ගාල්ල මහින්දේ ‘9 කල්ලිය’ | Page 2 | සිළුමිණ

ගාල්ල මහින්දේ ‘9 කල්ලිය’

හින්දය යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සුවිශේෂී පාසලකි. මෙරට බෞද්ධ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම සඳහා ආරම්භ වූ ඕල්කොට් පාසල් අතර මහින්දයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි.

විද්වතුන්, පර්යේෂකයන්, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ආචාර්ය මහාචාර්යවරු, කලාකරුවන්, මාධ්‍යවේදීන්, ක්‍රීඩකයන් ආදී ලෝ පරසිඳු පුද්ගලයන් රැසකට අධ්‍යාපනය ලබා දී ඇති මහින්දය මේ නිසාම දෙස් විදෙස්හි කීර්තියක් උසුලන පාසලකි.

මෙරට අධ්‍යාපනයට පමණක් නොව නිදහස් අරගලයට ද සුවිශේෂී දායකත්වයක් දැක්වූ ගාල්ලේ මහින්ද විද්‍යාලය ආරම්භ වී දැනට වසර 129ක් ඉක්ම ගොස් තිබේ. ආරම්භයේ දී මිශ්‍ර පාඨශාලාවක් ලෙස පවත්වාගෙන ගිය ද මහින්ද විද්‍යාලය මේ වනවිට බාලක පාසලකි.

කෙසේවුවද පසුගියදා මේ පාසල ගැන අසන්නට ලැබුණේ කිසිවකු අනුමත නොකරන සිද්ධියකි. සුවහසක් දූ පුතුන්ට අධ්‍යාපනය ලබා දුන්, ජීවන මඟ කියා දුන්, කීර්තිමත් පාසලක ඇතිවූ මේ සිදුවීම් මාලාව විමර්ශනාත්මකව බැලීම, මෙවැනි දේ යළි යළිත් සිදුවීම වළක්වා ගැනීමට රුකුලක් වනු ඇත.

'නමයේ කල්ලිය' නමින් හඳුන්වාගන්නා සිසුන් පිරිසක් තම සම වයසේ ම සිසුවකුට පහර දීම හේතුවෙන් ප්‍රහාරයට ලක්වූ සිසුවාගේ කර්ණ පටහ පටලයට හානි සිදුව තිබිණි. සාමාන්‍ය භාෂාවෙන් කිවහොත් සිසුන් පිරිසක් තවත් සිසුවකුගේ කන පැළෙන්න පහර දී ඇත. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධමය වරදකි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් තිබිණි. ඒ දිනය පසුගිය මාර්තු 08 වැනි දා ය. විභාග ශාලාවේ පසෙක එළිමහනේ සිසුන් පිරිසක් තවත් සිසුවකු වටකරගෙන පහර දී තිබිණි. ඒ අතින් පයින් නොව පොලු කැබලි වලිනි. පහර කෑමට ලක්වූ සිසුවාත්, පහර දුන් සිසුවනුත් එකම වයසේ ය.

“උඹ ඉන්න විදිය අපිට අල්ලනනේ නෑ. ඒ නිසා උණ බස්සන්න ඕනෑ” යැයි පහර දුන් පිරිස කියා තිබිණි.

පහර කෑමට ලක්වූ සිසුවා වේදනාව උසුලාගෙන විභාග ශාලාවට ගියේය. ප්‍රශ්න පත්‍රය ලැබීමට තවත් ඇත්තේ විනාඩි කිහිපයක් පමණි. ඔහු තමන්ට නියමිත අසුණේ වාඩි වී සිටිය දී යළි පහර දුන් කණ්ඩායමේ තිදෙනකු ඒ අසලට පැමිණ ඔහුගේ කම්මුල දෙසට අතින් වේගවත් පහර කිහිපයක් ගැසුවේය. පිටට වැදුණු පොළු පහරට වඩා මේ පහර වේදනාවක් ගෙන දුන්න ද ඔහු හැකි තරම් ඉවසා සිටියේය. විභාග ශාලාවේ නිලධාරීන් පැමිණෙන විට පහරදුන් අය පලා ගියහ.

පහර දීම ගැන දැනගත් විභාග ශාලාධිපතිවරයා මේ ගැන විදුහල්පතිවරයා දැනුම්වත් කර තිබිණි. විදුහල්පතිවරයා පවසන්නේ තමන් පහරකෑමට ලක්වූ සිසුවාගේ දෙමවුපියන් පාසලට ගෙන්වා මේ ගැන දැනුම් දුන් බවයි. පහර දුන් සිසුන් ද ගෙන්වා සිද්ධිය එතැනින් සමථයකට පත්කරන්නට විදුහල්පතිවරයා වෙහෙස වූයේය.

පහර කෑ සිසුවාගේ එක් කනක දිගින් දිගටම ඇතිවන වේදනාවකි. මේ වේදනාව විදුලි සැරයක් මෙන් වරින් වර පැතිර යයි. නමුත් ඔහු හැකිතාක් ඉවසා සිටියේය. පසුදිනයේ යළි විභාගයට ලිවිය යුතුය. ඔහු කනේ වේදනාව විඳ දරාගනිමින් දින දෙකක්ම විභාගයට ලියුවේය. නමුත් විභාගය අවසන්වන විට වේදනාව උහුළා ගත නොහැකි නිසාම 10 වැනි දා සවස ඔහු උගුර, කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ගියේ සිය පියා ද සමගිනි.

සිසුවාගේ කන පරීක්ෂා කළ වෛද්‍යවරයා උපදෙස් දී තිබුණේ කර්ණ පටහ පටලයට හානි සිදුව ඇතැයි සැක කරන බැවින් වහාම රෝහල් ගතවන ලෙසයි. සිසුවාගේ පියා ගාල්ලේ පොලිස් නිලධාරියෙකි. තම දරුවා ඇතැම් විට සදාකාලික ආබාධ තත්ත්වයකට පත්විය හැකි බවත්, මෙය අපරාධමය තුවාලයක් බවත් දන්නා පොලිස් නිලධාරියා පුතා සමඟ ගොස් පොලිසියට මේ පිළිබඳ පැමිණිල්ලක් කර වෛද්‍ය උපදෙස් මත කරාපිටිය ශික්ෂණ රෝහලට ගියේය. සිසුවා පරීක්ෂා කළ රෝහල ඔහු රෝහලේ නවතා ගත්තේ ඒ සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාගත යුතු බැවිනි.

“මම මේ සිද්ධිය දෙමාපියන්ට කියනකම් ඔවුන් දන්නෙත් නෑ. මේ හැමෝම දරුවෝ. අපි මෙවැනි සිද්ධි දකින්න ඕන අම්මලා තාත්තලා ගුරුවරු හැටියට, පොලිසියට ගිහින් නීතිය ඉදිරියට ගිහින් හැමදේම විසඳන්න බැහැ. පොලිසියට යන්න ඉස්සෙල්ලා නැවත මා සමඟ ඒ දෙමාපියන්ට කතා කරන්න තිබුණා.” යැයි මහින්දයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන කියයි.

නමුත් සිද්ධිය එලෙස අවසන් වූයේ නැත. දින දෙකක් නේවාසිකව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා නිවසට යැවුණ ද පොලිසිය දිගටම පරීක්ෂණ කළේය.

එම සිසුවා නිවසට පැමිණ යළි විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ලබාගත් වාර්තාවකින් තහවුරු වූයේ සිසුවාගේ කර්ණ පටහ පටලයට සිදුවූ හානිය තවමත් එසේ ම පවතින බවයි. එය ස්වභාවිකව සුවවීමට දින 21ක් පමණ ගතවිය හැකි බවත් ඇතැම් විට එය සදාකාලික අබාධිත තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බවත් එම වෛද්‍යවරයා පවසා තිබිණි.

මෙලෙස පහර කෑමට ලක්වූයේ වැලිගම පදිංචි ඩබ්. ආර්. හෙළඳු නෙත්මික නැමැති 16 හැවිරිදි සිසුවෙකි.

පහර දුන් සිසුන් තිදෙනා හඳුනාගත් පොලිසිය ඔවුන්ගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර තවත් අයෙක් ප්‍රදේශයෙන් පිටව ගොස් තිබිණි. අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා 13 වැනි දා ගාල්ල වැඩබලන ම‍හේස්ත්‍රාත් ලලිත් පතිරණ වෙත ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාවේ 15 වැනි දා දක්වා රිමාන්ඩ් කෙරිණි.

15 වැනි දා අනෙක් සිසුවා ද පොලිසියට භාර වී තිබූ අතර ඔවුන් තිදෙනාම මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කෙරිණි. සිද්ධිය සලකා බැලූ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ සැකකාර ළමුන් තිදෙනා ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළාය. ඔවුන් තවමත් සැකකරුවන් පමණක් බැවින් අපි ඔවුන්ගේ නම් මෙහි සඳහන් කරන්නේ නැත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධනගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

“පහරදීමට ලක්වූ ළමයාගේත් යම් යම් ගැටලු තිබුණා. ඔහුගේ පාසලට පැමිණීම ප්‍රමාණවත් නැහැ. පසුගිය වසර පුරාම පාසලට ඇවිත් තිබුණේ සීමිත දින ගණනක්. ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කළා. මේ ළමයා සාමාන්‍ය පෙළ අසමත් වීමේ අවදානමක් සහිත ළමයෙක් ලෙස හඳුනාගෙන තිබුණා. ළමයින්ට විභාගේ දවස්වල ෆෝන් එකක් ගෙන එන්න අවසර දුන්නා. මෙයා පාසලට ඇවිත් අනවශ්‍ය පින්තූරයක් අරගෙන සමාජ මාධ්‍යවලට දාලා තිබුණා. එය ඇත්තටම නුසුදුස ක්‍රියාවක්. පාසල් නිල ඇඳුමෙන් එවැනි පින්තූයක් පළකිරීම අශෝභනයි. මේ සම්බන්ධයෙන් තරහ ගිහින් තමයි අනිත් ළමයි මෙයාට ගහල තියෙන්නේ. ඒක එහෙම වෙන්න බැහැ. ගුරුවරුන්ට කියලා බේරගන්න ඕන දේවල්. ළමයට ගහපු බවවත් දෙමාපියන් දන්නේ නෑ. මම එදාම අම්මයි තාත්තයි ගෙන්වලා මේ ගැන එයාලට දැනුම් දුන්නා.

මෙවැනි ප්‍රශ්න විසඳගන්න ඕනෑ පාසලේ දී, මාධ්‍යවල පළ කරලාවත් පොලිසියෙන්වත් නෙවෙයි. නමුත් පහර කෑ ළමයගේ තාත්තා පොලිසියේ. ඒ නිසා විශේෂ බලපෑමක් සිදුවෙන්න පුළුවන්. පහර දීමට සම්බන්ධවුණු ළමයි අතර එක ළමයෙක් හිටියා, ඒ ළමයා ටිකක් ප්‍රශ්න සහගත ළමයෙක් හැටියට අපි හඳුනාගෙන අම්මා සමඟ විභාග දිනවල පාසලට එන්න කියපු ‍ළමයෙක්. පාසල්වල ළමයි ගහ ගන්නවා. කල්ලි හැදෙනවා. කුඩා කණ්ඩායම් සෑදීම දරුවන්ගේ අවශ්‍යතාවක්. මේ පහර දීපු ශිෂ්‍ය කණ්ඩායමත් කුඩා කල්ලියක් කියලා හඳුන්වනවා. සිසුන්ගේ මෙවැනි කුඩා කණ්ඩායම් අපි යහපත් කාරණා වෙනුවෙන් භාවිත කරන්න උත්සාහ ගන්නවා. නමුත් දරුවන් කොරෝනා කාලේ පාසල් නොපැමිණීම සහ නිවෙස්වලට කොටුවී සිටීම නිසා ඔවුන් දැඩි අසහනයකින් සහ පීඩනයකින් ඉන්නේ. දරුවන් රණ්ඩුවෙන එක ස්වභාවිකයි. ගුරුවරු හැටියට අපි මේ ගැන විවෘත මනසකින් විමසා කටයුතු කරනවා. දරුවන් ගහගන්නේ රණ්ඩු වෙන්නේ මහින්ද විද්‍යාලයේ පමණක් නොවෙයි.”

දරුවන් අතර ඇතිවන මෙවැනි ගැටලු සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මෙසේ කීවේය.

“නව යෞවන වයසේ දී ළමයි දඟකාරයි, ඒ වගේම හිතුවක්කාරයි. අලුත් අත්දැකීම් ලබාගැනීමට හිතකර වගේම අහිතකර දේ කරන්නත් පෙලෙඹෙනවා. ළමයි අතර ඉන්නවා අනෙක් අයගේ දුක නොහඳුනන, අන් අයට පීඩනයක් එල්ල කරලා සතුටුවෙන අය. ඉතින් මෙවැනි අය තමන්ගේ ආධිපත්‍යය සහ බලය පෙන්වීම සඳහා කුඩා කණ්ඩායම් සාදා ගන්නවා. එවැනි අය කණ්ඩායමේ නායකත්වය අරගෙන අනෙක් අය මත බලය පතුරුවනවා. ඒ වගේම තමන්ගේ අනුගාමිකයන්ට බලය කොටසක් දීම කරනවා. එයින් කැපී පෙනෙන්න උත්සාහ ගන්නවා. මේ දෙස බලා සිටින අනෙක් දරුවනුත් මේ වගේම කරන්න පුලුවන්. ඔවුන් අනිත් අයට හිරිහැර කරලා සතුටු වෙනවා.

කණ්ඩායමක් හැටියට ඉන්න නිසා ඒ කණ්ඩායමේ ඉන්න තවත් කෙනෙක් මෙය වැරදි බව දැන දැනත් විවේචනය කරන්න කැමති නැහැ. ඉවසනවා. වැරදියි කියලා හිතන්නේ නැහැ. මේ වගේ අවස්ථාවල දී කවුරුහරි මෙය වැරදි බව දැනගෙන විවේචනය කළත් කණ්ඩායමෙන් ප්‍රතික්ෂේප වෙන්න වෙනවා. මේ තත්ත්වය විශ්වවිද්‍යාලවල කලින් විශාල වශයෙන් දක්නට තිබුණත් දැන් පාසල්වලටත් ව්‍යාප්ත වෙලා තියෙනවා.

මේ දරුවන් වඩාත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට තනි තනිවම එනවට වඩා කණ්ඩායම් හැටියට නැඹුරු වෙනවා වැඩියි. ඒ නිසා දෙමාපියන්, ගුරුවරු සහ අනිකුත් වැඩිහිටියන් මේ දරුවන් සමඟ කතා කරලා ගැටලු හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. දරුවන් ඇසුරු කරන්නේ කවුද, අහිතකර ක්‍රියාවන්ට යොමු කරන වැඩිහිටි සිසුන් ඉන්නවා ද මත්පැන් භාවිතා කරන අය ඇසුරු කරනවා ද කියා සොයා බලන්න ඕන. ඒ තුළින් මෙය පාලනය කළ යුතුයි.”

මෙය මහින්ද විද්‍යාලයෙන් වාර්තා වූ එක් හුදකලා සිදුවීමක් වුව ද සෑම පාසලකම පසුගිය වකවානුවේ ඉතාමත් විශාල වශයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බව මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමස්ථ පාසල් පද්ධතියේ ම මෙවැනි සිදුවීම් වාර්තාවන අතර එය පාලන කරගැනීමට විදුහල් පාලන අධිකාරිය සහ දෙමවුපියන් අසමත් වන්නේ නම් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවයි.

Comments