බෙල්ලන්විල ‘මියන් කුමාරගේ’ ඇත්ත කථාව | Page 2 | සිළුමිණ

බෙල්ලන්විල ‘මියන් කුමාරගේ’ ඇත්ත කථාව

සමාජ ජාල වීඩියෝව ගැන අලුත්ම හෙළි කිරීමක්
 

මියන් කුමාර වයසටත් වඩා පුෂ්ටිමත් නිරෝගිමත් ඇත් පැටවෙක්
- පශූ වෛද්‍ය ජගත් ජයසේකර

අපි අවුරුදු 60 ක ඉඳන් අලි බලාගත්තා කිසි දවසක අපි අලි ඇතුන්ට හිංසා කළේ නැහැ
- බෙල්ලන්විල විහාරාධිපති

පේ සංස්කෘතිය අපේ පෙරහර හා අලි ඇතුන් එකට බැඳුණු කවදාවත් වෙන් කළ නොහැකි අංගයක් බවට පත්වී තිබේ. අපේ රටේ අනන්‍යතාව ලොවට පෙන්වීමට අපේ සංස්කෘතිය හා බෞද්ධ පෙරහර ඉතා සුවිශේෂිවේ. මෙයින් මුළු ලෝකයටම අපේ කම පෙන්වීමට අපට හැකියාව තිබේ. නමුත් මෑතක සිට මේ අපේ සංස්කෘතියට හා බොදු පෙරහරවලට පහර ගැසීම පිණිස සමහර රාජ්‍ය නොවන සංවිධාන විවිධ උපක්‍රම භාවිත කරයි.

විශේෂයෙන් දැන් දැන් අපේ පෙරහරේ සංස්කෘතික අංගයක් වන හීලෑ අලි පරපු‍රට පහර ගසමින් සිටී. ඒ අනුව මෑතකදී සිදුවූ සුවිශේෂී සිදුවීම වන්නේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටින මියන් කුමාර් නම් ඇත් පැටවාට වද හිංසා පමුණුවන බවට බොරු ප්‍රචාර පතුරවා ඒ ඇත් පැටවා විහාරස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දැරීමයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසන්නේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට අවුරුදු 60 ක පමණ කාලයක සිට අලි ඇතුන් පෝෂණය කරන බවයි. ඒ කිසි අලි ඇතෙකුට වද හිංසා කිරීම් කර නොමැති බව ද ඒ අයට අන් අයටත් වඩා පෝෂණය හා වෛද්‍යාධාර ලබාදුන් බවත් උන්වහන්සේ අවධාරණය කරති. 

වර්තමානයේ අපේ රටේ සංස්කෘතියට බෞද්ධ පෙරහරවලට හා අපේ ‍බෞද්ධ අනන්‍යතාවට විරුද්ධව විවිධ ආගමික බලවේග ක්‍රියාත්මක වෙනවා. එහි අංගයක් ලෙස තමයි මේ මියන් කුමාර පිළිබඳව බොරු ප්‍රචාර ක්‍රියාත්මක වන්නේ.

පසුගිය කාලයේදී පන්සල්වල හිටිය අලි පැටවුන් 30 – 40 කට නඩු දැම්මා. අත්අඩංගුවට ගත්තා. ඉන් කොටසක් මැරුණා. තාමත් ඉන් පැටව් 17 ක් විතර පින්නවල ඉන්නවා. ඒ කාලයේ ක්‍රියාත්මක වුණු බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ තාමත් ක්‍රියාත්මක වීම ඉතා කනගාටුයි.

මේවා තනිකරම අපේ බුදු දහමට සංස්කෘතියට පහර ගැසීම්. මේවා පිළිබඳව සිංහල බෞද්ධ ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතුයි.

රටේ සිටින සමහර අන්‍ය ආගමිකයන් රාජ්‍ය නොවන සංවිධාන රට තුළ ක්‍රියාත්මක වෙමින් ඔවුන්ට අවශ්‍ය ආගමික සමාජයීය හා දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා.

අපේ ඇත් පැටවා අනික් අලින්ටත් වඩා හොඳින් පුෂ්ටිමත්. ඒ පිළිබඳව පශු වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය විද්‍යානුකූලව පෙන්වාදී තිබෙනවා. ඒ අනුව එම චෝදනා බොරු වෙනවා.

මෙම බෞද්ධ වි‍රෝධී බලවේග හරි කැමැතියි අපේ රටේ බෞද්ධ ආගමික උත්සව අඩපණ කරන්න.

පන්සල්වල සිටින අලි ටික විනාශ කිරීමට සමහරුන් සත්ව හිංසාව පිළිබඳ වචනයක් ඉස්සරහට දාගෙන අපිට බොරු චෝදනා එල්ල කරනවා.

“මේ සමාජ ජාල වීඩියෝව පරණ එකක්. මේ දර්ශනවල පෙන්වන්නේ ඇතාට කෝටුවෙන් කීප සැරයක් ගහන විදියට. ඒක වීඩියෝ සංස්කරණයක්. අලුත් තාක්ෂණය අනුව තමයි ඒක විකෘති කර හදලා තිබෙන්නේ‍. මේක තනිකරම විකෘති කරලා තිබෙන වීඩියෝවක්. ඒක දැන් පැටියාගේ ප්‍රමාණය දැක්කාම පැහැදිලි වෙනවා. මේ පැටවා වෙනුවෙන් පොකුණු දෙකක් හදලා තිබෙනවා. බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති.

බෙල්ලන්විල ඇසළ මහා පෙරහර 1950 වර්ෂයේ දී පමණ ආරම්භ කරන ලද්දේ එවකට විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ බෙල්ලන්විල සෝමරතන නාහිමියන් වහන්සේ විසිනි.

එදා සිට මේ දක්වා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය අලි ඇතුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් පෝෂණය කළ විහාරස්ථානයකි. වර්තමානයේ මියන්මාර් රාජ්‍යයෙන් ලැබුණු වයස අවුරුදු 15 ක් පමණ වන ‘මියන් කුමාර්’ තරුණ ඇත් පැටවා හා වයස අවුරුදු 65 ක් පමණ වන හීලෑ ඇතින්නක වන ‘මැණිකේ’ ඇතින්න මෙලෙස රැකවරණය ලබයි.‍

අලි ඇතුන් දෙදෙනෙකු නඩත්තු කිරීමේ දී දිනපතා ව්‍යායාම සඳහා ඇවිද්දවීම, අලුත් පොල් අතු, කිතුල්බඩ වගේ ම පලතුරු සැපයීම, දිනපතා නෑවීම, අසනීප වූ විට බෙහෙත් කිරීම, විටමින් වර්ග ලබාදීම, කම්මුල් තෙත් වූ විට ගස් බැඳ ළඟට කෑම ගෙනවිත් දීම, පෙරහරවලට ගෙන යාමට අවශ්‍ය වූ විට පයින් ගමන් නොකර තට්ටු ලොරිවල ප්‍රවාහනය කිරීම හා ඇත්ගොව්වන්ට වැටුප් ගෙවීම ආදී කටයුතු සඳහා මසකට වැයවන මුදල විශාලය. එලෙස අලි ඇතුන්ගේ නඩත්තුව සඳහා විශාල මුදලක් වැය කළත් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය කිසිදු අවස්ථාවක එම අලි ඇතුන් මුදල් ඉපැයීමේ කටයුතු සඳහා යොදාගෙන නොමැති බව බෙල්ලන්විල ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

මියන් කුමාර් ඇත් පැටවා මේ දිනවල විහාරස්ථානය ආසන්නයේ ඇති බෙල්ලන්විල විහාර මාවතේ විහාරස්ථානයට අයත් විශාල ඉඩමක ගස් බැඳ ඇත. ඊට හේතු වී ඇත්තේ ප්‍රථම වතාවට එම ඇත් පැටවාගේ කම්මුල් තෙත් වී ඇති නිසා එම කාල සීමාව තුළ ඇත් පැටවා සුරක්ෂිතව රැකබලා ගත යුතු නිසා ය.

දැනට විහාරස්ථානයේ බැඳ තබා සිටින්නේ වෙනත් අයෙකුට අයත් අලියෙකු නොව විහාරස්ථානයටම අයත් ‘මැණිකේ’ නැමැති අනෙක් ඇතින්නය.

මේ අතර බෙල්ලන්විල රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති කිංස්ලි කුමාර පතිරණ මහතා පවසන්නේ තමා අවුරුදු 20 ක කාලයක් බෙල්ලන්විල පන්සලේ සියලු කටයුතුවලට සම්බන්ධවී කටයුතු කරන බවත් ඒ අනුව පසුගිය වසර 20 ඇතුළතදීම මේ පන්සලේ සිටි අලි ඇතුන්ට පන්සලේ මහ සංඝරත්නය හා ඇත් ගොව්වා ඉතා හොඳින් සලකනු දැක ඇති බවත් ය. මේ පන්ස‍ලේ අලින්ට ඇතුන්ට තරම් වෙන කාටවත් සලකන්නේ නැහැ. විමලරතන හාමුදුරුවෝ ඔය මියන් කුමාර්ට පිටරට ගිහින් එනකොට පැණි සියඹලා පවා ගෙනැල්ලා දෙනවා.

මියන් කුමාර‍ට පන්සලේ උපරිම සැප ලබාදීමට කටයුතු කළ බව මම හොඳටම දුටුවා.‍ 

මෙවැනි දේ අල්ලගෙන බොරුවට කෑගසන පරිසර සංවිධානවලට අපි කියන්නේ දෙහිවල සතුන් වත්තේ හා තර්ජනයට පත් කැලෑවල අලි විඳින දුක පිළිබඳව හොයන්න කියලයි. මීට වසර දෙකකට පෙර හබරණදි ඇතින්නියන් 9 ක් එක් දිනක එක් තැන මැරුණා. ඒ ගැන සෙව්වාද? මේ වැඩ සමහර සංවිධාන සල්ලි ටිකක් හොයාගන්න කරපු වැඩක්. සභාපති කිංස්ලි පවසයි‍.

මේ අතර මහජන ‍අයිතිය බල ගැන්වීමේ සමාජ ක්‍රියාකාරිකයකු වන විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පොලිස්පතිට පැමිණිල්ලක් දමමින් පවසා ඇත්තේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට බුරුමයෙන් ලබාදී ඇති ‘මියන් කුමාර’ අලි පැටවාට කෲර ලෙස සලකන බවයි. මේ සම්බන්ධව අලියාට කෝටුවකින් ගහන වීඩියෝවක් දැන් සමාජ ජාලවල සංසරණය වෙයි.

නමුත් මහා සංඝරත්නය පශු වෛද්‍යවරු පන්සලේ දායක සභාව ඒ චෝදනා ප්‍රතික්ෂේප කරයි. මේ වීඩියෝව හදලා තිබෙන්නේ Vedio edit කර සංස්කරණය කරලා ඡායාරූප විකෘති කරලා ඔවුහු පවසති.

‘මියන් කුමාර’ ලංකාවට ගෙනා පශු වෛද්‍ය ජගත් ජයසේකර ඒ ඇත් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක ලෙස කරුණු පැහැදිලි කරයි. ජගත් ජයසේකර පින්නවල අලි අනාථාගාරයේ ද දෙහිවල සත්ව

උද්‍යානයේ වසර 13 ක් සේවය කළ පශු වෛද්‍යවරයෙකි. දැනට ඔහු පෞද්ගලික සත්ව රෝහලක ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

“මේ ඇත් පැටවා වයසට වඩා හොඳ පුෂ්ටිමත් ලෙස හා සෞඛ්‍යමත් ලෙස ඉන්නවා. 2014 දී මම විමලරතන හාමුදුරුවෝත් එක්ක බුරුමෙට ගිහිල්ල මේ සතාව ගෙනාවේ. එදා ඉඳලා අද දක්වා මේ මියන් කුමාර ඇත් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බලන්නේ මම. මේ සතාට මේ දිනවල කිසිම ශාරීරික ගැටලුවක් නැති බව මම ස්ථිරවම පවසනවා.

දැන් මේ දිනවල මේ ඇත් පැටවා ඉන්නේ මද කිපුණු තත්ත්වයේ. ඒ නිසායි දම්වැල් දාලා ඉන්නේ. සාමාන්‍යයෙන් මේ තත්ත්වය යටතේ ළඟට ගිහිල්ලා පරීක්ෂා කරන්න අමාරුයි. නමුත් මම ඇත් පැටවා 26 දා පරීක්ෂා කළා. කිසිම කරදරයක් අපට කළේ නැහැ.

මම මේ හස්තියා ගේ සෞඛ්‍ය තත්ත්වය මාසෙකට දෙවරක් පරීක්ෂා කරනවා.

“සමාජ මාධ්‍යවල තිබෙන ඇතැම් කරුණු තනිකරම අසත්‍යයි. ඒවා බොරු බවට වෛද්‍ය විද්‍යාත්මකව මම ඔප්පු කරන්න පුළුවන්.

මෙම හස්ත රාජයාගේ වයස අවුරුදු 14 යි. අපි ගේන කොට උස අඩි 5 යි. මේ සතා වේගයෙන් වර්ධනය වුණා. එයට හේතුව අපි දෙන උපදෙස් අනුව පෝෂ්‍ය කටයුතු සියල්ල හොඳින් සිදුවීමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පශු වෛද්‍යවරුන් මේ පැටියාව අධීක්ෂණය කරල තිබෙනවා. ඒ අය මේ සතාව කිසිම ගැටලුවක් නැති බව තහවුරු කළා.

“මේ පිළිබඳව පරීක්ෂා කරන අයත් පිළිගත්ත කරුණක් තමයි මේ ඇත් පැටවාගේ වයසටත් වඩා දේහ වර්ධනය සිදුවී ඇති බව. අපි නිර්දේශ කරන ආහාර වර්ග, විටමින් වර්ග අඩුවක් නැතිව එයාට පන්සලෙන් ලබාදෙනවා.

මෙම සතා මද කිපෙන තත්ත්වයට ඇවිත් තිබෙන්නේ අඩු වයසින්. ඒ කියන්නේ මේ සතාගේ හෝමෝන ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් ක්‍රියාත්මක වීමයි.

හෝමෝන ක්‍රියාකාරිත්වය හොඳින් ක්‍රියාත්මක වීමට ඒ සතා හොඳින් පෝෂණය කළ යුතුයි. ඒ අනුව යම් සතුනට නියම ලෙස ආහාර ලැබෙන්නේ නැත්නම් ශරීරයේ ලෙඩ තිබේ නම් මේ අයුරින් අඩු වයසෙන් මද කිපෙන තත්ත්වයට පත් වෙන්නේ නැහැ.

මෙම සතාගේ සි‍රුරේ තැන් තැන්වල කිසිම කැලලක් නැහැ. මේ සතාගේ කොන්දේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිදු දරුණු තුවාලයක් හෝ සලකුණක් මේ ඇත් පැටවාගේ නැහැ. මේ අනුව මියන් කුමාර හරි නිරෝගී ඇත් පැටවෙක්.

ඒ අනුව මේ ඇත් පැටවාට කිසිම අයුරකින් ශාරීරික පහරදීමක් තුවාල කිරීමක් සිදු කර නැති බව කියන්න පුළුවන්.

ඔය සමාජ මාධ්‍ය මඟින් කරන ප්‍රචාර තනිකරම අසත්‍යයි කියල මම සෞඛ්‍ය විද්‍යාත්මකව අවධාරණය කරනවා. පශු වෛද්‍ය ජගත් ජයසේකර පවසයි. අලි ඇතුන් පිළිබඳ අපට ද කීමට යමක් ඇත.

අලි ඇතුන් සිටින අය අලි ඇතුන්ට හරියට සැලකිය යුතුයි. ඒ සමඟම හීලෑ අලින් පිළිබඳව මෙන් ම වන අලින් පිළිබඳ පරිසර සංවිධාන මීට වඩා අවධානය කළ යුතුව ඇත.

ඡායාරූප - සුලෝචන ගමගේ

Comments