
- 2002දී 'මිලේනියම් සිටි' පාවා දීම නිසා බුද්ධි නිලධාරීන් රැසක් මරු කටට
- සරත් වීරසේකරගේ ප්‍රකාශයෙන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිවෙයි
“දඩයම කරේ තියාගෙන යනකොට දඩයම කරපු කෙනා හොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසිය ගන්නේ කවුද? ඒ වාසිය ගන්නේ පොහොට්ටුවයි, ඒ වාසිය ගන්නේ ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණය දිනීම සඳහා පාස්කු ප්‍රහාරය ඉවහල් වුණා. එතකොට හෙට අනිද්දාට හෙළිවෙයි, පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කියලා.” යනුවෙන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන අලුත් ම අර්ථකථනය ලබා දෙන්නේ ජනාධිපති කොමසමකින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ත්‍රස්ත විමර්ශන අංශයෙන්, පොලිසියෙන් නොවේ.
මෙම අලුත් ම අර්ථකථනය ලබාදෙන්නේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහයි.
ඔහුගේ සැකය අපූරුය. යම් සිද්ධියකින් වැඩිම වාසි ලබාගන්නා පුද්ගලයා එම සිදුවීමේ චූදිතයා හෝ සැකකරු වේ.
සෙල්ලම් ගෙවල්වල හොරා පොලිස් සෙල්ලම් කරන කුඩා දරුවන්වත් මෙවැනි කතා කියන්නේ නැත.
මනා විද්‍යාත්මක ක්‍රමවේද අනුව තම දේශපාලන ව්‍යාපාරය ගෙනයන බව කියන සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාසගේ අලුත් ම තියරිය හරි අපූරු ආකාරයට අශෝක් අබේසිංහ විසින් ඉදිරිපත් කර ඇත.
එම තියරිය අනුව චූදිතයන්, අපරාධකාරයන් සොයා ගැනීම ඉතා පහසුය. හොයාගත යුතු එකම දෙය වන්නේ යම් සිදුවීමකින් වැඩිම වාසිය හිමිවන්නේ කාට ද? කියා පමණි.
අශෝක් අබේසිංහ පමණක් නොව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර ඇතුළු පිරිස ද කියා සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසිය අත්වුණේ පොහොට්ටුව නිසා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ පොහොට්ටුව බවයි.
ඔවුන් කියන ආකාරයට 2015 වසරේ පෙබරවාරි මාසයේ මහා දවාලේ සිදුවූ මහ බැංකු මංකොල්ලය ද පොහොට්ටුවේ වැඩක් විය යුතු බවයි.
මහා දවාලේ මහ බැංකුවේ සිදුවූ මහා මුදල් මංකොල්ලයෙන් ද වාසි සිදු වූයේ එවකට පැවැති යහපාලන ආණ්ඩුවට නොව එවකට පැවති ඒකාබද්ධ විපක්ෂයටයි. පසුව පොහොට්ටුවටයි.
අශෝක් අබේසිංහ කියන ආකාරයට මහ බැංකු හොරකම ද සිදුකර තිබෙන්නේ මහින්ද, ගෝඨාභය හෝ බැසිල් විය යුතුය.
අශෝක් අබේසිංහගේ තියරිය අනුව මහ බැංකු හොරකමෙන් සිංගප්පූරුවේ සිටින එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිදොස් කොට නිදහස් විය යුත්තේ ය.
අර්ජුන ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු පිරිස ද නිදහස් විය යුත්තේ ය.
අශෝක් තියරිය අනුව 1994 වසරේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගාමිණී දිසානායක තොටළඟ දී බෝම්බෙන් මරා දමන්නේ චන්ද්‍රිකා ද?
මොකද අශෝක් තියරිය අනුව ගාමිණී දිසානායක ඝාතනයෙන් වැඩිම වාසිය අත්වන්නේ චන්ද්‍රිකාට බව හැඟවෙන නිසාය.
එතකොට රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, දොස්තර ගාමිණී විජේසේකර, ඔසී අබේගුණසේකර, වීරසිංහ මල්ලිමාරච්චි, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, රන්ජන් විජේරත්න ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයන් ඝාතනය වූ පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට රනිල් වික්‍රමසිංහට පහසුවෙන් ළඟා වීමට හිමි විය.
එවිට අශෝක් තියරියට අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පහසුවෙන් ළඟා වීමට රනිල් වික්‍රමසිංහට හැකිවූ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් එක පෙළට ඝාතනය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ද?
එවිට කොටි සංවිධානය ද මෙම ඝාතනවලින් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසුව එම ඝාතනවලට අල්ලා ගත යුත්තේ රනිල් වික්‍රමසිංහ ද? කියා අශෝක තියරිය අනුව අශෝක අබේසිංහ ම පැහැදිලි කළ යුතුව ඇත.
සමගි ජන බලවේගය අශෝක් තියරිය පසුපස දුවන්නෙ ඇයි?
කොරෝනා ගැන තවදුරටත් කථා කිරීමෙන් කිසිදු වාසියක් අත් නොවන බව දන්නා සමගි ජන බලවේගයට දැන් අවශ්‍ය වී තිබෙන්නේ තමන්ට ලොකු ම අවාසියක් වී තිබෙන පාස්කු ඉරිදා ප්‍රහාරයේ චෝදනාවලින් ගැලවීමට ය.
මුස්ලිම් අන්තවාදය සමඟ අත්වැල් බැඳගෙන සිටින මුස්ලිම් නායකයන් සියලු ම දෙනා සිටින්නේ සජිත්ගේ සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙනය.
ඒ අනුව ඔවුන්ට කෙසේ හෝ අවශ්‍ය වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සමගි ජනබලවේගයේ ඇතැම් පක්ෂ නායකයින් එම චෝදනාවලින් නිදහස් කරගැනීමටය. ඒ සඳහා දැනට ලෝකයේ පවතින ප්‍රාථමික මෙන් ම ගෝත්‍රික මූලධර්මයක් නැත්නම් තියරියක් ඔවුන් සොයා ගන්නේය.
එම තියරිය සොයාගැනීමෙන් අනතුරුව ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අලුත් අර්ථකථන ලබාදීමට පටන්ගෙන තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ෂණ වාර්තාව ගැන සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය පුළුල් ලෙස කතා කරන්නේ නැත.
ඔවුන්ට වාසි සහගත එක එක තැන් අල්ලාගෙන පමණක් පාස්කු ඉරිදා කොමිෂන් සභා වාර්තාව ගැන කතා කරන්නට පටන්ගෙන ඇත.
ඒ අනුව ඔවුන් හැමවිටම කතා කරන්නේ ප්‍රහාරය එල්ල වීම වළක්වා ගැනීමට නොහැකි වූ පිරිස් ගැන පමණක් ය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්, අන්තවාදය වැපිරීමට ක්‍රියාකළ පුද්ගලයන්, මද්‍රසා පාසල්වල අන්තවාදය ඉගැන්වීමට ක්‍රියා කළ පුද්ගලයන්, අන්තවාදීන්ට දේශපාලන රැකවරණය දුන් පුද්ගලයින් අසාමාන්‍ය ආකාරයට තඹ, ඊයම් තම හිතවාදීන්ට ලබා දුන් පුද්ගලයන්, මාවනැල්ලේ බුදු පිළිම කඩා දැමූ පුද්ගලයින්ට දේශපාලන රැකවරණය ලබාදුන් පුද්ගලයන් ඇතුළු යම් යම් කාරණාවලට වගකිවයුතු පුද්ගලයන් සැළකිය යුතු ප්‍රමාණයක් ගැන මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවේ සඳහන් වෙදේදි ඒ ගැන කිසිඳු කතාබහක් නොකර මෛත්‍රීපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත ජයසුන්දර ගැන පමණක් විපක්ෂය විසින් කතාබස් කිරීමට උනන්දු වන්නේ ඇයි?
මේ අතර විපක්ෂය තවත් චෝදනාවක් ආණ්ඩුවට එල්ල කරමින් සිටි.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් කිහිපයක් සඟවා ඇති බවට විපක්ෂය දිගින් දිගටම චෝදනා නගමින් සිටි.
“සාක්ෂි සටහන් අවශ්‍යයයි. නීතිපතිතුමාට නඩු දාන්න විදිහක් නැහැ. සේරම විමර්ෂණ වාර්තා අවශ්‍යයි.” යනුවෙන් විපක්ෂය තවත් අලුත් තැටියක් වාදනය කිරීමට පටන් ගෙන තිබේ.
සාමාන්‍යයෙන් ඕනෑම ජනාධිපති විමර්ශන කොමිසමකට වාර්තාවට ඇතුළත් කරනු ලබන්නේ සමාජය දැනගත යුතුම කරුණු පමණි.
අනෙක් පරිබාහිර කරුණු මෙම වාර්තාවට ඇතුළත් කිරීම ඵලක් නොවේ. එවැනි කරුණු යම් යම් විශේෂඥ පුද්ගලයන්ට හෝ යම් යම් සේවාවන් සපයන නිලධාරීන්ට අත්‍යවශ්‍ය ම නම් ඔවුන්ට රටේ ආරක්ෂාව වෙනුවෙන් එම තොරතුරු ප්‍රයෝජනයට ගත හැකිය.
පාස්කු කොමිසමට බුද්ධි අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ඇතැම් නිලධාරීන් ලබාදුන් සාක්ෂි සටහන් අවශ්‍ය බව විපක්ෂය නිතරම කෑගසයි.
මෙසේ සාක්ෂි සටහන් හා බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරු ඉල්ලා සිටින්නේ ඇයි? බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු නිරාවරණය වූ විට රටක ජාතික ආරක්ෂාවට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. බුද්ධි අංශ තොරතුරු අනාවරණය වීමෙන් මේ රටේ ඉතිහාසය තුළ වාසි රැසක් අත්වූයේ කොටි ත්‍රස්තවාදී සංවිධානයට බව අමුතුවෙන් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත.
එවැනි බුද්ධි තොරතුරු සතුරාගේ අතට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කප් ගසා ඇත. වර්තමානයේ දී එක්සත් ජාතික පක්ෂයට නෑකම් කියන සමගි ජන බලවේගය ද සිදු කරමින් සිටින්නේ එයයි.
එදා 2001 වසරේ දෙසැම්බර් 05 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් රටේ පාලන බලය හිමිකර ගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයයි.
2002 වසරේ මිලේනියම් සිටි මහා පාවාදීම සිදු කරනු ලබන්නේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.
මේ නිසා බුද්ධි අංශ සාමාජිකයන් රැසක් ම කොටි පිස්තෝලකරුවන්ගේ උණ්ඩවලට ලක්වී මෙලොව හැර ගිය බව රහසක් නොවේ.
දෙහිවල පොලිසියේ විවේකාගාරයට ගොස් විවේකීව ගත කරන පොලිස් නිලධාරීන් වෙඩි තබා ඝාතනය කිරීමට ද කොටි පිස්තෝල කල්ලිය යොදාගන්නේ මෙම ඔත්තු සේවාවන්ය.
යළිත් මිලේනියම් සිටි වැනි පවාදීමක් සිදු කිරීමට සමගි ජන බලවේගයට අවශ්‍ය ව ඇත. එදා 2002 වසරේදී එවකට පැවති ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයට මෙදා සමගි ජන බලවේගය දැඩි පරිශ්‍රමයක නිරතව සිටි.
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දැඩි ලෙස කැපවූ සුරේෂ් සලේ වැනි දක්ෂ බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ගම් හෙළිකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී ඇත්තේ යළිත් මහා පාවාදීමක් සිදු කිරීමට ද යන්න සාධාරණ සැකයක් මතුවීම සාධාරණය.
පසුගිය යහපාලන ආණ්ඩුව විසින් බුද්ධි අංශය නිහඬ කළේ එම ආණ්ඩුවට සහයෝගය ලබාදුන් කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම පරිදිය. සුමන්තිරන්ලාගේ කරමතින් යහපාලන ආණ්ඩුව පැමිණි නිසා සුමන්තිරන්ලාට ලබාදෙන සන්තෝසම් බවට පත්කරගෙන තිබුණේ රටේ ජාතික ආරක්ෂාව හීන කිරීමට අදාළ පියවර ගැනීමටයි.
බුද්ධි අංශ නිලධාරීන් සිරගතකොට බුද්ධි අංශ අඩපණ කළේ එම නිසාය. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට රටේ ජාතික ආරක්ෂාව ඉතා දුර්වල මට්ටමක පැවති බව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසම ද සඳහන් කරයි.
ඒ බව පරිච්ඡේද කිහිපයකම සඳහන් කොට තිබේ.
මෙම පාස්කු ඉරිදා ජනාධිපති කොමිසමේ වාර්තාවේ එක් එක් ස්ථානවලින් සුළු සුළු කොටස් අල්ලාගෙන දඟලමින් එම වාර්තාව කුණු කූඩයට දැමීමට විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන් දැඩි ලෙස උත්සාහ ගත්ත ද එය ව්‍යාර්ථ විය.
කොමිසම් වාර්තාවට ප්‍රහාර එල්ල කරමින් එය කුණු කූඩයට දැමීමට ඔවුන් උත්සාහ ගත්ත ද මෙම වාර්තාව නිවැරදිව සම්පූර්ණයෙන් ම කියවපු කෙනෙකු නම් මෙම වාර්තාව මඟින් කියවූ යථාර්ථය හොඳින් තේරුම් ගනු ඇත.
කවින්ද ජයවර්ධන සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.
පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව ගැන කල්තැබීමේ අවස්ථාවේ විවාදයයි.
මෙහිදී ඔහු අතේ පැළවෙන මුසාවක් ඇද බෑවේය.
තමා කතෝලිකයකු බවත් තමන් කතා කරන්නේ මේ රටේ කතෝලික ජනතාව ද නියෝජනය කරමින් බවත් පැවසූ ඔහු මෙවැනි කතාවක් ද කීවේය.
“මේ කොමිසන් සභා වාර්තාව කතෝලික සභාව පිළිගන්නේ නැහැ. මේ වාර්තාව බොරුවක්. ආණ්ඩුව යම් යම් දේවල් වහනවා.” කියමින් කළු පාට ඇඳුමකින් සැරසී කාවින්ද එදා කතා කළේ ආවේගයට පත් වූ පුද්ගලයකු හැසිරෙන ආකාරය සිහි ගන්වමිනි.
කාවින්ද එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදු කිරීමටත් පෙර ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව පිළිගන්නා බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කළ අතර එයින් අනාවරණය කළ කරුණු සහ ඊට අදාළ නිශ්චිත නිර්දේශ තමන් පිළිගන්නා බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති බදුල්ල රදගුරු හිමි අති උතුම් ජේ. වින්ස්ටන්, එස්. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ අග රදගුරු පදවි සහායක රදගුරු හිමි අති උතුම් ජේ.ඩී. ඇන්තනි ජයකොඩි ඇතුළු රදගුරු හිමිවරුන් 15 දෙනෙකු මෙම නිවේදනයට අත්සන් තබා ඇති අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ද ඒ අතර වෙති. මෙම වාර්තාව පිළිගන්නා බවත් නිර්දේශ ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය වහාම පිහිටුවන ලෙස ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් සිදු කර තිබියදීත් කාවින්ද ජයවර්ධන මෙසේ කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේ දඟලන්නේ ඇයි?
මෙම කරුණුවලින් පෙන්නුම් කරන්නේ සමගි ජන බලවේගයේ බංකොළොත් දේශපාලනය නැතිනම් වෙන කුමක්ද?
ඔවුන් බැලූවේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ඇතැම් ප්‍රකාශ අල්ලාගෙන දේශපාලන බංකොලොත්භාවයෙන් යම් ආකාරයකට ගොඩ ඒමටය.
ඒ ප්‍රයත්නය ද මේ වන විට අසාර්ථක වී ඇති බව සමගි ජන බලවේගයට තේරුම් ගොස් ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලු ජනාධිපති විමර්ශන කොමිසම් නිර්දේශවලට අමතරව රහස් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ද විමර්ශන සිදු කරගෙන යයි.
යහපාලන ආණ්ඩුව මඟින් නිසි පරිදි පරීක්ෂණ නොකෙරුණු අතර ඔවුන් ඇතිකළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හොරාගේ අම්මගෙන් පේන ඇසීමේ තත්ත්වයකට පත්ව තිබුණු බව රහසක් නොවේ.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී වසරකුත් මාස 04 කුත් ගත වුව ද ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට සිදු වුයේ කොවිඩ් - 19 ලෝක වසංගතයට මුහුණ දී එම අභියෝග ද ජයගෙන රට පාලනය කිරීමටය.
එවැනි ලෝක වසංගත තත්වයක් හමුවේ ද වසරක කාලයක් තුළ විමර්ශන සිදුකර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ද අල්ලා ගැනීමට මේ වන විට හැකි වී තිබේ.
ඒ බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ද පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
''ISIS නායක අබුබකර් අල් බැග්ඩෑඩි විසින් 2014 ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඉස්ලාම් රාජ්‍ය මතවාදයේ පිහිටා කටයුතු කළ සහරාන් 2015 වසරේ දී ඉස්ලාම් රාජ්‍ය මතවාදය සමඟ දැඩි මූලධර්මවාදීව සිට ආගමික අන්තවාදියෙක් බවට පරිවර්තනය වුණා.
2017 වසරේ මුල් කාලයේ පටන් ඔහු ආගමික අන්තවාදයේ සිට ප්‍රචණ්ඩත්වය කරා ගමන් කර තිබෙනවා. මොහුගේ මුල් ම ප්‍රචණ්ඩකාරී සිදුවීම ලෙස 2017.03.10 දින කාත්තන්කුඩි අලියාර් හන්දියේ වෙනත් මතවාදී පිරිසකට පහර දීම වාර්තා වී තිබෙනවා.
මේ සමඟ සහරාන් චරිතය කරලියට පැමිණෙනවා.
මෙලෙස යම් පුද්ගලයකු මූලධර්මවාදීයකු, ආගමික අන්තවාදියෙක් ලෙස සහ ප්‍රචණ්ඩත්වය දක්වා පරිවර්තනය වීමේ දී ඔහු එම කාලය තුළ ඇසුරු කරන්නන් හා සංවිධාන ක්‍රියා කරන ආකාරය විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් වෙනවා.
මෙහිදී වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් නැමැති දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයා 2016 සිට සහරාන් සමඟ සමීපව කටයුතු කිරීම සම්බන්ධව විමර්ශනය කර තිබෙනවා. ඒ අනුව අබුබකර් අල් බැග්ඩෑඩ්ගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්යභාරයක් සිදුකර ඇති බව විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම මෙම නවුෆර් නැමැත්තා සහරාන් සමඟ සම්බන්ධ වෙමින් ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙයවා ඇති බවට දැනට දැනට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයෙන් සිදුකරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
එහෙයින් මෙම ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදීයා මෙන්ම සහරාන්ව මෙම ප්‍රචණ්ඩත්වකාරීත්වයට යොමු කළ ප්‍රධානත ම පුද්ගලයකු ලෙස නවුෆර් හඳුනාගෙන තිබෙනවා.
ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ඝාතකයින් තමන්ගේ නායකයා අබුබකර් අල් බැග්ඩෑඩ් බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදු කරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සපථ කර තිබෙනවා.
ඒ අනුව අන්තවාදී මතවාදයන් සමඟ පෝෂණය වූ මේ ප්‍රහාරකයන් ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් මෙම ප්‍රහාරය IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් සිදුකරන බවත් තම ජීවිතය CALIPHATE වෙනුවෙන් කැපකරන බවටත් සඳහන් කරමින් කොළඹදී වීඩියෝ පටයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම 2019.04.26 දින සයින්දමරුදු හිදී ආරක්ෂක අංශ විසින් ඔවුන් සිටි ස්ථානය වටලා තිබියදී පවා ඔවුන් පිළිගන්නා ලද මතවාදය වෙනුවෙන් IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් තම ජීවිතය පුදකරන බවට වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා'' යැයි ඇමතිවරයා පවසයි.
මෙම කරුණු අනුව පෙනීයන්නේ ISIS මතවාදය ඔස්සේ සහරාන්ව ප්‍රචණ්ඩත්වය දක්වා පෝෂණය කිරීමත් සහරාන්ගේ අනුගාමිකයන් ද ආගමික ප්‍රචණ්ඩත්වයට පත්වීම දක්වා පෝෂණය කිරීමටත් නවුෆර් සිදුකර ඇති කාර්යභාර්ය අතිමහත් බව ය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් දැන් අත්අඩංගුවේය. නවුෆර් සමඟ ගනුදෙනු කළ පිරිස් කවරෙක්දැයි ළඟදීම හෙළිවනු ඇත. එවිට දඩයම කරේ තියාගෙන යෑමට වැඩ කළේ කවුරුන්දැයි සියලුම දෙනාට දැකගත හැකිවනු ඇත.