
පසුගිය දිනක තමන් තානාපති ධුරයේ වගකීම් නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වී ඇති හෙයින් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මියන්මාර තානාපති ආචාර්ය නලින් ද සිල්වා සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටියේය. මහාචාර්ය නලින් ද සිල්වා මෙරට සිටින බුද්ධිමතුන් අතරින් කෙනෙකු ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමට පාත්‍ර වූ අයෙකි. ඒතකුදු වුවත් ඔහු මෙරට වාම දෘෂ්ටිවාදී ප්‍රවණතාවයට ඒරෙහිව සිංහල බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිවාදයක් ස්ථාපිත කිරීමට මුල් වූ සමාජ චින්තකයකු ලෙස ගැනීම වඩාත් සාධාරණය. මෙරට නියෝජනය කරන රාජ්‍ය නායකයා ලෙස මියන්මාර තානාපතිධූරයෙන් හෙතෙම පුදනු ලබන්නේ මෙම තනතුරෙහි වගකීම හා වගවීම සම්බන්ධයෙන් නව මාවතක් හෙළිපෙහෙළි කරනු ඇතැයි යන විශ්වාසය මතය.
ශ්‍රී ලංකාව, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, වාණිජ වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතා විදේශ සබඳතා ලෙස හඳුන්වමු. මෙතෙක් ශ්‍රී ලංකා රාජය අනුගමනය කර ඇත්තේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියයි. සීතල යුද සමය අවසන් වීමත් සමඟ, ලෝකයේ බලවත් රටවල් සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ, සිය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, සමීප සහ ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව කට යුතු කළේය. මෙම කාර්යයේදී විශාල කාර්යභාර්යයක් පැවරී ඇත්තේ තානාපතිවරයාටය. ඒ ඔහු තමන් නියෝජනය කරන රටෙහි රාජ්‍ය නායකයා වෙනුවෙන් කටයුතු කරන ඔහු විසින් පත් කළ නියෝජිතවරයාවන බැවිණි. මෙනිසා තානාපතිවරයාට රාජ්‍ය නායකයකු හා සමාන වරප්‍රසාද හිමිව තිබේ. තම මව් රට නියෝජනය කරමින් තානාපතිවරු ලොව පුරා විවිධ රාජ්‍යයන්වල සිටින අතර ඔවුන් තම මව් රටවල ප්‍රතිපත්ති සහ අවශ්‍යතා නියෝජනය කරති. මෙය ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරවන අතර, තානාපතිවරයා විදේශ නායකයින් සහ නියෝජිතයන් සමඟ තමා නියෝජනය කරන රාජ්‍යයේ ජාතික ප්‍රතිපත්තිය විදේශයන්හි ප්‍රවර්ධනය කරමින් මනා සබඳතාවයක් පැවැත් වීමට කටයුතු කළ යුතු වේ. ඒ ඔහු රට වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නායකයා නිසාය.
![]() |
මියන්මාර් හිටපු තානාපති නිව්ටන් ගුණරත්නයන්ගේ මැදිහත්වීම නිසා 2009දී නිදහස ලැබූ ධීවරයන් තානාතිපතිවරයා සමඟ |
ඒවැනි බාරදූර කාර්යයක් පැවරූ මොහොතක ආචාර්ය නලින් ද සිල්වා 'මා අසමත්' යනුවෙන් ෆේස් බුක් සටහනක් තබමින් මෙසේ පවසයි. " මා මියන්මාහි ලංකා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ වැඩ භාරගෙන සති දෙකකින් පමණ. මා මියන්මා රටට පැමිණියේ ථෙරවාද රටවල් අතර සම්බන්ධකම් ගොඩනගා ගැනීමටය. එහෙත් එය කළ නොහැකි බව සති දෙකකින් ම වැටහුණා. එහෙත් මා හිතුවා වෙනත් දෙයින් සේවයක් කිරීමට. තානාපතිකම ලිපි ගොනු අතර හිරවීමකට වැඩි දෙයක් නො වෙයි. නිර්මාණශීලීත්වයක් ඇති අයට එය එසේ නොවනවා වෙන්න පුළුවන්.
එහෙත් මට එවැනි දක්‍ෂතාවක් නැහැ. දැන් මා මියන්මා දේශයට පැමිණ මාස දහයක් වෙනවා. මගේ තීරණය ප්‍රකාශ කිරීමට ආසන්න හේතු වූයේ ධීවරයන්ගේ ප්‍රශ්නය. ..."
ඔහු නැවතත් 'වැඩ බැරි තානාපති' යනුවෙන් සටහනක් තබමින් මෙසේද පවසයි."අප මියන්මා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ගේ සිට නිලධාරීන් කිහිප දෙනකුට ම කතා කළා. ඔවුන් සමහරකුට මගේ දුරකතන අංකය ලබා දුන්නා. ඒ ධීවරයන්ට හා අප සම්බන්ධ කරවීමට. ඇතැම් නිලධාරීන්ගෙන් අපට පසුව දැන ගැනීමට ලැබුණා ධීවරයන්ට විරුද්ධව මියන්මා නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කරන බව. එහෙත් එතැනින් එහාට කිසිවක් සිදු වී නැහැ. එකම එක වතාවක දී හැර කිසිම නිලධාරියකු ධීවරයන් අපට සම්බන්ධ කර නැහැ. ධීවරයන්ට තමන්ගේ ම වූ දුරකතන නැහැ. මා අකාර්යක්‍ෂම අදක්‍ෂ අසමත් තානාපතිවරයකු බව මට වැටහෙනවා. මට නිල නොවන වශයෙන් කටයුතු කිරීමට මියන්මාහි දන්නා අඳුනන අය නැහැ. නිල වශයෙන් කරන්න පුළුවන් දේ සීමිතයි. කිසිම දෙයක් කරන්න බැහැ කියන එක අතිශයොක්තියක් ම නො වෙයි. මා මේ කරුණෙහි ද අසමත් වී ඇති බව පිළිගන්නවා..."
ඇත්තෙන්ම ආචාර්ය නලින් ද සිල්වා ගේ මේ කියමන්වල සත්‍ය අසත්‍යතාව කෙසේවතුදු මෙයට ප්‍රථම මියන්මාර තානාපතිධූරයෙන් පුදනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ කතාව මීට හාත් පසින්ම වෙනස්ය. මියන්මාරයේ ශ්‍රී ලාංකිකයෝ තානාපති සේවය ආරම්භ කළ 1948 වසරේ මියන්මාර් තානාපති වශයෙන් පත්වන්නේ ශ්‍රීමත් සුසන්තද ෆොන්සේකාය ඔහු ගේ සිට මේ දක්වා තානාපතිවරුන් 22නකු පමණ කටයුතු කර තිබේ.
මෙරට 19 වැනි මියන්මාර තානාපතිවරයා වූ ප්‍රවීණ මාධ්‍යවේදී නිව්ටන් ගුණරතනයන් පවසන්නේ මෙවන් අදහසකි. " මා මියන්මාර තානාපතිවරයා වශයෙන් වැඩ භාරගත්තේ 2009 වසරේ දී. ඒ මෙරට යුද්ධය පැවති සමයේ. මා මියන්මාරයට පැමිණි දෙරට අතර සබඳතා ගොඩනඟා ගැනීමට බෙහෙවින් කැප වුණා. මියන්මාරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරට ව්‍යාපාරික ප්‍ර්‍රජාව සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කර මියන්මාර ශ්‍රී ලංකා ව්‍යාපාර සංසදයක් ඇති කිරීමට මට හැකි වුණා. ඊට මාධ්‍යවේදියකු හා පසුව වගකිවයුතු තනතරු දැරීමෙන් ලැබූ පරිචය හේතුවන්න ඇති. යුද්ධය අවසන් වීමෙන් පසුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂයන් පළමුවෙන්ම පැමිණියේ මියන්මාර දේශයට. ඒදා ඉතාම උත්සවාකාරයෙන් මියන්මාර රජය විසින් ඔහු පිළිගනු ලැබුවා. ඒ වගේම කුණාකුවට හසුව මියන්මාරයේ ඈත කොනකට පැමිණි මෙරට ධීවරයින් පිරිසක් මියන්මාර අත් අඩංගුවේ පසුවෙද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂයන් සමඟ සාකච්ඡාකර මියන්මාර රජය සමඟ එකඟතාවයකට පැමිණ ඔවුන් නිදහස් කිරීමට මට හැකියාව ලැබුණා. එදත් ඒහි තිබුණේ අද වගේම හමුදා රජයක්. ඒ කොහොම නමුත් මා එ කටයුත්ත කළා. ඒ වගේම දෙරට ෙඑහාසික සබඳතාවය පිළිබඳව 'Sri Lanka Myanmar Historical Relation' නමින් කෘතියක් පළ කළා. පසුව මගේ අසනීප තත්ත්වය වර්ධනය වූ නිසා මා තානාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඒ බව ජනාධිපති මහින්ද රාජපක්ෂයන් වෙත ලිඛිතව දැනුම් දුන්නනා. පළමුව තානාපති ධූරයෙන් ඉල්ලා අස්වූ තැනැත්තා වන්නේ මා විය යුතුයි. ආචාර්ය නලින් ද සිල්වා මේ රටේ උගතෙක්; බුද්ධිමතෙක් ඔහුට තානාපතිධූරයකට වඩා සුදුසු වන්නේ උසස් අධ්‍යාපන ආයතනයක තනතුරක් බවයි මගේ පුද්ගලික අදහස."
අනතුරුව මෙරට 20 වැනි මියන්මාර තානාපතිවරයා වූ මාතර එච්.ආර් පියසිරි සඳහන් කළේ "මා මියෙන්මාර් තානාපතිවරයාව සිටියදී අද ආචාර්ය නලින් ද සිල්වා මුහුණ දුන් ගැටලුවට මැදි වුණා. එහිදී මා ලොකු දෙයක් සිදු කළේ නැහැ. මා කළේ මේ සඳහා කටයුතු කළ හැකි කෙනෙකු සොයා ගැනීම පමණයි. පසුව එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂයන් සමඟ සාකච්ඡා කර ඔහුට අවශ්‍ය සහය ලබාදුන්නා. ඒ ගැටලුව එයින් සමතයකට පත් වුණා. තානාපතිවරයකු වුවත් අපට හැම දේම කළ නොහැකියි. අප සතුව කළමනාකරණ හැකියාවක් තිබෙනව නම් අවශ්‍ය කටයුතු කිරීම අපහසු වන්නේ නැහැ. "
මේ වනවිට මෙරට ධීවරයින් 12 දෙනකු මියන්මාර අත්අඩංගුවේ සිටිති. ආචාර්ය නලින් ද සිල්වා තමන්ගේ හැකියාව පිළිබඳව පූර්ණ තක්සේරුවකට පැමිණ මෙවැනි අදහසක් සමාජගත කළ ද ඔහුට තවමත් මියන්මාරයේ රැඳී සිට රට වෙනුවෙන් සහ ධීවරයින් වෙනුවෙන් යමක් කළ හැකි වනු ඇතැයි සිතේ.