දෙපැ­ත්තට ඇදෙන පැල්ම­ඩුල්ල කළු­ගල් වලේ සීතල යුද්ධය | සිළුමිණ

දෙපැ­ත්තට ඇදෙන පැල්ම­ඩුල්ල කළු­ගල් වලේ සීතල යුද්ධය

ආන්දෝලනයට ලක්වී ඇති ගල්වළ වමේ සහ ඊට එරෙහිව ප්‍රදේශවාසීන් පාගමනින් විරෝධතාව දක්වන අයුරු.
ආන්දෝලනයට ලක්වී ඇති ගල්වළ වමේ සහ ඊට එරෙහිව ප්‍රදේශවාසීන් පාගමනින් විරෝධතාව දක්වන අයුරු.

මිහිපිට සියලු සත්වයින්ටම ජීවිතය පැවැත්මට උදව් වෙන්නෙ පරිසරයයි.ආදරයෙන් රැක බලා ගැනීම වෙනුවට පරිසරය ට සිදු වන නෙපනත්කම් ගැන රට පුරා අසන්නට ලැබෙයි.ගස් කැපීම, ජන පෝෂක ප්‍රදේශ එළි පෙහෙ⁣ළි කිරීම මෙන්ම විවිධ කර්මාන්ත නිසාත් තමන්ට සිදුවන අසීරුතා පිළිබඳව ජනතාව මැසිවිලි නඟති.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුට්ටපිටිය වසමේ පිහිටි ගල් වළවල් නිසා තමන් ගැටලු රැසකට මුහුණපා ඇතැයි කිරිවන්දල එකමුතු පරිසර සංවිධානයේ කැඳවුම්කරු වයෝනිකා සඳමාලි (39) අප සමඟ පැවසුවාය.

ඇය පැවසූ දේ ඇගේ වචනයෙන්ම "අපි ජීවත් වන ගම්මානයේ ගල් වළවල් හතරක් තියෙනවා. මේ ප්‍රදේශයේ පවුල් සීයක් විතර ජීවත් වෙනවා. එක ගල් වැඩපළක් ආරම්භ ආරම්භ කරලා අවුරුදු තිස්දෙකකට ළඟයි. අනිත් ඒවා අවුරුදු හතකින් එහා. ගල් කැඩීමට බෝර දැමීම නිසා පිටවන දුමාරයත් ගල් කුඩුත් නිසා පරිසරය අපවිත්‍ර වෙනවා. ගල් බෝර පිපිරවීමේ දී දෙදරුම් කනවා.සත්ත්ව බිත්තර විනාශ වෙනවා. අනාගතයේ දී ජල උල්පත් සිඳී යාමේ තර්ජනයකට මුහුණ දෙන්න වෙයි කියලා ගමේ ජනතාව බයෙන් ඉන්නෙ. ගල් වළවල් වලට හා නිවාස වලට යන මාර්ගය දැඩි ලෙස අබලන් වෙලා. දේශපාලකයන් පාර හදන්න සල්ලි වෙන් කළත් එය හැදෙන්නෙ නෑ. පසුගිය දිනක එක ගල් වළකින් වැටී පුද්ගලයකු මිය ගියා. ඔහුගේ පවුලේ දරුවන් දෙදෙනකු සහ බිරිඳ අසරණ වෙලා. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන නිලධාරීන් දැනුම්වත් කළත් උත්තරයක් ලැබුණේ නැහැ.

මේ චෝදනාව සත්‍යයක් දැයි සොයා බැලීමට අප පළමුවෙන් ම හමු⁣වුණේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් ජී. එස්. බී. රුවන්සිරි ය. ඔහුගේ අදහස මෙසේය.

‘පැල්මඩුල්ල කොට්ඨාසයේ කුට්ටපිටිය වසමේ ගල් වැඩපොලවල් හතරක් තිබෙනවා. ඒවායින් එකක් වසර තිහකට වඩා පැරණියි. ගල්වලක් පවත්වා ගෙන යාමට අදාළ සියලු නිර්දේශ මේ සඳහා ලබා ගෙන තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය, ජලසම්පත් මණ්ඩලය, භූවිද්‍යා හා පතල් කාර්යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාව ආදී ආයතනවල විද්‍යානුකූල පරීක්ෂාවන්ට අනුකූලවයි; එවැනි බලපත්‍රයක් නිකුත් කරන්නෙ. ගල් වළක් පවත්වා ගෙන යෑමට අදාළ නීතිමය රෙගුලාසි පනවලා තිබෙනවා. ඒවා උල්ලංඝනය කරලා තිබෙනවා නම් අදාළ ආයතනවල නිරීක්ෂණවලට හසුවෙනවා. දැනට පවතින තත්ත්වය තුළ මේවා නතර කිරීම නොව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොන්දේසි පැනවිය යුතු බවයි මගේ අදහස. මෝල් හිමියන් ඊට එකඟ විය යුතුයි. අපි පරිසරය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. නමුත් රටට අවශ්‍ය කළුගල් සපයා ගැනීමටත් අවස්ථාව තිබිය යුතුයි. ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලා භූ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා ඒ අනුව ජනතාව සෑහීමකට පත්වන අයුරින් කටයුතු කිරීම සුදුසු වෙනවා. එහෙම නැතුව හිතූමනාපෙට කළුගල් කර්මාන්තය නතර කිරීම බලවත් අපරාධයක්‘

ප්‍රාදේශීය සංවර්ධනය සඳහා කළුගල් අවශ්‍යතාව පිළිබඳව නිතර කතා කරන්නේ ප්‍රාදේශීය සභාවයි. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් ප්‍රේමරත්න ඒ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදහසකි.

සංවර්ධන වැඩවලට කළුගල් අත්‍යාවශ්‍යයි. ඒවා සපයා ගැනීමේ දී පරිසරය ට හා ජනජීවිතයට ගැටලුවක් නොවිය යුතුයි. මේ වන විට පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මෙන්ම රේඛීය අමාත්‍යාංශ හරහා පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාශයට මෙන්ම යාබද කොට්ඨාශය රැසකට කළුගල් අවශ්‍යතාව දැඩිව දැනිලා තිබෙනවා. මේ තත්ත්වයත් බරපතළ අවධානය ට ලක්වෙලා. ඒ නිසා කළුගල්⁣ කර්මාන්තය අත්‍යාවශ්‍යයි. මෙහෙම ගියොත් අපිට කළුගල් පිටරටින් ආනයනය කරන්න සිදු වෙයි. නමුත් කළුගල් කැඩීමට අනුමැතිය දෙන ආයතන මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. සංවර්ධනයේදී අපි පිළි ගත්තත් නැතත් අනිවාර්යයෙන් ම යම් පරිසර හානියක් සිද්ධ වෙනවා. එහෙම කියලා සංවර්ධනය නතර කරන්නත් බෑ. ඒක මිනිස් අවශ්‍යතාවක්. අනෙක ප්‍රදේශයේ ජනතාව ට හිරිහැරයක් කරදරයක් නැතුව ජීවත් වීමේ අවස්ථාව ලබා දීමත් අපේ වගකීමක්. ඒ නිසා මෙවැනි මොහොතක අපි සාධාරණ විදිහට හිතන්න අවශ්‍යයි. මේ අනුව කර්මාන්තයත් කරගෙන ඊට විරුද්ධව කටයුතු කරන අයගේ අභිලාෂය වටහා ගෙන ඉදිරි පියවර ගැනීම වටිනවා. පාරිසරික හා තාක්ෂණික කරුණු සලකා බලා ගැඹුරින් අධ්‍යයනය කර කඩිනමින් තීන්දුවක් ගැනීම වඩා වැදගත් බව ප්‍රකාශ කරනවා.

‘අපි අපේ ගල්මෝල් සියල්ල සඳහා නීත්‍යානුකූල අවසරය ඉතා නිවැරදි ව බලපත්‍ර ලබාගෙන තිබෙනවා. මීට අවුරුදු තිස්දෙකකට ඉහතදී තමයි මේවා ආරම්භ කරල තියෙන්නෙ. බලපත්‍රය ලබා දෙන අවස්ථාවේ පනවා ඇති සියලු නියාමනයන් ට අනුවයි අපි ගල් වැඩපොලවල් පවත්වාගෙන යන්නෙ. මාර්ගයේ දූවිලිවලට පැය තුනෙන් තුනට ජලය ඉසිනවා. ප්‍රදේශයේ ජල උල්පත් වලට කිසිදු බලපෑමක් සිදුවෙලා නැහැ. පරීක්ෂා කර බැලිය හැකියි. මෙතෙක් කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු මේ සඳහා සෘජුවම අධීක්ෂණය කරන සෑම ආයතනයක් ම නිරන්තර පරීක්ෂාවට ලක්වෙනවා. අපි පරිසරය විනාශ කරන්නෙ නෑ.

අපේ වැඩ පොළවල් නිසා දහස් ගණනක් සිය ජීවිකාව ගෙන යනවා. දැනට ගල් මෝල් වල පන්සීයක ට වඩා පිරිසක් වැඩ කරනවා. හත්අට දෙනෙකු පදනම් විරහිතව ගෙන යන මෙම විරෝධය යට ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි අපට ප්‍රශ්නයක්. අ⁣නෙක මේ ගමේ ජනජීවිතය ගොඩ නගන්න අපි කර තිබෙන දේවල් ගැන අපි කතා කරන්නෙ නෑ. මේ තුළ කිසියම් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බව අපට දැනෙන කාරණයක්. මේ සම්බන්ධයෙන් සාධාරණ හා ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස වගකිවයුතු ආයතන වලින් ඉල්ලා සිටිනවා‘ යැයි පැල්මඩුල්ල ගල්මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති වයි. සී. වීරසේන (62) පවසයි. කළුගල් කර්මාන්තය ඇණ හිටීමෙන් සිය ජීවිතය කබලෙන් ළිපට වැටී ඇත පැල්මඩුල්ල ලොරි රථ රියදුරන් සඳහන් කරනවා. මේක ඇත්තද?

අප සමග තම දුක්ගැනවිල්ල දිගහැරියේ පැල්මඩුල්ල ලොරි රථ සංගමයේ ප්‍රධාන සංවිධායක ජී. ඩබ්. නිශ්ශංක පුෂ්ප කුමාරයි.

පැල්මඩුල්ල නගරයේ පමණක් ටිපර් ලොරි රථ ආශ්‍රිතව ජීවිතය ගෙන යන පිරිස දහසකට අධිකයි. ටිපර් රථ හිමිකරුවන්, රියදුරන්, මෙන්ම ඔවුන්ගේ පවුල් වල පිරිසත් මෙම කළු ගල් කර්මාන්තය නිසා ජීවිතය ගෙන යනවා. ලොරි රථ වල ලීසිං වාරික ගෙවාගන්නත් බැරුව බරපතළ අර්බුදයකට ලක්වෙලා. අපේ පවුල් වල ආර්ථිකය සම්පූර්ණයෙන් ම බිඳ වැටිලා. දරුවන් පාසල් යවා ගන්නවත් අසීරුතාවට පත්වෙලා. අපිට හයර් දෙන බ්ලොක්ගල් වැඩපොළවල් දැනට වැසීගෙන යනවා. ගල් කුඩු නැතුව. කඩුවෙල, බලංගොඩ, රත්නපුර වගේ ඈත ප්‍රදේශවලින් ගල් ගේන කොට විශාල මුදලක් ගෙවන්න වෙනවා. කළුගල් අවශ්‍ය සාමාන්‍ය ජනතාව දැන් අනාථ වෙලා. මෙහෙම ප්‍රශ්න විසඳන්න බෑ. එක පැත්තක් නොබලා සාධාරණ විසඳුමක් අවශ්‍යයි.

පැල්මඩුල්ල ප්‍රදේශයේ කළුගල් කර්මාන්තය ආශ්‍රිතව මෙවැනි උණුසුම් කතාබහක් මතුවූයේ පසුගිය දා ගල් මෝලක සේවය කරද්දී මියගිය නලීන් අශෝක කරුණාසිරි ගේ මරණයත් සමඟයි. ‘අප ඔහුගේ නිවෙසට යාමට ද අමතක කළේ නැහැ. අප නලීන්ගේ නිවසට යනවිට දියණියන් දෙදෙනා ඔන්ලයින් ක්‍රමයට උපකාරක පන්තියකට සහභාගි වෙමින් සිටියේ‘

නලීන්ගේ බිරිඳ මල්ලිකා චාන්දනී (46) සිය සැමියාගේ මරණය ගැන කීවේ මෙවැන්නකි. ‘මගේ මහත්තයා ගල්වලේ වැඩ කරන අතරතුර හදිසියේ මිය ගියා. ඒක මගෙත් දරුවන්ගේත් කරුමය. ලොකු දුව මේ අවුරුද්දේ උසස්පෙළ ලියනවා. දෙවැනියා දහය වසරේ. මළගෙදර වෙච්චි වෙලාවෙ ඉඳලා ගල්මෝලේ හිමිකරුවන් අපිට කිසිම අඩුවක් තිබ්බෙ නෑ. අපිට ජීවත් වෙන්න මහත්තයා ගේ මාසික පඩිය රුපියල් හතළිස් දහසක් ⁣දෙනවා. දැන් අපට තියෙන්නෙ මහත්තයා නැති අඩුවයි.

Comments