සිකුරු මීනයේ උච්ච වීම ඔබට කොහොමද... | Page 2 | සිළුමිණ

සිකුරු මීනයේ උච්ච වීම ඔබට කොහොමද...

 

2021 මාර්තු 17 බදාදා අලුයම 03.01ට සිකුරු ග්‍රහයා මීන රාශියට සංක්‍රමණය වී උච්ච බලය පතුරු වන්නේය. ඒ අනුව කේන්ද්‍රයක 06 - 08 - 12 යන ස්ථාන හැර 01 - 02 - 03 - 04 - 05 - 07 - 09 - 10 - 11 යන ස්ථානයක සිකුරු ස්ථානගත වීම ඉතා සුබඵල දෙන බලවත් පිහිටීමක් වනු ඇත.

 

ඒ අනුව මෙම සිකුරුගේ සම්ප්‍රාප්තිය මේෂ - සිංහ - තුලා යන ලග්නහිමි අයට අසුබඵල ද වෘෂභ, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්න හිමියන්ට ඉතා සුබඵල ද හිමිකර දෙනු ඇත. මාර්තු 17 බදාදා 03.01ට සෞරග්‍රහ මණ්ඩලයේ රූමතිය ලෙස ද විටෙක වීනස් දෙව්දුව ලෙස ද ලක්ෂ්මී වශයෙන් ද හඳුන්වන සිකුරු ආදරයට, ආලයට හා කාමයට මුල්වන ග්‍රහයාය. වෘෂභ තුලා රැසෙහි අධිපතිත්වය දරන සිකුරු ගුරුගේ රාශියක් වන මීනයේ ද උච්ච බලදෙයි. බුධගේ රාශියක් වන කන්‍යාවේදී රූමත් වෙයි.

සිකුරු සුබ රාශිවල කේන්ද්‍රගත වීම හෝ ත්‍රිකෝණ ස්ථානයක වීම සමාජයේ ප්‍රකට අය බිහි කරයි. සමාජයේ කැපී පෙනෙන ආකර්ෂණීය වන නළුවන් නිළියන්, වාද්‍ය ශිල්පීන් හා නර්තන ශිල්පී ශිල්පිනියන් බිහි වන්නේද සිකුරු බලවත් වූ විටයි.

ගන මීදුම් පටලයකින් වැසී තිබෙන නිසා සිකුරු සීතල ග්‍රහයෙකි. කාන්තිය අඩුවැඩි වෙමින් දිදුලයි. සියලු සුබඵල දීමේදි සිකුරු ප්‍රමුඛයාය. මිනිසාගේ ඔපය - සංදර්ශනය කෞෂල්‍යය ආදියට අධිපති වන සිකුරු කෙනකුගේ රූප සොබාව ප්‍රීතිය ප්‍රේමය සෞන්දර්යය නොඅඩුව දෙයි. වියදම් අධික කෙළිසෙල්ලමින් කල් ගෙවන ආශාවට, රූප සොබාවට බලවත් වන සිකුරු 01 - 04 - 07 යන ස්ථානවලදීද 05 - 09 - 11 යන ස්ථානවලදීද ඉතා උසස් ප්‍රතිඵල දේ.

සැහැල්ලු රස ආහාර පිළිබඳ කැමැත්ත, ස්වාමියා බිරිය අතර කැමැත්ත හා කාමභෝගී වීම සිකුරු දෙන බලය වේ. සිකුරු බලවත් තැනක වූ විට සුබඵල ද සිකුරු අසුබව පීඩාවූ විට අසුබඵල ද ගෙනදෙයි. සිකුරු උච්චව බලවත්ව පවතින කේන්ද්‍රයක ජන්මියා ජීවිතයේ සුබවාදි ලෙස සිතයි. ළමා කාලයේ සිකුරු බලවත් අය සෞන්දර්ය කලාව ප්‍රගුණ කරමින් උසස් චින්තනයක් ලබා අධ්‍යාපනය හොඳ හැටි කරගෙන යයි.

ළමා කාලයේ සිකුරු නීචවූ විට සියලු ඉගෙනුම් කටයුතු අත්හැර දමා අපිළිවෙළින් ඉගෙනුම කඩා කප්පල් කරගනී. සැහැල්ලුව නිදහසේ හිඳීම හුදු විනෝදාස්වාදය ඔහු හෝ ඇය භුක්ති විඳී. ඒ තුළින් ඉගෙනුම කඩා කප්පල්වේ. තරුණ වියේ සිකුරු බලවත් වූ විට ඉතා සෞන්දර්යවාදියකු, පිළිවෙළට කටයුතු කරන පිරිසුදුව කටයුතු කරන විශ්වාසවන්ත ආදරවන්තයකු කරයි.

බොහෝ විට විවාහය පවා සුබවාදි ලෙස ඉක්මන් වෙයි. තරුණ වියේ සිකුරු පාප පීඩිතව ඇති අය අපිළිවෙළින් අපිරිසුදුකමින් කාමභෝගි බව අයුක්ති සහගත ලෙස හසුරුවමින් සල්ලාල ජීවිතයකට පත්කරයි.

බොහෝ විට පර ස්ත්‍රීන් කරා ඇලෙමින් ඒ ඔස්සේ යනවා විනා විවාහයක් පවා කර නොගනී. නාස්තිකාර ජීවිතයක් ගත කරයි. බොහෝ විට අතමිට හිඟ දිළින්ඳකු කරයි.

මහලු වියේ සිකුරු බලවත් වූ අය ඉතා පැහැදිලි මානසික සුවයෙන්, ශීලාචාර, තැන්පත්, ආගමට දහමට ලැදි හා පරිසරකාමි තමාටම අනන්‍ය වූ තැන්පත්වූ ජීවිතයක් ගත කරයි.

සමහර අයගේ මරණය පවා ශාන්තය. එබඳු අය ජීවිතය වින්දන කරනවා මිස ජීවිතය විඳවන්නේ නැත. එහෙත් මහලුවියේ සිකුරු අසුබ වන අය පීඩාකාරි මානසික අසහනයකින් වෛරය, ක්‍රෝධය, හිංසාව මුල්කොටගත් ජීවිතයකට හුරුවෙයි.

ඔහු හෝ ඇය අවසාන භාගයේදි විවිධ මානසික රෝගීන් ලෙස සමාජයේ ගැරහුමට හා පිළිකුලට පත්වන අයම වන්නෝය. මේ අනුව සිකුරුගේ හොඳ නරක අපට හොඳ හැටි වටහා ගැනීමට පුළුවන.

Comments