කාන්තා දිනය වෙනුවෙන් ගර්භිණී මාතා උපහාර | සිළුමිණ

කාන්තා දිනය වෙනුවෙන් ගර්භිණී මාතා උපහාර

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ළමා හා කාන්තා කටයුතු පෙරපාසල් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හා එම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර යන අය සමඟ කළුතර දිස්ත්‍රික්කයේ ගර්භිණී මාතාවන් පිරිසක් එම අවස්ථාවට එක්වු අයුරු.
අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ළමා හා කාන්තා කටයුතු පෙරපාසල් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හා එම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර යන අය සමඟ කළුතර දිස්ත්‍රික්කයේ ගර්භිණී මාතාවන් පිරිසක් එම අවස්ථාවට එක්වු අයුරු.

වු පදවියට පෙරුම් පුරන ගැබ්බර මාතාවක් දැකීම පවා වාසනාවකි. මිහිපිට වෙසෙන ඕනෑම යහපත් මිනිසකු තුළ ගර්භණී මාතාවක් කෙරෙහි ඇති ආකල්පය එලෙසය. එසේ නම් එවැනි මාතාවන් දෙසිය පනහක් පමණ එකතුවූ තැන කෙතරම් පින්බිමක් විය යුතුද?

මේ උතුම් අවස්ථාව දැක ගත හැකි වූයේ උතුරු කළුතර අශෝකාරාම පින්බිමේදීය. කාන්තා දිනය නිමිතිකොට ප්‍රකාශයට පත් කරන ලද සතියක සැමරුම් වැඩසටහනට සමගාමීවය.

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ සංකල්පනාවක් අනුව ක්‍රියාත්මක කර තිබූ මෙම වැඩසටහන ‘පළමු පාසැල මවුකුසයි‘ යනුවෙන් නම් කර තිබුණි.

“ලොව ගොඩ නැගුණේ හිරුගේ කිරණින් සහ මවගේ තනපුඬුවලින් ගලාගෙන එන ලේ කිරි බිඳුවලිනි.“

ලෝ ප්‍රකට ලේඛක මැක්සිම් ගෝර්කි තම ‘අම්මා‘ කෘතියේ සඳහන් කර තිබූ එම වැකිය වැඩසටහන ආරම්භ කරමින් නිවේදක සුමිත් කරුණාරත්න කියවන විට සහභාගි වූ සියලු දෙන දෑස් දල්වාගෙන බලා සිටියහ.

 

“ආදරයේ උල්පත අම්මා

මා ඔබගේ පුතුවූ

ඔබ මතු බුදු වන දවසේ

මා රාහුල කුමරුන් සේ

සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි

සුළඟිල්ලේ එල්ලී....“

 

ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කළ ඒ ළයාන්විත ගීතය නව පරපුරේ ශිල්පීන් වේදිකාවේ ගායනා කිරීමත් සමඟ වැඩසටහන ආරම්භ විය.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මෙම රසවින්දන වැඩසටහන මෙහෙය වූවාය.

“තමන්ගේ දකුණු අත කුසට තබා ගන්නා ලෙස මම මේ අම්මලාගෙන් ඉල්ලනවා.

මවු කුස තුළ සිටියත් දරුවන්ට කන් ඇහෙනවා. දරුවා බිහි වන්නට පෙරත් අම්මලා දරු නැළවිලි ගී ගායනා කළ යුත්තේ ඒ නිසයි.

දරුවන් ගොඩනැඟෙන්නේ ආදරයෙන් හා පරිසරයෙන් කියා මතයක් තිබෙනවා. ආදරය කියන්නේ මවගෙන් හා පියාගෙන් ලැබෙන දේ. පරිසරය ඊට බාහිරව ලැබෙන දේ. දරුවාගේ පළමු පාසැල මවු තුමියයි කියන්නේ ඒකයි. පළමු ගුරුවරිය තමයි අම්මා.

අද මවු කුස සිටින දරුවා කවදා හරි ලොව දිනන අයකු විය හැකියි. හොඳ සිරිත් විරිත් හා හර පද්ධතිය මේ දරුවන්ට දායාද කළ යුතුයි. අප ඒ තුළින් පෝෂණය වී සිටිනවා.

 

“සුදු ඇත් පොව්වෙක්

සුදු නෙළුම හොඬින් ගෙන...“

“නුඹ පුතෙකු වුවත්

නුඹ දුවක වුවත්....“

 

කුස මත දකුණු අත තබාගෙන සිටින මවුවරුන් ඒ ඇසෙන ගීත රසවින්දේ මහත් හැඟුම්බරවය.

නිවිච්ච හැදිච්ච පිරිච්ච සොඳුරු මිනිසුන්ගෙන් සපිරි පින්බර දේශයක් අප බිහි කර ගත යුතුයි. රටේ ආරක්ෂාව වුවද තහවුරු කළ හැකි වන්නේ නිවුණු හැදුණු පිරුණු දරුවන් බිහි වුනොත් විතරයි. ඒ වෙනුවෙන් මෙම වැඩසටහන ගම් දනව් කරා ගෙන යන්නට අපි සූදානම්.“

මේ පින්බර මොහොතට සහභාගිවීම සඳහා විශේෂ ආරාධිතයන් රැසක් පැමිණ සිටියහ. එසේ පැමිණි කීප දෙනෙකු මෙම වැඩසටහන සම්බන්ධයෙන් තම අදහස් ද ප්‍රකාශ කළහ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සිය කතාවේදී මෙසේ අදහස් දැක්වීය.

“මවු පදවිය කියන්නේ කාන්තාවකට ලැබිය හැකි උතුම් පදවියක්. ඒ මවු කුසින් බිහි වන දරුවන් වෙනුවෙන් ගැයූ නැළවිලි ගී චිරාත් කාලයක් තුළ අප රටේ සමාජයේ පවතිනවා.

අපට දුකක් හෝ සතුටක් ඇතිවූ විට මුලින්ම අපට සිහිපත් වන්නේ අම්මාවයි. මවගේ ආහාර පාන වගේම චින්තනය මවු කුස තුළ සිටම දරුවන්ට බලපානවා. තාත්තා කෙනෙක් සීයා කෙනෙක් සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වශයෙන් මම මේ වැඩසටහන බෙහෙවින් අගය කරනවා“ යැයි ඔහු කීවේය.

“ඔන්චිල්ලා තොටිලි කොහින්දෝ

රන් සළු පිළි වළලු කොයින්දෝ

දොයි දොයි පුත ළපටි බිලින්දෝ...“

කොරෝනා වයිරසයේදී අපට ප්‍රතිශක්තිය ලැබුණේ අම්මලා නිසාය. දශක ගණනාවක් අපේ ජාතියට ඒ ගුණය ලැබුණේ අම්මලා පෙවූ කිරි නිසාවෙනි.

අල වර්ග 108 ක්, කොළ වර්ග 200ක්, වී වර්ග 400ක් ඇති අපේ රටේ අම්මලා දරුවන්ගේ පෝෂණයට වෙන දේවල් හෙවීමට අවශ්‍ය නැත. මෙවැනි වැඩසටහන් තව අවුරුදු 5ක් ඉදිරියට රැගෙන ගියහොත් රට ඉදිරියට ගෙන යා හැකි බව අපේ විශ්වාසයයි.

කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ මෙවැන්නකි.

ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග හා කෝවිඩ් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ විසින් ගර්භිණී මාතාවන් වෙත තිළිණ ප්‍රදානය කළ අවස්ථාව. අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂයන් ද මෙම අවස්ථාවට එක්වූවාය.

“මෙය විශිෂ්ට වැඩසටහනක් බව කිව යුතුයි. 2001 වසරේදී මා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන සම්බන්ධීකරණය කළා. දරුවකු පිළිසිඳ ගත් දවසේ සිට පළමු වසර 8 ඉතා විශේෂ අවදියක්. ඒ නිසා දරුවාගේ ජීවිතයට මෙසේ හොඳ ආරම්භයක් ලබාදීම වැදගත්. දරුවකු පිළිසිඳ ගැනීමට පෙර සිටම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මවුවරුන්ව ඒ සඳහා සූදානම් කරනවා.

මවු කුස සිටියත් දරුවන්ට ඇහෙනවා. මවගේ සතුට වගේම මව ගයන නැළවිලි ගීතත් දරුවාට ඇහෙනවා; දැනෙනවා.

දරුවාගේ මොළේ වැඩෙන්නේ මුල් අවදියේ. යහපත් ආකල්ප, හොඳ ගුණධර්ම මුල් කාලයේදීම දරුවන්ට ලබාදිය යුතුයි.“

 

“සඳ තරු මල් මට දන් දුන්

මගේ රුසිරු නුඹ අරගන්....“

 

දරුවන් ගැන බොහෝ ගීත ගැයෙද්දී මවුවරු මහත් ආශාවෙන් ඒ ගී රස වින්දාහ.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාව ලෙස සම්මාන ලැබූ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මෙහිදී සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“ලොවේ වටිනාම තනතුර දරන මවුවරු සිටින මෙම වැඩසටහන ඉතා වැදගත් අවස්ථාවක්.

ලෝකය සිතන තරම් සුන්දර නැහැ. දෙමාපියෝ සිටියදි අද දරුවන් මිය යනවා. හෘදයාබාධ, දියවැඩියා, පිළිකා වැනි බෝ නොවන රෝගවලින් බොහෝ අය පීඩා විඳිනවා. ඒවා වළක්වා ගැනීමට අප දායක විය යුතුයි.“

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රියානි ධම්මිකා කුමාරි ජයසේකර මේ අවස්ථාවට සහභාගී වෙමින් මෙලෙස සිය අදහස් දැක්වූවාය.

“වෙනදාත් මේ අම්මලා මේ ගීත රස විඳලා තියෙනවා. එහෙත් අද ඒවා රස විඳින ආකාරය වෙනස්. ඉතා හොඳ අරුත් අපේ ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ තිබෙනවා.“

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිය අදහස් දැක්වීමේදී මෙසේ පැවසීය.

“වසර ගණනාවකට උඩදී මා මෙම වැඩසටහන ආරම්භ කළේ ‘මාතෘ අභිමානි‘ නමින්. මෙවැනි බොහෝ සංකල්ප අනුව අප අමාත්‍යාංශය කටයුතු කරගෙන යනවා.“

මේ අවස්ථාවට සහභාගී වූ සියලු ගර්භණී මවුවරුන්ට දහස් ගණනක් වටිනා ආහාර හා ත්‍යාගද ලැබුණි.

Comments