
රට තුළ පවතින වනාන්තර ප්‍රමාණය අඩු වීමත් සමඟම ඒ තුළ සිටින වනසතුන්ට ජීවත්වීමට ඇති අවකාශය හීන වෙයි. ඒ හේතුවෙන් අද වන විට වනසතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිත ද අවදානමකට පත්වී තිබේ. එහි නොවිසඳිය හැකි බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත්තේ අලි- මිනිස් ගැටුමයි.
නිර්මාණය වී ඇති අලිමිනිස් ගැටුම මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 ක් වෙළාගෙන ඇතිබව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ.
හම්බන්තොට අලි රක්ෂිතය
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය නම්කරනු ලබන්නේ 2010 වර්ෂයේ සිට හම්බන්තොට සිදුකළ දැවැන්ත සංවර්ධනය හේතුවෙන් අවතැන්වන වන සතුන් හට වාස භූමියක් තැනීම පදනම් කරගෙන ය. මුල් කාලීනව ඒ වෙනුවෙන් හෙක්ටෙයාර 50000 වෙන් කර තිබුණත් එම වෙන්කර තිබූ භුමියෙන් ද විටින් විට සංවර්ධන කටයුතු හා ගොවිතැන් කටයුතු වෙනුවෙන් ඉඩම් ලබාදීම සිදුකිරීම තුළ අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර 25000 කටත් වඩා අඩු කොටසකි.
එම ඉතිරිව ඇති මහවැලි අධිකාරියට අයත් කොටසේ විවිධ ව්‍යාපාරිකයන් ගල් මෝල්, හේන් ගොවිතැන් මෙන්ම තවත් විවිධ වාණිජ කටයුතු සිදුකිරීම බහුලව දක්නට ලැබෙන දෙයකි.
විශේෂයෙන්ම මෙම යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ බහුලව සිදුකරනු ලබන අනවසර වගාකරුවන් නිසා ද විශාල ලෙස මෙම රක්ෂිත කොටස හෙළිපෙහෙළි වී තිබේ.
මෙවන් පසුබිමක එම ප්‍රදේශයන්හි සිටින වන අලි ගම්වැදීම තුළින් ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව දැඩිසේ පීඩා විඳිති. එහි දී සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් මෙන්ම හම්බන්තොට, ලුණුගම්වෙහෙර ඇතුළු ගම්මාන ද ඒ අතර වේ. නමුත් මෑත කාලීනව මෙම වන අලි ගැටලුව අම්බලන්තොට දක්වා ද පැතිර තිබීම නිසා එම ප්‍රදේශවල ජනතාව ද වන අලි කරදරවලට මුහුණ දෙමින් සිටිති.
• ගොවීන්ගේ මාරාන්තික උපවාසය
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන් පවතින අලි මිනිස් ගැටුම සඳහා විසඳුමක් වශයෙන් යෝජනාකර තිබෙන හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7දෙනකු සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ පසුගිය ජනවාරි 18 වැනි දා සත්‍යග්‍රහයක් හා 20 වැනි දා සිට මාරාන්තික උපවාසයක් ද ආරම්භ කරන ලදී.
මෙසේ ආරම්භ කළ සත්‍යග්‍රහය සඳහා දින 52කට ආසන්න කාලයක් ගත වී තිබියදීත් ඒ සඳහා විසඳුමක් නොමැතිකම හේතුවෙන් පසුගිය 07 වැනි දා එක් ගොවි මහතෙකු මාරාන්තික උපවාසයක් ද ආරම්භ කළ අතර ඒ සඳහා සහයෝගය දැක්වීමට පසුගිය 08 වැනි දා ගොවි කාන්තාවන් දෙදෙනෙකු ද එක්වීම විශේෂත්වයක් විය. නමුත් මෙම වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සඳහා කිසිදු බලධාරියෙක් මේ වන තෙක් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බව ගොවි සංවිධාන පෙන්වා දෙති. එමෙන්ම මෙම වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ පියවර ගන්නා බවට අමාත්‍ය චමල් රාජපක්ෂ ජනවාරි 23 වැනි දා දින මාරාන්තික උපවාසයේ නියැලුණු ගොවින් හමුවී ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය අවසන් කෙරුණි. නමුත් එම පොරොන්දුව ලබා දී මසකට අධික කාලයක් ගතවී ඇතත් එය ඉටු කිරීමට බලධාරීන් ,දේශපාලනඥයන් සමත් නොවුණු බැවින් ඒ හේතුවෙන් නැවතත් මේ ආකාරයෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සිදුවූ බවයි ගොවීන් පවසා සිටින්නේ.
එමෙන්ම එහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ය.
දිනෙන් දින මේ ආකාරයෙන් අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද කරමින් සිටීම තුළ වන අලින්ට වෙන්කර තිබෙන එම රක්ෂිත ප්‍රදේශයට අයත් ඉඩම්, විවිධ ජාවාරම්කරුවන් හා දේශපාලන හිතවතුන් විසින් අල්ලාගැනීමට කටයුතු කරන බවයි සත්‍යග්‍රහයේ හා මාරාන්තික උපවාසයේ නියැළෙන ගොවීන් හා සංවිධාන පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් අයි. කේ. සුදර්ශන මහතා,
'' අද වන විට මේ රක්ෂිත ප්‍රදේශය ගැසට් නොකිරීම තුළ මේ වන විට අලි මිනිස් ගැටුම හේතුවෙන් ගොවීන්හට ගොවිතැන් කරගැනීමට නොහැකි තත්වයක් උදාවී තියෙනවා ,ඒ සඳහා තිබෙන එකම තිරසාර විසඳුම මේ රක්ෂිත ප්‍රදේශය ගැසට් කිරීම පමණයි.
අද වනවිට 2010 සිට ආරම්භ කරපු සංවර්ධනය ඇතුළේ අවතැන් වූ වන සතුන් දැන් ඉන්නේ අපේ වගා බිම්වල. දැන් මේක ගැසට් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණත් කිසිදු විනිවිධභාවයක් මේකේ ඇතුලේ අපිට පෙන්නේ නෑ. මොකද මේක ඇතුළේ අනවසර ක්‍රියාකාරකම් බහුලව සිද්ධ වෙනවා. ඒ නිසා මේක ගැසට් කරලා වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් භාර දෙන්න කියල තමයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ''
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බලධාරීන් අඩු අවධානමකින් කටයුතු කරන බව චෝදනා කරමින් මෙන්ම වල් සපුගල ගොවීන්ගේ සත්‍යග්‍රහය සඳහා සහයෝගය පිණිස පෙබරවාරි මස 01 වැනි දා සහ පසුගිය 10 වැනි දා විරෝධතා දෙකක් පවත්වන ලදී. පසුගිය 10 වැනිදා අම්බලන්තොට නගරයේ දී පැවතී විරෝධතාව කොළඹ කතරගම මාර්ගය අවහිර කරමින් ගොවීන් දහසකට ආසන්න ප්‍රමාණයක සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
පසුව එම විරෝධතාකරුවන් හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරි පිටදී ද විරෝධතාවයේ නියැළුණු අතර එය අවසන් වූයේ වනජීවී අධ්‍යක්ෂ ජනරල්වරයා මෙය ඉක්මණින් ගැසට් කරන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුවත් සමඟ ය.
මේ සමඟ සූරියවැව වල්සපුගල ගොවින් ගෙනගිය මාරාන්තික උපවාසය නතර කෙරුණු නමුත් ඔවුන් කියා සිටියේ මෙය ගැසට් කර අදාළ කටයුතු සිදුකෙරෙන තෙක් සත්‍යග්‍රහය අඛණ්ඩව ගෙන යන බවයි.
• ආණ්ඩුවේ පියවර
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු යෝජනාවක් ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම ප්‍රහේලිකාවක් බවයි.
“ගැසට් පත්‍රයක් මුද්‍රණයට යැවීමේ සාමාන්‍ය ක්‍රියාදාමයට අයත් හා අත්‍යවශ්‍ය පියවර ගණනාවක් මේ වනවිට සාර්ථකව අවසන් කරලා තියෙනවා.
එහි ඉතාමත් වැදගත් පියවර වන්නේ ගැසට් පත්‍රයේ අරමුණ හා අන්තර්ගතය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. ඒ කාර්යය සිදුකරලා ඉවරයි”
එමෙන්ම හම්බන්තොට වන අලි කළමනාකරණ ගැසට් පත්‍රය සැකසීමේ ක්‍රියාවලියේ දී ඒ ආශ්‍රිත නීතිරීති රෙගුලාසි මෙන්ම විවිධ දෙපාර්තමේන්තු තුළ මඟ පෙන්වීම ද සැලකිල්ලට ගතයුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, හම්බන්තොට