
ලෝක උරැම නකල්ස් වනාන්තරය යනු මිනිසාගේ තිර පැවැත්ම උදෙසා ජීවය ලබාදෙන සොදුරු තක්සලාවක් යැයි කීම අතිශෝක්තියක් නොවේ. විශ්වය බිහි වූදා සිට මානව වර්ගයාගේ තිර පැවැත්ම උදෙසා පරිසරය දායාද කර දී ඇති දෑ බොහෝය.
2010 වසරේදී ලෝක උරැම රක්ෂිත වනාන්තරයක් බවට යුනේස්කෝව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන නකල්ස් රක්ෂිත වනාන්තරය වනාහි රැකගත යුතු සහ දිවි පරදුකොට ආරක්ෂා කරගත යුතු පරිසර පද්ධතියකි.
එහෙව් වකවානුවක පිටවල පතයේ නව ඉදිකිරීමක් සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් නිර්මාණය වන්නේ පසුගිය සතියේය.
පිටවල පතන සමීපයේ සංචාරකයන් සඳහා ප්‍රවේශ පත්‍ර අලවි කටයුතු වල නිරතවන දුම්බර සුරකින්නෝ සංවිධානයේ භාණ්ඩාගාරික ඒ.ජි. ලොකු බණ්ඩා පවසන පරිදි නව ඉදිකිරිමක් සඳහා අවට පිහිටි වසර ගණනාවක් පැරණි ශාක කිහිපයක් ඉවත් කර ඇති අතර තවත් ශාක කිහිපයක් ඉවත් කිරිමට සූදානමක් පවතින බව කියා සිටියි.
පිටවල පතනට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා ඉදිවන මෙම නව ගොඩනැගිල්ල සඳහා විධිමත් අවසරයක් ලබාගෙන තිබේද ? ලෝක උරුම රක්ෂිතයක් තුළ සිදුවන සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කරුණු කාරණා කෙරෙහි අදාළ වග කිවයුත්තන්ගේ අනුමැතිය ලැබී තිබේ ද? මෙම ඉදිකිරිමත් සමඟ අධි සංවේදී පරිසර පද්ධතියකට උරුමකම් කියන පිටවල පතනේ ජෛව විවිධත්වයට යම් හානියක් ඇති වී තිබේ ද ?
මේ ආදී ගැටලු රැසකට පිළිතුරැ සෙවීම මේ ලිපියෙ අරමුණ වී තිබේ.
නකලස් කලාප බාර වන නිලධාරි එන්.සී.ඉළුක්කුඹුරගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඔහු කියා සිටියේ තිස් අවුරුදු සැලැස්මක් සඳහා සංචාරකයන්ගේ පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් නව ගොඩ නැගිල්ල ඉදිවන බවයි.
මෙම ඉදිකිරිම වෙනුවෙන් සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (international union for conservation of nature ) විසින් නියැදි පරික්ෂාවක් සිදුකර වාර්තාවක් ලබා දී ඇති බවයි.
එමෙන්ම මෙම ඉදිකිරීම රජය මඟින් ක්‍රියාත්මක වන ප්‍රජා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානය (community economic development center) මඟින් ඉදිකිරිම් සිදු කරන බවයි.
නකල්ස් කලාපයේ සිදුවන පාරිසරික හානි මෙන්ම වන සතුන් සම්බන්ධයෙන් ද වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුව සංවේදීව නිරන්තරව කටයුතු කරන බවත් කිසිදු අවස්ථාවක පාරිසරික හානි සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් වන නිලධාරි ඉළුක්කුඹුර කියා සිටියේය.
එමෙන්ම ඉදිවන නව ගොඩනැගිල්ලේ දැනට ප්‍රවේශ පත්‍ර අලෙවිකරන ස්ථානයේ සිටින පිරිසට වෙනම කුටියක් වෙන්කර ඇති බව කියා සිටි ඉලුක්කුඹුර අවධාරණය කර සිටියේ මේ තුළින් වඩාත් පුළුල් සංචාරක පහසුකම් නැංවීම අපේක්ෂාව බවයි.
මේ සඳහා මොරගහකන්ද ව්‍යාපෘතිය මුදල් වැයකරන බවත් කිසිදු අයුරකින් පරිසර විනාශයක් මෙම ස්ථානයේ සිදුව නැති බවත් හෙතෙම කියා සිටියේය.
නව ඉදිකිරිම වෙනුවෙන් නිසි අවසරය සහ ශක්‍යතා අධ්‍යයන වාර්තා ද ලබාගෙන ඇති බවත් මේ හේතුවෙන් කිසිදු පාරිසරික හානියක් සිදුව නොමැති බව ද අප කළ විමසීමේ දී නකලස් කලාප බාර වන නිලධාරි එන්.සී.ඉළුක්කුඹුර අවධාරණය කළේය.
මේ අතර මෙම සිදුවීම මාධ්‍ය මඟින් වාර්තා වීමත් සමඟ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණි රෝහිණි කුමාරි විජේරත්න (සජබ) කියා සිටියේ නව ඉදිකිරිම සිදුවන ස්ථානයේ ආවේණික සතුන් සහ ශාක විශේෂ රැසක් විනාශ වී ඇති බවයි.
ඉදිකිරිම් සිදුවන ස්ථානයේ පොළව ආශ්‍රිතව ජීවත් වන ඉතා කුඩා සතුන් මෙන්ම පිටවල පතනට ආවේණික සත්ව විශේෂ රැසක් මෙම සිදුවීම හමුවේ තර්ජනයට ලක්ව ඇති බව ද ඇය කියා සිටියාය. එමෙන්ම කිසිදු අයුරකින් නකල්ස් අධි සංවේදී කලාපයේ සිදුවන ඉදිකිරිම් සඳහා තමන් ඉඩ නොතබන බවත් ඒ සඳහා බලධාරීන් මුනිවත රකින්නේ නම් තමන් ජනතාව සමඟ මේ සම්බන්ධයෙන් අරගල සිදුකරන බවත් කියා සිටියාය.
නකලස් කලාපයේ ක්‍රියාත්මක පරිසර සංවිධාන අතරින් ග්‍රාම අභිවෘද්ධි මධ්‍යස්ථානය හෙවත් ග්‍රැෆික් ශ්‍රී ලංකා පදනමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස අදහස් දක්වමින් කියා සිටියේ නකල්ස් කලාපය ගත් කල මෙම ඉදිකිරිම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.
නකල්ස් කලාපය ආරම්භ වන මැදකන්ද වතු යාය ආසන්නයේ ප්‍රවේශ පත්‍ර කවුළුවක් ඉදිකරන ලෙස සිය සංවිධානය ඇතුළු පරිසර සංවිධාන රැසක් මීට පෙරදී ඉල්ලීම් කළ බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ නිලධාරින් ස්ථානීය පරික්ෂාවන් පවා සිදුකළ බවත් හෙතෙම කියා සිටියේය.
මාතලේ - රත්තොට මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන් රිවස්ටන් මුඳුන නරඹා පසුව පිටවල පතනට පැමිණෙන බවත්, බොහෝ පිරිසක් රිවස්ටන් මුඳුන නරඹා ආපසු යන බවත් ඔහු කියා සිටියේය. නකලස් කලාපයේ සියලු ස්ථාන ආරම්භ වන ස්ථානයකින් ප්‍රවේශ පත්‍ර සහ අවශ්‍ය උපදෙස් ලබාදීමේ වැඩපිළිෙවළකින් තොරව පිටවල පතනේ ස්ථානයක් තෝරාගෙන සිදුකරනු ලබන ඉදිකිරිම් කාලෝචිත ක්‍රියාමාර්ගයක් සේ සැලකිය නොහැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ රක්ෂිත වානාන්තර සම්බන්ධයෙන් සහ පාරිසරික කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දි වඩාත් ප්‍රායෝගික ක්‍රියමාර්ග ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව කලක සිට පවතින බවයි.
යම් සිදුවීමක් සිදු වී අවසන් වු පසු ප්‍රකාශ නිකුත් කිරීම නිෂ්ඵල කරුණක් බව අවධාරණය කර සිටි ඔහු පෙන්වා දුන්නේ අධි සංවේධි පරිසර පද්ධතියක මානව ක්‍රියාකාරකම් අවම විය යුතු බවත්, එවැනි ක්‍රියාවන් සිදුකිරිමේ දී අවසරය ලබාදෙන ආයතන ක්‍රියාත්මක විය යුත්තේ මහපොළවේ සිට බවයි.
අලුතින් ඉදිවන නව ගොඩනැල්ල
ඉදිරියේ දී හෝ යම් මානව ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය හෝ පෞද්ගලික ආයාතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් එවැන්නක අවශ්‍යතාව පිළිබඳව පරිසර සංවිධානයක් වශයෙන් සිය සංවිධානය අවස්ථා ගණනාවක දී පෙන්වා දුන් නමුත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් පාරිසරික ගැටලු මතුවීම ස්වභාවික තත්ත්වයක් බව ද හෙතෙම කියා සිටියේය.
‘ ඇත්ත වශයෙන්ම පිටවල පතනේ දී පමණක් හමුවන පතන් අල (Brachystelma lankana) ශාකයේ ව්‍යාප්තිය සිදුවන්නේ අදාළ ඉදිකිරිම් ස්ථානය ආශ්‍රිතව බවත් හෙතෙම තව දුරටත් කියයි.
එමෙන්ම දුම්බර ගල්පර මැඩියා (Nannophrys marmorata) ජීවත්වන පරිසර පද්ධතිය ද ආසන්නයෙන් පිහිටා ඇති බවත් ගිනිය නොහැකි සත්ව හා ශාක විශේෂ රැසක් පිටවල පතන ආශ්‍රිතව ජීවත් වන බව ද හෙතෙම කියා සිටියේය.
මතුපිටින් දකින දේට වඩා වැඩි යමක් පිටවල පරිසර පද්ධතිය ආශ්‍රිතව පවතින බව අනුමැතිය ලබාදෙන පිරිස් හා ආයතන අවබෝධ කර නොගන්නා තාක් මීටත් සංවේදී කාරණා සම්බන්ධයෙන් තවදුරටත් කතිකා පැවැත්වීමට සමාජයට සිදුවන බව ද හෙතෙම කියා සිටියේය.
ඉන්දික අරුණ කුමාර
නාඋල සමූහ