
2015 වසරේ දෙසැම්බර් 21 වැනිදා පස්වරු 2.30ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් දෙමටගොඩ වෙළෙඳසැලක සේවය කරන 34 හැවිරිදි අමිල ප්‍රියංග අමරසිංහ නමැති ගොතටුව ප්‍රදේශයේ පදිංචි තරුණයකු අයුතු ලෙස පැහැර ගෙනගොස් සිරකර තබාගෙන වදහිංසා පමුණුවා තුවාල කිරීමේ වරදට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ ආධාරකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන සමයේ නඩුවක් ගොනුකර තිබිණ. එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් අට දෙනා 2017 නොවැම්බර් 24 වැනිදා අධිකරණය හමුවේ වරද පිළිගත් අතර එහිදී අධිකරණය විසින් වසර 12කට අත් හිටවූ වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවමක් සහ දඩමුදල් නියම කෙරිණ. එහිදී විත්තිකාරිනිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් වරද පිළිනොගැනීම හේතුවෙන් මෙම නඩුව අඛණ්ඩුව සිදු කිරීමට පියවර ගැණිනි.
එම සිදුවීම සැකැවින් මෙසේය,
දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක සේවය කළ 34 හැවිරිදි තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබිණ. මෙම තරුණයා පැහැරගෙන යන ආකාරය එම වෙළෙඳසැලේ සීසීටීවී කැමරාවල සටහන් වී තිබිණ. පසුව එම වෙළෙඳ සැළේ හිමිකරු වන දෙමටගොඩ බේස්ලයින් පාරේ පදිංචි කලීල් මොහොමඩ් සෆ්රීන් විසින් මේ බව දෙමටගොඩ පොලිසියට පැමිණිලි කර තිබුණි.
ගොතටුව වැල්ලම්පිටියේ පදිංචිකරුවකු වූ අමිල ප්‍රියංග අමරසිංහ නමැති සිය වෙළෙඳසැලේ සේවය කළ අය පසුගිය 21 දා දහවල් 2 ට පමණ වෙළෙඳසැලට කඩා වැදුණු පුද්ගලයන් 6 දෙනකු විසින් පහරදී අංක 62-1859 දරන කළු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් පැහැරගෙන ගියේ යැයි එහි සඳහන් වී තිබුණි. අදාළ සිදුවීම දැක්වෙන සීසීටීවී කැමරා දර්ශනද මාධ්‍යවෙත නිකුත් කර තිබිණි.
පැහැරගෙන යාමෙන් අනතුරුව මුදාහල තරුණයා දෙමටගොඩ පොලීසියට කටඋත්තරයක් ලබාදෙමින් කියා සිටියේ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් තමන්ට පහරදී බිය ගන්වා කොළොන්නාවේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කාර්යාලයක් වෙත රැගෙන ගිය බවයි. එම අවස්ථාවේ එහි පුටුවක වාඩි වී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බවත්, ඒත් සමඟ ම ඇය ගේ පුද්ගලික ආරක්ෂකයන් තමන්ට නැවතත් පහරදීමට පටන් ගත් බව ඔහු පොලිසියට පැමිණිලි කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලනවිට දැනගැනීමට හැකි වූයේ අදාළ තරුණයා පැහැරගෙන යාමට යොදාගත් ලියාපදිංචි අංක 62-1859 දරන ඩිෆෙන්ඩර් රථය එවක පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කර තිබූ බව ය.
ඒ අනුව දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නැමැති අය අයුතු ලෙස සිර කිරීමේ අදහසින් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නැමැත්තා අයුතු ලෙස සිර කිරීම පොදු අරමුණක් කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කර ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම, ඇතුළු චෝදනා මත දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතළ වැඩ සහිත සිර දඬුවම් දිය හැකි බව එම අධිචෝදනා තුළ විය. අදාළ සිද්ධිය සිදුවී මාස හතක පමණ කාලයක් තුළ නීතිපතිවරයා විසින් අධිචෝදනා 29 යටතේ නඩු පවරා එය සනාථ කරනුවස් කුඩා දැරියක ඇතුළු සාක්ෂිකරුවන් දසදෙනකුද ලේඛන සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද නීතිපතිවරයා දැනුම් දී තිබුණි.
ඉන් අධිචෝදනා අටක් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පුද්ගලික ආරක්ෂකයන්ට එල්ල වූ අතර, අනෙක් අධිචෝදනා සියල්ල විත්තිකාරිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එල්ල වීම විශේෂත්වයකි.
මෙම චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇය වැරදි පිළිනොගත්ත ද ඇයගේ පුද්ගලික ආරක්ෂකයන් සියලු දෙනා 2017 නොවැම්බර් 24 වැනිදා අධිකරණය හමුවේ තම වරද පිළිගෙන තිබුණි. එ් අනුව ඔවුන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කැඳ වූ අවස්ථාවේ දී රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතීඥයකු වන ජානක බණ්ඩාර නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන්ට එල්ල වී ඇත් චෝදනාවලට වසර දහයකුත් මාස 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ හැකි බවය.
උපුටා ගැනීම,
"ගරු ස්වාමීනී...තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන ගිය මනුස්සයෙක්ව එන්න බෑ කියල කියද්දී; කොලරයෙන් ඇදගෙන ඇවිල්ලා ඩිෆෙන්ඩරයට දාගෙන මන්ත්‍රීවරියගේ ඔෆිස් එකකට ගේනවා. ඒ විදියට අඩන්තේට්ටම් කරල ඉවරවෙලා කොලරයෙන් අල්ලන් ඇදගෙන එන හැටි හැමදෙයක්ම පැහැදිලිව සී.සී.ටී.වීවල සටහන් වී තිබෙනවා. ඒවා අප විසින් ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා."
"ස්වාමීනී සාමාන්‍ය මිනිස්සුන්ව මේ විදියට බෙල්ලෙන් ඇදන් යන මේ අය කවුද? පොලීසියද? ඉස්සර සුදු ඩිෆෙන්ඩර් ගියා වගේ දැන් කළු ඩිෆෙන්ඩර්.
ගරු ස්වාමීනී මිනිස්සුන්ට මේ විදියට නිදහසේ ඉන්න තියෙන අයිතිය නේද මේ කෙළසන්නේ. ඒ අයිතියට නේද මේ අය අභියෝග කරන්නේ. එහෙම කරන්න මේ විත්තිකාර පාර්ශ්වයේ කිසිවකුට බැහැ.
උපුුටා ගැනීම අවසන්
මෙහිදී පැහැරගැනීමට ලක් වූ තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් කළ පැහැර ගැනීමත්, පහර දීමත්, තර්ජනය කිරීමත් නිසා සිය සේවාදායකයා මානසික විශාදයෙන් පෙළෙන බවය. එසේම සිය සේවාදායකයාගේ ස්ථීර රැකියාව මෙම සිද්ධියෙන් පසුව අහිමි වී ඇති හෙයින් සාධාරණ වන්දි මුදලක් විත්තිකරුවන්ට ගෙවීමට නියෝග කරන ලෙසය.
ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ චූදිතයන් 06 දෙනකුට සිර දඬුවම් නියම කළ අතර, පෙරවැරදි නොතිබීම හා මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම යන සාධක මත වසර 12ට අත් හිටවූ වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවමක් සහ දඩමුදල් නියම කරන බව සඳහන් කළේය.
මෙම විත්තිකරුවන් අතරින් පස්දෙනකුට රුපියල් 32,500 බැගින් රුපියල් 165000ක දඩ නියම කළ විනිසුරුවරයා රුපියල් 40,000 බැගින් අගතියට පත් පාර්ශ්වයට වන්දි ගෙවන ලෙස නියෝග කළේය. ඒ අනුව ගෙවිය යුතු වූ මුළු වන්දි මුදල රුපියල් 2,85,000කි. මෙම දඩ මුදල් විත්තිකරුවන් විසින් නොගෙවන්නේ නම් මාස 09ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් වන බව අධිකරණය ප්‍රකාශ කළේය.
මෙහිදී සිද්ධියේ පස්වන චූදිතයාට රුපියල් 10000 වෙනම වන්දි මුදලක් ගෙවීමට නියම කළ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පිරිස අතර සිටි රජයේ සේවකයකුට රුපියල් 75,000 වන්දියක් ගෙවීමට නියම විය. මේ අවස්ථාවේදී විනිසුරුවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙකී සිද්ධියේ 08වන චූදිතයා පාසල් ශීෂ්‍යයකු බැවින් ඔහුට සහ රජයේ සේවකයාට සිර දඬුවම් නියම නොකරන බවයි.පාසල් ශිෂ්‍යයාට තදින් අවවාද කළ විනිසුරුවරයා, "වසර දෙකක කාලයක් යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් නියම කළේය.
අධිචෝදනාවලින් වැඩි ප්‍රමාණයක් තමන්වෙත එල්ල වී තිබුණද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඒවා පිළිනොගත් නිසා ඇයට එරෙහිව නඩු විභාගයක් අඛණ්ඩව සිදු කරන ලෙස නියෝග කළේය.
ඒ අනුව අදාළ නීතිකෘත්‍ය 2021 මර්තු මස 10 වැනිදා කැඳ වූ අවස්ථාවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ හෝ ඇය වෙනුවෙන් නීතීඥවරයකු පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වරෙන්තු නිකුත් කළේය. එලෙස වරෙන්තු නිකුත් කර සුලු මොහොතකට පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට පැමිණියාය.
එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අභිමානි රන්දෙනිය කියා සිටියේ තම සේවාදායිකාව පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ සිටියද ඇයට මාස එකහමාරක් වයසැති බිළිඳකු සිටින බැවින් දරුවාට මව් කිරි දීමට යාම හේතුවෙන් නියමිත වේලාවට අධිකරණ ශාලාවට ඇතුළු වීමට නොහැකි වූ බවයි. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු අමල් රණරිජා වරෙන්තුව යළි කැඳවීමට නියම කළ අතර, මින් මතු නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කර විත්තිකාරිය පෙර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. ඒ අනුව තරුණයකු පැහැරගෙනගොස් පහරදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබූ සාක්ෂි සලකා බලා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇයගේ පුද්ගලික ආරක්ෂකයන් අට දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 29 ක් ගොනු කිරීමට පියවර ගත්තේය.