එන්නතෙන් මර්දනය වූ කොරෝනා | Page 2 | සිළුමිණ

එන්නතෙන් මර්දනය වූ කොරෝනා

කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා යුහුසුලුව කටයුතු කරන කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෙද්‍ය කාර්යාලයේ හෙද කාර්ය මණ්ඩලය

- ඉන්දියාවෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම
- කොවිඩ් මර්දන එන්නත ලැබූ සංඛ්‍යාව ලක්ෂ හත හමාර ඉක්මවයි
- ගතවූ දෙසතිය තුළ නව ආසාදිතයන්ගේ විශාල අඩුවීමක්

ලෝකයටම මහා හිසරදයක් බවට පත්ව ඇති ගෝලීය වසංගතය සමඟ ශ්‍රී ලාංකිකයන්ද ජීවත් වීමට පටන් ගෙන දැන් වසරක් ගත වී ඇත. මුල් කාලයේ ජනතාව තුළ වූ වංසගතය පිළිබඳ භීතිය දැන් කෙමෙන් තුරන් වෙමින් තිබේ. කොයිඩ් මර්දන එන්නත ලබාගැනීමට ජනතාව තුළ ඇති උනන්දුව නිහඬවම ප්‍රකාශ කරන්නේ වසංගතයෙන් ඈත්වී සිටීමට ජනතාව තුළ ඇති කැමැත්තයි.

කොවිඩ් වැළැක්වීම සඳහා රජය සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමඟ ගෙන යන වැඩපිළිවෙළ තුළ සාර්ථකත්වයක් පෙන්නුම් කරන සාධකයක් ලෙස ඉකුත් පෙබරවාරි 9 වැනිදා ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන පෙන්වා දිය හැකිය. මේ වන විට කොවිඩ් මරණ එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව ලක්ෂ හත හමාර ඉක්මවා ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම මෙරටට ලැබීමට නියමිතය.

මේ වන විට පසුගිය සති දෙකක කාලය තුළ මෙරටින් දෛනිකව වාර්තා වන නව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ විශාල අඩුවීමක් දැකිය හැකි අතර ඉකුත් 1 වැනිදා සිට දෛනිකව වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා ඉහළ නොයෑම සුබවාදී තත්ත්වයකි. සෞඛ්‍ය අංශ දත්ත වාර්තා අනුව දෛනිකව PCR පරීක්ෂණ 7,500 -10,000 අතර සංඛ්‍යාවක් සිදු කිරීමද නව ආසාදිතයන් අඩුවීමට තවත් හේතුවකි.

කොවිඩ් සම්බන්ධයෙන් තිබූ මතභේද බොහොමයක් නිමාවට පත්වීමද රටක් ලෙස ලැබූ ජයග්‍රහණ ලෙස සැලකිය හැකිය. කාලයක් පුරා පැවති කොරෝනා ආසාදිත මරණ භූමදානය හා ආදාහනය පිළිබඳ මතභේදාත්මක තත්ත්වය අවසන් වීමත් සමඟ භූමදානයට නියමිතව රඳවා ගෙන තිබූ කොරෝනා මළ සිරුරු 24ක් ඉකුත් සති අන්තය වන විට භූමදානය කර තිබිණි.

මඩකලපුව සහ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී එම මළ සිරුරු භූමදානය සිදුකර තිබූ අතර කොරෝනා මළ සිරුරු ප්‍රවාහනය සහ භූමදානය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරනු ලබන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

වසංගත තත්ත්වය නිසා ප්‍රමාද වී පවත්වනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් දා නිමාවට පත් වූ අතර කොරෝනා ආසාදිත සිසු සිසුවියන් 62 දෙනකු ඒ සඳහා පෙනී සිටි බව අධ්‍යාපන අමාත්‍ය ⁣ජී.එල්. පීරිස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවුසවේ විභාගය ආරම්භ වන විට ආසාදිත සිසුන් 38 දෙනකු විභාගයට මුහුණ දුන්නද විභාගයේ අවසන් වන විට ආසාදිත සිසුන් සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි.

මෙවැනි තත්ත්වයක් සඳහා වූ පෙර සූදානම මත ආසාදිත සිසුන් වෙනුවෙන් දිවයින පුරා විශේෂ මධ්‍යස්ථාන 40ක් සූදානම් කර තිබීම එම තත්ත්වයට මුහුණ දෙන්නට පහසුවක් වූ බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂ පන්ති කාමරයක් සූදානම් කර තිබූ බවත් නිරෝධායනය වෙමින් සිටි සිසුන් 322 කු එම මධ්‍යස්ථාන තුළදී විභාගයට පෙනී සිටි බවත් ඇමතිවරයා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදිතවී මිය යන ගාල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භුමදානය සඳහා සුදුසු තවත් ස්ථාන හතරක් පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්ගේ සංගමයේ සභාපති අල්හාජ් මොහොමඩ් සුහුරුද්දින් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත තොරතුරු දන්වා ඇත. ගාල්ල කටුගොඩ පුංචිවත්ත පල්ලිය පිහිටි ඉඩම, හාලිවල මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම, නාවින්න මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම සහ ඔසනගොඩ මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම එම ස්ථාන හතර වේ. මෙම ස්ථාන හතරම ජල උල්පත් නැති උස් බිම්වල පිහිටා ඇති බවත් එම නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් මෙම ස්ථානවලින් එකක් හෝ දෙකක් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මොහොමඩ් සුහුරුද්දීන් සඳහන් කළේය.

මන්නාරම මාළු වෙළෙඳපොළ වෙළෙන්දන් 8 දෙනෙකු ඇතුළු 17 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමඟ එම මාළු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ගනු ලැබුවේ ඉකුත් 11 වැනිදාය. මන්නාරම මාළු වෙළෙඳ පොළේ සේවය කළ සි වෙළෙන්දෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යෑමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මන්නාරම මාළු වෙළෙඳපොළේ සිටි සියලුම පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණයන්ට යොමු කර ඇත. එහිදී මාළු වෙළෙන්ඳන් 8 දෙනකුට සහ පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 9 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම මාළු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගත්හ.

එම මාළු වෙළෙඳපොළේ වෙළෙන්දන් ඇසුරු කරන ලද පුද්ගලයන් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින අතර වෙළෙඳපොළ විෂබීජහරණය කර ආරක්ෂාව තහවුරු කර නැවත විවෘත කිරීමට පියවර ගන්නා බවද මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කළේය.

ඉකුත් 11 වැනිදා තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගියේය. නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, අඟුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයකු එලෙස මියගොස් ඇත.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන ඉකුත් 11 වැනිදා පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ නිරීක්ෂණයට ලක්විය. ඒ, නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදීය. එහිදී 1200ක පිරිසකට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන් වන ගලගම ධම්මරන්සි හිමි, වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් හා මනෝරි වික්‍රමසිංහ ඉල්ලීම පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර එන්නත් ලබාදීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙය වූහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොවිඩ් එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස්වල නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන සඳුදා වනවිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇති බවය.

Comments