ප්‍රථම වටයේ ජය භාතිය-සන්තුෂ් ට | Page 2 | සිළුමිණ

ප්‍රථම වටයේ ජය භාතිය-සන්තුෂ් ට

ජැක්සන් ඇන්තනී මෙයට වසර හයකට පෙර අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ගයාන් පෙරේරා විසින් ගායනා කරන ලද එහි තේමා ගීතය පිළිබඳ සිදු වූවා යැයි කියන අකටයුත්තක් පිළිබඳ පුවතකින් ඉකුත් සතියේ මාධ්‍ය ලොව හා සයිබර් අවකාශය ගිනි ගත්තේ ය. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කරන ලද මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කරන ලද්දේ ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි. 

භාතිය සන්තුෂ් දෙපළට අයත් සරිගම ආයතනය විසින් ඒ ගීතය තවත් අලුත් ගායකයෙක් ලවා ගායනා කර නැවත පටිගත කිරීමේ අරමුණෙන් ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ නිෂ්පාදක ජනිත මාරසිංහට රුපියල් හැට දහසක (60,000/=) මුදලක් ගෙවා එහි අයිතිය ලබා ගෙන ඇතැයි යන්න මෙහි චෝදනාවයි.

බුද්ධිමය දේපළ පිළිබඳ අවනඩු; නිර්මාණ බිහි වූ අතීතයේ පළමු දිනයේ පටන් අද දක්වා ම අඛණ්ඩ ව පැවැත එන්නකි.

ගීත ක්ෂේත්‍රය අරඹයා මෙය වැඩි කතාබහකට ලක් වන්නකි.

දරුණු නිර්මාණ මංකොල්ල කිහිපයක් ම සිදු වීමෙන් අනතුරුව හා ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස ගීතමය බුද්ධිමය දේපළ ගැන නීතිමය තත්ත්වයක් ඇති කරන ලදී.

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ හයවන වගන්තියේ අනු වගන්තියක් වන හය (1) (ඥ) වගන්තිය යටතේ වචන සහිත හා රහිත සියලු ම ආකාරයේ සංගීත කටයුතු මේ පනතින් ආවරණය වේ. මේ වැනි පසුබිමක වුව සමාජයේ තවමත් ගීත මංකොල්ල ගැන විවිධ ලෙසින් චෝදනා අපවාද නැගෙනු පෙනේ.

මේ දිනවල කතාබහ කරන ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ කතා පසුබිමට පූර්විකාව සැපයෙන්නේ මේ අනුවය.

බුද්ධිමය දේපළ අවභාවිත කිරීමේ චෝදනාව දක්වමින් දිගින් දිගටම ඇවිළුණු මේ ගැටලුව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කළේය.

භාතිය සහ සන්තුෂ් ස්වකීය බුද්ධිමය දේපළ පැහැර ගැනීමට එරෙහිව සාධනීය පියවරක් නොගන්නේ යැයි පවසමින් ලිපියක් ඉදිරිපත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ 2021 පෙබරවාරි 17 දිනැතිව ලිපියක් ඉදිරිපත් කරමින් ඔස්කාර් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ද ඉවත් විණි.

ඔස්කාර් හෙවත් ගීත නිර්මාණ කේන්ද්‍රය 2002 අප්‍රේල් 02 ආරම්භ වූයේ ගීත රචකයන්, තනු නිර්මාණ ශිල්පීන් හා ගායකයන් ඇතුළු ගීත ක්ෂේත්‍රයේ සියල්ලන්ගේ අයිතීන් හා සුබ සාධනය වෙනුවෙනි.

ඇඩ්‍රස් නෑ ගීයේ අර්බුදය එසේ ඇඩ්‍රස් නැතිව දුවද්දී ඔස්කාර් සංවිධානය මඟින් මේ අර්බුදය විසඳීමට දහදෙනකුගෙන් සමන්විත සමීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලදී. එහි කමිටු සාමාජිකයන් වූයේ සරත් ද අල්විස්, අර්නස්ට් ද සොයිසා, ආචාර්ය සෝමරත්න දිසානායක, විශාරද එඩ්වඩ් ජයකොඩි, බන්දුල නානායක්කාරවසම්, නිලාර් එන්. කාසිම්, රොහාන් ද සිල්වා, ජානක වික්‍රමසිංහ, නලීන් පෙරේරා හා සමන්ත පෙරේරාය.

ඉකුත් 09 වැනිදා වන විට ඒ දස පුද්ගල කමිටු වාර්තාව නිකුත් වී තිබුණු තිබිණි.

එහිදී මෙකී ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඒකමතිකව තීරණය කරන ලද පහත සඳහන් ප්‍රකාශය අප උපුටා දක්වන්නේ මෙකී ගැටලුව සම්බන්ධයෙන් ගීත නිර්මාණ කේන්ද්‍රය හෙවත් ඔස්කාර් සංවිධානය නිකුත් කරන නිර්දේශ පෙන්වනු වස් ය.

‘ගීතයේ නිර්මාණකරුවන් වූ මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රෝහණ වීරසිංහ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨතම ශිල්පීන් දෙදෙනකු වන අතර, ඔවුන්ගෙන් විමසීමකින් තොරව ඒ ගීත ප්‍රතිනිෂ්පාදන ක්‍රියාව සිදුකිරීම පිළිබඳව ඔවුහු බලවත් සිත් තැවුලකට පත්ව සිටියහ.

භාතිය සන්තුෂ් නියෝජනය කරන සමාගම මඟින් චිත්‍රපටයේ නිෂ්පාදක විමසා ඔහුට අදාළ ගීතයේ හිමිකම ඇති බවට ලේඛන ඉදිරිපත් කර තිබුණු බැවින් කර්තෘභාග මුදලක් ගෙවා තිබූ අතර, එය කිසිසේත්ම ගීත මංකොල්ලයක් හෝ හොරකම් කිරීමක් නොවන බව අපට පෙනී ගියේය.

චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ගීතයේ අයිතිය තමන්ට ඇති බව පිළිගනිමින් අදාළ කර්තෘභාග මුදල ලබාගෙන ඇති බවද සත්‍යයකි‘ යනුවෙනි.

ඒ අනුව අදාළ ලිපිලේඛන සියල්ල විමසා බැලීමෙන් අනතුරුව එකී පත්කරන ලද දස පුද්ගල කමිටු වාර්තාව අනුව ‘ඇඩ්‍රස් නෑ’ ගීතය ප්‍රතිනිර්මාණය කිරීම බුද්ධිමය දේපළ අවභාවිත කිරීමක් ය යනුවෙන් චෝදනා ලැබ සිටින භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් හා ජනිත මාරසිංහ එකී චෝදනාවෙන් ඔස්කා ආයතනය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

ඔස්කාර් සංවිධානයේ මූලික අරමුණ වී ඇත්තේ නිර්මාණ කොල්ලයට එරෙහිව සංවිධානාත්මකව කටයුතු කිරීම සහ නිර්මාණකරුවන්ගේ අයිතීන් සුරක්ෂා කර දීම ය. ඒ සංවිධානය මේ රටේ ගීත රචකයන්, සංගීතඥයන් සහ ගායක ගායිකාවන් ඇතුළත් සංවිධාන රැසක එකතුවකින් සැදුම්ලත් ප්‍රබල ම සංවිධානයකි. එහි සාමාජිකත්වය 387 කි. මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රෝහණ වීරසිංහ එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරු වෙති.

භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ඔස්කාර් සංවිධානයේ තරුණ නිර්මාණකරුවන් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ ය. මේ දෙපාර්ශ්වය ම ඔස්කාර් සංවිධානය හරහා මේ ගැටලුවට පිළිතුරු සොයන්නේ මේ පසුබිමේ ය.

කෙසේනමුත් මේ වනවිට දෙපාර්ශ්වය ම වෙනුවෙන් ඔස්කාර් සංවිධානය පිළිතුරක් ලබා දී ඇත්තේය. ඒ අතරම මෙවැනි ගැටලු ඇතිවීමේ ප්‍රවණතාව ගැන ද ඒවා ඇතිවීමට හේතුකාරණා වන ක්ෂේත්‍රීය ගැටලු පිළිබඳව ද මෙකී වාර්තාවේ සඳහන් ව තිබුණේ මෙසේය.

“ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ ගීතය ප්‍රතිනිෂ්පාදනය කිරීම අරභයා මතු වූ ප්‍රශ්නය අප කමිටුවේ මැදිහත්වීමෙන් සාමකාමීව විසඳා ගැනීමට ඒ පාර්ශ්ව එකඟ වූ අතර, සංගීත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සහ කීර්තිය උදෙසා ඒ පිළිබඳ කිසිදු සංවාදයක් හෝ එකී ප්‍රශ්නය ඍජුව හෝ වෙනත් පාර්ශ්ව මඟින් ඉදිරියට රැගෙන යෑමක් හෝ මින් ඉදිරියට සිදු නොවන්නේය.”

මතුවට ගීත නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ලෙස ක්‍රියා කිරීම සියලු පාර්ශ්වවල වගකීමක් වන අතර, ඒ පිළිබඳ නීති ශක්තිමත් කර නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සක්‍රිය කිරීම හදිසි අවශ්‍යතාවක් බව අවසන් වශයෙන් සටහන් කරන්නෙමු. තවද මේ ප්‍රකාශනය කිසිදු අධිකරණමය කටයුත්තක් සඳහා අදාළ නොවන අතර, හුදෙක් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය තකා සද්භාවයෙන් නිකුත් කරන ලද සාමූහික ප්‍රකාශනයකි‘

ඒ අනුව ඔස්කාර් සංවිධානය මාර්තු 9 වැනිදා නිකුත් කරන ලද ප්‍රකාශනයට අනුව, ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ එනමින් ම යුත් තේමා ගීතය භාතිය ජයකොඩි හෝ සන්තුෂ් වීරමන් විසින් මංකොල්ලකෑමක් හෝ හොරකම් කිරීමක් කර නැත.

එමෙන්ම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන ජනිත මාරසිංහ ගීතයේ අයිතිය තමන්ට ඇති බවට අදාළ නීතිමය ලියවිලි ඉදිරිපත් කර ඇත.

භාතිය ජයකොඩි ගේ හා සන්තුෂ් වීරමන්ගේ කළමනාකරු රුපියල් 60,000ක මුදලක් ලබාදී එකී ගීතයේ අයිතිය ලබා ගෙන ඇත්තේ චිත්‍රපටයේ නිෂ්පාදක ජනිත මාරසිංහගෙනි.

ඒ අනුව භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් මෙකී චෝදනාවෙන් ඔස්කාර් නිර්දේශයට අනුව නිවැරදි වන්නේ ය.

ගීත අයිතිය පිළිබඳ දුරදිග ගිය ආරවුල් කිහිපයක් ම පසුගිය කාලය පුරා වාර්තා වී තිබිණි.

හර්බට් එම්. සෙනෙවිරත්නගේ “අයියයි මල්ලියි” චිත්‍රපටයට රචනා කළ ජනප්‍රිය ගීතයක් වන “මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ” නම් ගීතය, හඩ්සන් සමරසිංහ විසින් රචනා කරන ලද විජයරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල විසින් ගායනා කරන ලද “රඟහල දැන් ඇත අඩ අඳුරේ” ගීතය, ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත, “සිරිමැදුර” චිත්‍රපටයේ අන්තර්ගත වූ කන්‍යාවී ගීතය, මේ වැනි ආරවුල් සඳහා මෑතකාලීන උදාහරණ කිහිපයකි.

ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ එකී නමින් ම යුත් ගීතය සම්බන්ධ ගැටලුවට මුහුණ දුන් සියලු පාර්ශ්වවලින් අප ඒ පිළිබඳ විමසීමක් සිදු කළ අතර, පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ අදහස් ය.


මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා
- ‘ඇඩ්‍රස් නෑ’ ගීතයේ පද රචක මහාචාර්ය සුනිල් ආරියරත්න ඔස්කා තීන්දුවෙන් පසු සිළුමිණට කියයි

ඔස්කාර් සංවිධානය නිකුත් කළ ප්‍රකාශනයේ සඳහන් තීන්දුව ගැන ඔබගේ අදහස කුමක්ද?

ඔස්කාර් සංවිධානය මේ ගීතයේ අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ ප්‍රශ්නය ඔඩුදිව්වට පස්සෙයි. මේ ප්‍රකාශනයේ සඳහන් තීන්දුවේ වචන කොමිටියේ වුණත් හඬ කොමිටියේ නොවෙයි.

නිෂ්පාදක ජනිත මාරසිංහ ඍජු ව ප්‍රකාශ කරනවා ගීතයේ අයිතිය තමන් සතු බව සහ ඊට අදාළ නීතිමය ලියවිලි තමන් සතු බව.

ඔහු එහෙම ප්‍රකාශ කරන බව අපටත් ආරංචියි. ඔහු සතු ලිපිය නිසා තමයි මේ අය නිදොස් කොට නිදහස් කරන්නේ. හැබැයි අපි ඒ ලියුම දැක්කෙ නෑ. එතන කියන්නෙත් රෝහණ වීරසිංහ අත්සන් කළ ලිපියක් තිබෙන බවයි. එතකොට ගීතය ලියූ මගේ අයිතියට මොකද වෙන්නෙ. ගීතයේ අයිතිය පාර්ශ්ව දෙකකට අයිතියි. ඒ ගීත රචකයා සහ තනු නිර්මාණ ශිල්පියායි. මට සතයක්වත් දුන්නෙ නෑ; මට දුන්නා කියලා ඔවුන් කියන්නෙත් නෑ.

කොමිසම මේ සම්බන්ධයෙන් කුමක්ද කියන්නේ

මම සෝමරත්න දිසානායකගෙන් සහ නිලාර් එම්. කාසිම්ගෙන් ප්‍රශ්න කළා ඔබ මේ කොමිසමට පත් කළේ ගීත රචකයාගේ අයිතිය වෙනුවෙන්නෙ. එතකොට ඔබලා ප්‍රශ්න කළාද ගීත රචකයාගේ අයිතිය කෝ කියලා. ඔවුන්ට ඒකට උත්තරයක් නෑ.

ඔස්කාර් සංවිධානය විසින් මේ ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඔබ කිසිදු එකඟතාවක් නොදක්වන බව ද පවසන්නේ. ?

මේ අයත් එක්ක අපේ කිසිම එකඟතාවක් නෑ. ඒ සඳහා සහතික දුන් මේ කොමිටියේ සාමාජිකයන් වුණු කලාකරුවන් ගැන මට ලැජ්ජාවක් තියෙන්නේ. ඉදිරියේදී මම මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ඔබට ගැටලුව තියෙන්නේ භාතිය සන්තුෂ් එක්කද?

නෑ, මට භාතිය හෝ සන්තුෂ් එක්ක ගැටලුවකුත් නෑ; සම්බන්ධයකුත් නෑ. මගේ දේපළ අවභාවිත කළ චිත්‍රපට නිෂ්පාදකවරයා එක්ක පමණයි මට ප්‍රශ්නෙ තියෙන්නේ.

ඔස්කාර් සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඔබ ඉවත් වුණානෙ. තවදුරටත් එහි සාමාජිකත්වය දරනවද?

ඉවත් වුණේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විතරයි. සාමාජිකත්වය තවමත් තියෙනවා.


 

කිසිවක් කතා කිරීමට මා කැමති නෑ
- ‘ඇඩ්‍රස් නෑ’ ගීතයේ සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ කියයි

ගීතයේ හිමිකම මා සතුයි
- ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ නිෂ්පාදක ජනිත මාරසිංහ

චිත්‍රපටයේ නිෂ්පාදක ඔබ වුවත් ගීත අයිතිය වෙනම ලබා ගත යුතු නිසා ඔබ එවැනි අයිතියක් ලබා ගත්තද?

ඔව් පැහැදිලිව ම මම අයිතිය ගත්තා. ඒ සියලු අයිතිය තිබෙන්නේ මට. මම ගාව රිසිට් දෙකක් තියෙනවා. එකක් චිත්‍රපටයේ පසුබිම් සංගීතයට. අනිත් එක මෙහි සින්දු 3ක් තියෙනවා; ඒ තුනට. ඒ සියලු ම හිමිකම් නිෂ්පාදක සතු ය කියලා අත්සන් කළ ලේඛනයක් මා සතු ව තිබෙනවා.

ඔබ මේ ගීතය සරිගම ආයතනයට ලබාදීමේදී එය පාවිච්චි කළ යුතු ආකාරය ගැන කිසියම් කොන්දේසි පැනවීමක් සිදු කළා ද ?

මම මේ ගීතය ලබා දුන්නෙත් යූටියුබ් එකේ ආධුනික ගායකයෙක් ගායනා කරන වැඩසටහනකට මිසක් වෙළෙඳ දැන්වීමකට නොවෙයි. ඒවැනි දේකට මේක පාවිච්චි කරන්න බෑ කියන ස්ථාවරයෙයි මමත් ඉන්නේ.


‘අපි නිර්මාණ මංකොල්ලකරුවන් නොවෙයි’
- භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් සිළුමිණට පවසයි

මේ දෙපළට අපේ ඇත්තේ ගෞරවනීය ආදරයක්

මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබට කීමට ඇත්තේ මොනවාද

අප මේ ක්ෂේත්‍රයට ඇවිත් වසර විසිතුනක්. අප ගීතයක අයිතිය බලෙන් පැහැරගන්න තරම් වගකීම් විරහිත වෙන්නෙ නෑ. ආධුනික ගායකයන් සමඟ නැවත තෝරාගත් ගීත ප්‍රති නිර්මාණය කර, රූප රචනා සිදුකර ලබාදෙන ලෙස පෞද්ගලික සමාගමක් අපෙන් කළ ඉල්ලීමකට අප නීත්‍යානුකූල ව ලබා ගත් ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ තේමා ගීතය යොදා ගත්තා පමණයි. අප එය කළේ නීත්‍යානුකූලව.

ඔබ දෙපළ ඒ ගීතය ලබා ගැනීම සඳහා ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ගීතය වෙනුවෙන් වැය කළ මුදල කොපමණද?

එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකඟ වුණා. එහිදී අප කාර්ය මණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙනුවෙන් වෙන් කළා. ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එ් ගීතයේ අයිතිය පිළිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට මේ ගීතයේ අයිතිය ඔහු සතු ව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා, ‘ඇඩ්‍රස් නෑ’ ගීතය භාවිත කිරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මේ සමස්ත ක්‍රියාදාමය ම සම්බන්ධ නිල ලිපිලේඛන අප ආයතනය සතුයි.

මෙහි මුල් නිර්මාණකරුවන් සමඟ ඔබ දෙපළ ඒ සම්බන්ධයෙන් කතා නොකළා යැයි නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක්ද?

මේ සිදුවීම ආරංචි වූ වහා ම අප උත්සාහ කළේ ආචාර්ය රෝහණ හමුවීමටයි. අප එතුමාගේ නිවසේ දොරකොඩට ම පැමිණියත් එතුමා අප ව හමුවුණේ නෑ. ඔස්කාර් ආයතනය අප පාර්ශ්ව දෙක සාකච්ඡාවකට ගෙන්වූ අවස්ථාවේ ද අප සමඟ සාකච්ඡා නොකොට එතුමා අප මඟහැර පිට ව ගියා. ඉන් අනතුරුව කීප වරක් ම එතුමා හමුවීමට උත්සාහ කළත් අප හට ඒ අවස්ථා ද නොලැබී ගියා.

රෝහණ වීරසිංහයන් මේ සම්බන්ධයෙන් කිසිවක් ම ඔබ හා කතා කර නැති බව ද පවසන්නේ ?

කතා කරන්න හදපු හැම අවස්ථාවක ම එතුමා ‘මට ඕගොල්ලො එක්ක මේක ගැන කතා කරන්න මුකුත් ම නෑ‘ කියලා යනවා. ඔස්කාර් සංවිධානයෙන් අප දෙපාර්ශ්වය ම ගෙන්වූ අවස්ථාවෙත් එතුමා අප එනවිටම මඟහැර ගියා.

පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවක් ඔස්සේ රෝහණ වීරසිංහයන් ප්‍රකාශ කරනවා, ඔබ මුලින් වැරද්ද පිළිගෙන ලක්ෂ 10 ක් ලබා දීමට එකඟ වී පසුව විවිධ අය මාර්ගයෙන් මුදල අඩු කිරීමට හෙට්ටු කළ බවක්.

අපිට ඒවැනි තැනකට බහින්න බෑ; බහින්න අවශ්‍යත් නෑ. අපි ඔස්කාර් සංවිධානයට ඒ ගැන දැනුම් දුන්නා පමණයි. හෙට්ටු කරනවා කියලා අපි වෙන කාටවත් කතා කරලා නෑ. අපි වැරැද්දක් කරලා නෑ. අපිට කවදාවත් එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. අපි මේ දෙපළට ම ගරු කරනවා; සහ ආදරය කරනවා. ඒ වගේ ප්‍රකාශ කිහිපයක් ම සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වී තිබෙනවා. ලිපිලේඛන සියල්ල අධ්‍යයනය කරලා ඒවායේ නීතිමය පාර්ශ්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි අප මේ ගීතය ගත්තේ. ඔස්කාර් සංවිධානය මේ සියල්ල පරීක්ෂා කර බලලා තමයි අප කිසිදු හොරකමක්, වංචාවක් නොකළ බව ප්‍රකාශයට පත් කරන්නේ. අප කිසිම විදියකින් නෛතික හෝ චේතනාන්විත හොරකමක් කරලා නෑ. එහෙම කරන්න අවශ්‍ය නම් අපි චිත්‍රපටයේ නිෂ්පාදක ජනිතට කතා කරලා මේක පැහැදිලි ලේඛන සහිත ව ගන්නෙ නෑ.

රෝහණ වීරසිංහයන් වගේ ම මහාචාර්ය සුනිල් ආරියරත්නයනුත් ප්‍රකාශ කරනවා ජනප්‍රිය බීම දැන්වීමක් පසුබිමේ තියෙද්දි මේ ගීය විනාඩි 3ක් තිස්සේ ප්‍රචාරය වූ බව.

සංගීතමය වැඩසටහනකටයි අපි මෙය යොදා ගත්තේ. අපි ඒක වෙළෙඳ දැන්වීමකට යොදා ගත්තෙ නෑ.

ඔබ කියනවා සහ ඔප්පු කරනවා නෛතික වශයෙන් ඔබ සතුව මේ සියලු ලිපි ලේඛන තියෙනවා කියලා. මෙවැනි චෝදනාවක් නිකම් ම කරන්නෙ නෑනෙ. මොකද්ද එසේ කිරීමට හේතුව?

මේ කමිටු වාර්තාවේ තියෙනවා එයට හේතුව. ඒ කියන්නේ බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ සාධක ප්‍රබල ලෙස සමාජගත වී නොතිබීම සහ පවත්නා අයිතීන් නිසිපරිදි යාවත්කාලීන නොවීම තමයි මේකට හේතුව. නිසි ලෙස වටහා ගැන්මේ වන අඩුලුහුඬුකමක් මිස අපි කොයිවෙලාවකවත් එතුමන්ලාට චෝදනා කරන්නෙ නෑ. අපි එතුමන්ලාට තිබුණු භක්තිය, ගෞරවය, ආදරය එහෙමමයි.

අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් ඔබ දෙපළට කීමට ඇත්තේ කුමක්ද?

අපි කොයිවිදියකින්වත් හොරකමක්වත්, වංචාවක්වත්, නීති කැඩීමක්වත් කරලා නෑ.

Comments