ටවර් හෝල් අර්බුදේ ඇත්ත නැත්ත මෙන්න | Page 2 | සිළුමිණ

ටවර් හෝල් අර්බුදේ ඇත්ත නැත්ත මෙන්න

සර 1880 වන විට කොළඹ නගරය පුරා සින්ක් තහඩු සෙවිලි කරන ලද තාවකාලික මඩු කුඩාරම් රුසක් තැනුණේ නාට්‍ය වේදිකා ගත කිරීමේ අරමුණ සඳහාය. එකල කොළඹ වැසියන්ට විනෝදාස්වාදය සඳහා තිබුණු එකම ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යය නාට්‍ය පමණක් විය. මෙම තාවකාලික මඩු, පැවිලියන් තියටර්, පබ්ලික් හෝල්, සරස්වතී හෝල් ආදි වශයෙන් නම් කර තිබු අතර, ඒවා යොදාගනු ලැබුවේ තාවකාලික රඟහල් වශයෙනි.

ශ්‍රී ලංකාවේ ඉදිවුණු ප්‍රථම ස්ථාවර රංග ශාලාව ටවර් රඟහලයි. අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක ප්‍රේක්ෂකයන් 800 කට ඉඩ-කඩ සහිත ශාලාවක්, බැල්කනියක් ඉදි වූ අතර ප්‍රධාන ශාලාවට යාබද ඔරලෝසු කණුව සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ඔරලෝසු කුලුන නිරූපණය කිරීමටය. මෙය ටවර් රඟහල යන්නෙන් නම් කරන ලද්දේ ඒ සඳහාය. ටවර් රඟහල 1911 දෙසැම්බර් 06 දින උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ අනගාරික ධර්මපාලතුමන් අතිනි. 

ආරම්භයේ දී ටවර් රඟහල වෙන් කර තිබුනේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය සඳහාය. එහෙත් පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීම ද අරඹන ලදී. මෙම යුගය හඳුන්වා දෙන ලද්දේ ටවර්හෝල් ‍යුගය නමිනි.

වර්තමානයේ ටවර් හෝල් පදනම පාලනය වන්නේ ජාතික උරුමය, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී, ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේය.

මෙහි රාජ්‍ය ඇමැති ධූරය දරන්නේ විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමැතිවරයාය. නමුත් පසුගියදා රාජ්‍ය ඇමැතිවරයාගේ ටවර් හෝල් පදනම අධීක්ෂණය කිරිමට ගිය ගමන ගැන විවිධ මත මාධ්‍ය ඔස්සේ පළ වූයේ ඇමැතිවරයා විසින් පැවැසුවේ යැයි සඳහන් වූ විවිධ ප්‍රකාශන කිහිපයක් ද සමඟිනි.

‘ටවර් හෝල් පදනම‘ සත පහකට වැඩක් නැති තැනක්‘, විදුර වික්‍රමනායක රඟහල කාර්යාලයට කඩා වැදී යකා නටයි, හා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යන්නට සිදු වූ කරුණුද මෙහි අන්තර්ගත කරමින් ලියූ කෙනෙක් නැති ප්‍රවෘත්තියක් පළවිය. මේ පිළිබඳ ඇත්ත නැත්ත මෙන්ම ටවර් හෝල් පදනමේ ක්‍රියාකාරිත්වය මෙන්ම එය කිසිදු කමකට නැති ස්ථානයක් පමණක්ද යන්න මෙහිලා විමසා බැලෙන්නේ අදාළ නිළධාරීන් සමඟ සාකච්ඡාවකින් අනතුරුවය.

රාජ්‍ය ඇමැතිවරයා කොළඹ 7 විජේරාම පිහිටි ටවර් හෝල් කාර්යාලයට පසුගිය 5 වැනිදා පැමිණි අතර ඔහු එහිදි මෙහි කටයුතු අධික්ෂණය කර ඇත. යම් යම් කරුණු පිළිබඳව විමසීමක් කළ බවත්, එහිදි ඇමැතිවරයාට යම් යම් කරුණු සම්බන්ධයෙන් කෝප වූ බවත්, එහිදි ඇතැම් අයට බැණ වැදුණු බවත් මෙහි කිහිප දෙනෙක් පැවසූහ. නමුත් මෙහි වැඩබලන වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ජී. ඩී ජිනදාස පවසන්නේ විවිධ පිරිස් හෝ පුවත්පත් වාර්තා පෙන්වා දෙන පරිදි එවන් දෙයක් සිදුව නොමැති බවකි.

“ රාජ්‍ය ඇමැතිතුමා ටවර් රඟහල් පදනමට පසුගියදා ආවා. නමුත් එවැනි දෙයක් සිදුවුණේ නැහැ. කිසිදු අ‍ෙයකුට බැණ වැදුණෙත් නැහැ. ඒ වගේම හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාලයත් අවසන් වෙලා තිබුණේ. ඒ නිසා ඔහු ඉවත් කිරිමක් සිදුවුණේ නැහැ. මේ ගමනේදි ඇමැතිවරයා අදාළ පිරිසට උපදෙස් දීමක් පමණයි සිදු කළේ.....“ ඒ වැඩබලන වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයාය.

සමහරක් පවසන පරිදි රාජ්‍ය ඇමැතිවරයා ටවර් හෝල් රඟහල් පදනමට පැමිණ යකා නැටුවේද?, කාන්තාවන්ට බැණ වැදීමක් සිදුකළේද? කලා ක්ෂේත්‍රයේ මුදුන් මල් කඩක් බඳු මෙවැනි ස්ථානයක් වසා දැමීමට සිතුවේද? ජාතික උරුමය, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී,ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වත්මන් ලේකම් එස්.ටී කොඩිකාර පැවැසුවේ මෙවැනි අදහසකි. 

“පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා නාට්‍ය පෙන්වීමට නොහැකිව ටවර් හෝල් පදනම තාවකාලිකව වැසී ගියා මිසක් අපි මෙය වසා දැමීමට තීරණය කර නැහැ. අපි කලාකරුවන්ට රක්ෂණ ආවරණය ලබාදිම 16 වැනිදා සිදු කරනවා.

මේ වන විට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාලය අවසන්ව තිබු නිසා අපි තාවකාලිකව වෙන අධ්‍යක්ෂවරයකු පත් කළා. ඊට පසු බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය අනුව සුදුසුසකු පත් කරනවා.

ජාතික වෙසක් සතිය යාපනයේ පවත්වන්න අපි කටයුතු යොදා තියෙනවා. මීට සමගාමිව ටවර් හෝල් පදනම මඟින් ජාතික සමඟිය වෙනුවෙන් නාට්‍ය උලෙළක් පැවැත්වීමටත් කටයුතු යොදා තියෙනවා.

මේ අතර දුරස්ථ අධ්‍යාපන කටයුතුත් පවත්වා ගෙන යනවා. නමුත් මේ දේවල් සිදු වෙද්දි ඇමැතිවරයාට පෞද්ගලිකව මඩ ගහන්න පිරිසක් උත්සාහ කරනවා. ඇමැතිතුමා ඔය කියූ ආකාරයේ කිසිදු දෙයක් පවසා නැහැ. ඒ වගේම අදාළ දින ඇමැතිවරයා විනාඩි 5 ක කාලයක්වත් අදාළ සථානයේ රැඳී සිටියේ නැහැ. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මමත් නිතරම මේ ස්ථානයට ගිහින් අධීක්ෂණ කටයුතු සිදු කරනවා. මේ වන විට ටවර් රඟහල් කාර්ය මණ්ඩලයකත් සුපුරුදු පරිදි සිය කටයුතු කරගෙන යනවා. මෙවැනි දේ සිදු වන්නේ රජය අහසුතාවයකට පත් කිරීමේ අරමුණිනුයි......“ ඒ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අදහසයි.

ටවර් හෝල් රඟහල වැඩකට නැති ස්ථානයක් මෙයින් කිසිදු සේවාවක් ඉටු නොවිණිද ? හිටපු අධ්‍යක්ෂ ජනරාල් නිතීඥ ඩග්ලස් සිරිවර්ධන මෙයින් ඉටුවූ සේවාව ගැන පවසන්නේ මෙවැනි අදහසකි.

“ මම අධ්‍යක්ෂ ජනරාල් ලෙස 2005 පත්වෙලා 2015 දක්වාම සේවය කළා. අපි මේ ආයතනය නූතන අවශ්‍යතාවයන්ට ගැළපෙන ලෙස නවීකරණය කළා. ටවර් නාට්‍ය හා රංග කලා පාසලක් ආරම්භ කළා. අද මෙහි උපාධි ගත් 200 ක් ලංකාව පුරා පාස්ලවල ඉගැන්විම් කරනවා. කලාකරුවන්ට වියපත් දීමනා, සුබසාධන දීමනා ලබා දීම් මෙන්ම ආයතනයට අඩුවක්ව පැවැතුණු බඳවා ගැනීම් පවා අපි විධිමත් කළා. ඒ වගේම කයිරෝ, ස්පන්දන් වැනි ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වලට අපේ අය සහභාගි කරවූවා. ඒ වගේම නාට්‍ය කරුවන්ගේ නාමාවලියක් සකස් කළා. දමිල නාට්‍යය ගැන විවිධ වැඩමුළු පැවැත්වුවා. නමුත් වසර 9 ක් එකදිගට සේවය කළ මට කාලය හමාර වූ පසු ඉවත් වෙන්න සිදුවුණා. ඉන්පසු වසර හතරහමාරක් තුළ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ 8 දෙනෙක් කටයුතු කළා.

වසර 4 කටම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තිබ්බේ 4ක් පමණයි. ඉන්පසු මේ ආයතනය බිඳ වැටුණා. නාට්‍ය පාසලේ ළමයින්ව දේශපාලනයට ගෙන ගියා. වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වූ පසු අගමැතිතුමා විසින් නැවතත් මාව වසරක කාලයකට අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කළා. නමුත් කොරෝනා වසංගතය නිසා කළ යුතු වැඩ කොටස් කරගන්න බැරිවුණා.

ඒ කුමන බාධා පැමිණියත් ‘ප්‍රේක්ෂා‘ නාට්‍ය භාෂා තුනෙන්ම පෙන්වීමට අපට හැකිවුණා. මගේ වාර්ෂික සේවා කාලය අවසන් වූයේ පසුගිය පෙබරවාරි මාසයේ. මම නීතීඥයකු වුවත් ජීවත් වන්නේ නාට්‍ය සමඟ නිසා මම තවදුරටත් මගේ සේවය ලබා දෙන්න කැමතියි. අගමැතිතුමා පවා කිව්වා මාව නැවතත් සේවයේ තැබිය යුතුයි කියා. නමුත් තවමත් එසේ වී නැහැ. ඩග්ලස්ට ඇඩ්‍රස් නැතිලු කියා කිව්වට මම ඒ වන විට ඔය තනතුරේ සිටියේ නැහැ. මාව තවුරුත් නෙරපා හැරියෙත් නැහැ. .....“ ඒ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව විෂයභාර රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක සම්බන්ධ කර ගැනීමට සිළුමිණ උත්සාහ කළ අතර ඇමැතිවරයා පැවැසූයේ එවැනි දේවලට පිළිතුරු දීම අවශ්‍ය දෙයක් නොවන බවකි.

කෙසේ වෙතත් ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසූයේ මෙම ටවර් හෝල් පදනම විශ්වවිද්‍යාල මට්ටමට ගෙන ඒමට කටයුතු යොදන බවත්, නාට්‍ය කටයුතු මෙහි විධිමත් ආකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදන බවත්ය. කෙසේ වෙතත් මෙහි සිදුවන යම් යම් දේ පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත්, නුසුදුස්සන් පත්ව ඇත්නම් ඔවුන් ඉවත් කිරීමට කටයුතු යොදන බවත්ය.

Comments