වතු කම්කරුවෝ ජය ගනිති | Page 2 | සිළුමිණ

වතු කම්කරුවෝ ජය ගනිති

මෙරට තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් (රු.1000) දක්වා ඉහළ නැංවීමට තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාව විසින් සම්මත කර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අනුමත කරන ලද තීරණය ඉකුත් 5 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 900 ක් හා අයවැය සහන දීමනාව රුපියල් 100 ක් වශයෙන් රුපියල් දහසක් වූ වැටුප ඉකුත් 5 වැනිදා සිට ලැබෙනු ඇත.

රුපියල් 1000 ක වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් සටනට බැස්සේ පසුගිය සහපාලන රජය සමයේය. එනම් 2017 වසරේ දීය. එවකට එම රජයේ මනෝගනේෂන්, පලනි දිගම්බරම්, පී.රාධාක්‍රිෂ්ණන්, වඩිවේල් සුරේෂ් ඇතුළු වතුකරයේ ජනතාවගේ ඡන්දයෙනු බලයට පත් වූ මැති ඇමතිවරු විශාල පිරිසක් සිටියහ. එහෙත් ඒ දේශපාලඥයන් සිදු කළේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම කෙසේ වෙතත් එම සටන් සියල්ල පාවා දීම නිසිලෙස ඉටු කළා යැයි චෝදනා කරන්නේද එම වතු කම්කරුවන්මය.

මේ ආකාරයෙන් වතුකරයේ ජනතාව වෙනුවෙන් කටයුතතු කිරීමට වඩා වතු හාම්පුතුන් ආරක්ෂා කිරීම ප්‍රදානම ඉලක්කය වී තිබීම මෙම රුපියල් දහසක වැටුප් වැඩිවීම නොලැබීමට හේතු වූ බව එක්සත් වතු කම්කරු සමිතියේ ප්‍රධාන ලේකම් ඒ. මුත්තුලිංගම් පැවසීය. 

මනරම් තේ වතුයායකින් වටවූ ග්‍රාමයක උපත ලබා එම ජනතාව හා ගැටී සිය ජීවිතයේ මුල් අවදිය ගෙවු අයකු ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවංක චේතනාවෙන් මේ වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමත් පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් දුන් පොරොන්දුවක් මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් මෙම වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙන් දෙන ලද පොරොන්දුව ඉටුකරමින් නිමල් සිරිපාල ද සිල්වා වතු කම්කරු වැටුප වැඩිකරන්නට පියවර ගත්තේය.

වතු කම්කරුවන් ඉතිහාසයේ කිසිදු දවසක සටනකින් තොරව කිසිදු අයිතියක් දිනාගෙන නැත. ඔවුනට වැඩිවූ සෑම සතයක්ම ලබාගෙන ඇත්තේ වැඩවර්ජන උද්ඝෝෂණ, අකුරට වැඩ වැනි සටන් තුළිනි. මෙරට වතු කම්කරු ඉතිහාසයේ අයවැයක් තුළින් වතු කම්කරු වැටුප් වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් වූයේ පළමු වතාවටය. ගැසට් නිවේදනයක් තුළින් කම්කරු වැටුප් වැඩි කර ඇත්තේ දෙවන වතාවටය. එහි මුල් අවස්ථාව වුයේ මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිව සිටිය දී ය. ඒ 2014 ජුලි මස 24 වැනිදාය. ඒ තුළින් වතු කම්කරු අවම වැටුප රුපියල් 405 ක් දක්වා වැඩි කෙරිණි. එයින් පසු වතු කම්කරුවන් වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ පසුගිය 5 වැනිදාය. මෙසේ වතු කම්කරු වැටුප් වැඩිකිරීම පිළිබඳව වැවිලි සමාගම් දැඩි විරෝධයක් පළකළ අතර ඊට යටහත් නොවී සෘජු තීරණයක් ගැනීමට රජය සමත්වීමෙන් පසු කම්කරුවාට පාඩමක් උගන්වන්නටත්, කම්කරුවන්ගෙන් පළිගන්නටත් වැවිලි සමාගම් විවිධ උපක්‍රම යොදමින් සිටිති. කම්කරුවාට වැඩිකළ ආකාරයෙන් රුපියල් දහසක් වූ දෛනික වැටුප ගෙවන අතර ඔවුන්ට වැඩ කිරීමට දෙන දින ගණන අඩුකර මාසික වැටුප අඩුකරන්න සැලසුම් කර ඇති බව වාර්තා විය.

මේ පිළිබඳව කරන ලද විමසුමකට පිළිතුරු දුන් කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් වන්ද්‍රකීර්ති පැවසුවේ මෙවැන්නකි.

‘මේ වැටුප් වැඩිවීම අගමැතිතුමා ඉදිරිපත් කළ අයවැය යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූවක්. ඉන්පසු කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැදිහත් වී පඩිපාලක සභාව සම්මත කළ දෙයක්. 2020 ජනවාරි මාසය වනවිට තේ අපනයනය බිලියන 18.09 ක් වුණා. එය කොරෝනා ප්‍රශ්න මාධ්‍ය‍යේ වුවද 2021 ජනවාරි වනවිට 19.14 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒකියන්නේ 2020 ට වඩා බිලියන 1.05 ක වැඩිවීමක්. එවන් අපනයන ආදායමක් ලැබුණේ මේ කම්කරුවන්ගේ කැපවීමෙන්. එතකොට ඒ අයටත් යම් සහනයක් ලැබිය යුතුයි. එවන් පසුබිමක වැවිලි සමාගම් මෙවැනි දේ කරන්න ගියොත් තේ නිෂ්පාදනය අඩුවෙන්න පුළුවන්. එතකොට ඒ අය ගැටෙන්නේ ආණ්ඩුව සමඟ. ඒහෙම කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ. අපි හැමවිටම සේවකයන්ව ආරක්ෂා කරනවා‘

වතු කම්කරු ජනතාව වෙනුවෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයකුගේ මෙවන් මැදිහත්වීමක් අප දුටු පළමු අවස්ථාව මෙය විය හැකිය. ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රකාශ කළ පරිදි තේ අපනයන ආදායම මෙලෙස වැඩිවී තිබිය දීත් වැවිලි සමාගම් කියන්නේ තමන්ට පාඩුයි කියාය. විශේෂයෙන්ම අප වතුකරයේ කළ සංචාරයන් හි දී පෙනී ගිය වැදගත්ම කාරණය වන්නේ රාජ්‍ය වතු පුද්ගලික අංශයට ලබාදීමෙන් පසු වතුවල නඩත්තුව සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති අයුරුයි. තේ ගස්වලින් පිරී පැවැති කඳුයායවල් බොහෝමයක තේ විනාශ වී තණබිම් බවට පත්ව තිබීමත් තේ ගස් කප්පාදු නොකර, තේ වගාවන් අලුතින් සිදු නොකර විනාශ වන්නට ඉඩහැර ඇති බවකි. එමෙන්ම තේ කර්මාන්තශාලා රැසක් වැසීගොස් තිබිණ. තේ වතුවල පැවැති විශාල ගස් කපා ඉවත් කර සමහර ප්‍රදේශ කාන්තාර ලෙස දිස්වන තත්ත්වයකි. මේ සියල්ල වෙනස්විය යුතු තත්ත්වයක් හමුවේ වැවිලි සමාගම් කම්කරුවාගේ පඩිය අඩුකරන්න සැලසුම් කිරීම කොතෙක් දුරට සාධාරණද ?

මේ පිළිබඳව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මෙන්ම අගමැතිවරයාගේ වැවිලිකරය සඳහා වු සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොන්ඩමන් අදහස් දැක්වූයේ මෙපරිද්දෙනි.

‘වතු කම්කරු වැටුප් වැඩිකරන්න ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගැන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට ස්තූතිය පළ කරනවා. කම්කරු වැටුප් වැඩි කළාම වැඩකරන දිනගණන අඩු කරනවා කියලා සමාගම් කියනවා. අපි ඒකටත් මුහුණ දෙන්න සූදානම්. ඒ අය වැඩ දවස් අඩුකළොත් අපේ කම්කරුවන් දවසට නෙළන්නේ තේ දලු කිලෝ එකක් හෝ දෙකක් විතරයි. ඒ අයට මේ ආණ්ඩුව ගත්ත තීරණ එක්ක සෙල්ලම් කරන්න බෑ‘

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳව පැවසුවේ මෙවැන්නකි. 

‘වසර පහකට ආසන්න කාලයක් දිග්ගැස්සෙමින් කල් දමනු ලැබූ වතු කම්කරුවන්ගේ මෙම රුපියල් දහස දක්වා දෛනික වැටුප වැඩි කිරීමේ ඉල්ලීම ඉටුකරන බවට ජනාධිපතිතුමා රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළින් ලබාදුන් එකඟතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් පසුගිය අයවැයේ දී තහවුරු කළා. අප විසින් දිගින් දිගට වතු සමිති නායකයන් සහ හාම්පුතුන් සමඟ කරන ලද සාකච්ඡා වලින් පසුව එම ඉල්ලීම යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් හා වෙනත් කටයුතු පිළිබඳව මීට පෙර ක්‍රියාත්මක වූයේ වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් විසින් අත්සන් තබනු ලැබූ සාමූහික ගිවිසුමට අනුවයි.

ඒ අනුව පසුගිය මාස කිහිපයක් මෙම වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡා වට 12කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා.

දෙපාර්ශ්ව ඉදිරිපත් කළ කොන්දේසි වලට දෙපාර්ශ්වයේම ඇතිවූ පරස්පර විරෝධීතාවන් නිසා එම සාමූහික ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි වූණා. පඩි පාලක සභාව ස්ථාපිත කොට ඒ අනුව රජයේ නියමයන්ට අනුකූලව දෛනික වැටුප් තලයන් හි වතු කම්කරුවන්ගේ වැටුප් පිහිටුවා තිබෙනවා.

වෘත්තී සමිති නායකයන් ඉදිරිපත් කළ යෝජනාව රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් සීයක අයවැය යෝජනා දීමනාවක් මෙම යෝජනාවට හාම්පුතුන් එකඟ නොවූ නිසා පැවැත් වූ ඡන්ද විමසීමේ දී ඡන්ද 11ට අටක් ලෙස වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුණා. ඒ අනුව ගැසට් එක නිකුත් කළා.

ටී. චන්ද්‍රසේකර

Comments