොකා හැඬුවේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. සංචාරකයන් එන එක එකපාරටම නැති වුණා. ඒක අමතකව යමින් ක්‍රමයෙන් සංචාරකයන් මේ රටට එන්න පටන් ගත්තා විතරයි පසුගිය අවුරුද්දේ ඉඳලා කොරෝනා වසංගතය බලපාන්න වුණේ. දැන් හරියටම අවුරුද්දක් වුණා පිටරටවල අය තියා ලංකාවේ අයත් නැහැ. මගේ පවුල ගොඩගන්න උදව් කළ මේ ඉත්තෑවන් මම මැරෙනකල් පුළුවන් විදිහට බලාගන්නවා.‘ඔහු දුක්බර හඬින් පවසන්නේ ය.

 

Comments