
දින ගණනාවක් අතුරුදන්ව සිටි සසංක සඳරුවන්ගේ ඝාතනයේ සුල-මුල හොරණ පොලිසිය සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් පසු අනාවරණය වූයේ තවත් අහස-පොළොව නුහුලන අපරාධයක ශෝචනීය කතාන්දරයක් කරළියට එමිනි.
අපරාධයක් සිදුකොට කිසිදා වසන් වී සිටිය නොහැකි බව පසුගිය කාලයේ පොලිසිය සිදුකළ බොහෝ විමර්ශනවලින් පසක් වූයේය. ඒ අනුව මෙකී විමර්ශනයද ඒ බව නැවත නැවතත් පසක් කරන්නෙ කිසියම් අපරාධයක් සිදු කිරීමට තැත් කරන්නන්ට මනා පාඩමක් උගන්වමිනි.
තිස්එක් හැවිරිදි තල්පෙ ලියනගේ සසංක සඳරුවන් අංගොඩ, කොහිලවත්තෙ පදිංචිකරුවෙකි. කලක් යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සේවය කළ ඔහු පොදු සමාව යටතේ ඉන් ඉවත්ව සිටියේය.
පසුගිය කාලයේ ත්‍රිරෝද රැකියාවේ සහ බ්‍රෝකර් රැකියාවන්හි නිරතව සිටි සසංක විවාහකයෙකි. ඔහු කොමාන්ඩෝ බළකායෙන් ඉවත් වුවත් එහි සේවයෙහි නියුතු ඇතැම් මිතුරන් සමඟ ළඟ ඇසුරක් පවත්වාගෙන ගියේය. එසේම සසංක අංගොඩ සහ ඒ අවට ඇතැම් පාතාල සාමාජිකයන්ද දැනහඳුනාගෙන සිටි බවකි. එම පිරිස් අතර ඔහු ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කාද හොඳින් දන්නා හඳුනන බවට කොමාන්ඩෝ මිතුරන්ටද පැවැසීය.
එසේ කල් ගෙවමින් සිටි සසංක එක්වරම පසුගිය ජනවාරි 31 වැනිදා සිට ආගිය අතක් නොවීය. ඒ පිළිබඳව සසංකගේ බිරිය ඉකුත් දිනෙක වැල්ලම්පිටිය පොලිසියටද පැමිණිලි කළාය.
"සර්... ජනවාරි 31 වැනිදා හවස ඉඳන් මගේ මහත්තයා සසංක ආගිය අතක් නෑ... එයාට හවස් යාමේ කෝල් කීපයක්ම ආවා... ඊට පස්සෙ අමතර හෙල්මටයකුත් අරන් බයික් එකෙන් ගියා... ඒ ගියා ගියාමයි... තවමත් නැහැ..."
සසංකගේ අතුරුදන් වීම පිළිබඳව වැල්ලම්පිටිය පොලිසිය විමර්ශනයක් සිදුකළත් එය එතරම් සාර්ථක නොවූයේය.
දින ගණනාවක් ගෙවිණි. ඉකුත් පෙබරවාරි 11 වැනිදා හොරණ පොලිසියට ඇමැතුමක් ලැබුණේය.
"සර්... මම මාළු අල්ලන රස්සාව කරන්නෙ... අද පාන්දර මාවක් ඔයේ මාළු බාන්න ගියා... ඔයේ ඇටකටු පේන මළසිරුරක් තියෙනවා... මෝටර් බයික් එකක ගැටගහලා තමයි තියෙන්නෙ..."
ලැබුණු ඇමැතුම පිළිබඳව හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර විසින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින් දැනුවත්කොට අදාළ ස්ථානය බලා ගියේය.
එහිදී දක්නට වූයේ අංක තහඩුද නොමැති යතුරුපැදියක ලණු කැබැලිවලින් ගැටගසා මිනිස් සිරුරක් ඇති බවයි. ඒ වන විට එම සිරුර හඳුනා ගැනීමට නොහැකි වන ලෙස දියවී ඇටකටුද මතුවී තිබෙන ආකාරයක්ද දිස්විණි.
සැණින් පොලිස් නිලධාරින්ට වැටහී ගියේ එම සිරුර යතුරුපැදියේ ගැටගසා මාවක් ඔයේ ගිල්වා ඇති ආකාරයකි. දැඩි නියඟය හෙයින් මාවක් ඔයේ ජලය අඩුවීමෙන් යතුරුපැදිය සහ සිරුර ගොඩබිමට පෙනේනට විය.
පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ සහ හොරණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩිගේ උපදෙස් මත හොරණ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් මෙකී අබිරහස් මළසිරුර පිළිබඳව පුළුල් විමර්ශනයක් ඇරැඹිණි.
එහිදී පොලිසිය බොහෝ ප්‍රහේලිකාවන්ට මුහුණ දුන්නෙ යතුරුපැදියේ අංක තහඩුද නොවූ හෙයිනි. ඒ අතර මළසිරුර පිළිබඳව සියලු පොලිස් ස්ථානද දැනුවත් කළේය. අනතුරුව යතුරුපැදි චැසි අංකය සහ එන්ජින් අංකය ඔස්සෙ සිදුකළ විමර්ශනයේදී යතුරුපැදියේ ලියාපදිංචි පුද්ගලයා ගණේමුල්ලෙ අයෙකු බව විමර්ශන නිලධාරිහු හඳුනා ගත්හ.
එහෙත් ඔහුගෙන් විමසීමේදී හෙළි වූයේ යතුරුපැදිය ඔහු කලෙකට පෙර විකුණා ඇති බවත් 'ඕපන් පේපර්' ඔස්සෙ යතුරුපැදිය මේ වන විට පස්දෙනෙකුගේ හිමිකාරිත්වයට පත්ව ඇති බවයි.
පසුව යතුරුපැදියේ රක්ෂණ සහතික ඔස්සෙ සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී පොලිස් නිලධාරින් විසින් එක්තරා දුරකථන අංකයක් අනාවරණය කරගත්තේය.
එම දුරකථන අංකය පිළිබඳව සොයා බැලීමේදී එය ඉකුත් ජනවාරි 31 වැනිදායින් පසුව ක්‍රියාත්මක වී නොමැති බවත් අංගොඩ, කොහිලවත්තෙ අයෙකුගේ බවත් හෙළි විය. ඒත් සමඟ හොරණ පොලිස් නිලධාරින් එම නිවෙස කරා ගියේය. නිවෙසේ වූයේ කාන්තාවකි.
"මේ දුරකථන අංකය කාගෙද?" පොලිස් නිලධාරිහු කාන්තාවගෙන් විමසූහ.
"මේ අංකයනම් මගේ මහත්තයාගේ... එයා කොමාන්ඩෝ එකේ හිටියේ. දැන් අයින්වෙලා ඉන්නෙ..."
"කෝ දැන් එයා..."
"අනේ සර්... මගේ මහත්තයා සසංක පසුගිය ජනවාරි 31 වැනිදා ඉඳන් ආගිය අතක් නෑ..."
අනතුරුව පොලිසිය මළසිරුර ගැටගසා තිබූ යතුරුපැදියේ ඡායාරූපයක් පෙන්වමින් කාන්තාවගෙන් වැඩිදුර තොරතුරු විමසා සිටියේය. එහිදී කාන්තාව එම යතුරුපැදිය තම සැමියා 31 වැනිදා ගිය යතුරුපැදිය බවත් එය ඔහුගේ මිතුරකුට අයත් බවද කීවාය.
කොහිලවත්තෙ වෙසෙන එම කාන්තාව හොරණ පොලිසියට ගොස් අබිරහස් ලෙස මියගොස් සිටි මළසිරුරේ වූ ඇඳුම් පැලඳුම් හඳුනාගත්තාය.
"අනේ...මේ මගේ මහත්තයා ඇඳගෙන ගිය ඇඳුම්නේ... කවුද මගේ මහත්තයට මේ අපරාධය කළේ..." ඇය හොරණ පොලිසිය දෙවනත් කරමින් හඬා වැළපෙන්නට වූවාය.
පසුගිය පෙබරවාරි 11 වැනිදා හමුවූ සිරුර පිළිබඳ එතෙක් සිදුකළ විමර්ශනයේදී එය කාගේදැයි යන්න හඳුනාගත්තත් එම අපරාධය සිදුකළේ කවුරුන්ද යන්න කිසිඳු හෝඩුවාවක් නොවීය.
විමර්ශන නිලධාරිහු දිගින් දිගටම සසංකගේ දුරකථනයට ලැබුණු ඇමැතුම් පිළිබඳ විමසිලිමත් වූහ. එහිදී සසංක අවසන් වරට දුරකථනය ක්‍රියාත්මක කළ ජනවාරි 31 වැනිදා එම දුරකථනයට ලැබුණු ඇමැතුම් පිළිබඳ පොලිස් නිලධාරින් දැඩි අවධානයක් යොමු කළේය.
ඒ අනුව එදින සසංකගේ දුරකථනයට බොහෝ ඇමැතුම් ලැබුණු අංකයක් පිළිබඳව පොලිස් නිලධාරින්ගේ අවධානයට ලක්විණි. එම අංකයේ හිමිකරුවා කවුරුන්ද යන්න පොලිසිය අනාවරණය කරගත්තේය. ඔහු ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ සේවයෙහි නියුතු 32 හැවිරිදි ලක්මාල් නමැති කෝප්‍රල්වරයෙකි. ඔහු හොරණ, මීවනපලානෙ පුද්ගලයෙකි.
ලක්මාල් ඒ වන විට රාජකාරි සේවයෙහි යෙදී සිටියේය. ඔහු කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර විමර්ශන නිලධාරින් විසින් ලක්මාල්ගේ බිරිය හොරණ පොලිසියට කැඳවා ප්‍රශ්න කරන්නට වූහ.
එහිදී ඇයගෙන් බොහෝ කරුණු අනාවරණය වූයේ සසංකගේ අබිරහස් ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය අතිසාර්ථකත්වයට පත්වෙමිනි.
ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරෙද්දී සිය සැමියා ලක්මාල් සමඟ රාජකාරි කළ සසංක ඇයද හොඳින් දැනහැඳිනගෙන සිටි බව හෙළි වූවාය.
"සසංක අයියා අපේ ගෙදර බොහෝ අවස්ථාවල ආවා... ගියා..."
එසේම ඇය වැඩිදුරටත් කියා තිබුණේ සසංක නිතර නිතර දුරකථන ඇමැතුම්, කෙටි පණිවිඩ එවමින් තමනට අයුතු බලපෑම්ද කළ බවයි. එම අයුතු බලපෑම් ගැන ඇය ලක්මාල්ට කියා තිබුණාය.
ඉන් ලක්මාල් මාරාවේශ විය. දිනක් ලක්මාල්, සසංකට බැණ වැදී ඇත්තෙ "කැත වැඩ කරන්න එපා යකෝ..." කියමිනි.
ඉන් ගජමිතුරන් වූ දෙදෙනා අතර වරින්වර නොහොඳ නෝක්කාඩු ඇතිවිණි. ඒත් සමඟ ලක්මාල් කිසියම් හෝ මොහොතක සසංකගෙන් තම බිරියට සහ තමනට යම් අකරතැබ්බයක් වේයැයි බියෙන් පසු වූයේය.
එය වඩාත් තීව්‍ර වූයේ සසංකට අංගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජිකයන් සමඟද සබඳතා තිබූ බව සසංක වරින්වර ප්‍රකාශකර තිබූ හෙයිනි.
එම නිසා ලක්මාල්, ඔහුගේ තවත් යහළුවෙක් වූ යුද හමුදා මූලික පුහුණුවෙන් පසු ඉවත්ව සිටි ගණේමුල්ලේම කරණවෑමි රැකියාවක නිරත වන 26 හැවිරිදි සුරේෂ් සමඟ එක්ව සසංකට 'ගේමක්' දීමට සැලැසුම් කළේය.
ඒ අනුව ඉකුත් ජනවාරි 31 වැනිදා උදා විණි. එදින ලක්මාල් විසින් සූක්ෂ්ම ලෙස සසංකට දුරකථන ඇමැතුමක් දී ඔහුව කඩුවෙලට ගෙන්වාගෙන ගත්තේය. ඒ තමන් කිසියම් කරදරයකට පත්ව කඩුවෙල සිටින බවත් හැකිනම් තමන් මීවනපලාන නිවෙසට ඇරලවන ලෙසත් සඳහන් කරමිනි. ලක්මාල්ගේ නිවෙසට යෑමට දැඩි ආශාවෙන් සිටි සසංකද ඊට එක පයින් කැමැති වූයේය.
අනතුරුව දෙදෙනා යතුරුපැදියේ යන අතර බියර් පාටියකටද 'සෙට්' වෙමින් බියර් කෑන් කීපයක්ද ගෙන තිබිණි. ඒ අතරේ ලක්මාල්ගේ මිතුරා සුරේෂ්ද වෙනත් යතුරුපැදියකින් සසංකට හොර රහසේ ඔවුනගේ යතුරුපැදිය පසුපස පැමිණියේය. හොරණ මාවක් ඔයේ පුහුවල, කැලෑ බේකරිය ප්‍රදේශයට ගොස් බියර් පානය කරමින් සිටි ලක්මාල් සහ සසංක අතර බහින්බස් වීමක් වී ඇත්තෙ සසංක, ලක්මාල්ගේ බිරියට සිදුකරන අයුතු බලපෑම් නිසාවෙනි.
එහිදී ලක්මාල් විසින් පොලු පහර දී මරා දැමුණු සසංකගේ මළසිරුර ලණු කැරැලි කිහිපයක්ද රැගෙන ආ සුරේෂ්ද කැටුව යතුරුපැදියේම ගැටගසා මාවක් ඔයේ ගිල්වා දැමිණි. එසේ ගිල්වීමට පෙර යතුරුපැදියේ අංක තහඩුද දෙදෙනා ගලවා ගැනිණි. ඉකුත් හයවැනිදා ලක්මාල් ගණේමුල්ල කඳවුරෙන් නිවාඩුගෙන පැමිණෙන බව හොරණ පොලිසියට ලද තොරතුරක් මත ඔහු ගණේමුල්ල කඳවුරට ආසන්න ස්ථානයකදී අත්අඩංගුවට ගත්තේය. ඔහුගේ පාපෝච්චාරණ මත සුරේෂ්ද ගණේමුල්ල ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගැනිණි.
සුරේෂ් සහ ලක්මාල් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට හොරණ පොලිසියට අධිකරණයෙන් අවසර ලැබිණි. දෙදෙනාගෙන් හෙළිවූ තොරතුරු මත සසංකගේ මළසිරුර ගිල්වා දැමුණු මාවක් ඔයේ එම ස්ථානයේ කිමිඳුණු පොලිස් නිලධාරින් සසංකගේ ගමන් බෑගය, කැප් තොප්පිය සහ පාවහන් යුගලෙන් එකක්ද සොයා ගැනිණි.
අබිරහසක් ලෙස වැළලී යාමට වූ සසංකගේ ඝාතනයේ සුල-මුල බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය මත කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ධම්මිකගේ උපදෙස් මත පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ සහ හොරණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩිගේ මෙහෙයවීමෙන් හොරණ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති තිස්ස කුමාර ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති අබේසිරි ඇතුළු සැරයන්වරුන් වන සුබසිංහ (60604) ලලිත් (35477) කොස්තාපල් ක්‍රිෂාන්ත (88923) අධිකරණ කටයුතු බාර උපපොලිස් පරීක්ෂක රංජිත් ගමගේ සහ කොස්තාපල් ගීකියනගේ යන නිලධාරිහු සිදු කළහ.