එන්න යන්න නාගදීප වන්දනාවේ! | Page 2 | සිළුමිණ

එන්න යන්න නාගදීප වන්දනාවේ!

සුදු බෝධිය

 

නාගදීප සංචාරයකින් පසු

තිස් වසරක් තිස්සේ බෞද්ධ ජනතාවගේ වන්දනාවෙන් ඈත්ව තිබූ නාගදීපය ත්‍රස්තවාදය නිම කිරීමෙන් පසුව වන්දනාකරුවන්ගේ වන්දනාවට පාත්‍ර වුවද යුද්ධයෙන් වූ හානිය දෙස වැඩි අවධානයක් යොමු වූයේ නැත. එහි සංවර්ධන කටයුතු සිදුවුවත් නාගදීපය කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත්තේ මේ වසරේ වෙසක් පුන් පොහෝ දිනය. ඒ රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට රජය තීරණය කිරීමත් සමඟිනි. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් නාගදීපය හා සම්බන්ධ ඉතිහාස කතාව මෙරට නාග ගෝත්‍රිකයන්ගේ ජීවන සමය දක්වාම දිව යයි.

ඉතිහාසගත කතාවන්ට අනුව නාගදීපය ඇතුළු මුහුදේ ප්‍රධානියාව සිටි මහෝදර නා රජුගේ සහෝදරිය වූ තිරවිකා නම් නාග කන්‍යාව කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට සරණ පාවා දෙන ලදී. චූලෝදර ඔවුන්ගේ පුතණුවන්ය. චූලෝදර පසුව වඩුන්නාගල (කල්පිටියේ) සිටි බවද සඳහන්ය)

විවාහයේ දී පිය රජු ඇයට මැණික් පුටුවක් තෑගි කළේ ය. මහෝදර නා රජුගේ සොහොයුරිය වූ තිරවිකා හදිසි අසනීපයකින් මිය ගිය පසු මහෝදර නා රජු එම පුටුව ආපසු ඉල්ලා සිටියේ ය. එය ආපසු බාර දීම බෑනණුවන් වූ චූලෝදර ප්‍රතික්ෂේප කෙළේය. එය හේතු කරගෙන චූලෝදර සහ මහෝදර අතර යුද්ධයකට මඟ පෑදිණි. මහෝදර නා රජුගේ මාමා වූ කැලණියේ මණි අක්ඛිත නා රජු ද එම සටනට සහභාගි වීම සඳහා නාගදීපයට ගියේය.

මැණික් පුටුව නිසා ශ්‍රී ලංකාවේ නාගයන් අතර දරුණු සටනක් ඇතිවන බව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියහ. ඒ බුද්ධත්වයෙන් පස්වැනි වසරේ බක් පොහෝ දිනය. බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩි දෙවන අවස්ථාව මෙයයි. බුදු රජාණන් වහන්සේ මෙරටට වැඩම කිරීමට පෙර දෙව්රම් වෙහෙර අසල කිරිපලුරුකෙහි වාසය කළ සමිද්ධි සුමන දෙවියන් පෙර භවයක මණිනාගදීපයේ විසූ නිසා තමන් වහන්සේ සමඟ ලංකාවට පැමිණෙන ලෙස දන්වා සිටියහ.

සමිද්ධි සුමන දෙවියන් යළිත් එම ප්‍රදේශයෙහි වාසය කරවුවවොත්, ඔහුටත්, නාගයන්ටත් යහපතක්‌ සිදුවන බව බුදුරජාණන් වහන්සේට පෙනුණි. ඒ නිසා කිරිපලු රුකත් රැගෙන නාගදීපයට යැමට එන ලෙස බුදුරජාණන් වහන්සේ දේවතාවන්ට දැනුම් දුන්හ. ඒ අනුව සමිද්ධි සුමන දෙවියන් බුදුරජාණන් වහන්සේට ජත්‍රයක් සේ කිරිපලු රුක ගෙන සෙවණ කරමින් පිටුපසින් පැමිණියේය.

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩමවා ආකාශයෙහි වැඩ හිඳිමින් යුද වැදීමට සූදානම්ව සිටි නාගයන් දමනය කරනු පිණිස මහත් ගන අඳුරක් මැවූ සේක. එයින් නාගයින් බියපත් වූ විට පසුව ආලෝකයක් විහිදුවා තමන් වහන්සේ ඔවුනට දකින්නට සැලැස්වූ සේක. එයින් ඉමහත් සොම්නසටත්, සැනසීමටත් පත් නාගයෝ සම්බුදු සිරිපා අබියස වැඳ වැටුණාහ. මැණික් පුටුවද බුදුරජාණන් වහන්සේට පූජා කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩ හිඳ නා රජවරුන් ප්‍රමුඛ නාග සේනාවන් සමඟි කරවීම පිණිස ධර්මය දේශනා කළ සේක.

පසුව චූලෝදර මහෝදර නා රජවරු ඇතුළු පිරිසට සමගියෙන් සිටීමේ අනුසස් දේශනා කර ආරවුල ඇතිවූ මිණිපලඟ හා සමිද්ධි සුමන දෙවියන් ගෙනආ කිරිපලු රුක වන්දනාමාන කිරීමට ඉතිරි කර වැඩිසේක.

නාගයෝ කිරිපලු රුක රෝපණය කර ඒ අසල මිණි පලඟ තැන්පත් කර චෛත්‍යයක් සාදවන ලදී. එය නාගදීප වෛත්‍යයයි. මේ චෛත්‍ය කිරිපලු රුක අසල පිහිටි නිසා රාජායතන චෛත්‍යය ලෙස ද ප්‍රකට විය.

එසේ කාලයක් නාගයන්ගේ වන්දනාවට පත් වූ නාගදීපය 12 වැනි සියවසේ දකුණු ඉන්දීය ආක්‍රමණ හා. 1505 වසරේ සිට අධිරාජ්‍යවාදී ආක්‍රමණ නිසාත් අභාවයට යන්නට විය. පසුව 1931 වසරේ නාගදීපයට වැඩම කළ රන්දොඹේ සෝමසිරි තිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් යළිත් නාගදීපය බෞද්ධ වන්දනාව පිණිස සකස් කර ගන්නා ලදී.

එහෙත් 1958 දී නැවත ජාතිවාදී කෝළහල නිසා සාහසික පිරිසක් විසින් නාගදීප චෛත්‍යයට හානි කර බුරුමයෙන් තෑගි කර තිබූ ලෝහ බුද්ධ ප්‍රතිමාවේ සිරස මුහුදට විසි කළේ ය. යළිත් ප්‍රතිසංස්කරණය කළද 1983 ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්නවීමත් සමඟ නාගදීපයට තවත් හානි සිදු විය.

ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේදී ධම්මකිත්ති නා හිමියන් සහ උන් වහන්සේගේ ශිෂ්‍ය නවදගල පදුමකිත්ති හිමියන් එකතුව නාගදීපය රැක ගන්නා ලදී. එම කාලසීමාවේ වවුනියාවෙන් ඔබ්බට උතුරේ වැඩ සිටියේ ධම්මකිත්ති තිස්ස නා හිමියන් හා පදුමකිත්ති නා හිමියන් පමණි.

ත්‍රස්තවාදී යුද්ධය නිසා වසර 30ක පමණ කාලයක් දකුණේ ජනතාවගෙන් ඈත්ව තිබුණු නාගදීප පුදබිම දිවි දෙවෙනි කොට රැකගත්තේ ධම්මකිත්ති නා හිමියන් සහ පදුමකිත්ති හිමියන්ය. නාවික හමුදාවේත් යුද හමුදාවේත් සහයෝගයෙන් ඇතැම් දිනවල දානය පවා නිසි පරිදි නොලබා මේ පින් බිම රැක දෙන්නට උන් වහන්සේ කටයුතු කළහ.

විශේෂයෙන්ම නා හිමියන් 2003 වසරේ අපවත්වීමෙන් පසුව පුදබිම රැක ගන්නට සියලු කටයුතු කරන්නට සිදුවූයේ පදුමකිත්ති හිමියන්ටය. විහාරස්ථානයේ කටයුතු මෙන්ම අනෙකුත් සියලු කටයුතුද සිදු කරමින් වසර 30ක පමණ කාලයක් උන් වහන්සේ විසින් සිදු කරන ලද්දේ මෙරට ඉතිහාසයේ කිසිදු භික්ෂූන් වහන්සේ නමක් සිදු නොකළ ක්‍රියාවකි.

ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් දළඳා වහන්සේ රැක ගන්නට වාරියපොළ සුමංගල හිමියන් දඹුල්ල කැලෑවේ දළඳා වහන්සේ රැගෙන රැදී සිටියේද කෙටි කලකි. වළගම්බා රජ සමයේ වුවද බැමිණිතිසාසාය සාගත යුගයේදී භික්ෂූන් වහන්සේ ඉන්දියාවට පවා ගොස් රැදී සිටියේ වසර 8ක කාලයක් පමණි.

ඒ අනුව බලන කල මෙරට ඉතිහාසයේ අලුතින් ලියැවිය යුතු නමක් ලෙස ‘නවදගල පදුමකිත්ති‘ යන නාමය සටහන් විය යුතුමය. උන් වහන්සේට 2021 අප්‍රේල් මස 03 වැනිදාට වයස අවුරුදු 60කි. ඒ අනුව බලන කල 1983 වසරේ සිට 2009 දක්වා වූ කාලය උන් වහන්සේ වයස අවුරුදු 22 සිට 48ක් දක්වා වූ සම්පූර්ණ තරුණ කාලය ගෙවී ගොස් ඇත්තේ ත්‍රස්තවාදීන්ගෙන් නාගදීප පුදබිම රැක ගැන්මටය.

යුද සමයේත් ඉන් පසුවත් උන් වහන්සේ විසින් සිදු කළ මෙය නිසා අදටත් නාගදීපයේ ජනතාව උන් වහන්සේ සමඟ ඉතා මිතුරුකමින් සුහදත්වයෙන් කල් ගෙවති.

සහජීවනය යනු කුමක්දැයි ‍ උන් වහන්සේ ජනතාවට කියා දුන්හ. කොළඹ සිට ගොස් උතුරේ දරු දැරියන්ට පොතක් පෑනක් ලබා දී ආපසු පැමිණීම සහජීවනය හෝ සංහිඳියාව නොවන බවත් ඔවුන්ගේ අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීම සහජීවනයට මාර්ගය බවද පදුමකිත්ති හිමියෝ පවසති. කොවිඩ් උවදුර නිසා ඇඳිරි නීතිය පනවා තිබූ අවදියේ නාගදීපයේ ජනතාවගේ සැප දුක් සොයා බලා ඔවුන්ට හැකි පමණ උපකාර කෙළේ පදුමකිත්ති හිමියන්ය. එම නිසා දූපතේ සියලු දෙමළ වැසියන්ද නා හිමියන්ට දක්වන්නේ දැඩි ඇල්මකි. ගරුත්වයකි.

වර්තමානයේ නාගදීප විහාරස්‌ථානයට පිවිසෙන ජැටිය, වාහල්කඩ, ඇත් පවුර, තෙමහල් ධාතු මන්දිරය, කෞතුකාගාරය හා භික්‍ෂුන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ඉදිකර ඇති භික්‍ෂු විවේකාගාරය පදුමකිත්ති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. එමෙන්ම වලාකුළු බැම්ම මෙන්ම බෝ මළුවේ රන්වැට ඉදිකිරීමද උන් වහන්සේ විසින් සිදු කරන ලද සේවාවන් අතර වේ.

මේ සෑම සංවර්ධන කටයුත්තකදීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලබාදී ඇති බව උන් වහන්සේ පවසති. සිංහල බෞද්ධ ජනතාව නොමැති ප්‍රදේශයක පිහිටි නාගදීප විහාරස්‌ථානය ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සුරක්‌ෂිතව ආරක්‌ෂා කිරීමට නාවික හමුදාව ප්‍රමුඛව ආරක්ෂක හමුදාව ලබා දී ඇති දායකත්වය ගැන නා හිමියො සිහිපත් කරති.

එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හරින ලද බුද්ධ වලව්ව විහරස්ථානයද යළි ගොඩ නැංවීමට පදුමකිත්ති හිමියෝ කටයුතු කළහ. එය පිහිටා ඇත්තේ නාගදීප විහාරස්ථානයේ සිට මීටර් 700ක් පමණ දුරිනි.

වර්තමානයේ නාගදීපයේ අපට දැක බලා ගන්නට හැකි විශේෂිත ස්ථානයන් අතර කිරිපලු ගස , ඉපැරැණි චෛත්‍යය, සුදු බෝ ගස, මෙන්ම මෑතදී සකස් කළ ශ්‍රී පාදයක්ද වෙයි. එමෙන්ම මුහුදු සුළං මිශ්‍රව දැනෙන සිසිලස සමඟින් නාගදීප වන්දනාවේදී දැනෙන්නේ වෙනත් කිසිදු පුදබිමක නොදැනෙන වින්දනයකි. එය ගෞරවනීය වන්දනාවට විශාල පිටිවහලකි.

නාගදීප භූමියේ ඉදිකර ඇති නාගයන්ගේ ප්‍රතිමා මෙන්ම සමුද්‍රයේ සිට ඉහළට නැඟී සිටින්නට ඉදි කරන්නට යෝජිත බුදුරජාණන් වහන්සේගේ පිළිරුව මඟින්ද එයට නව පෙනුමක් ලබා දෙනු ඇත. එහෙත් ඇතැම් අන්තවාදී අදහස් ඇති දේශපාලකයන්ගේ ක්‍රියාවන් නිසා එම පිළිරුව ඉදිකිරීම කල් ගොස් තිබේ. කෙසේ හෝ තමන් වහන්සේ නාගදීපයේ ජනතාවගේ ආශිර්වාදයෙන් එම පිළිරුව තැනීම කරන බව පවසති. එම පිළිරුව මුහුද යට නාගලොවින් ඉස්මතු වන සේ ඉඳිකිරීමට යෝජිතය. එය නාගදීපයේ අතීත නාග ගෝත්‍රිකයන් සිහි කරන්නට අවශ්‍යම වන්නේය.

බස් රථයක් පවා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ දෙපසට වන්නට පිහිටි විහාරස්ථානයේ භුමි භාගය ජනතාවගේ වන්දනා පහසුව පිණිස ගැටලුවක් නොවේ.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීම තුළින් එයට ලබා දී ඇති වටිනාකම අගය කළ යුතුය. නාගදීපයේ රාජ්‍ය අනුග්‍රහයෙන් උත්සවයක් පැවැත්වෙන්නේ 2003 වසරේ නා හිමියන්ගේ ආදාහන පුජෝත්සවයෙන් පසුවය. රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරු නැඟෙනහිර විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සංවර්ධනය කෙරේ.

එමෙන්ම නාගදීප වන්දනාවෙන් පසුව පැමිණෙන මාර්ගයේ ඇති ඓතිහාසික නාගපූෂණී කෝවිලද බෞද්ධ හින්දු භේදයකින් තොරව ජනතාව ගමන් කරති. උතුරේ ඇති පැරැණිතම කෝවිල්වලින් එකක් වන එය දැක බලා ගැනීමද යම් ආකාරයක හෝ සහජීවනය පිණිස හේතු වනු ඇත. කුමන ආගම ඇදහුවත් අන්‍ය ආගම්වලට ගරු කිරීමට එයින් හැකි වනු ඇත.

******************************

 

Comments